බොරලැස්ගමු වෙඩි තැබීමට තිදෙනෙක් අත්අඩංගුවට

 

බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සංගීත ප්‍රසංගයක් අවසන් වී පාගමනින් යමින් සිටි පිරිසකට ඊයේ (අගෝස්තු 24) අලුයම ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර ඇත. එහිදී 21 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී, පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරක් මත අපරාධයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19 සහ 20 වයස්වල පසුවන, දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇත.

කොල්ලුපිටියේදී චීන්නු චීනෙක් පැහැර ගනී

චීන ජාතික ව්‍යාපාරියකු, චීන ජාතිකයන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් බරපතල ලෙස පහරදී ඊයේ (23) දවල් දොළහට පමණ මාර්ගයකට ගෙනවිත් දමා ගොස් ඇතැයි කොල්ලුපිටිය පොලිසියෙන් වාර්තා වේ.

මේ වන විට අදාළ චීන ජාතිකයා ආසිරි ශල්‍ය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

ඉකුත් 22 වැනිදා රාත්‍රියේ 7ත් 8ත් අතර කාලයේදී ඔහුට අයත් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳ සැලකට ඇතුළුව අදාළ පිරිස මේ ව්‍යාපාරිකයා පැහැරගෙන ගොස් තිබේ.

ව්‍යාපාරිකයා පැහැරගත් චීන ඡාතිකයන් පිරිස වෑන් රථ දෙකකින් පැමිණ මෙම පැහැර ගැනීම සිදු කළ බව චීන ජාතික ව්‍යාපාරිකයා පොලිසියට පවසා ඇත.

එසේ වෑන් රථයකට දමාගත් චීන ජාතිකයාගේ දෑස් බැඳ පැයකට ආසන්න දුරක් ගමන්කර කිසියම් ස්ථානයකට ගෙනගොස් ඔහුට දරුණ ලෙස පහරදී ඇත.

පහරදී ඔහුගෙන් රුපියල් කෝටියකට අධික මුදලක් පැහැරගත් කල්ලියේ අයකුගේ ගිනුමකට ජංගම යෙදවුමක් හරහා බැරකරගෙන ඇති බවද වාර්තා වේ.

පැහැර ගත් කණ්ඩායම සොයා කොල්ලුපිටිය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

විදෙස් රැකියා වංචාවකට සැකකරුවෙක් අත්අඩංගුවට

 

විදෙස් රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටි 15කට අධික මුදලක් වංචා කළ බවට චෝදනා ලැබූ සැකකරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයා කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙකි.

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (අගෝස්තු 24) උදෑසන පුවරසංකුලම පොලිස් වසමේ තාරේකුලම් ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට භාර දී තිබේ.

මෙම සැකකරු කොරියාවේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වී පුද්ගලයන් 150 දෙනෙකුගෙන් පමණ රුපියල් කෝටි 15කට වැඩි මුදලක් වංචා කර ඇති බවට චෝදනා එල්ල වී ඇත. වංචනික ක්‍රියාවන්, සාවද්‍ය පරිහරණය සහ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සතුව තිබී ජීප් රථයක්, ඉඩමකට අදාළ ඇටෝර්නි බලපත්‍රයක් සහ ජංගම දුරකථන දෙකක්ද පොලිසිය භාරයට ගෙන ඇත.

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මාලිමාවේ කැබිනට් ඇමතිට අල්ලස් කොමිසමෙන් වැට

දූෂණ චෝදනා මත බලශක්ති ඇමැති කුමාර ජයකොඩිට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවැරීම සඳහා අධිචෝදනා පත්‍ර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සකස් කරමින් පවතින බව එම කොමිසමේ ආරංචිමාර්ග සඳහන් කරයි.

මීට වසර 10කට පමණ ඉහතදී එනම් 2015 වසරේදී පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී ටෙන්ඩරයක් සඳහා රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධ‍යන් බලශක්ති ඇමැති කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම මෙලෙස නඩු පැවැරීමට නියමිතය.

රුපියල් ලක්ෂ 80ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඇමැතිවරයාට සහ තවත් විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව අල්ලස් කොමිසමේ නීති අංශය විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව පැවැරීමට නියමිතය.

