රජයේ වෛද්‍ය නිලධාරී සංගමය සඳුදා වැඩ වර්ජනයක

 

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) එළැඹෙන සඳුදා (අගෝස්තු 25) දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

අද (අගෝස්තු 23) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් GMOA සංගමය කියා සිටියේ, මෙම වැඩ වර්ජනය සඳුදා උදෑසන 8.00ට ආරම්භ කරන බවයි. වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලිය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා රජයේ රෝහල්වල සාමාන්‍ය සේවා කටයුතුවලට බාධා එල්ල වීමට ඉඩ ඇත. රජය සහ වෛද්‍ය සංගමය අතර සාකච්ඡා මේ වන විට ආරම්භ වී ඇත්දැයි යන්න පිළිබඳව තවමත් නිල වශයෙන් තහවුරු වී නොමැත.

සංචාරයේ සියලු ගෙවීම් අනුමත කළේ රනිල්ගේ ලේකම් ?

 

රනිල්ගෙ පුද්ගලික සංචාරයට අදාල සියළු ගෙවීම් සම්බන්ධව අනුමැතිය ලබාදී ඇත්තේ එකල සිටි ලේකම්තුමා වන සමන් ඒකනායක බවත් ඒ කරුණ පිළිබඳව විස්තරයන් තවමත් විමර්ශන මට්ටමේ පවතින බවත් අද දින පොලිස් මාධ්‍ය හමුවේදී නීති නියෝජ්‍ය පොලිස්පති විසින් අවධාරණය කරන ලදී.

රනිල්ගේ සංචාරයට වැයකළ මුදල ඇතුළේ ගුවන් ටිකට්පත් ගැන කිසිම කරුණක් නෑ!

 

මීට සුළු මොහොතකට පෙර පැවති පොලිස් මාධ්‍ය සාකච්ඡාවේ නීති නියෝජ්‍ය පොලිස්පති සදහන් කළේ රනිල්ගෙ පුද්ගලික සංචාරයට වියදම් කළ එක්කෝටි හැටදෙලක්ෂ හැත්තදාස් පන්සිය හැත්ත දෙකක මුදල තුළ සංචාරය සදහා වැයවූ ගුවන් ටිකට් වල මුදල පිළිබද කිසිදු සදහනක් සදහන්ව නොමැති බවයි.

තවද මේ දින දෙකක සංචාරයේ වැඩසටහන් විස්තරය තුළ රාජ්‍යතාන්ත්‍රික සබඳතා හමුවීම් කිසිදු කරුණක් සදහන්ව නැති බවත් ඒ නිසා මෙය පුද්ගලික සංචාරයක් සඳහා රජයේ මුදල් අවාභාවිතා වීමක් බවත් වීමර්ශනවලින් හෙළිව තිබේ.
මෙම මුදල් එකල ජනාධිපති ලේකම් කාර්යාලය හරහා විදේශ කටයුතු අමාත්‍යාංශයටත් ඒ හරහා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට ගෙවා ඇති බවත් හෙළිව තිබේ.

අදාළ මුදල පමනක් සම්පූර්ණයෙන් රනිල් ,එම මැතිණිය හා පුද්ගලික ලේකම්ගේ වියදම් සදහා වැයව ඇත.ලක්ෂ 32කට වැඩි මුදලක් වෙනම පොලිසිය හා නාවික හමුදා සදහා වැයව තිබේ.

රනිල් ජාතික රෝහලට

 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට බන්ධනාගාර බලධාරීන් තීරණය කොට ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්වය පිළිබදව වෛද්‍යවරුන් ලබාදුන් නිර්දේශ මත පදනම්ව මෙම තීරණය ගත්බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.

නව පොලිස්පති අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි

 

ශ්‍රී ලංකාවේ අභිනව පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඊයේ (22) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ අග්‍රාමාත්‍ය ලේකම් ජී.පී. සපුතන්ත්‍රි මහතා හමුවිය.

මෙම හමුවේදී අග්‍රාමාත්‍යතුමිය සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා, පොලිස්පතිවරයා වෙත සිය සුබ පැතුම් පිරිනැමූහ. මෙහිදී, අභිනව පොලිස්පතිවරයා අග්‍රාමාත්‍යතුමියට මෙම හමුව සිහිගන්වන සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

පොලිස්පතිවරයා ලෙස සිය නව ධුරය භාරගැනීමෙන් පසු ප්‍රියන්ත වීරසූරිය මහතා සිදු කළ ප්‍රථම නිල හමුවීම්වලින් එකක් ලෙස මෙය සැලකේ.

