මීගමුවේ වෙඩි තැබීමක්

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් අද (6) අලුයම 1.38ට පමණ මීගමුව, කුට්ටුදූව ප්‍රදේශයේ නිවසකට වෙඩිතබා පලාගොස් තිබේ.

කෙසේ වෙතත් මෙම වෙඩිතැබීමෙන් කිසිවෙක්ට හෝ තුවාල සිදුව නොමැති බව සඳහන් වෙයි.

මුදල් ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරයි.

ග්‍රෑන්ඩ්පාස් සහ පංචිකාවත්තේ වෙඩිතැබීම් 02ක්

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඊයේ (5) රාත්‍රී 11.45ට පමණ සිදුවූ වෙඩිතැබීමකින් තරුණයෙක් මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කර සිටියේ මහවත්ත ඔරලෝසු කණුව අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙයි.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වෙඩිතැබීම සඳහා රිවෝලවර් වර්ගයේ ගිනිඅවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැකපල කරයි.

මේ අතර මරදාන ප්‍රදේශයේ පංචිකාවත්ත මාර්ගයේ පිහිටි පෞද්ගලික බැංකුවක් ඉදිරිපිටද අද (6) අලුයම 1.40ට පමණ තවත් වෙඩිතැබීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.
තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද සඳහන් වෙයි

චෙම්මනියෙන් මතුවූ අමුතු සිරුර

විශාලත්වයෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ දෙවැනි තැන ගන්නා චෙම්මනි සමූහ සුසානයෙන් එරමිණිය ගොතාගෙන ඉන්නා ආකාරයක් දිස්වන ඇටසැකිල්ලක් පළමු වතාවට පාදාගෙන තිබේ.

එය හින්දු චාරිත්‍රානුකූල භූමදාන සෙයියාවක් නොවන බව යාපනය විශ්වවිද්‍යාලයේ හින්දු අධ්‍යයන පීඨයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය සින්නරාජ් රමනරාජා විසින් තහවුරු කර ඇත. එම සිරුර හමුවී ඇත්තේ ඊයේ පාදාගත් ඇටසැකිලි පොදියත් සමගිනි.

චෙම්මනි සමුහ සුසානයෙන් සිකුරාදා (5) පාදාගත් සිරුරු 5 සමග හඳුනා ගෙන ඇති මිනිස් සිරුරු ප්‍රමාණය දෙසීය හතලිහ දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ පුද්ගලයන් 11 දෙනකුට අයත් අස්ථි ගොඩ ගත් බවයි වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වී එස් නිරංජන් පවසන්නේ.

ඊයේ පාදාගත් සිරුරු පොදියේ අඩුම වශයෙන් හිස් කබල් හයක්වත් තිබුණු බව වීඩියෝ දර්ශනවලින් දැකගත හැක.

චෙම්මනි සමුහ සුසාන සංකීර්ණයෙන් මේ වන විට කුඩා දරුවන්ගේ ඇතුළු පුද්ගලයන් 235 දෙනකුට අයත් ඇටසැකිලි ගොඩ ගෙන තිබේ.

ඊයේ විමර්ශන කටයුතු සිදුකෙරුණේ යාපනය අතිරේක මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් යටතේය.

01

02

බ්‍රිතාන්‍යයේ කෙන්ට් ආදිපාදවරිය දිවි ගමනට සමු දෙයි

බ්‍රිතාන්‍යයේ කෙන්ට් ආදිපාදවරිය වන කැතරින් ආර්යාව අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඇය 92 හැවිරිදි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ පළමු ඥාති සහෝදරයා වන එඩ්වඩ් කුමරු සමඟ විවාහ වූ කෙන්ට් ආදිපාදවරිය රාජකීය පවුලේ වයස්ගතම සාමාජිකාවද වෙයි.

කෙසේ වෙතත් බකිංහැම් මාලිගය විසින් ඊයේ දිනයේ ඇයගේ වියෝව නිල වශයෙන් නිවේදනය කර තිබුණි.

 

නි.පොලිස්පතිවරියන් ඇතුලු 35කට පත්වීම්

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ කටයුතු කළ නිලධාරීන් 31 දෙනෙකුට නිලධාරිනියන් 4 දෙනෙකුට නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීම් ලබාදී තිබේ.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම උසස්වීම් ලබාදී ඇත.

