බාලි දූපත් බලා ගිය ගුවන් ගමනේ ගින්නක්

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට බාලි දූපත් වෙත පියාසර කරමින් තිබූ එයාර් ඒෂියා ගුවන් සමාගමට අයත් යානයක ගින්නක් හටගෙන තිබේ.

එම ගුවන් යානයේ එන්ජිමෙන් ගිනි දැල් හටගැනීමෙන් පසු යානය යළි පර්ත් ගුවන් තොටුපළ වෙත ගොඩබැස්සවීමටයි ගුවන් නියමුවන් කටයුතු කර ඇත.

මේ හේතුවෙන් ගුවන් යානයේ විදුලි පහන් සම්පූර්ණයෙන්ම නිවී ගොස් ඇති අතර කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

ඩයනා ගමගේට ඇප

 

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම ඇතුළු චෝදනා මත අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය රුපියල් මිලියන 10ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අද (අගෝස්තු 25) දින ඇය සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු මෙම නියෝගය ලබා දී ඇත.

ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනු කර තිබූ නඩු 07ක් පසුගිය දිනවල කැඳවූ අවස්ථාවේදී ඇය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කර තිබුණි. චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර කටයුතු ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.

මම රජයෙන් ඉවත් වන්නේ නැහැ හනීෆ් යූසුෆ් කියයි

 

තමා රජයෙන් ඉවත්වන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ අසත්‍ය බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා පවසයි.

අද (අගෝස්තු 25) දින සිය ‘X’ (කලින් ට්විටර්) ගිණුමේ පණිවිඩයක් තබමින් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා තමන්ගේ කැපවීම ස්ථිර බවයි.

ඔහු තවදුරටත් කියා සිටියේ, කිසිදු පැකිලීමකින් තොරව රට නැවත ගොඩනැඟීමේ මෙහෙවරට පූර්ණ වශයෙන් කැපවී සිටින බවයි.

ඉරාකයේ අමෙරිකානු හමුදා කඳවුරු පිටමන් කිරීමට සූදානමක්

ඉරාකයේ සිටින සිය හමුදා වහාම ඉවත් කරගැනීම සඳහා අමෙරිකාව සිය කටයුතු කඩිනම් කර ඇතැයි අරාබි මාධ්‍ය වාර්තා පවසයි.

එම වාර්තා පෙන්වාදෙන්නේ මෙහි පියවරක් ලෙස අයින් අල් අසාද් සහ වික්ටෝරියා හමුදා කඳවුරු වහාම ඉවත් කරගැනීමට අමෙරිකාව ක්ෂණික තීරණයක් ගෙන ඇති බවයි.

මේ අනුව අමෙරිකානු හමුදා සිය සාමාජිකයන් ඉරාකයේ අර්බිල් සහ අසල්වැසි අරාබි රටවල් වෙත යැවීම ආරම්භ කර ඇති බව අදාළ මාධ්‍ය වාර්තා කර තිබෙන අතර, “අමෙරිකානුවන් සිය ඉරාක සගයන්ට දන්වා තිබෙන්නේ තම සාමාජිකයන් ඉවත් කරගැනීමේ කටයුතු කඩිනම් කර ඇති බව” යැයි ප්‍රකාශයකු උපුටා දක්වමින් අදාළ මාධ්‍ය අනාවරණය කර ඇත.

කෙසේවෙතත් මෙම තීරණය දෙරටේ ගිවිසුම්වලට අනුකූල නොවන අතර, 2024 සැප්තැම්බර් මාසයේදී අමෙරිකාව නිවේදනය කළේ ඉරාකයේ සිය ජාත්‍යන්තර මෙහෙයුම් අවසන් කරන බවත් සිය හමුදා ඉවත් කරගන්නා බවත්ය.

කැරම් බෝඩ් නඩුවේ ඇප කල් යයි

 

කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වී සිර දඬුවම් නියම වූ හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු මහත්වරුන් විසින් ගොනු කර ඇති ඇප ඉල්ලීම් පෙත්සම් සැප්තැම්බර් මස 23 වැනි දිනට කල් තබා ඇත.

මෙම පෙත්සම් අද (අගෝස්තු 25) දින කොළඹ ත්‍රිපුද්ගල ස්ථීර මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ කැඳවන ලදී. එහිදී, අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, මෙම පෙත්සම්වලට අදාළ නොතීසි තමන්ට තවමත් ලැබී නොමැති බවයි.

මෙම කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල විසින්, පෙත්සම්වලට අදාළව කරුණු ඉදිරිපත් කරන ලෙස දන්වා අල්ලස් කොමිසම වෙත නොතීසි නිකුත් කිරීමට නියෝග කර ඇත. ඒ අනුව, මෙම ඇප ඉල්ලීම් පිළිබඳ වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා නඩුව සැප්තැම්බර් 23 වැනි දින යළි කැඳවීමට නියම කරන ලදී.

සිර දඬුවම් නියම වූ හිටපු අමාත්‍යවරුන් දෙදෙනා, එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කර ඇති බැවින්, එම අවසන් තීන්දුව ලැබෙන තුරු තමන්ව ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර තිබේ.

කිව්ව බොරුව හරිගස්සන්න . හරිනි රෙනෝට ලියලා

 

හිරු මාධ්‍ය ජාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද සාවද්‍ය ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනය හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා වෙත සහ අනෙකුත් සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමු කර ඇත.

