රනිල්ගේ කාර් එකේ ඉන්ෂූරන්ස් ඇරියස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට රජයෙන් ලබාදී ඇති නිල රථයේ රක්ෂණ වාරිකය ගෙවීම අදාළ රාජ්‍ය ආයතනය විසින් අතපසු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, එම නිල රථයේ රක්ෂණ සහතිකය කල් ඉකුත්වී ඇති අතර වලංගු රක්ෂණ සහතිකයක් නොමැතිව එම නිල රථය ධාවනය කිරීමට නොහැකි බැවින් හිටපු ජනාධිපතිවරයා මේ දිනවල සිය ගමන් බිමන් සඳහා වෙනත් පෞද්ගලික මෝටර් රථයක් භාවිතා කරන බව මල්පාර ආරංචිමාර්ග පවසයි.

 

චතුරංග වැඩට ආවේ අවුරුදු 20කටලු

ජාතික ජන බලවේගය අපේක්ෂා කරන රටේ සමස්ත පරිවර්තනය සිදුකිරීමට වසර 20ක් පමණ ගතවනු ඇති බවත් තමන් පෞද්ගලික අංශයේ රැකියාවෙන් ඉවත් වී දේශපාලන වෘත්තියට පැමිණියේ වසර 20ක් සඳහා බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

“මම නම් මේ වැඩේට ආවෙ අවුරුදු 20කට විතර. මම පෞද්ගලික අංශයෙන් අයින්වෙලානෙ ආවෙ. මම අවුරුදු 40දී ආවෙ. මේ වැඩේට රටක් විදියට අපට අවුරුදු 20ක විතර පරිවර්තනයක යන්න ඕනෙ. ඒක දකුණු කොරියාවත් කළා, වියට්නාමයත් කළා, ඉන්දියාවත් කළා. අපි හිතනවා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරගෙන, මේ අපි යන මාර්ගයේ අපි ගියොත් අපිට මේ සමස්ත ප්‍රතිවර්තනයට යන්න පුළුවන්. නමුත් අවුරුදු 5- 10ක් ඇතුළත අපට කෙටිකාලයකදී ලබාගන්න පුළුවන් ජයග්‍රහණත් තියෙනවා. මම හිතන්නෙ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගත්තොත් අපි දාලා තියෙන්නෙ අවුරුදු 5ක චේන්ජස්. මම ජනතාවගෙන් ඉල්ලන්නෙ මේ චේන්ජ් එක ලේසි නෑ. ඔමායා කියනවා හරි. රාජ්‍ය යාන්ත්‍රණය අකාර්යක්ෂමයි කියලා පොදු මතයක් තිබ්බානෙ. දේශපාලනඥයා දූෂිතයි කියලා පොදු මතයක් තිබ්බා. දැන් දේශපාලනඥයාගෙ දූ‍ෂිත කෑල්ල අපි පොඩ්ඩක් පැත්තකින් තියමුකො. රාජ්‍ය යාත්‍රණය එකපාරට කාර්යක්ෂම වෙනවද අපි 50 දෙනා ගිහිල්ලා ඉන්දෙව්වායි කියලා ? දැන් මගෙ අමාත්‍යාංශයට අලුතින් ඇතුළු වුණේ සුනිල් හඳුන්නෙත්තියි චතුරංග අබේසිංහයි විතරයි”

“අපිට වඩා හොඳ අය එනවා නම් හෙට වුණත් ගත්තාට කමක් නෑ. නමුත් අපි දන්නවා අපි ආවෙ දේශපාලන සංස්කෘතිය සහ නිෂ්පාදන ආර්ථිකයක් බිහිකරනවා කියන ප්‍රමුඛතම අරමුණින්. මේ නිසා අපි හිතනවා අපි මේ පදනම් කරගන්න ප්‍රතිපත්ති ටිකක් තියෙනවානෙ, අපි දැන් සම්පාදනය කරලා, නීතිගත කරලා, අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක්, කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක්, ආණ්ඩුව ඩිජිටල්කරණයට ලක්කිරීමක්, නීති පද්ධතියේ ශක්තිමත් භාවයක්, පොලීසියට සහ ආරක්ෂක අංශවලට නිදහසේ වැඩකරන්න පුළුවන් ක්‍රමවේදයක්, ඇමතිවරයා නියෝජ්‍ය ඇමතිවරයා ලියුම් ගහන්නෙ නැති රාජ්‍ය සේවයක් අපි හදනවා. අන්න ඒ හදන ක්‍රමය තමයි අමායා අවුරුදු 20ක් යන්න ඕනෙ. එහෙම නැතිව පුද්ගලයෙක් විදියට චතුරංග අබේසිංහ ඉන්න ඕනෙ නෑ. පුද්ගලයෙක් විදියට අනුර දිසානායක ඉන්න අවශ්‍යතාවයක් නෑ. අපි මේ කියන්නෙ මේ ක්‍රියාදාමය කරන් යන්න අපිට නම් හොඳ දැක්මක් සහ සැලැස්මක් තියෙනවා, අපි හිතනවා ඉතින් මේ ක්‍රියාමාර්ගය මේ විදියට කළාම ජනතාව දිගින් දිගටම ජාතික ජන බලවේගය තෝරයි කියලා”

