බැඳුම්කරේට අලුත් නඩුවක් !

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කිරීමට රජයේ නීති අංශ කටයුතු කරමින් සිටින බව ආරංචි මාර්ග පවසයි.

විශාල පරිමාණයේ වංචා හා දූෂණවලට සම්බන්ධ කිසිවකුටත් නිදහස නොදීමේ රජයේ ප්‍රතිපත්තිය මත මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් විමසූ විට නීතිඥ සුනිල් වටගල ප්‍රකාශ කළේ, අදාළ රාජ්‍ය කාලය තුළ මෙම සිද්ධියේ සාක්ෂි සූක්ෂම ලෙස යටපත් කර ඇති බවත්, එම සාක්ෂි සොයා බැලීමේ කටයුතු මේ වන විට නීති අංශ විසින් සිදුකරමින් පවතින බවත්ය.

අනුර පරාක්‍රමබාහු නම් වෙන දේ මෙන්න

පොහොසත් රටක් නිර්මාණය කිරීමේ අදහස් ඇතිව කටයුතු කරන ජනාධිපතිවරයෙකු විදෙස්ගත වූ විට රාජ්‍ය නායක පෞරුෂයට ඔබින ආකාරයට ඉහළම පහසුකම් භුක්ති විඳිමින් කටයුතු කරන බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

“රාජ්‍ය නායකයෝ විදෙස්ගත වුණාම ඒ රටේ තියෙන හොඳම වාහනේ යනවා. ඒ රටේ හොඳම මිනිස්සු ආශ්‍රය කරලා. හොඳම වයින් එක බීල, හොඳම තේ බිලා තමයි වැඩකරන්නේ. මිනිස්සුන්ට ධනය නිර්මාණය කරන්න ඕන රටක් හදන්න උවමනාවක් තියෙන රාජ්‍ය නායකයෙක් කටයුතු කරන්නේ එහෙමයි.

සහෝදරයන්ගෙන් කාල, ලන්ඩන්වල කොත්තු කඩේකින් කාලා නෙමෙයි, ජනාධිපතිවරු රටවල් හදන්නේ. ජනාධිපතිවරයෙකුට අවශ්‍ය පෞරුෂය, ඒක නිර්මාණය වන පරිසරය හදා ගන්නේ එහෙම තමයි. මෝදි ඉන්දියාව දියුණු කරන්න කලින් පෞද්ගලික ජෙට් යානයකින් ඇමරිකාවට ගියේ. එහෙමයි ඒ රාජ්‍යෙය් පෞරුෂය ජාත්‍යන්තරයේ ගොඩනගන්නේ.

අනුර ජනාධිපතිතුමා රට රටවල ගිහින් යාළුවන්ගේ ගෙවල්වල ඉඳලා වියදමට රාජ්‍යය වෙන් කළ සල්ලි ආයෙම ගෙනැත් ආඩම්බරෙන් භාරදෙනවා. මම දිගින් දිගටම කියනවා, එතුමාට ඔය හිඟන වැඩේ කරන්න එපා කියලා. ඒ නිසා හිටපු ජනාධිපති රනිල් අත් අඩංගුවට ගැනීමේ තිරපිටපත ජාත්‍යන්තර මාධ්‍ය වර්තා කරන විදිහ දැක්කාම අපට ලැජ්ජායි. මහ බැංකු වංචාවට රනිල් අත් අඩංගුවට ගත්තා නම් අපට ලෝකය ඉස්සරහා ඒ ගැන ආඩම්බරෙන් කතා කරන්න තිබුණා.

අපි හිඟන විදිහට හිතන්න නරකයි. අපි ලොකුවට හිතන්න ඕන. අපි ඉතිහාසයේ ලොකුවට හිතුව ජාතියක්. අපි හැදිවේ මහ වැව්. වැව් නෙමෙයි සමුද්‍ර. පරාක්‍රම සමුද්‍රය හැදුවේ. මේ වගේ හිතුවා නම් ඒ කාලේ හදන්නේ ආඬු ළිං. මොකද දෙකෙන්ම වතුර ගන්න පුළුවන්. ආඬි ළිං කපන ආණ්ඩුයි, පරාක්‍රම සමුද්‍ර හදන ආණ්ඩුයි එකක් නෙමෙයි, දෙකක්.”

දිලිත් ජයවීර මේ බව ප්‍රකාශ කළේ මොනරා පුවත්පත සමග සාකච්ඡාවකට එකතු වෙමිනි.