ඇමැති කුමාර ජයකොඩි ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකරු ලෙස 2005 වසරේදී පත්වීම් ලැබ ඇත්තේ එම වසරේදී ජනාධිපති අනුර කුමාර දිසානායක, කෘෂිකර්ම අමාත්‍යධුරයේ කටයුතු කරන සමයේදීය.

2005 වසරේ සිට 2015 වසර දක්වා කුමාර ජයකොඩි ඇමැතිවරයා ලංකා පොහොර සමාගමේ කටයුතු කර තිබෙන බව අල්ලස් කොමිසම සඳහන් කරයි.

අදාළ දූෂණ චෝදනාව එල්ල වන ටෙන්ඩර් ප්‍රදානය කළ ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස වත්මන් බලශක්ති ඇමැති කුමාර ජයකොඩි කටයුතු කර තිබෙන බවද අල්ලස් කොමිසමේ නීති නිලධාරියකු සඳහන් කළේය.

කොළඹ-ගාල්ල ප්‍රධාන මාර්ගයේ වාහන ගමනය සීමා කෙරේ

 

ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහැර හේතුවෙන්, කොළඹ-ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දෙයි. මෙම මාර්ග සීමා කිරීම අද (අගෝස්තු 24) සිට අගෝස්තු 26 දක්වා ක්‍රියාත්මක වේ.

අද (අගෝස්තු 24) දින පෙරහැර දහවල් 1.00 සිට රාත්‍රී 10.00 දක්වා පැවැත්වේ. අගෝස්තු 25 සහ 26 යන දිනවලදී මහ පෙරහැර රාත්‍රී 7.00 සිට අලුයම 2.00 දක්වා පැවැත්වීමට නියමිතය. මෙම කාලසීමාවන්හිදී හික්කඩුව හන්දියේ සිට කහව හන්දිය දක්වා කොළඹ-ගාල්ල ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සීමා කෙරෙනු ඇත.

පොලිසිය විසින් රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස ඉල්ලා සිටී. කොළඹ සිට ගාල්ල දෙසට යන වාහන සඳහා, කහව හන්දියෙන් වමට හැරී මීටියාගොඩ, කිරළගහවෙල, සහ අලුත්වල හරහා ගොස් කුමාරකන්ද හන්දියෙන් හෝ හික්කඩුව නගරයෙන් නැවත ප්‍රධාන මාර්ගයට පිවිසිය හැක. ගාල්ල සිට කොළඹ දෙසට යන වාහන සඳහා, හික්කඩුව නගරයෙන් හැරී ගෝනපීනුවල, දුවත්ත, අම්පේගම, සහ බටපොල හරහා අම්බලන්ගොඩ රොසෙත් හන්දියෙන් ප්‍රධාන මාර්ගයට පිවිසිය හැක. මෙමඟින් ගමනාගමන අපහසුතා අවම කර ගැනීමට උපකාරී වනු ඇත.

තැපැල් වෘත්තීය සමිති වැඩ වර්ජනය අවසන් කරයි

 

අඛණ්ඩව දින 6ක් පුරා පැවති තැපැල් වැඩ වර්ජනය, විෂයභාර අමාත්‍ය නලින්ද ජයතිස්ස සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව අද (24) පස්වරු 4.00 සිට අවසන් කිරීමට තැපැල් සේවකයෝ එකඟ වූහ. අමාත්‍යවරයා මේ බව මාධ්‍යයට ප්‍රකාශ කළේය.

සාකච්ඡාවේදී, වෘත්තීය සමිති ඉදිරිපත් කළ ප්‍රධාන ඉල්ලීම් දෙකක් සම්බන්ධයෙන් රජය සාකච්ඡා කිරීමට සූදානම් නොමැති බව අමාත්‍යවරයා අවධාරණය කළ අතර, ඉතිරි ඉල්ලීම් 17 සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එකඟතාව පළ කළේය.

