කැරම් බෝඩ් නඩුවේ ඇප කල් යයි

 

කැරම් බෝඩ් සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වී සිර දඬුවම් නියම වූ හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු මහත්වරුන් විසින් ගොනු කර ඇති ඇප ඉල්ලීම් පෙත්සම් සැප්තැම්බර් මස 23 වැනි දිනට කල් තබා ඇත.

මෙම පෙත්සම් අද (අගෝස්තු 25) දින කොළඹ ත්‍රිපුද්ගල ස්ථීර මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ කැඳවන ලදී. එහිදී, අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, මෙම පෙත්සම්වලට අදාළ නොතීසි තමන්ට තවමත් ලැබී නොමැති බවයි.

මෙම කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල විසින්, පෙත්සම්වලට අදාළව කරුණු ඉදිරිපත් කරන ලෙස දන්වා අල්ලස් කොමිසම වෙත නොතීසි නිකුත් කිරීමට නියෝග කර ඇත. ඒ අනුව, මෙම ඇප ඉල්ලීම් පිළිබඳ වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා නඩුව සැප්තැම්බර් 23 වැනි දින යළි කැඳවීමට නියම කරන ලදී.

සිර දඬුවම් නියම වූ හිටපු අමාත්‍යවරුන් දෙදෙනා, එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කර ඇති බැවින්, එම අවසන් තීන්දුව ලැබෙන තුරු තමන්ව ඇප මත නිදහස් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර තිබේ.

කිව්ව බොරුව හරිගස්සන්න . හරිනි රෙනෝට ලියලා

 

හිරු මාධ්‍ය ජාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද සාවද්‍ය ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනය හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා වෙත සහ අනෙකුත් සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමු කර ඇත.

අගෝස්තු 25, 2025 දින හිරු ප්‍රවෘත්ති නිල වෙබ් අඩවියේ, ෆේස්බුක් පිටුවේ සහ අනෙකුත් මාධ්‍ය නාලිකාවල පළ කර තිබූ “අගමැතිනි හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත් !” යන සිරස්තලයෙන් යුත් ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය අවධාරණය කරයි.

මෙවැනි අසත්‍ය හා මාධ්‍ය සදාචාරයට පටහැනි ප්‍රවෘත්ති පළ කිරීම සම්බන්ධයෙන් කණගාටුව පළ කර ඇති අග්‍රාමාත්‍ය කාර්යාලය, අදාළ ප්‍රවෘත්තිය වහාම නිවැරදි කරන ලෙස රෙනෝ සිල්වා මහතාගෙන් ඉල්ලා සිටී.

 

රංජිත් හා ශාන්තිගේ ඇප කල් යයි

දූෂණ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී බරපතළ වැඩ සහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම වී සිටින උතුරුමැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සහ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රසේන යන අය විසින් ගොනුකර තිබෙන අභියාචනයට යටත්ව තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ඇප ඇයැදුම්පත සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 9 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම ඇප ඉල්ලීම අද (25) කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙහිදී විත්තියේ නීතිඥවරු විසින් වගඋත්තරකාර අල්ලස් කොමිසම වෙත ලේඛන කිහිපයක් විවෘත අධිකරණයේ භාර දී ඇත.

ඉන් අනතුරුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 09 වනදා කැදවීමට දින නියම කර තිබේ.

2012 වසරේ සැප්තැම්බර් මස 27 වනදා සහ 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා අතර කාලසීමාව තුළ එස්.එම්.රංජිත් මහතා උතුරුමැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කල විත්තිකාර ශාන්ති චන්ද්‍රසේන යන අයට වැටුප සමග ඉන්ධන දීමනාවක් ලබා දී තිබියදී නීති විරෝධී ලෙස ඉන්ධන ඇනවුම්පත් මගින් රුපියල් ලක්ෂය 26කට අධික මුදලක් ඉන්ධන සඳහා ලබා දීම සහ එසේ ලබා දීමට රජයේ නිලධාරින් පෙළඹවීමෙන් ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 6ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

එම චෝදනාවලට වරදකරු කළ විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර 16 බැගින් සිර දඬුවම් සහ දඩ නියම කළේය.