කාටුනය උපුටා ගැනීම : ද අයිලන්ඩ් පුවත්පත

රට පුරා විදුලිය බිද වැටේවි – වෘත්තීය සමිති කියයි

කඩිනම් සහ අවුල් සහගත, සැලැස්මකින් තොරව විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය (CEBEU) විසින් ආණ්ඩුවට චෝදනා කරයි.

මෙම ක්‍රියාවලිය හේතුවෙන් රට පුරා විදුලි විසන්ධි වීම් ඇතිවීමට, විශාල වශයෙන් සේවකයන් ඉවත්ව යාමට සහ සමස්ත ක්ෂේත්‍රයම අස්ථාවර වීමට ඉඩ ඇති බවට සංගමය අනතුරු අඟවා තිබේ.

සංගමය සඳහන් කළේ, බලධාරීන් නීතිමය අවශ්‍යතා නොසලකා හරිමින් සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග මෙන්ම විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ පනතේ විධිවිධානද නොසලකා හැර, සේවක පැවරුම් ලිපි නිකුත් කර ඇත්තේ “ඉතා සරල ආකාරයකට” බවයි.

“වර්තමාන ප්‍රතිසංස්කරණ බලධාරීන් තුළ නිසි වගකීමක් හා ක්‍රියා පටිපාටියක් නොමැත. මෙය රටේ වඩාත් තීරණාත්මකම ක්ෂේත්‍රය වුවද, සමහරු ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සරලව සලකති. එහි අවසාන ප්‍රතිඵලය කුමක් වේවිද?” යනුවෙන් CEBEU හි සම ලේකම් ඉංජිනේරු අමල් ආරියරත්න මහතා පැවසීය.

ආණ්ඩුව මේ මස මුලදී ප්‍රතිසංස්කරණ පනත සංශෝධනය කරනු ලැබුවේ, බෙදාහැරීමේ සහ උත්පාදන සමාගම්වල කොටස් (ජල විදුලි සම්පත් හැර) සම්පූර්ණයෙන් විකිණීමට ඉඩ ලබා දීම සඳහායි. කෙසේ වෙතත්, සේවකයන් සඳහා වූ මාස දෙකක දැනුම් දීමේ කාලය ආරම්භ වූයේ කවදාද යන්න පිළිබඳව මිශ්‍ර වූ පණිවිඩ ලැබීම නිසා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දැනටමත් ව්‍යාකූල තත්ත්වයක පවතින බව සංගමය පවසයි.

“අවශ්‍ය ලේඛන කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසු ගණන් කිරීම ආරම්භ කරන බවට පොරොන්දු වුවද, බලධාරීන් අගෝස්තු 27 වැනි දා සිට කාලය ගණනය කිරීම ආරම්භ වූ බව පවසමින් මහජනයා නොමඟ යවමින් සිටී” යැයි සම ලේකම්වරයා චෝදනා කළේය. “අපි වහාම මැදිහත් වන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිමු. මෙම වැරදි කළමනාකරණය තවදුරටත් ඉදිරියට ගෙන යා නොහැක.”

CEBEU සංගමය වැඩිදුරටත් අනතුරු අඟවා ඇත්තේ, රුපියල් මිලියන 5කට සීමා කර ඇති වර්තමාන ස්වේච්ඡා විශ්‍රාම ගැනීමේ යෝජනා ක්‍රමය “ප්‍රමාණවත් නොවන” බවයි. එමඟින් ඉහළ නිපුණතාවලින් යුතු ඉංජිනේරුවන් සහ තාක්ෂණික කාර්ය මණ්ඩලය විදේශ රැකියා සඳහා යොමුවීමට ඉඩ ඇති බවද සඳහන් කරයි.

“අත්දැකීම් සහිත කාර්ය මණ්ඩලය ඉවත්ව ගියහොත්, මෙම ක්ෂේත්‍රය අඩපණ වන අතර, විදුලි කප්පාදු කිරීම් නොවැළැක්විය හැකි වනු ඇත. අපි සිටින්නේ අර්බුදයක අද්දර” යැයි එම ප්‍රකාශයේ දැක්වේ.

ප්‍රතිසංස්කරණ සැලසුම්කරුවන්ට බිම් මට්ටමේ යථාර්ථයන් නොසලකා හරින බවට චෝදනා කළ සංගමය, ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය “නැවත සලකා බලා නිවැරදි කරන ලෙස” ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

“මෙය සැබවින්ම ජනතා කේන්ද්‍රීය ආණ්ඩුවක් නම්, ප්‍රතිසංස්කරණ පෞද්ගලික න්‍යාය පත්‍ර සඳහා නොව, මහජන අරමුණට සේවය කළ යුතුයි” යනුවෙන් සම ලේකම්වරයා අවධාරණය කළේය.