චතුරංග අබේසිංහ මහතා මේ බව පැවසුවේ සිරස රූපවාහිනී නාලිකාවේ ඔමායා කෝවිලගොඩගේ සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ය.

ඊශ්‍රායලය, ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ සාකච්ඡාවට සූදානම්

ගාසා තීරයේ දැනට රඳවා සිටින සියලු‍ම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සදහා සාකච්ඡා පැවැත්වීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කැමැත්ත පළ කර තිබෙනවා.

ඒ සටන් විරාම යෝජනාවකට එකග බවට හමාස් සංවිධානය ප්‍රකාශ කර ඇති පසුබිමකයි.

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගාසා තීරය අල්ලා ගැනීමේ මෙහෙයුම් ඊශ්‍රායලය මේ වන විට ආරම්භ කර ඇති අතර එවන් පසුබිමක ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සදහා සාකච්ඡා කිරීමට සූදානම් බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කිරීම විශේෂත්වයක් බවයි

උද්ධමනය නඟී ආහාරත් නඟී

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 ජූලි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව 2025 ජූනි මාසයේ දී 0.3% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 ජූලි මාසය සඳහා 0.7% ක් දක්වා වැඩි වී ඇත.

2025 ජූනි මාසයේ දී 4.2% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 ජූලි මාසයේ දී 2.2% ක් දක්වා අඩු වී ඇත.

එමෙන්ම, 2025 ජූනි මාසයේ දී -2.8% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 ජූලි මාසයේ දී -0.6% ක් දක්වා වැඩි වී ඇත.

රනිල් ආවා

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණෙයි..

එම කොට්ඨාසය විසින් සිදුකළ කැඳවීමකට අදාළව ඔහු මෙලෙස පැමිණ තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව මෙම විමර්ශනය සිදු කරන බව සඳහන්.

පුනරුදේ එන්නත් 03 දෙනෙක් මරලා

වත්මන් ආණ්ඩුව යටතේ ආනයනය කරන ලද හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් කළ තිදෙනකු මිය ගොස් තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා ඊයේ ( 21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මෙම හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් ෆාමා ඇසෝසියේට් (Pharma Associates) විසින් ගෙන්වා ඇත.

රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතය, නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය, මුදල් පනත යටතේ නියෝගය සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ නියෝග සම්බන්ධ විවාදයට එක්වෙමින් මන්ත්‍රිවරයා මේබව කීය.

ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

“හියුමන් ඉමියුනොග්ලොබියුලින් ප්‍රශ්නය ආවම කෙහෙළිය රඹුක්වැල්ල හිරේ දැම්මා. හියුමන් ඉමියුනොග්ලොබියුලින් ගෙනාපු සමාගමේ සාම්පල් ලංකාවේ ෆෙල් වුණා. ඒක බෙදන්න එපා කියලා නැවැත්තුවා. නවත්වලා මේ ගැන එන්. එම්. ආර්. ඒ. එක පරීක්ෂණයක් කළා. පරීක්ෂා කළාට පසුව ඒක ෆේල් කියලා අඳුනගත්තා. පස්සෙ මොකක්ද වුණේ මේ බඩු ටික ඉවත් කරන්න කිව්වා. ඉවත් කිරීම පැත්තක තියලා ඉන්දියානු සමාගම ගිහිල්ලා ඉන්දියාවෙන් සහතිකයක් අරගෙන ආවා. සාමාන්‍යයෙන් ඉන්දියාවෙ නිෂ්පාදනයක් ඉන්දියාවෙන් චෙක් කරන්නෙ නැහැ. එක්කෝ ජර්මනියෙන් නැත්නම් වෙනත් රටකින් තමයි චෙක් කරන්නේ. නමුත් අවසානයේ මොකක්ද වුණේ. මේ වෙනකොට තුන් දෙනෙක් මිය ගිහිල්ලා.”