අගෝස්තු 25, 2025 දින හිරු ප්‍රවෘත්ති නිල වෙබ් අඩවියේ, ෆේස්බුක් පිටුවේ සහ අනෙකුත් මාධ්‍ය නාලිකාවල පළ කර තිබූ “අගමැතිනි හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත් !” යන සිරස්තලයෙන් යුත් ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය අවධාරණය කරයි.

මෙවැනි අසත්‍ය හා මාධ්‍ය සදාචාරයට පටහැනි ප්‍රවෘත්ති පළ කිරීම සම්බන්ධයෙන් කණගාටුව පළ කර ඇති අග්‍රාමාත්‍ය කාර්යාලය, අදාළ ප්‍රවෘත්තිය වහාම නිවැරදි කරන ලෙස රෙනෝ සිල්වා මහතාගෙන් ඉල්ලා සිටී.

 

රංජිත් හා ශාන්තිගේ ඇප කල් යයි

දූෂණ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී බරපතළ වැඩ සහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම වී සිටින උතුරුමැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සහ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රසේන යන අය විසින් ගොනුකර තිබෙන අභියාචනයට යටත්ව තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ඇප ඇයැදුම්පත සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 9 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම ඇප ඉල්ලීම අද (25) කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙහිදී විත්තියේ නීතිඥවරු විසින් වගඋත්තරකාර අල්ලස් කොමිසම වෙත ලේඛන කිහිපයක් විවෘත අධිකරණයේ භාර දී ඇත.

ඉන් අනතුරුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 09 වනදා කැදවීමට දින නියම කර තිබේ.

2012 වසරේ සැප්තැම්බර් මස 27 වනදා සහ 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා අතර කාලසීමාව තුළ එස්.එම්.රංජිත් මහතා උතුරුමැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කල විත්තිකාර ශාන්ති චන්ද්‍රසේන යන අයට වැටුප සමග ඉන්ධන දීමනාවක් ලබා දී තිබියදී නීති විරෝධී ලෙස ඉන්ධන ඇනවුම්පත් මගින් රුපියල් ලක්ෂය 26කට අධික මුදලක් ඉන්ධන සඳහා ලබා දීම සහ එසේ ලබා දීමට රජයේ නිලධාරින් පෙළඹවීමෙන් ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 6ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

එම චෝදනාවලට වරදකරු කළ විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර 16 බැගින් සිර දඬුවම් සහ දඩ නියම කළේය.

එම දඬුවමට එරෙහිව විත්තිකරුවන් විසින් අභියාචනාධිකරණය වෙත අභියාචනා පෙත්සම් ඉදිරිපත් කර ඇති නිසා එම අභියාචනයට යටත්ව විත්තිකරුවන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා මෙම ඇප ඇයැදුම් පත ගොනු කර තිබේ.

ජෙරී ඇඩ්ලර් දිවිගමනට සමු දෙයි

ද සොප්‍රානෝස් චිත්‍රපටයේ හර්මන් හෙෂ් රබ්කින් ලෙස රඟපෑමෙන් වඩාත් ප්‍රසිද්ධියට පත් වූ ප්‍රවීණ නළු ජෙරී ඇඩ්ලර් ජීවිතක්ෂයට පත් වී තිබෙයි.

ඔහු මියයන විට වයස අවුරුදු 96කි.

කොළඹදී පැහැරගත් චීන ව්‍යාපාරිකයාගෙන් ඩොලර් 60,000ක් කොල්ල කාලා

 

කොළඹදී චීන ජාතිකයින් පිරිසක් විසින් චීන ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් USDT ක්‍රමයට ඇමෙරිකානු ඩොලර් 60,000ක් (රුපියල් මිලියන 180කට ආසන්න) කොල්ල කෑ බවට කොල්ලුපිටිය පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

කොල්ලුපිටියේ ආර්.ඒ. ද මෙල් මාවතේ වෙළෙඳසැලක් පවත්වාගෙන යන හුවා හුයි නැමැති ව්‍යාපාරිකයා පසුගිය සිකුරාදා (අගෝස්තු 22) රාත්‍රී 9.00ට පමණ මෝටර් රථයකින් පැහැරගෙන ගොස් තිබේ. පොලීසියට ලබා දී ඇති කටඋත්තරයට අනුව, ඔහු දිනක් පමණ ගොඩනැගිල්ලක රඳවා තබාගෙන ඇති අතර, පසුව සැකකරුවන් විසින් ඔහුව පාර අයිනේ දමා ගොස් තිබේ.

කොල්ලකරුවන් විසින් ව්‍යාපාරිකයාගේ මුදල් පද්ධතිය හරහා ඩොලර් 60,000ක් කොල්ල කා ඇති බවට චෝදනා එල්ල වේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා විසින් ඊයේ සවස පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු විමර්ශන ආරම්භ කර ඇත. තුවාල ලැබූ ව්‍යාපාරිකයා දැනට නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී

කොළඹ DIG CID අත්අඩංගුවට

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ශ්‍රාවස්තිපුර තිබිරිකඩවල ප්‍රදේශයේ නිදන් හැරීමේ සිදුවීමක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින ඔහුගේ බිරිඳ සම්බන්ධව සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහාය.

ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරියක ඇතුළු 8 දෙනෙකු අනුරාධපුර පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබණි.

ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ රත්‍රං දේවාලය අසල පිහිටි ඉඩමක පිරිසක් නිධන් හාරන බවට අනුරාධපුර පොලීසියට පසුගිය 13 වැනිදා ලැබී තිබූ තොරතුරක් අනුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි

Add to cart