රාජිත රිමාන්ඩ්

රාජිත සේනාරත්න අද රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබේ .
අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තුව අවලංගු කරන ලෙස ඉල්ලා හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ඊයේ (අගෝස්තු 28) කොළඹ මහාධිකරණයේ විභාගයට ගැනුණි. එහිදී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන්ට නොතීසි නිකුත් කිරීමට අධිකරණය කළ නියෝගයකට අනුව ඔහු අද අධිකරණය වෙත ඉදිරිපත් විය . ඒ අනුව රාජිත සේනාරත්න අද දිනයේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරිණි.ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්නගේ නියෝගයකට අනුවයි

ශානි නඩුව දිගටම ඇද්දොත් රනිල්ට කෝටි ගාණක වන්දියක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා අස්කරගත යුතු බව නීතීඥ ශිරාල් ලක්තිලක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙහි නඩු නිමිත්තක් නොමැති අතර චෝදනා පත්‍රය ද්වේශ සහගත ලෙස සකස් කර ඇති බවයි.

එසේ ඉල්ලා අස්කරනොගතහොත් ශානි අබේසේකරගෙන් මේ සඳහා කෙදිනක හෝ රනිල් වික්‍රමසිංහ කෝටි ගණනක වන්දියක් ඉල්ලා සිටිය හැකි බව ද ශිරාල් ලක්තිලක ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ දෙරණ වාදපිටිය වැඩසටහනට එකතු වෙමිනි….

තෙල් සංස්ථාවේ 1200ක් ගෙදර යවන සැලසුමක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPCT) සහ ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම (CPSTL) ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇත.

මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ ආයතනයේ සේවක සංඛ්‍යාව අවම කිරීමයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ, මයුර නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කළේ, කිසිදු සේවකයෙකු අපහසුතාවයකට පත් නොකර, විශ්‍රාම යන සේවකයින් වෙනුවට අලුතින් බඳවා ගැනීම් සිදු නොකර සේවක සංඛ්‍යාව අඩු කිරීමට අපේක්ෂා කරන බවයි.

මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ දැනට සේවය කරන 3200කට අධික සේවක සංඛ්‍යාව 2035ක් දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇත.

කුලියාපිටිය රිය අනතුරෙන් මරු කැඳවූ සිසුවියන්ගේ අවසන් කටයුතු අද

සිසුවියන් දෙදෙනෙකුට සහ තවත් අයෙකු ඇතුලු තිදෙනෙකුට මරු කැඳවමින් කුලියාපිටියේදී සිදු වූ රිය අනතුරෙන් මිය ගිය සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද දුම්මලසූරිය කට්ටිමහන පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

අනතුරෙන් මිය ගොස් තිබුනේ එම ප්‍රදේශයේම පදිංචි 12 හැවිරිදි රිෂිනි නෙතුපමා කුලරත්න සහ 13 හැවිරිදි මිහිදි සෙනායා නිල්නෙතු නැමති සිසුවියයි.

අනතුරින් ජීවිතක්ෂයට පත්වූ 67 හැවිරිදි පාසැල් වෑන් රථ රියදුරු ද එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක් වෙයි.

එමෙන්ම අදාල අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටිපර් රථ රියදුරා ලබන මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත්ගේ නියෝගයකට අනුවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ මාරවිල මූදූකටුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23ක පුද්ගලයෙක් වෙයි.

පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ, සැකකරු පැය 24ක් නොනිදා සේවය කර ඇති බව අනාවරණය වී ඇති අතර, මියගිය වෑන් රථයේ රියදුරු අනතුර වලක්වාගැනීමට දැඩි උත්සහයක් ගෙන තිබූ බවද පොලිසිය ප්‍රකාශ කර තිබේ.