“වැඩ වර්ජනය කළ සියලුම තැපැල් සේවකයින් දින 6ක් පුරා සිදුවූ පාඩුව පියවීමට සහ ගොඩගැසී ඇති ලිපි හා පාර්සල් කඩිනමින් බෙදා හැරීමට කටයුතු කරනු ඇතැයි” තමා බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගල් අඟුරු ටෙන්ඩරය ඉදිරියට ගෙනයනවා බලශක්ති අමාත්‍යාංශය කියයි

 

මතභේදයට තුඩු දී ඇති නොරොච්චෝල ගල් අඟුරු ටෙන්ඩරය අවලංගු නොකරන බව බලශක්ති අමාත්‍යාංශය ඊයේ (23) නිවේදනය කළා. අමාත්‍යාංශය පැවසුවේ මෙම ටෙන්ඩරය සැලසුම් කළ පරිදිම ඉදිරියට ගෙන යන බවයි.

මෙම මතභේදය පැන නැඟුණේ මෙට්‍රික් ටොන් මිලියන 2.25ක ගල් අඟුරු මිලදී ගැනීමට අදාළවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පසුගිය සතියේ චෝදනා කළේ, මෙම ටෙන්ඩරය මගින් නිශ්චිත සැපයුම්කරුවකුට අසාධාරණ වාසියක් ලබා දීමට කටයුතු කර ඇති බවයි.

චානක මහතා පෙන්වා දුන්නේ, ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව ටෙන්ඩර් අයදුම්පත් සඳහා සති හයක කාලයක් අවශ්‍ය වුවත්, මේ සඳහා ලබා දී ඇත්තේ සති තුනක කාලයක් පමණක් බවයි.

සාමාන්‍යයෙන් පෙබරවාරි-මාර්තු මාසවලදී ටෙන්ඩර් නිකුත් කළද, මෙවර අගෝස්තු මාසයේදී එය නිකුත් කිරීමේ ප්‍රමාදය නිසා නොවැම්බර් මාසයේදී ගල් අඟුරු නැව්ගත කිරීම ආරම්භ වීමට ඉඩ ඇති බවත්, එයින් ගල් අඟුරු හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවත් ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත්, මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් බලශක්ති අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා අවධාරණය කළේ, ක්‍රියාපටිපාටියේ කිසිදු අක්‍රමිකතාවක් නොමැති නිසා ටෙන්ඩරය අවලංගු කිරීමට කිසිදු හේතුවක් නොමැති බවයි.

2024/25 ටෙන්ඩරය අවස්ථා ගණනාවකදී දීර්ඝ කිරීමෙන් පසු පසුගිය වසරේ ජූලි 8 වනදා නිල වශයෙන් අවසන් කෙරුණු අතර, ජූලි මාසයේදී මෙම ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් ටෙන්ඩර් කමිටුවක් පත් කරන ලදී.

රනිල්ට එළියට එන්න දෙන්න එපා..! පෙරටුගාමීන් කියයි

 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව “නයාට ගහලා පොල්ල වරද්දා ගත්තොත් නයා ආයෙත් දෂ්ට කරනවා,රනිල්ට 26 එළියට එන්න දෙන්නෙපා” යනුවෙන් අද නිට්ටඹුවේදී ප්‍රකාශ කළේය.

පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා පෙන්වා දුන්නේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ ඇතැම් කොටස්වලින් පවා එල්ල වූ පීඩනය නොතකා, වික්‍රමසිංහට එරෙහිව පියවර ගැනීමට රජය ක්‍රියා කළ බවයි.

ඒ සම්බන්ධයෙන් රජයට ප්‍රශංසා කළ නාගමුව මහතා, වික්‍රමසිංහට එරෙහිව තවදුරටත් පියවර ගැනීමේදී තම පක්ෂය රජයට සහාය දෙන බව ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ රනිල්ගෙ අතීතය බටලන්ද වධකාගාරය වැනි චෝදනා සමඟ බැඳී ඇති බවත් ඔහු භයානක පුද්ගලයෙක් බවත්ය

පොලිසියේ 51 දෙනෙකුට උසස්වීම්

 

පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 51 දෙනෙකු, සහකාර පොලිස් අධිකාරී (ASP) ධුරය දක්වා උසස් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, තරග විභාගයකින් පසුව මෙම උසස්වීම් ලබා දුන් බවයි. එම උසස්වීම් 2025 මාර්තු 25 වන දා සිට බලපැවැත්වෙනවා.

මෙම පිරිසට උප පොලිස් පරීක්ෂක, පොලිස් පරීක්ෂක සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රේණිවල සේවය කළ නිලධාරීන් සහ නිලධාරිනියන් ඇතුළත්.