එම නිලධාරීන් වන්නේ,

ජී.එන්. ද සොයිසා – සුබසාධ දිසාව , ආර්.එච්.එස්. මාසිංහ – මහනුවර හා මාතලේ දිසාව , ජ්‍යෙ.පො.අ. ඩබ්. ඒ.ඩබ්.සී. ප්‍රේමසිරි – මාතර හා හම්බන්තොට දිසාව , කේ.ඩී.ජී.එල්.ඒ. ධර්මසේන – මීගමුව කොට්ඨාසය , එස්.ජී.ජේ.ආර්. ගුණසේකර – නීති කොට්ඨාසය , ඩබ්.පී.ජේ. සේනාධීර – බස්නාහිර පළාත (රථ වාහන) දිසාව , එස්.ඩී. විජේසේකර – වව්නියාව හා මන්නාරම දිසාව , ජේ.ඒ.කේ. ජයසිංහ – නීති දිසාව , ඕ. හේවාවිතාරණ – මත්ද්‍රව්‍ය දිසාව , ඒ. අයි. හපුගොඩ – රථ වාහන හා මාර්ග ආරක්‍ෂක දිසාව , ඩී. එම්. එම්. ඒ. බී. මහගිරිල්ල – රත්නපුරය දිසාව , එම්.ආර්.එම්. සෙනරත් – ප්‍රවාහන හා සංදේශ දිසාව , ඩබ්. ජේ. එන්. සේනාරත්න – ජාතික පොලිස් අභ්‍යාස ආයතනය , යු.කේ. මාරඹගේ – රාජ්‍ය බුද්ධි සේවාව , ටී. ජී. එන්.ඩබ්.ඩී. තල්දුව – මොණරාගල දිසාව , ඊ. එම්.ජී.ජේ. සේරම් – ගාල්ල දිසාව , එල්.ඒ.යු. සරත් කුමාර – කුරුණෑගල දිසාව , ජේ.ඒ. චන්ද්‍රසේන – කිලි නොච්චිය හා මුලතිව් දිසාව , ඩී.ජී.එස්. ද සිල්වා – විශේෂ කාර්ය බලකාය , ඩබ්.කේ.ජේ.ආර්. ඩයස් – මාණ්ඩලික නි.පො.ප. (පොලිස් මුලස්ථානය) , ඩබ්. වී. ගිනිගේ – නිකවැරටිය කොට්ඨාසය , එම්. යු. එම්. දිසානායක – ත්‍රිකුණාමලය දිසාව , ඒ.එස්.පී.සී. වෙදමුල්ල – අම්පාර දිසාව , ඩබ්. එස්. පී. ද සිල්වා – නුවරඑළිය දිසාව , එම්.ඩී.පී. දයාරත්න – මුල්‍ය අපරාධ විමර්ශන දිසාව , ඩබ්. ඒ.ජේ. විශාන්ත – අගමැති ආරක්ෂක දිසාව , එච්. සී. ඒ. පුෂ්ප කුමාර – බඳවා ගැනීම් හා පුහුණු දිසාව , බී. ටී. සුගතපාල – අනුරාධපුර හා පොලොන්නරුව දිසාව , පී. අම්පාවිල – 266/18,කිඩ්විලා, හෙට්ටිකන්ද පාර, පරකන්දෙනිය, ඉඹුල්ගොඩ. (ගනේමුල්ල පොලිස් වසම ) , ඒ.ජි.ඩී. වීරසේකර – විශේෂ ආරක්ෂක දිසාව , කේ.ඒ.ජේ. කොඩිතුවක්කු – සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසය.

එමෙන්ම,

දර්ශිකා කුමාරි – පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය, පද්මිණි වීරසූරිය – කළුතර දිසාව, රේණුකා ජයසුන්දර – ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව, නිශානි සෙනෙවිරත්න – පර්යේෂණ හා තොරතුරු කොට්ඨාශය

යන නිලධාරිනියන්ට ද නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීම් ලබාදී ඇත. මෙසේ කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් සිව්දෙනෙකු එකවැර පත්කෙරෙන්නේ මෙරට පොලිස් ඉතිහාසයේ පළමුවරට ය.

තංගල්ල නගර සභාව මිහිදන් කටයුතු භාර ගනී

ඇල්ලේ මාරක බස් අනතුරින් ජීවිතක්ෂයට පත් සියලුදෙනාගේ අවසන් කටයුතු තංගල්ල නගර සභාව හා තංගල්ල වෙළඳ සංගමයේ අනුග්‍රහයෙන් සිදුකිරීමට කටයුතු කරමින් පවතින බව තංගල්ල නගරාධිපති නන්දසිරි පරණපල්ලියගුරුගේ මහතා නිවේදනය කළේය.

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මේ වනවිටත් බදුල්ල රෝහලේ සිදුවෙමින් ඇති අතර, අද (05) රාත්‍රියේ දේහයන් තමන්ගේ නිවෙස්වලට භාරදෙනු ඇති බවත් නගරාධිපතිවරයා පැවැසීය.

එමඟින් අවමගුල් කටයුතු සංවිධානය කිරීම සම්බන්ධයෙන් අද රාත්‍රියේදී මියගිය අයගේ පවුල්වල සාමාජිකයින් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.