රනිල් බලන්න මහින්දත් එයි

 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රඳවා සිටින බන්ධනාගාර රෝහල වෙත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (23) පැමිණියේය. ඒ, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීම සඳහාය.

මීට පෙර, අද උදෑසන 9.30ට පමණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද හිටපු ජනාධිපතිවරයා බැලීම සඳහා මැගසින් බන්ධනාගාරය වෙත පැමිණ තිබුණි.

ජනාධිපති ධුරය දැරූ සමයේදී රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. පසුව, වෛද්‍ය උපදෙස් මත ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලදී.

ශ්‍රී ලංකා ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට පත් වූ පළමු අවස්ථාව මෙය වන බැවින්, මෙම සිදුවීම රට තුළ සහ දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබේ

ඊයේ දිනයට මරණ 6ක්

 

ඊයේ (අගෝස්තු 22) දිනය තුළ වාර්තා වූ මරණ හයක් සම්බන්ධයෙන් පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ. මෙම මරණ හයෙන් එකක් සැකකටයුතු ලෙස සිදුවූ ඝාතනයක් වන අතර, ඉතිරි මරණ පහ රිය අනතුරු සහ ස්වාභාවික හේතූන් මත සිදුවූ ඒවා බව පොලීසිය පවසයි.

මාන්කුලම් පොලිස් වසමේ, පාලප්පානි ප්‍රදේශයේ 70 හැවිරිදි කාන්තාවක් ඇයගේ නිවස තුළදී සැකකටයුතු ලෙස මියගොස් සිටියදී හමුවී ඇත. ඇයගේ ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල ඇති අතර, ඇය පැළඳ සිටි රන් ආභරණ අතුරුදහන් වී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෙය ඝාතනයක් බවට පොලීසිය සැක කරන අතර, මාන්කුලම් පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

කහටගස්දිගිලිය පොලිස් වසමේ, මැකිච්චාව වැව් පිටිය ප්‍රදේශයේදී 53 හැවිරිදි පුද්ගලයෙකු අකුණු සැර වැදීමෙන් මියගොස් ඇත. ඔහු වැව් පිටියේ සිටි ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී මෙම අනතුරට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වේ.

කටුගස්තොට, සියඹලාතැන්න හන්දිය අසලදී යතුරුපැදියක් විදුලි පහන් කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 18 හැවිරිදි යතුරුපැදිකරුවෙකු මියගොස් තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී යතුරුපැදිය පාලනය කරගත නොහැකි වී ඇති බවට අනාවරණය වී ඇත.

දෙහිඕවිට, තැඹිලියාන ප්‍රදේශයේදී කොළඹ-හැටන් ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක බැටරි කාමරයේ දොරක් විවෘත වී මාර්ගයේ රැඳී සිටි 59 හැවිරිදි පුද්ගලයෙකුගේ ගැටීමෙන් ඔහු මියගොස් ඇත. අනතුර සිදුකළ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

පැල්මඩුල්ල, පාතකඩ හන්දිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගයේ ගමන් කළ ගවයෙකුගේ ගැටී පෙරළීමෙන් අනතුරුව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 63 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇත. අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහියංගනය, ගොනගල හන්දිය අසලදී කැබ් රථයක් යතුරුපැදියක ගැටීමෙන් 37 හැවිරිදි යතුරුපැදිකරුවෙකු මියගොස් ඇත. කැබ් රථයේ රියදුරුද අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මෙම මරණ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වේ.

ගල් අඟුරු ටෙන්ඩරේ අවුල ගැන හොයන්න පෙරටුගාමීන්ගෙන් ඉල්ලීමක්

 

ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (FLSP) අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අවධාරණය කළේය. ඔහු සඳහන් කළේ, අදාළ සභාපතිවරයා තනතුරින් ඉල්ලා අස්වීමෙන් පමණක් වගකීමෙන් නිදහස් විය නොහැකි බවයි.

ඊයේ (22) නුගේගොඩදී මාධ්‍ය අමතමින් ජයගොඩ මහතා කියා සිටියේ, ගල් අඟුරු ටෙන්ඩරය ප්‍රදානය කිරීමේදී බරපතල අක්‍රමිකතාවක් සිදුවී ඇති බවයි. ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුව ටෙන්ඩර් අයදුම්පත් සඳහා සති හයක කාලයක් ලබා දිය යුතු වුවත්, රජය සති තුනක් වැනි කෙටි කාලයක් ලබා දීමෙන් කලින් තෝරාගත් පාර්ශවයන්ට අසාධාරණ වාසියක් ලබා දී ඇති බවට ඔහු චෝදනා කළේය.

