දේශබන්දු රිමාන්ඩ්

අත්අඩංගුවට ගනු ලැබූ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය විසින් නියම කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

 

යාපාට සහ තවත් 06කට අධි චෝදනා

ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් 6,146,110ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු 06 දෙනෙකුට විවෘත අධිකරණය හමුවේ අධි චෝදනා භාර දීමෙන් අනතුරව ඇප මත මුදා හැර ඇත.

කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න හමුවේ මෙලෙස අධි චෝදනා භාරදීමෙන් අනතුරුව විත්තිකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැර තිබේ.

2014 වසරේ දෙසැම්බර් මස 26 වනදාත්, 2015 වසරේ ජනවාරි මාසයත් අතර කාලය තුළ නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකරමින් ගංවතුර සහනාධාර සදහා රුපියල් 6,146,110 ක මුදලක් වැයකරමින් එකී මුදල් සාපරාධී, සාවද්‍ය පරිහරණය ඇතුලු අධි චෝදනා 05 ක් යටතේ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ එවක සභාපතිවරයා ඇතුලු විත්තිකරුවන් 06 දෙනාට චෝදනා ගොනු කර තිබුණි.

මෙහි පූර්ණ නඩු විභාග සම්මන්ත්‍රණය ඔක්තෝබර් මස 01වැනිදා පැවැත්වීමට නියමිතය.

සේරී සතියයෙන් හොඳ සුද්දයක්

රජයේ ආයතනවල අනවශ්‍ය ලෙස එකතු වී ඇති ද්‍රව්‍ය ඉවත් කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් වන ‘සේරි සතිය’ ආරම්භ කර ඇති බව රජය නිවේදනය කරයි. මෙම වැඩසටහන සැප්තැම්බර් මස 1 වැනිදා සිට 14 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ රජයේ ආයතන තුළ පිරිසිදු, සුරක්ෂිත සහ සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීමයි. එමඟින් රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරි වඩාත් නිදහසේ හා කාර්යක්ෂමව ඉටු කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.

වැඩසටහන පහසු කිරීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. එම චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ රාජ්‍ය ආයතන හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත යොමු කර ඇත.

‘සේරි සතිය’ වැඩසටහන ජාතික ‘Clean Sri Lanka’ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන අතර, එහිදී අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය හඳුනාගෙන ඒවා නිසි ලෙස බැහැර කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ.

හරිනිලා ජපුරට ලේ දෙයි

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රවාහන සුභසාධන සංගමය මගින් පස්වැනි වරටත් සංවිධානය කරන ලේ දන් දීමේ වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශ ඉසුරුපාය පරිශ්‍රයේදී පැවැත්විණි.

අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සේනෙවිරත්න සහ අධ්‍යාපන ලේකම්තුමාගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ අතර ශ්‍රී ජයවර්ධන පුර සහ අපේක්ෂා රෝහල් සඳහා අවශ්‍ය ලේ ප්‍රදානය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

ඩයනා ගමගේට වරෙන්තු – ඇපකරුවන්ටත් නොතීසි

ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය, නඩු විභාගය සඳහා අධිකරණය පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබේ.

මෙම නඩුව අද (21) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, විත්තිකාරිය අධිකරණය නොපැමිණීම හේතුවෙන් එම තීරණය ගන්නා ලදි.

අදාළ නඩු කටයුත්ත තුළ, ඩයනා ගමගේ මහත්මියගේ ඇපකරුවන්ටද නොතීසි නිකුත් කරන ලෙස අධිකරණය නියෝග කරන ලදී.

 

ලොව හොඳම විනිසුරු දිවියට සමුදෙයි

දයානුකම්පිත අධිකරණ තීන්දු හේතුවෙන් අන්තර්ජාලය තුළ අතිශය ජනප්‍රිය වූ අමෙරිකානු විනිසුරුවරයෙකු වන ෆ්‍රෑන්ක් කැප්‍රියෝ අභාවප්‍රාප්ත වෙයි.

ඔහු සිනහවකින් යුක්තිය පසිඳලන වීඩියෝ සමාජ මාධ්‍යවල බිලියනයකට වඩා නරඹා තිබීමත් සමඟ ඔහු “ලෝකයේ හොඳම විනිසුරු” ලෙස ආදරයෙන් ප්‍රසිද්ධියට පත්ව තිබුණි. මිලියන 3.2 ක අනුගාමිකයින් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සිටියි.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 88කි. දීර්ඝ කාලීනව අග්න්‍යාශ පිළිකා රෝගී තත්ත්වයෙන් පෙළුනු ඔහු ඊයේ (20) මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ෆ්‍රෑන්ක් කැප්‍රියෝ යනු අමෙරිකානු නීතිඥයෙක් සහ විශ්‍රාමික මහ නගර අධිකරණ විනිසුරුවරයෙකි.