එම දඬුවමට එරෙහිව විත්තිකරුවන් විසින් අභියාචනාධිකරණය වෙත අභියාචනා පෙත්සම් ඉදිරිපත් කර ඇති නිසා එම අභියාචනයට යටත්ව විත්තිකරුවන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා මෙම ඇප ඇයැදුම් පත ගොනු කර තිබේ.

ජෙරී ඇඩ්ලර් දිවිගමනට සමු දෙයි

ද සොප්‍රානෝස් චිත්‍රපටයේ හර්මන් හෙෂ් රබ්කින් ලෙස රඟපෑමෙන් වඩාත් ප්‍රසිද්ධියට පත් වූ ප්‍රවීණ නළු ජෙරී ඇඩ්ලර් ජීවිතක්ෂයට පත් වී තිබෙයි.

ඔහු මියයන විට වයස අවුරුදු 96කි.

කොළඹදී පැහැරගත් චීන ව්‍යාපාරිකයාගෙන් ඩොලර් 60,000ක් කොල්ල කාලා

 

කොළඹදී චීන ජාතිකයින් පිරිසක් විසින් චීන ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් USDT ක්‍රමයට ඇමෙරිකානු ඩොලර් 60,000ක් (රුපියල් මිලියන 180කට ආසන්න) කොල්ල කෑ බවට කොල්ලුපිටිය පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

කොල්ලුපිටියේ ආර්.ඒ. ද මෙල් මාවතේ වෙළෙඳසැලක් පවත්වාගෙන යන හුවා හුයි නැමැති ව්‍යාපාරිකයා පසුගිය සිකුරාදා (අගෝස්තු 22) රාත්‍රී 9.00ට පමණ මෝටර් රථයකින් පැහැරගෙන ගොස් තිබේ. පොලීසියට ලබා දී ඇති කටඋත්තරයට අනුව, ඔහු දිනක් පමණ ගොඩනැගිල්ලක රඳවා තබාගෙන ඇති අතර, පසුව සැකකරුවන් විසින් ඔහුව පාර අයිනේ දමා ගොස් තිබේ.

කොල්ලකරුවන් විසින් ව්‍යාපාරිකයාගේ මුදල් පද්ධතිය හරහා ඩොලර් 60,000ක් කොල්ල කා ඇති බවට චෝදනා එල්ල වේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා විසින් ඊයේ සවස පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසු විමර්ශන ආරම්භ කර ඇත. තුවාල ලැබූ ව්‍යාපාරිකයා දැනට නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී

කොළඹ DIG CID අත්අඩංගුවට

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ශ්‍රාවස්තිපුර තිබිරිකඩවල ප්‍රදේශයේ නිදන් හැරීමේ සිදුවීමක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින ඔහුගේ බිරිඳ සම්බන්ධව සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහාය.

ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරියක ඇතුළු 8 දෙනෙකු අනුරාධපුර පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබණි.

ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ රත්‍රං දේවාලය අසල පිහිටි ඉඩමක පිරිසක් නිධන් හාරන බවට අනුරාධපුර පොලීසියට පසුගිය 13 වැනිදා ලැබී තිබූ තොරතුරක් අනුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි

මුහුදේ ගිලීමෙන් සිසුන් දෙදෙනෙක් අතුරුදහන්

 

පයාගල වෙරළ තීරයේ මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදහන් වී ඇති බවට පයාගල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

අතුරුදහන් වූ සිසුන් දෙදෙනා වයස අවුරුදු 15ක වියේ පසුවන අතර, ඔවුන් ගල්පාත සහ පානදුර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

පොලිසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම සිසුන් දෙදෙනා තම දෙමාපියන්ට උපකාරක පන්ති යන බව පවසා මුහුදේ දිය නෑමට ගොස් ඇති බවයි. මේ වන විට ඔවුන් සොයා පයාගල පොලීසිය මෙහෙයුම් දියත් කර තිබේ.