“එක්කෙනෙක් කොළඹ උතුර රෝහලේ දී මිය ගියා. ඔහු කේ.ඩී. සුජීව. ඊළඟට ඩබ්ලිව්.ඩී. නන්දසේන කියලා කෙනෙක් නුවර රෝහලේ දි මිය ගියා. මේ දෙන්නාම ළඟදි මිය ගිය අය. ඊට කලින් ත්‍රිකුණාමලයෙදි එක් කෙනෙක් මිය ගියා. මේ ආණ්ඩුව යටතේ ගෙනාපු හියුමන් ඉමියුනොග්ලොබියුලින් ගහපු තුන් දෙනෙක් මිය ගොස් තිබෙනවා. දැන් කවුද මේකට වගකියන්නෙ. කවුද මේකට හිරේ යන්න ඕන. එන්. එම්. ආර්. ඒ. එක නවත්වපු එකක් ආපහු ගහන්න ඉඩ දුන්නේ නැහැ. ඉවත් කරන්න කියපු එකක් යළිත් පරීක්ෂා කරන්න කියලා කිව්වෙ නැහැ. කෙහෙළිය රඹුක්වැල්ලට වැඩිය මේක භයානක කාරණයක්. මොකද හේතුව මේකෙ තුන් දෙනෙක් මැරිලා තියෙනවා. මේ ගැන ආණ්ඩුව මොකක්ද කියන්නෙ කියලා දැන ගන්න කැමැතියි.”

ඩොලර් බිලියනයක ගල් අඟුරු ගැහිල්ලක් !

ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනය කිරීමේ ටෙන්ඩර් පිරිනැමීමේදී සිදුව ඇතැයි කියන බරපතල වංචාවක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා විසින් පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වනු ලැබීය.

ඒ මහතාගේ ප්‍රකාශය අනුව, මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය ජාත්‍යන්තර ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් සිදු වී ඇත.

ජාත්‍යන්තර ප්‍රසම්පාදන කටයුතු සඳහා ටෙන්ඩර්කරුවන්ට සාමාන්‍යයෙන් සති හයක කාලයක් ලබා දිය යුතු වුවද, මෙම ගල් අඟුරු ටෙන්ඩරය සඳහා එම කාලය මුලින් සති පහ දක්වාත්, පසුව සති තුන දක්වාත් අඩු කර ඇති බව මන්ත්‍රී චානක මහතා පෙන්වා දුන්නේය.

කාලය කෙටි කිරීමේ ක්‍රියාවලිය: කැබිනට් පත්‍රිකා අංක 78/2025P මඟින් ටෙන්ඩර් කාලය සති පහක් දක්වා අඩු කර ඇති බවත්, පසුව රටේ ගල් අඟුරු හිඟයක් ඇති වන බව පවසමින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවෙන් සති පහක කාලය සති තුනක් දක්වා අඩු කරවා ගෙන ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ටෙන්ඩරය මාස එකහමාරක් ප්‍රමාද කර ඇති අතර, පෙර ආණ්ඩුව සමයේ “දූෂිත” සහ “වංචාකාරී” යැයි චෝදනා ලැබූ සමාගමකටම අලුතින් මාස හයක කාලයක් ලබා දී ඇති බවට චානක මහතා චෝදනා කළේය.

සති තුනක් වැනි කෙටි කාලයකින් ජාත්‍යන්තර ටෙන්ඩරයක් වසා දැමීම අසාමාන්‍ය බවත්, මෙය තමන්ට හිතවත් පාර්ශ්වයකට ටෙන්ඩරය ලබා දීම සඳහා සකස් කරන ලද ක්‍රමවේදයක් බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මෙම ටෙන්ඩරය සඳහා සාමාන්‍යයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 15ත් 30ත් අතර කාර්යසාධන බැඳුම්කරයක් තැබිය යුතු බවත්, එය සූදානම් කරගෙන සිටින හිතවත් පාර්ශ්වයකට ටෙන්ඩරය ලබා දීමට සූදානම් වන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ගල් අඟුරු ටෙන්ඩරයට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරමින් සභාපතිවරයකු සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් යවා ඇති බව ද ඩී.වී. චානක මහතා හෙළි කළේය.