ඔහු ප්‍රධාන වශයෙන්ම ප්‍රසිද්ධියට පත් වුණේ, “Cඖඝ්ට් ඉන් ඵ්‍රොවිඩෙන්cඑ” නමැති රූපවාහිනී වැඩසටහන හේතුවෙනි.

මෙම වැඩසටහනින් ඔහු අධිකරණයේදී විවිධ පුද්ගලයන් සමඟ කතා කරන ආකාරය ලොව පුරා ප්‍රසිද්ධ වුණි.

ටිබෙටයේ සංචාරයට ගිය චීන ජනාධිපති ෂී ජින්පිං

චීන ජනාධිපති ෂී ජින්පිං ටිබෙටයට සංචාරයක් සිදු කරමින්, සමගිය සහ සංවර්ධනය පිළිබඳව අවධාරණය කර තිබේ.

චීනය විසින් ටිබෙටය ස්වයං පාලන කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර වසර 60ක් සපිරීම නිමිත්තෙන් ඔහු මෙම සංචාරයට එක් වී තිබෙන අතර, 20,000කට අධික ජනතාවක් ඉදිරියේ දේශනයක් ද පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම කලාපයට ජනාධිපතිවරයෙකු ලෙස ඔහු දෙවන වරටත් සිදු කළ මෙම සංචාරයේදී, ටිබෙටයේ බෙදුම්වාදයට එරෙහිව දශක ගණනාවක් තිස්සේ පැවති අරගලයට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් එරට රජයට ප්‍රශංසා කළ බව සඳහන් වෙයි.

මීටර් 4,000කට වඩා වැඩි උන්නතාංශයක පිහිටි ලාසා නගරයේ සිදු කළ මෙම සංචාරය, 72 හැවිරිදි ෂී ජින්පිංගේ සෞඛ්‍යයට අවදානමක් විය හැකි වුවත්, එය ටිබෙටය කෙරෙහි ඔහුගේ අධිකාරය තහවුරු කිරීමට ඇති ආශාව පෙන්නුම් කරන්නක් බව විචාරකයෝ පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෂී ජින්පිංගේ ප්‍රකාශිත අදහස්වල ටිබෙටයේ අධ්‍යාත්මික නායකයා වන දලයි ලාමා පිළිබඳ කිසිදු සඳහනක් නොතිබූ බව වාර්තා වන අතර, දලයි ලාමා 1959 දී චීනයෙන් පලා ගිය දා සිට ඉන්දියාවේ ජීවත් වෙයි.

නිල වාර්තාවලට අනුව ෂී ජින්පිං සිය කතාවේදී කියා සිටියේ, “ටිබෙටය පාලනය කිරීමට, ස්ථාවර කිරීමට, සංවර්ධනය කිරීමට නම්, පළමුවෙන් ම දේශපාලන ස්ථාවරත්වය, සමාජ ස්ථාවරත්වය, ජනවාර්ගික සමගිය සහ ආගමික සහජීවනය පවත්වා ගැනීම වැදගත්” බවයි.

90 හැවිරිදි දලයි ලාමා ටිබෙටයේ තත්ත්වය විසඳීම සඳහා “මධ්‍යම මාර්ගයක්” (චීනය තුළ සැබෑ ස්වයං පාලනයක්) නිරන්තරයෙන් අවධාරණය කළත්, බීජිං රජය ඔහුව සලකන්නේ බෙදුම්වාදියෙකු ලෙසයි.

ටිබෙට් ජාතිකයින්ට තම ආගම නිදහසේ ඇදහීමට අවස්ථාව ඇති බව චීනය දිගු කලක් තිස්සේ ප්‍රකාශ කළත්, මානව හිමිකම් කණ්ඩායම් පවසන්නේ බීජිං රජය විසින් සියවස් ගණනාවක් පැරණි ටිබෙට් අනන්‍යතාවය ක්‍රමයෙන් ඛාදනය කරමින් සිටින බවයි.

කෙසේ වෙතත්, චීන පාලනය යටතේ ටිබෙටයේ ජනතාවගේ ජීවන තත්ත්වය බෙහෙවින් දියුණු වී ඇති බවත්, ඔවුන්ගේ මානව හිමිකම් සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මර්දනය කිරීමක් සිදු නොවන බවත්, බීජිං රජය පවසයි.

ජනපතිවරයාගේ සංචාරයේ අරමුණු අතර, ටිබෙටය වෙත සහ සිදු වන ආර්ථික, සංස්කෘතික සහ පෞද්ගලික හුවමාරු දිරිගැන්වීමත්, ජාතික පොදු භාෂාවක් සහ අක්ෂර ජනප්‍රිය කිරීමත් ඇතුළත් බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

තවද, ටිබෙටයේ ප්‍රධාන කාර්යයන් හතරක් වන ස්ථායිතාව සහතික කිරීම, සංවර්ධනයට පහසුකම් සැලසීම, පරිසරය ආරක්ෂා කිරීම සහ දේශසීමා ශක්තිමත් කිරීම පිළිබඳව ද ඔහු මෙහිදී අවධාරණය කළ බව සඳහන් වෙයි.