 

 

බණ්ඩාරගම පත්තු වූ වෙඩිල්ලේ සැකකරුවන් දෙදෙනෙක් මාට්ටු

බණ්ඩාරගම පොලිස් වසමේ බොල්ගොඩ පාලම ආසන්නයේදී පසුගිය 21 වැනිදා පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් කළුතර අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ අනුව ලද තොරතුරක් මත එම අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (28) දහවල් කාලයේ පානදුර දකුණ පොලිස් වසමේ මෝදර විල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන බණ්ඩාරගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18 හා 21 වයස්වල පසු වන පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

සැකකරුවන් සන්තකයේ තිබී වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදිය බවට සැක කෙරෙන ව්‍යාජ අංක තහඩු සවිකරන ලද යතුරු පැදියක්, ව්‍යාජ ගමන් බලපත්‍රයක්, රක්ෂණ සහතිකයක් හා ආදායම් බලපත්‍රයක් සහ ව්‍යාජ අංක තහඩු යුගලයක් පොලිස් භාරයට ගෙන තිබේ.

බණ්ඩාරගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කරනු ලබයි.

රාජිත අද අධිකරණය හමුවට

 

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තුව අවලංගු කරන ලෙස ඉල්ලා හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ඊයේ (අගෝස්තු 28) කොළඹ මහාධිකරණයේ විභාගයට ගෙන ඇත. එහිදී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන්ට නොතීසි නිකුත් කිරීමට අධිකරණය නියෝග කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ මහත්මිය ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලූ අතර, අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් නොතීසි පමණක් නිකුත් කිරීමට තීරණය කළාය.

රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, 2013 වසරේ ලැබුණු නිර්නාමික පැමිණිල්ලකට අනුව “වැලිගොව්වා” නෞකාව අවභාවිත කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කර ඇති බවයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීමට ජූලි 02 වැනිදා කොමිසම හමුවට පැමිණෙන ලෙස දන්වා ලිපියක් ලැබුණ ද, උණ රෝගී තත්ත්වයක් නිසා තම සේවාදායකයාට එදින පෙනී සිටීමට නොහැකි වූ බවයි.

නීතිඥ ඉන්දතිස්ස මහතා පෙන්වා දුන්නේ, තම සේවාදායකයා විසින් ගොනු කළ අපේක්ෂිත ඇප පෙත්සමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ පසු, අල්ලස් කොමිසමේ ඉල්ලීමකට අනුව, නීතියට පටහැනිව සාක්ෂි මෙහෙයවීමකින් තොරව රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති බවයි. ඔහු චෝදනා කළේ, මෙය නීතියට පටහැනි ක්‍රියාවක් වන බැවින් එම වරෙන්තුව ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කළ බවයි.

කෙසේ වෙතත්, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (අගෝස්තු 29) දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නිකුත් කර ඇති නොතීසියකට අනුව, රාජිත සේනාරත්න මහතා අද දින අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව ඔහුගේ නීතිඥවරයා මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඊයේ දවසට මරණ 7ක්

 

ඊයේ (අගෝස්තු 28) දිනයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිදුවූ අනතුරු සහ අපරාධ හේතුවෙන් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය වාර්තා කරයි. මෙම මරණවලට මනුෂ්‍ය ඝාතනයක් සහ රිය අනතුරු කිහිපයක් ඇතුළත් වේ.

වළස්මුල්ල, උඩගහවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දීමෙන් 85 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර තිබේ. ඇය නිවසේ තනිවම සිටියදී, රාත්‍රී ආහාර ලබා දී ඇගේ පුතා පිටව ගිය පසු නිවසට ඇතුළු වූ පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. අපරාධයට සම්බන්ධ සැකකරු පලා ගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට වළස්මුල්ල පොලිසිය විමර්ශන සිදු කරයි.

මඩකලපුව-කල්මුණ මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 56 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත. ඔහු පැදවූ යතුරුපැදිය තවත් යතුරුපැදි දෙකක් ඉස්සර කිරීමට යාමේදී පාලනය ගිලිහී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත.

රත්නපුර-පානදුර මාර්ගයේ සිදුවූ අනතුරකින් 19 හැවිරිදි යතුරුපැදි කරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහු පැදවූ යතුරුපැදියක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර-ත්‍රිකුණාමලය මාර්ගයේ සිදුවූ ලොරි රථ අනතුරකින් 10 හැවිරිදි පාසල් සිසුවියක් සහ 23 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබේ. ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන පාසල් දැරියන් දෙදෙනෙකු සහ නවතා තිබූ යතුරුපැදියක ගැටී අනතුරට පත්ව ඇත. අනතුරින් තුවාල ලැබූ අනෙක් දැරිය සහ ලොරි රථයේ සිටි දෙදෙනෙකු රෝහල් ගත කර ඇත.

