හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ඇප මත මුදා හරී

 

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (අගෝස්තු 26) නියෝග කළේය.

කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි. ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියම කර තිබේ.

මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයාගේ හෘදයේ ප්‍රධාන ධමනි හතරෙන් තුනක් අවහිර වී ඇති බවයි.

රනිල් Zoom ඔස්සේ අධිකරණයට

 

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර, මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, Zoom තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතු සඳහා සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් අධිකරණයට සෘජුව පැමිණීමට නොහැකි වීම නිසා මෙම ක්‍රමය භාවිතා කිරීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

රනිල්ට ඇප නැතිවෙයි?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇප ලබා දීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධ බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් ප්‍රකාශ කරයි.

හිටපු ජනාධිපතිවරයාට එරෙහි නඩු විභාගය මේ වන විට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තුළ විභාග වෙමින් පවතී.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ දිලීප පීරිස්; රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද ආරාධනා පත්‍රය නිත්‍යානුකූල එකක් බව කිසිම ආයතනයකින් මෙතෙක් තහවුරු කොට නොමැති බව අධිකරණය වෙත කරුණු දක්වා තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතා කරුණු දැක්වීම ආරම්භ කර තිබේ.

ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රිමාන්ඩ්

 

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන අගෝස්තු 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ විත්ති පාර්ශවයේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ, අරගලකරුවන් විසින් මහවැලි ඉඩමක ඉදිකර තිබූ ඔහුගේ දේශපාලන කාර්යාලය විනාශ කිරීමෙන් පසු නීතියට පටහැනිව රුපියල් 8,850,000ක වන්දි මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙනි. අල්ලස් කොමිසම විසින් ඔහුට එරෙහිව දූෂණ විරෝධී පනත යටතේ “දූෂණය” නම් වරද සිදු කළ බවට චෝදනා ගොනු කර ඇත.

සජිත්,මෛත්‍රි රනිල් බලන්න ජාතික රෝහලට එයි

 

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීම සඳහා අද (අගෝස්තු 26) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ප්‍රමුඛ දේශපාලනඥයින් පිරිසක් පැමිණ තිබේ.

අද උදෑසන මෙම දේශපාලන නායකයින් දෙදෙනා රෝහල වෙත පැමිණි අතර, කබීර් හෂීම් සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැනි තවත් ප්‍රසිද්ධ පුද්ගලයන් ද හිටපු ජනාධිපතිවරයා බැලීමට පැමිණි බව වාර්තා වේ.

රනිල් වෙනුවෙන් එජාපය සීරුවෙන්

 

අත්අඩංගුවේ සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්මන් තත්ත්වය සහ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් පිරිසක් අද (අගෝස්තු 26) අස්ගිරි මහා විහාරයේ දී අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.

මෙම හමුවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සහ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ. ඔවුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ වත්මන් තත්ත්වය පිළිබඳව මෙන්ම රටේ පවතින දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳව ද මහ නාහිමියන් සමඟ සාකච්ඡා කර තිබේ.

අවසානයේදී, හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වීම සඳහා උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීම ද මෙහිදී සිදු විය.

සංවිධානාත්මක අපරාධ මැඩලීමට හමුදාව යොදවයි

 

සංවිධානාත්මක අපරාධ ක්‍රියා වැඩි වශයෙන් වාර්තා වන දකුණු සහ බස්නාහිර පළාත්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අද (අගෝස්තු 26) සිට හමුදා සාමාජිකයින් අනුයුක්ත කිරීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

මෙම ක්‍රියාමාර්ගය මඟින් පොලිසියට අමතරව හමුදාවේ සහාය ලබා ගනිමින් අපරාධ මැඩලීමට සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.

දිලීප පීරිස්ට STF ආරක්ෂාව

 

ඩුබායි සිට ක්‍රියාත්මක වන පාතාල කල්ලියකින් එල්ල වී ඇති ජීවිත තර්ජන හේතුවෙන්, නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු වන අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතාට පොලිස් විශේෂ කාර්ය බළකා (STF) ආරක්ෂාව ලබා දීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.

ඉතා ඉහළ වැදගත්කමකින් යුත් ආන්දෝලනාත්මක නඩු කිහිපයක් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පෙනී සිටින නීතිඥවරයෙකු ලෙස දිලීප පීරිස් මහතා ප්‍රසිද්ධය. ඔහුගේ ජීවිතයට හානි කිරීමට පාතාල කල්ලියක් විසින් සැලසුම් කරමින් සිටින බවට බුද්ධි වාර්තාවක් පසුගිය සෙනසුරාදා දින පොලිස්පතිවරයා වෙත ලැබී ඇත. ඒ අනුව, වහාම ක්‍රියාත්මක වූ පොලිස්පතිවරයා විසින් ඔහුට STF භටයන්ගෙන් සමන්විත ආරක්ෂාවක් සපයා ඇත.

රනිල් තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ

 

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එහි රැඳී සිටිය යුතු බවට වෛද්‍ය නිර්දේශ ලැබී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පවසයි.

මෙම වෛද්‍ය තත්ත්වය හේතුවෙන්, අද (අගෝස්තු 26) දින ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නොහැකි වනු ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Add to cart