“මෙය හදිසි අවස්ථාවක් නිසා සිදු වූ බව රජය පවසන නමුත්, එම හදිසි අවස්ථාව කුමක්දැයි පැහැදිලි කිරීමට ඔවුන් අපොහොසත් වී ඇත,” ඔහු පැවසීය. සාමාන්‍යයෙන් පෙබරවාරි-මාර්තු මාසවලදී නිකුත් කරන ගල් අඟුරු ටෙන්ඩරය අගෝස්තු දක්වා ප්‍රමාද කිරීම නිසා පළමු ගල් අඟුරු නැව්ගත කිරීම නොවැම්බර් මාසය වන විට ලැබීමට ඉඩ ඇති බවත්, එය රටට දැඩි ගල් අඟුරු හිඟයක් ඇති කළ හැකි බවත් ඔහු අනතුරු ඇඟවීය. මෙම ප්‍රමාදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉහළ මිලකට ගල් අඟුරු මිලදී ගැනීමට සිදුවනු ඇති බවත්, එහි බර අවසානයේ විදුලි පාරිභෝගිකයන් මත පැටවෙනු ඇති බවත් ජයගොඩ මහතා වැඩිදුරටත් කියා සිටියේය. ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසවලදී ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබුණහොත් විදුලි කප්පාදුවක් ද සිදුවිය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම ප්‍රමාදය පෞද්ගලික ඩීසල් බලාගාර ක්‍රියාකරුවන්ට වාසිදායක වන බවට ද ඔහු සැක පළ කළේය. එසේම, මෙම ටෙන්ඩරය ව්‍යාපාරික රුවන් ප්‍රනාන්දුට සම්බන්ධ “පැනකාපේ” නම් සමාගමක් වෙත යොමු කෙරෙමින් තිබෙන බවට ද ඔහු චෝදනා කළේය. රජය විසින් මීට පෙර හිල්ටන් සභාපති ලෙස පත් කරන ලද ප්‍රනාන්දු, මතභේදාත්මක “මේලින්” සමාගම සමඟ ද සම්බන්ධ වී ඇති බව ඔහු සඳහන් කළේය.

“මෙය දූෂණයක් පමණක් නොව දේශපාලන ආචාර ධර්ම පාවාදීමක් ද වේ,” ජයගොඩ මහතා චෝදනා කළේය. “රජය ජනතාවගේ අවශ්‍යතාවලට වඩා එක් පුද්ගලයෙකුගේ අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙමින් රටේ සමස්ත විදුලි පද්ධතියම අවදානමට ලක් කරයි. බලධාරීන් වහාම මෙම ගැටලුව පැහැදිලි කළ යුතුය.” යනුවෙන් ජයගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.

රනිල් බලන්න සජිත් වැලිකඩ එයි

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) දින වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත පැමිණියේය. ඒ, ඊයේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසීම සඳහාය.

සිංගප්පූරුවේ අධ්‍යයන චාරිකාවක නිරතව සිටි විපක්ෂ නායකවරයා, මෙම සිදුවීමත් සමඟ අද අලුයම නැවත දිවයිනට පැමිණි බව වාර්තා වේ. හිටපු ජනාධිපතිවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කළ ප්‍රථම අවස්ථාව මෙය වන බැවින්, මෙම සිදුවීම දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපති ධුරය දරන සමයේදී රජයේ මුදල් අවභාවිත කරමින් පෞද්ගලික විදෙස් සංචාරයක් සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම විය. වෛද්‍ය උපදෙස් මත ඔහු මේ වන විට බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

තැපැල් වර්ජනය 6 වන දිනටත්

 

තැපැල් සේවකයන් විසින් ආරම්භ කරන ලද වැඩ වර්ජනය අද (23) වන දිනටත් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු වන චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගසා තිබූ තැපැල් මලු අනීතික ලෙස රැගෙන යාම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවයි.

මෙම වර්ජනය හය වන දිනටත් ක්‍රියාත්මක වන බැවින් තැපැල් සේවාවන් තවදුරටත් අඩාල වී තිබේ. මෙම ගැටලුවට විසඳුමක් ලබා දීමට බලධාරීන් අපොහොසත් වී ඇත

Add to cart