මියගිය සියලුදෙනාගේ අවසන් කටයුතු එක දිනයක සිදු කිරීමේ හැකියාව පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිත අතර, ඊට අදාළව සියලුම දේහයන් තංගල්ල නගර සභාවට පැය දෙකකට පමණ ගෙනයන බව ද නගරාධිපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

‘සීගිරියේ අතුරුදහන්’ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

‘සීගිරියේ අතුරුදහන්’ නමින් හදුන්වන ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු රුපියල් ලක්ෂ 30කට වැඩි වටිනාකමකින් යුත් අයිස් සහ කුෂ් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (4) පස්වරුවේ සීගිරිය පොලීසියට අනියුක්තව සේවය කරන උපපොලිස් පරීක්ෂකවරියක් සහ පොලිස් කොස්තාපල්වරියක් ඇතුළු කණ්ඩායමක් සිදු කළ හදිසි මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සීගිරිය රන්ගිරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු සන්තකයේ තිබී, කුෂ් ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 280ක්, අයිස් ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 11ක්, රු. 23,000ක් පමණ මුදලක්, ජංගම දුරකථන 2ක්ද සොයා ගෙන ඇත.

පොලීසිය පවසන්නේ, මෙම සැකකරු මීට පෙර ද ගංජා සමග අත්අඩංගුවට පත් වී නිදහස් වූ පුද්ගලයෙකු බවය.

සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බව සඳහන්ය.

 

අතුරුදන් වූවන් හොයන්න අනුමණ්ඩල 25ක් !

අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධයෙන් සිදු කරන පැමිණිලි පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ විධිවිධාන යටතේ අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවා ඇත. අතුරුදහන් වූ සහ දක්නට නොමැති තැනැත්තන් පිළිබඳව විමර්ශන සිදු කර ඔවුන්ගේ ඥාතීන්ට වාර්තා නිකුත් කිරීම සිදු කිරීම මෙම කාර්යාලය විසින් ඉටු කරනු ලබයි.

මේ දක්වා එකී කාර්යාලය වෙත ලැබී ඇති 16,966 ක් වූ පැමිණිලි අතරින් විමර්ශනය සඳහා තවදුරටත් පැමිණිලි 10,517ක් ඉතිරිව ඇතැයි රජය සඳහන් කළේ ය.

ඒ අනුව, අගතියට පත් පාර්ශ්වයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා 2027 වර්ෂය අවසන් වන විට පරීක්ෂණ සහ අදාළ රාජකාරි නිම කිරීම පිණිස විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, අදාළ කාර්යය සඳහා විශ්‍රාමික විනිසුරුවරුන්, ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරින්, නීතිඥයින් ඇතුළු සුදුසුකම් සහිත පුද්ගලයින් 75 දෙනෙකුගෙන් සමන්විත අනුමණ්ඩල 25ක් පත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

උඩරට දුම්රිය මාර්ගයේ පීලි පැනීමක්

 

උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන අතර කොටසේ අද (05) උදෑසන සිදුවූ පීලි පැනීමක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ දුම්රිය පීලි අලුත්වැඩියා කිරීම සඳහා පීලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක් මෝටර් රථයක එන්ජිමක් පීලි පැනීමකට ලක්වීමෙනි. සිද්ධිය වූ ස්ථානය හැටන්-රොසැල්ල අතර 105½ සැතපුම් කණුව ආසන්න බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අනතුරට පත් වූ ට්‍රැක් මෝටර් රථයේ කාර්ය මණ්ඩලය විසින්ම එය නැවත පීලි මතට ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මේ හේතුවෙන්, බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රිය හැටන් දුම්රිය ස්ථානය දක්වාත්, කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය රොසැල්ල දුම්රිය ස්ථානය දක්වාත් පමණක් ධාවනය වන බව හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේය.

දුම්රිය ගමනාගමනය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බව දුම්රිය බලධාරීහු වැඩිදුරටත් පැවසූහ.

බලුකිස්තානයේ බෝම්බයක් පිපිරී 15ක් ජීවිතක්ෂයට

පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ ක්වේටා අගනුවර පැවති මහජන රැලියක් අතරතුර බෝම්බයක් පිපිරීමෙන් පුද්ගලයන් 15 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බලුකිස්තාන ජාතික පක්ෂයේ සාමාජිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ක්වේටා අගනුවර ක්‍රීඩාංගණයක පැවැති එම රැස්වීම අතරතුර රථ ගාලේදී බෝම්බය පුපුරා ගොස් ඇති අතර, තවත් 30 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

එම බෝම්බය ක්‍රීඩාංගණය තුළ සවි කිරීමට රැගෙන ආ බවටත්, ක්‍රීඩාංගණයට දැඩි ආරක්ෂාව යොදා තිබූ බැවින් රථ ගාලේ සවි කර ඇති බවටත් තොරතුරු ලැබී ඇතැයි ආරක්ෂක අංශ සඳහන් කර තිබේ. රැස්වීමේ ආරක්ෂක කටයුතු සඳහා සියයකට අධික පොලිස් නිලධාරීන් පිරිසක් යොදා තිබූ බවත්, බෝම්බය පුපුරා ගොස් ඇත්තේ රැස්වීම පැවැති ස්ථානයට අඩි 200ක් පමණ දුරකින් බවත් වාර්තා වේ.

පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ් බෝම්බ ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර, බලුකිස්තාන ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Add to cart