නිමල් ලන්සා රිමාන්ඩ්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

ලන්සා ඊයේ (29) කොච්චිකඩේ පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගන්නා ලදී.

රනිල් ගෙදර යයි

 

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) රෝහලෙන් පිටව ගොස් තිබේ.

දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඔහු, සුවය ලැබීමෙන් පසු අද උදෑසන සාමාන්‍ය වාට්ටුවකට මාරු කර යැවූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. වෛද්‍ය උපදෙස් මත, ඔහු රෝහලෙන් පිටව ගිය බව තවදුරටත් වාර්තා වේ.

ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 12 දක්වා යළි රිමාන්ඩ්

 

දූෂණ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන සැප්තැම්බර් 12 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (අගෝස්තු 29) නියෝග කළේය.

රනිල්ව සාමාන්‍ය වාට්ටුවකට මාරු කරයි

 

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාමාන්‍ය වාට්ටුවකට මාරු කර යවා ඇති බව එක්සත් ජාතික පක්ෂ සහකාර නායක අකිල විරාජ් කාරියවසම් මහතා අද (අගෝස්තු 29) මාධ්‍ය වෙත පැවසීය.

වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් අතට හැරී ඇති බව ඔහු සඳහන් කළේය.

මේ අතර, හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍යය පිළිබඳ ඉදිරි තීරණ ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් ගනු ලබන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය කියා සිටියාය.

රතන හිමි සැප්තැම්බර් 12 දක්වා රිමාන්ඩ්

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ලබන සැප්තැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අද (අගෝස්තු 29) අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු මෙම නියෝගය ලබා දී ඇත. උන්වහන්සේට එරෙහිව පවතින චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

නිමල් ලංසා අත්අඩංගුවට

 

කොච්චිකඩේ පොලීසියට භාර වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සාව අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඔ​හු අද (29) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත​යි

2006 වසරේ දී උද්ඝෝෂණයක් අතරතුර අයුතු ජනරාශිය සහ දේපොළ අනර්ථය යන චෝදනා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකර ඇත.

පැමිණිලිකරු අදාල පැමිණිල්ල ඉවත් කරගන්නා බවටත්, දෙපාර්ශ්වය සමථයකට පත්වන බවටත් ගරු අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ලබා දී තිබියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව නිමල් ලාන්සා මහතාගේ නීතීඥවරු තහවුරු කරයි

අතුරලියේ රතන හිමි අධිකරණයට

 

අධිකරණයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ අතුරලියේ රතන හිමි අද (අගෝස්තු 29) පෙරවරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ, අපේ ජන බල පක්ෂයේ මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් බිය ගන්වා 2020 මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාගැනීම සඳහා බලහත්කාරයෙන් ලියකියවිලිවලට අත්සන් ලබා ගැනීම සම්බන්ධයෙන් ය.

කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කරන විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, පැහැර ගැනීමෙන් පසු වේදිනිගම හිමියන් එවකට සිටි ප්‍රබල අමාත්‍යවරයෙකුගේ කොළඹ පිහිටි කාර්යාලයට රැගෙන ගොස් ඇති බවයි. එම ස්ථානයේදී එම අමාත්‍යවරයා සහ එකල බස්නාහිර පළාතේ පොලිස් ප්‍රධානියා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා ද තමන්ට බලපෑම් කරමින් බිය ගැන්වූ බවට වේදිනිගම හිමියන් පොලීසියට ප්‍රකාශ කර තිබුණි.

එකම දිනේ, එකම තැනක යුවළවල් 108ක අපූරු විවාහයක්

යාපනය දිස්ත්‍රික්කයේ විවාහ අපේක්ෂාවෙන් සිටි යුවළවල් 108ක් ඊයේ (28) යාපනය, සෙල්වසන්නිදි කෝවිලේදී එකම නැකතකදී විවාහපත්වීම සිදු කරනු ලැබිණි.

එම දිස්ත්‍රික්කයේ අඩු අදායම්ලාභී පවුල්වල විවාහ අපේක්ෂාවෙන් සිටි යුවළවල් 108ක් එලෙස නැකතට තැල්ල බැදීමේ චාරිත්‍රය සිදුකරමින් විවාහ වීම එහිදී සිදුකෙරී ඇත.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15ක පදිංචිව සිටි විවාහ අපේක්ෂිත යුවළවල් පිරිසක් එලෙස එකම කෝවිලකදි, හින්දු චාරිත්‍රානුකූලව විවාහපත් වීම එහිදී සිදු කර ඇත.

හොර රහසේ නිධන් හාරපු DIG බිරිඳට ආයෙත් ඇප නෑ

නිදන් වස්තු ලබා ගැනීමේ අරමුණින් ශ්‍රාවස්තිපුර – තිඹිරිකඩවල පුරා විද්‍යා භූමියක් බවට සැක කෙරන ස්ථානයක් කැනීම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පති බිරිය ඇතුළු සැකකරුවන් 8 දෙනාගේ ඇප ඉල්ලීම යළි ප්‍රතික්ෂේප කළ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය, සැකකරුවන් ලබන මස 1 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඊට අදාළ නඩුව ඊයේ කැදවූ අවස්ථාවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව අධිකරණයට කල කරුණු දැක්වීමක් සැළකිල්ලට ගනිමිනි.

මෙම සිද්ධියේ සැකකරුවන් කැනීම් කර ඇති ස්ථානය පුරාවිද්‍යා වටිනාකමක් ඇති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් භූමියක්ද යන්න පරික්ෂා කර බලා ඊට අදාළ පුරාවිද්‍යා වාර්තාව ෆැක්ස් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමින්තුවට නියෝග නියෝග කළේය.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඔ දිසාව භාර නියෝජ්‍ය පොලිස්තිපති උදිත් ලියනගේ ද ලබන මස පළමු වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

බිරිය ඇතුළු සැකකරුවන් අත් අඩංගුවට ගත් අවස්ථාවේ ඔවුන් නිදහස් කර මුදා හරින ලෙසට අනුරාධපුර පොලිසියට බලපෑම් කිරීම, නිදන් හෑරීමට ආධාර අනුබල දීම සහ රජයේ දේපල අවභාවිත කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනා වේ.

A9 මාර්ගයේ රිය අනතුරකින් එක් අයෙක් මරුට

 

අද (අගෝස්තු 29) උදෑසන කිලිනොච්චිය, පරන්තන් හන්දිය ආසන්නයේ A9 මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබේ.

පොලිස් වාර්තාවලට අනුව, මාර්ගයේ නවතා තිබූ ලංගම බස් රථයක පිටුපස ටිපර් රථයක් ගැටී ඇති අතර, ඒ සමඟම ටිපර් රථයේ පිටුපසින් පැමිණි යතුරුපැදියක් ද එහි ගැටී ඇත. අනතුරින් යතුරුපැදියේ ගමන් කළ එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, අනෙක් පුද්ගලයා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.

පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Add to cart