රවීත් ලැයිස්තුවක් පාර්ලිමේන්තුවේ කියවයි

මුදල් මුද්‍රණය නොකරන බවක් ආණ්ඩුව ප්‍රකාශ කළ ද 2024 ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා රුපියල් බිලියන 1427.9ක් පුළුල් ඒකාබද්ධ මුදල් සැපයුම තුළින් (M2b) මුදල් මුද්‍රණය කර ඇති බව හිටපු මුදල් අමාත්‍යවරයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

“රජයට සල්ලි මුද්‍රණය කරන එක අත්‍යාවශ්‍යයි. හැබැයි ඒක කරන්න අවශ්‍ය වන්නේ වත්කමක් සමග. මේ ප්‍රශ්නය ඇහුවාම කියලා තියෙනවා ආණ්ඩුව සල්ලි මුද්‍රණය කරන්නෙ නැහැයි කියලා. නමුත් මුද්‍රණය කරනවා. මුද්‍රණය කරන්නෙ නැත්නම් ආර්ථිකය සංකෝචනය වෙනවා. මේක පාවිච්චි කරලා තියෙන්නෙ මොන සංවර්ධනයටද කියන එකයි ප්‍රශ්නය. මේක පුනරාවර්තන වියදම්වලට පාවිච්චි කළොත් තමයි ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය අහනකොට තමයි උදේ අපට අහන්න ඉඩ ලබාදුන්නෙ නැත්තෙ.

2024 ඔක්තෝබර් – බිලියන 58.7
2024 නොවැම්බර් – බිලියන 78.3
2024 දෙසැම්බර් – බිලියන 234.8
2025 ජනවාරි – බිලියන 117.4
2025 පෙබරවාරි – බිලියන 104.7
2025 මාර්තු බිලියන – 233.9
2025 අප්‍රේල් – බිලියන 154.2
2025 මැයි – බිලියන 33.6
2025 ජුනි – බිලියන 210.3
2025 ජුලි – බිලියන 151
2025 අගෝස්තු – දැනට බිලියන 51

මේකෙන් දැනට වත්කමක් සහිතව කොහොමද මේක ගෙනියන්න පුළුවන් වෙන්නෙ ?”

රවී කරුණානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (19) පාර්ලිමේන්තුව අමතමිනි.

ඉන්දියාවේ අග්නි5 සාර්ථකවේ

ඉන්දියාව සිය හමුදා ශක්තිය විදහා දක්වමින්, කිලෝමීටර් 5,000 ක් දක්වා දුරක් සාර්ථකව යා හැකි අතරමැදි පරාසයක බැලස්ටික් මිසයිලය වන අග්නි-5 ඊයේ(20)දිනයේදී සාර්ථකව අත්හදා බලා තිබේ.

මෙම මිසයිලය ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන සංවිධානය (DRDO) විසින් සංවර්ධනය කරන ලද අතර, න්‍යෂ්ටික හිසක් ගෙන යා හැකි මෙය චීනයේ උතුරු කෙළවරේ ප්‍රදේශ ඇතුළුව ආසියාවේ මුළු මහාද්වීපයම පාහේ සහ යුරෝපයේ සමහර ප්‍රදේශ වලට යා හැකි ලෙස අත්හදා බලා ඇත.

මෙම අත්හදා බැලීම සිදු කරනු ලබන්නේ ඉන්දියාව සහ පාකිස්තානය අතර මිලිටරි ගැටුමකින් මාස හතරකටත් අඩු කාලයක් තුලදීය.

ජලයෙන් යටවුණු මුම්බායි නිසා මිලියනයකට පීඩා

ඉන්දියාවේ මුම්බායිහි මේ දිනවලට අයහපත් කාලගුණය හේතුවෙන් මිලියනයකට ආසන්න ජනතාවක් පීඩාවට පත්ව සිටියි.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, ගෙවුණු දින හතරක කාලය තුළ මුම්බායි නගරයට මිලිමීටර් 800 කට ආසන්න වර්ෂාපතනයක් ලැබී තිබේ. මෙම සංඛ්‍යාව, සාමාන්‍යයෙන් මාස පුරා ලැබෙන වැසි ප්‍රමාණයටත් වඩා ඉහළ නිසා, නගරයේ දෛනික ජීවිතය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ.

ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව මෙම තත්ත්වය තවදුරටත් පවතින බවට අනතුරු අඟවමින්, මුම්බායි සහ අසල්වැසි දිස්ත්‍රික්කවලට රතු අනතුරු ඇඟවීම්ද නිකුත් කර ඇත.

 

 

Add to cart