ස්පාඤ්ඤයම හොට් වෙයි

ස්පාඤ්ඤය වාර්තාගත ඉහලම උෂ්ණත්වයක් අත්විඳිමින් පවතින බව එරට රාජ්‍ය කාලගුණ විද්‍යා ඒජන්සිය (AEMET) නිවේදනය කර තිබේ.

අගෝස්තු 8-17 දක්වා දින 10 ක කාලයක් තුළ මරණ 1,100 ක් පමණ උෂ්ණත්වය හේතුවෙන් වාර්තා වී ඇති අතර AEMET සඳහන් කර තිබුණේ, උෂ්ණත්වය සෙල්සියස් අංශක 43 (ෆැරන්හයිට් අංශක 109) දක්වා ළඟා වූ නවතම තාප තරංගය, දේශගුණික අර්බුදයේ බරපතල කම අවදාරණය කරන බවයි.

මේවන විට රටේ උතුරු හා බටහිර ප්‍රදේශවල ඇතිව ඇති මාරාන්තික ලැව්ගිනි මැඩපැවැත්වීම වෙනුවෙන් ගිනි නිවන භටයින්ට උපකාර කිරීම සඳහා භටයින් 3,400 ක් සහ ගුවන් යානා 50 ක් යොදවා ඇති අතර චෙක් ජනරජය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය සහ ස්ලෝවැකියාව ද ගිනි නිවන භටයින්, වාහන සහ ගුවන් යානා සිය ගණනක් ස්පාඤ්ඤ වෙත යවා ඇත.

විද්‍යාඥයින් පවසන්නේ දේශගුණික අර්බුදය ලොව පුරා දීර්ඝ, වඩාත් තීව්‍ර සහ නිතර තාප තරංග ඇති කරන බවයි.

බොරලැස්ගමු වෙඩි තැබීමට තිදෙනෙක් අත්අඩංගුවට

 

බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සංගීත ප්‍රසංගයක් අවසන් වී පාගමනින් යමින් සිටි පිරිසකට ඊයේ (අගෝස්තු 24) අලුයම ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර ඇත. එහිදී 21 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී, පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරක් මත අපරාධයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19 සහ 20 වයස්වල පසුවන, දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇත.

කොල්ලුපිටියේදී චීන්නු චීනෙක් පැහැර ගනී

චීන ජාතික ව්‍යාපාරියකු, චීන ජාතිකයන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් බරපතල ලෙස පහරදී ඊයේ (23) දවල් දොළහට පමණ මාර්ගයකට ගෙනවිත් දමා ගොස් ඇතැයි කොල්ලුපිටිය පොලිසියෙන් වාර්තා වේ.

මේ වන විට අදාළ චීන ජාතිකයා ආසිරි ශල්‍ය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

ඉකුත් 22 වැනිදා රාත්‍රියේ 7ත් 8ත් අතර කාලයේදී ඔහුට අයත් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳ සැලකට ඇතුළුව අදාළ පිරිස මේ ව්‍යාපාරිකයා පැහැරගෙන ගොස් තිබේ.

ව්‍යාපාරිකයා පැහැරගත් චීන ඡාතිකයන් පිරිස වෑන් රථ දෙකකින් පැමිණ මෙම පැහැර ගැනීම සිදු කළ බව චීන ජාතික ව්‍යාපාරිකයා පොලිසියට පවසා ඇත.

එසේ වෑන් රථයකට දමාගත් චීන ජාතිකයාගේ දෑස් බැඳ පැයකට ආසන්න දුරක් ගමන්කර කිසියම් ස්ථානයකට ගෙනගොස් ඔහුට දරුණ ලෙස පහරදී ඇත.

පහරදී ඔහුගෙන් රුපියල් කෝටියකට අධික මුදලක් පැහැරගත් කල්ලියේ අයකුගේ ගිනුමකට ජංගම යෙදවුමක් හරහා බැරකරගෙන ඇති බවද වාර්තා වේ.

පැහැර ගත් කණ්ඩායම සොයා කොල්ලුපිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

Add to cart