විදුලි බල සේවකයින්ට සුභ ආරංචියක්

ශ්‍රී ලංකා විදුලි බල සං‍ශෝධන පනතේ ස්වේච්ඡා විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයේ නියාමනයන් හා කොන්දේසි ගැසට් කර තිබේ.

මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ අත්සනින් යුතුව වන අතර, මෙය නිකුත්වන්නේ 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලි බල පනතේ 18 වන වගන්තියේ තුන්වන උප වගන්තියට අදාළවය.

වසර 10ක් හෝ ඊට වැඩි සේවා කාලයක් සපුරා ඇති සේවකයෙකු ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන අවස්ථාවකදී ඔහු සේවයේ යෙදුනු සේවා කාලයේ සෑම මාස 12ක් සඳහාම මාස දෙකක වැටුප සහ සේවය කිරීමට ඉතිරිව ඇති කාලයේ සෑම මාස 12ක් සඳහාම මාස එකහමාරක වැටුප වන්දි වශයෙන් හිමිවන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

ඊට අමතරව කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන සේවකයින්ට වන්දි ලබාදෙන ආකාරය මෙන්ම තවත් නියාමනයන් සහ කොන්දේසි කිහිපයක්ද ගැසට් නිවේදනයේ දක්වා තිබේ.

ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක අත්අඩංගුවට

ජනප්‍රිය ගායක දමිත් අසංක, පවුල් ආරවුලකට අදාල පැමිණිල්ලක් සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය ලබා දී ඇති තොරතුරු අනුව, එම පැමිණිල්ල මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල ගායකයා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත නිදහස ලබාගත් බව වාර්තා වෙයි.

මෛත්‍රී හා ගෝඨා අත්අඩංගුවට ?

හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ විසින් පොදු දේපොළ අවභාවිත කිරීමේ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට දූෂණයට සහ වංචාවට එරෙහි සිවිල් සංවිධාන කිහිපයක් සූදානමින් සිටින බව සිළුමිණ පුවත්පත වාර්තා කර තිබේ.

මේ සංවිධාන පසුගිය කාලයේදී අදාළ තොරතුරු සියල්ල තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මඟින් ලබාගෙන ඇති බවද පැවසේ.

එම තොරතුරු යොදාගනිමින් අදාළ පැමිණිලි කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි ද වාර්තා වේ.

නීතිඥවරු මේ දිනවල මීට අදාළ තොරතුරු විශ්ලේෂණය කරමින් සිටින බවද එම වාර්තා වේ දැක්වෙන අතර මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික මැදිහත් වීම මත සිදු කළ ඉදිකිරීම් කිහිපයක් සහ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව හරහා සිදු කළ කටයුතු කිහිපයකට අදාළ තොරතුරු මේ අතර ඇතැයි ද පැවසේ.

මේ පිළිබඳ අදහස් දක්වන මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල පවසන්නේ තොරතුරු සහිතව එවැනි පැමිණිලි ඉදිරිපත් වුව හොත්, ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශන සිදු කොට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කිසි සේත් පසුබට නොවන බවද පවසා ඇතැයි ද එම පුවත මගින් අනාවරණය කර තිබේ.

එවැනි නීතිමය ක්‍රියාවලියකදී අදාළ සැකකරු හෝ සැකකාරිය පෙර දැරූ තනතුරු අදාළ නොවන බවද ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

කෙහෙල්බද්දර පද්මෙලාට උන් හිටි තැන් අහිමිවෙයි !