උසස්වීම් ලැබූ පිරිස අතර කාන්තා පොලිස් නිලධාරිනියන් තිදෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනෙකු ද සිටින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

රනිල් වෙනුවෙන් කුණු බඩු එකතුවෙලා

රනිල් වික්‍රමසිංහ දින 4කට රක්ෂිත බන්ධනාගාර ගතකිරීමේ සිද්ධියත් සමඟ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ, පරාජය කරන ලද විපක්ෂයේ කුණු කොටන් සියලු දෙනා එකතු වී සිටින අතර ඔවුන් තවදුරටත් ප්‍රතික්ෂේප කළ යුතු බව ජන අරගල ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජික වසන්ත මුදලිගේ මහතා පැවසුවේය.

බටලන්ද වාර්තාව, පාස්කු ප්‍රහාරය මෙන්ම මහ බැංකු කොල්ලය යන සිද්ධි හමුවේද රනිල් වික්‍රමසිංහට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන අතර ඒවාට අදාළවද ඔහුව අත්අඩංගුවට ගත යුතුව ඇති බවත් එය ඉටුවනතුරුද බලා සිටින බවත් ඔහු සඳහන් කළේය.

”රනිල් වික්‍රමසිංහ උසාවියට ඉදිරිපත් කරන වෙලාවේ විපක්ෂයේ බොහෝ අය ආවා. කුණු බඩු ටික ඔක්කොම එකතු වුණා. නාමල් රාජපක්ෂ රිලා නැටුම නැටුවා. සජිත් ප්‍රේමදාස ගහන්න ඕන බයිලා ඔක්කොම ගැහුවා රනිල් වික්‍රමසිංහට විරුද්ධව. මේ තමයි සාම්ප්‍රදායික විපක්ෂය. මේ තමයි ඔබ පරාද කරපු දේශපාලන කල්ලි. රනිල්ගේ නම තියෙනවා බටලන්ද වාර්තාවේ. රනිල් ගැන තියෙනවා පාස්කු වාර්තාවේ. ඒ වගේම රනිල් ගැන තියෙනවා මහ බැංකු කොල්ලයේ. මෙන්න මේ තුනට රනිල් නිශ්චිතවම අත්අඩංගුවට ගන්න ඕනේ. අපි බලන් ඉන්නවා ආණ්ඩුව මේක කරනකල්. රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගත්ත එකේ තව විශේෂත්වයක් තමයි රනිල් වික්‍රමසිංහ උසාවියට ඉදිරිපත් කරන වෙලාවේ විපක්ෂයේ බොහෝ අය ආවා. රනිල් එපා කියල පලු යනකල් බැනපු, රැස්වීම්වල කියපු, රනිල්ට විරුද්ධව ජිනීවා යනවා කියපු, ඒවගේම රනිල් මහ බැංකුව කැඩුවා, රනිල්ව හිරේ දානකම් නින්ද යන්නේ නෑ කියපු කුණු බඩු ටික ඔක්කොම එකතු වෙනවා. ඒ වගේම දැන් පෝලිමට යනවා රනිල් වික්‍රමසිංහව බලන්න බන්ධනාගාර රෝහලට. අපි ජනතාවට කියන්නේ මේ තමයි සම්ප්‍රදායික විපක්ෂය. මේ තමයි ඔබ පරද කරපු දේශපාලන කල්ලි. මේ තමයි ඔබ එපා කියල එළවලා දාපු පරාජිත දේශපාලන කල්ලි. එතකොට මේ අයගේ ප්‍රතිපත්තිවල වෙනසක් නැහැ. වැඩපිළිවෙල වෙනසක් නැහැ. ඔක්කොම එක පාරේ. දැන් ඔක්කොම එක වල්ලේ පොල් ටික, කුණු ටික එකට එකතුවෙලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ වැඩපිලිවෙලත් එක්කම ඔවුන් පරාද කරන්න ඕනේ කියන යෝජනාව අපි කරනවා. මේ කුණු කොටන් ටික පරාජය කරලම දාන්න. ප්‍රතික්ෂේප කරලම දාන්න.” යනුවෙන් වසන්ත මුදලිගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (23) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Add to cart