ගාල්ල-මාතර ප්‍රධාන මාර්ගයේදී සිදුවූ බස් රථ අනතුරකින් 41 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත. බස් රථයේ පාපුවරුවේ ගමන් කළ ඔහු, බස් රථයෙන් ඇද වැටී එම බස් රථයටම යටවීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුරට සම්බන්ධ බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

දුම්රියකින් ඇද වැටීමෙන් 52 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත. කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ නතර කිරීමට පෙර ඔහු බැසීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව තිබේ.

මෙම සියලු සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන්ට

පුරප්පාඩු වී තිබූ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය සඳහා අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ තේරී පත් වෙති.

නිලවරණය අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥාණරතන නාහිමිගේ ප්‍රධානත්වයෙන් අද (28) ප.ව. 2ට මහනුවර අස්ගිරි මහා විහාරයේ මංගල උපෝසථගාරයේ දී පැවැත්විණි.

මේ සඳහා අස්ගිරි කාරක මහා සංඝ සභාවේ හිමිවරුන් 19 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා අතර, අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ඓතිහාසික මහියංගනය රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි හා අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී ධර්මාචාර්ය පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිවරු මෙම ධුරය සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වීමට දැහැත් ලබා දී තිබිණ.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයේ කටයුතු කළ පූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියෝ අපවත්වීම හේතුවෙන් එම ධුරය පුරප්පාඩු වී තිබිණ.

අනුරගේ ගමන් බිමන් ගැන තොරතුරු ලබා දීම ජනපති කාර්යාලයෙන් ප්‍රතික්ෂේප කරයි.

ජනාධිපතිවරයාගේ දේශීය ගමන් බිමන් පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ සිදුකළ ඉල්ලීමක් ජනාධිපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වේ. විශේෂයෙන් ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අරබයා පෞද්ගලික සහ රාජකාරි ගමන් සම්බන්ධ නීතිමය විභාගවීමක් අතරතුර මෙම සිදුවීම වාර්තා වීම දෛවෝපගත ය. ජිනාත් ප්‍රේමරත්න විසින් කරන ලද මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ, අදාළ තොරතුරු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට අදාළ සංවේදී තොරතුරු බව සඳහන් කරමිනි. මේ සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පනතේ 5(1)(ආ) වගන්තිය යොදාගෙන තිබේ.

ජනාධිපතිවරයෙකුගේ ගමන් බිමන්වල ආරක්ෂාව ඉතා වැදගත් බව සත්‍යයකි. නමුත්, ඉල්ලා සිටින තොරතුරු මොනවාද සහ ඒවායේ ‘සංවේදීතාව’ කුමක්ද යන්න ප්‍රශ්න කිරීමේ අයිතිය ද ජනතාව සතු ය. නිදසුනක් ලෙස, ඔහු අනාගතයේ යෑමට නියමිත ස්ථාන හෝ ගමන් මාර්ග පිළිබඳව තොරතුරු ඉල්ලීම ආරක්ෂාවට තර්ජනයක් විය හැකි වුවත්, දැනටමත් සිදුකර අවසන් ගමන් බිමන් පිළිබඳ තොරතුරු එසේ විය නොහැකි අවස්ථා තිබේ. එම නිසා, සියලුම දේශීය ගමන් තොරතුරු එකම සාධකයකින් සංවේදී යැයි සලකා ප්‍රතික්ෂේප කිරීම සාධාරණ දැයි විමසා බැලිය යුතු ය.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ මූලික අරමුණ වන්නේ රාජ්‍ය පාලනය විනිවිදභාවයෙන් සහ වගකීමකින් යුතුව සිදුකරන බවට සහතික කිරීම ය. ජනාධිපතිවරයා යනු රාජ්‍යයේ ඉහළම විධායකය වන අතර, ඔහුගේ දේශීය ගමන් බිමන් සඳහා වැය වන්නේ මහජන මුදල් ය. එම මුදල් වැය වූ ආකාරය පිළිබඳව තොරතුරු ඉල්ලීම, මහජන වගකීමක් ඉටුකිරීමක් ලෙස සැලකිය හැකි ය. එම නිසා, ආරක්ෂාව මූලික කරගෙන සම්පූර්ණ තොරතුරු ප්‍රතික්ෂේප කිරීම පාරදෘශ්‍යභාවය පිළිබඳ අරමුණට හානිකර විය හැකි ය.