ඉන්දුනීසියාවෙ ජාකර්තා නුවරදී ඉකුත්දා අත්අංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස නීති විරෝධීව උපයාගත් මුදල්වලින් මෙරට මිලදී ගෙන ඇති රුපියල් කෝටි ගණනක් වටිනා දේපළ තහනම් කිරීමට අවශ්ය නීතිමය ක්රියාමාර්ග ගැනීමට පොලිසිය සූදානම් වෙයි.
එම සංවිධානාත්මක අපරාධකරුවන් නීතිවිරෝධී අයුරින් උපයාගෙන ඇති එම චංචල හා නිශ්චල දේපළ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර අදාළ දේපළ කඩිනමින් තහනම් කිරීමට අවශ්ය නියෝග ලබාගන්නා බව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.
ඉතා රහසිගත මෙහෙයුමකින් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ කොමාන්ඩෝ සලින්ත ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම, ජාත්යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කර තිබෙන සහ ඩුබායිහි, ඉන්දියාව ඇතුළු රටවල සැඟවී සිටිමින් මෙරට මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්, මිනීමැරුම් ඇතුළු සංවිධානාත්මක අපරාධ සිදුකරන පුද්ගලයන් රැසක් නීති විරෝධීව උපයාගත් මුදල්වලින් මෙරට චංචල හා නිෂ්චල දේපළ රැසක් මිලදී ගෙන තිබෙන බව මේ වන විට කරුණු අනාවරණය වී තිබෙනවා’’ යැයි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජ්යෙෂ්ඨ විමර්ශන නිලධාරියකු සතිඅග ‘අරුණ’ට පැවැසීය. මෙලෙස නීතිවිරෝධීව උපයාගත් මුදල්වලින් මිලදී ගත් දේපළ අතර සුඛෝපභෝගී නිවාස, වටිනා ඉඩම්, හෝටල, අධිසුඛෝපභෝගී මෝටර් රථ, රත්රන් ඇතුළු දේපළ රැසක් තිබෙනවා.
ඇතැම් සංවිධානාත්මක අපරාධකරුවන් ඔවුන්ගේ හිතවතුන්, ගෝලයන් නමින් එම දේපළ මිලදී ගෙන තිබෙන බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා. රුපියල් කෝටි ගණනක වටිනාකමින් යුත් එම දේපළ සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණයට කරුණු වාර්තාකර තහනම් නියෝග ලබාගැනීමට කටයුතු කරනවා’’ යැයි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජ්යෙෂ්ඨ විමර්ශන නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
මීට අමතරව දේශපාලකයන්ගේ හා බලවතුන්ගේ නමින් දේපළ මිලට ගෙන තිබේ ද යන්න සම්බන්ධයෙන් ද පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත.

බැකෝ සමන්ගේ බිරිඳ කටුනායකට රැගෙන එයි

ඉන්දුනීසියාවේදී පාතාල නායකයන් සමඟ අත්අඩංගුවට ගත් බැකෝ සමන්ගේ බිරිඳ මේ වන විට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලට රැගෙන විත් තිබෙනවා.

අද සවස 5.50ට ඉන්දුනිසියාවේ ජාකර්තා නුවර සිට පැමිණි ගුවන්යානයකින් ඔවුන් රැගෙන විත් ඇත්තේ ඇයගේ දරුවාද සමගින් බව වාර්තා වෙනවා.

ඇයට එරෙහිව රතු වරෙන්තු නොතිබුන හෙයින් ඇය සහ දරුවා මුදා හැරීමට ඉන්දුනීසියානු පොලීසිය කටයුතු කොට ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණා.

තායිලන්ත අගමැති ධූරය අහිමි වෙයි

 

තායිලන්ත අග්‍රාමාත්‍ය පේතොංතා ෂිනවත‍්‍රා (Paetongta Shinawatra) මහත්මිය ධුරයෙන් පහ කිරීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය නියෝග කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඇය කාම්බෝජයේ හිටපු නායකයෙකු සමඟ සිදු කළ දුරකථන සංවාදයක තොරතුරු හෙළිවීමත් සමඟ මෙම තීරණයට එළැඹී ඇත.

අධිකරණය තීරණය කළේ මෙම සිදුවීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. ඒ අනුව, ඇයව වහාම අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට නියෝග කර තිබෙනවා.

කාන්තාවන් දෙදෙනෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට

 

හෙරොයින් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 990ක් සමඟ කාන්තාවක් මාලිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇයගෙන් ලද තොරතුරු මත තවත් කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 106ක් සමඟ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත් වී තිබේ.

පළමුවෙන් අත්අඩංගුවට ගත් කාන්තාව අගෝස්තු 26 වැනි දින මාලිගාවත්ත පොලිස් වසමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 3.99ක් සමඟ අත්අඩංගුවට ගෙන මාලිගාවත්ත පොලීසියට භාර දී ඇත.

ඇයගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු අනුව, පසුදින (අගෝස්තු 27) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී තවත් 51 හැවිරිදි කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 106ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා ගරු මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, වැඩිදුර විමර්ශන සඳහා සැප්තැම්බර් 02 වැනිදා දක්වා ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන ඇති අතර, ඔවුන් කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට භාර දී තිබේ.

Add to cart