මන්ත්‍රී ඩී.වී. චානක මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැගූ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා මහතා, මෙම ප්‍රශ්නය ඩොලර් බිලියනයකට වඩා වටිනා බරපතල දූෂණයක් බව අවධාරණය කළේය. ඔහු චානක මහතාගෙන් විමසා සිටියේ මෙම ප්‍රකාශ වගකීමෙන් යුතුව කරන්නේද, ඒ සඳහා සාක්ෂි තිබේද යන්නයි. තවද, දූෂණයට විරුද්ධ අමාත්‍යවරයෙකු මෙවැනි වරදක් කරනු ඇතිදැයි ඔහු ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් මන්ත්‍රී ඩී.වී. චානක මහතා අවධාරණය කළේ, මෙම වංචාව සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරගෙන මෙම ආණ්ඩුව කටයුතු කරන බවයි.

එහි දී ඩී.වී. චානක මහතා අදාළ ගනුදෙනුව සඳහා අනුමැතිය ලබා ගත් ගැසට් පත්‍රය සභාගත කළේය.

අද CIDයන රනිල් දහවල් මාධ්‍ය හමුවක

රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබේ.

ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී ඇමරිකා එක්සත් ජනපදයේ පැවැති රාජ්‍ය නායක සමුළුවකට සහභාගිවී ලන්ඩන් නුවර හරහා මෙරටට පැමිණීමේදී රාජ්‍ය මුදල් අවභාවිතාවී තිබෙන බවට ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපතිවරයාට මෙම දැනුම්දීම සිදුකර ඇත.

හිටපු ජනාධිපතිවරයා ලන්ඩන් නුවරට ගොස් ඇත්තේ සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රධානෝත්සවයකට එකතුවීම සඳහාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙරදී හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම් සැන්ඩ්‍රො පෙරේරාගෙන්ද ප්‍රකාශ ලබාගෙන තිබිණි.

හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් සිය ප්‍රකාශය ලබාදීමෙන් පසුව කොළඹ, මල්පාරේ පිහිටි ඔහුගේ කාර්යාලයයේදී අද (22 ) මාධ්‍ය හමුවක්ද පැවැත්වීමට නියමිතය.

සිම්බාබ්වේ යන 16 දෙනාගේ නම්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේ දී සිදුකිරීමට නියමිත සිම්බාබ්වේ තරග සංචාරයේ එක්දින තරගාවලියට ක්‍රීඩාකිරීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය අද (21) ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මේ සඳහා නම්කර ඇත.

දෙරට අතර තරග 2 යුත් එක්දින හා තරග 3කින් යුත් විස්සයි20 තරගාවලියක් පැවැත්වෙන අතර, ඉන් පළමුව පැවැත්වෙන එක්දින තරගාවලිය මේ මස 29වනදා ආරම්භ වේ.

ඉතිරි තරග 31වනදා පැවැත්වෙන අතර, සියලුම තරග හරාරේහිදී පැවැත්වීමට නියමිතය.

දෙරට අතර විස්සයි20 තරගාවලිය සැප්තැම්බර් 3, 6 හා 7 දිනවල පැවැත්වෙන අතර, එම තරගද හරාරේ හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකා එක්දින සංචිතය

1) චරිත් අසලංක (නායක)
2) පැතුම් නිස්සංක
3) නිශාන් මධුෂ්ක
4) කුසල් මෙන්ඩිස්
5) සධීර සමරවික්‍රම
6) නුවනිදු ප්‍රනාන්දු
7) කමිඳු මෙන්ඩිස්
8) ජනිත් ලියනගේ
9) පවන් රත්නායක
10) දුනිත් වෙල්ලාලගේ
11) මිලාන් රත්නායක
12) මහීෂ් තීක්ෂණ
13) ජෙෆ්රි වැන්ඩර්සේ
14) අසිත ප්‍රනාන්දු
15) දුෂ්මන්ත චමීර
16) ඩිල්ෂාන් මධුශංක

රාජිතගේ නිවසේ වරෙන්තු අලවයි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තවමත් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් අද (21දා) අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහුගේ මාලඹේ පිහිටි නිවසට ගොස් අධිකරණයේ පෙනීසිටින ලෙස දන්වමින් දැන්වීම් අලවනු ලැබීය.

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ලබන 29 වනදා අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (20දා) නොතීසි නිකුත් කළේය.

Add to cart