ප්‍රතික්ෂේප කිරීමේ ලිපිය මගින් දින 14ක් ඇතුළත අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දී තිබේ. මෙය නීතියට අනුව සිදුවන්නක් වුවත්, මූලික ඉල්ලීමම මෙලෙස ප්‍රතික්ෂේප වීම, මෙම ක්‍රියාවලියේ ස්වභාවය පිළිබඳ ප්‍රශ්න මතු කරයි. මහජනයාට අවශ්‍ය වන්නේ තොරතුරු මිස නිරන්තරයෙන් අභියාචනා කිරීමට යෑම නොවේ.

තොරතුරු දැනගැනීමේ අයිතිය ක්‍රියාත්මක කිරීමේදී තවමත් අභියෝග තිබෙන බව මෙම සිදුවීම මගින් ද පැහැදිලිව පෙනේ. රාජ්‍ය ආයතන, විශේෂයෙන්ම ඉහළම ආයතන, මෙම නීතියේ මූලික අරමුණු අවබෝධ කරගෙන, සුළු හේතූන් මත තොරතුරු ප්‍රතික්ෂේප නොකිරීමට වගබලා ගත යුතු ය. එසේ නොවුණහොත්, මෙම පනත හුදෙක් නීති පොතට පමණක් සීමා වූ එකක් බවට පත් විය හැකි බව ලියා තබමි.

ප්‍රයිවට් ලිමිටඩ් කියන්නෙ ව්‍යාපාර ආකෘතියක්. ඒක රජය සතුයි.

ලංකා විදුලිබල මණ්ඩලය සමාගම් 4 කට වෙන් කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ විසින් පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. ඔහු විසින් තම නිල ෆේස් බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේ ය.

උපුටා ගැනීම:

“නවලිබරල් ප්‍රතිපත්ති මත බලශක්තිය පුද්ගලීකරණය කරනු නොලැබේ..
ලංකාවෙ බලශක්තිය පුද්ගලික ප්‍රාග්ධනය සතු කරගැනීමට දේශපාලනය, You tube චැනල් හා ඊනීයා ආර්ථික උපදේශක ආයතන දශක ගානක උත්සහය පරාදයි
බලශක්තියේ රාජ්‍ය (මහජන)හිමිකාරිත්වය තවත් ශක්තිමත් කර ප්‍රතිව්‍යුහගතකරණය කරනු ලැබේ , අනාගත ආයෝජන සඳහා පුද්ගලික ප්‍රාග්ධනයට විශාල අවස්ථාවක් ඇත
Pvt limited යනු ව්‍යාපාරය ආකෘතියක් බවත් එහි අයිතිය රජය සතු බවත් දරුවන්ට කියල දෙන්න”

උපුටා ගැනීම අවසන්.

නමුත් චතුරංග අබේසිංහ මින් පෙර ප්‍රකාශ කර තිබුණේ රජය විසින් ඩොලර් බිලියන 5ක ආයෝජන ණය වී හෝ ලබා ගන්නා බවත් පුද්ගලික ආයෝජන නොමැති බවත් ය.

මෙසේ පෞද්ගලික ආයෝජනයන්ට ඉඩ ලබා දෙන්නේ කුමන පදනමකින් ද? සමාගම් 4 කට කැඩීම තුලින් පුද්ගලික ආයෝජනයන්ට ඉඩ පත්වන්නේ කුමන පදනමකින් ද යන්න සම්බන්ධයෙන් තවමත් රජය නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.

Add to cart