ගාසා නගරය අල්ලන්න ඊශ්‍රායල හමුදාව ගමනේ

ගාසා නගරය මුළුමනින්ම අල්ලා ගැනීමට සහ අත්පත් කර ගැනීමට සැලසුම් කළ ගොඩබිම් ප්‍රහාරයේ “මූලික ක්‍රියාමාර්ග” ආරම්භ කර ඇති බවත්, තදාසන්න ප්‍රදේශ දැනටමත් තම පාලනය යටතේ පවතින බවත් ඊශ්‍රායල හමුදාව පවසයි.

ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් අඟහරුවාදා අනුමත කළ සහ මෙම සතිය අගදී ආරක්ෂක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රහාරයට සූදානම් වීමේ සැලස්ම සඳහා සයිටූව්න් සහ ජබාලියා ප්‍රදේශවල තම භට පිරිස් දැනටමත් ක්‍රියාත්මක වන බව හමුදා ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙහෙයුම සඳහා ක්‍රියාකාරී රාජකාරියේ නියුතු පිරිස් නිදහස් කිරීම සඳහා සැප්තැම්බර් මස මුලදී අමතර ස්වේච්ඡා භටයින් 60,000 ක් පමණ කැඳවනු ලැබ තිබේ.

“අහිංසක සිවිල් වැසියන්ට එරෙහි කුරිරු යුද්ධයක්” දිගටම කරගෙන යාම සඳහා සටන් විරාම ගිවිසුමකට ඊශ්‍රායලය බාධා කළ බවට හමාස් සංවිධානය චෝදනා කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

ඊශ්‍රායලය මෙම අත්පත් කර ගැනීමේ සැලැස්ම සඳහා සූදානම් වීමත් සමඟ ගාසා නගරයේ සිටින ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ට ඉන් ඉවත් වී දකුණු ගාසා තීරයේ ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස නියෝග කිරීමට නියමිතයි.

කාදිනල් රංජිත් ජනපති අනුර හමුවේ

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමියන් සහ කතෝලික රදගුරු සම්මේලනය ජනාධිපති කාර්යාලයේදී ‌ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.

වසරකට තෙවතාවක් පැවැත්වෙන කතෝලික රදගුරු සම්මේලනයේදී සාකච්ඡා වූ මූලික කරුණු පිළිබඳව මෙහිදී කාදිනල් හිමියන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී.

එසේම, කතෝලික සභාවේදී මතුවූ අදහස් සහ යෝජනා පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති හැරල්ඩ් ඇන්තනී පෙරේරා රදගුරුතුමා සහ එම සම්මේලනයේ සාමාජිකයෝද එක්වී තිබුණි.

පල්ලි නොයන පිරිමි හිරේ

වලංගු හේතුවක් නොමැතිව සිකුරාදා යාඥාවන් මඟ හරින පිරිමින් වසර දෙකක් දක්වා සිරගත කරන බවට මැලේසියානු රජය තිරණය කර තිබේ.

මැලේසියානු ෂරියා නීතියට අනුව, මෙම සතියේ සිට ක්‍රියාත්මක වූ නව නීතිරීතිවලට අනුව, පළමු වරට වැරදිකරුවන්ට වසර දෙකක් දක්වා සිර දඬුවම් නියම කළ හැකි අතර, රිංගිට් 3,000 (£527) හෝ දෙකම දඩ නියම කළ හැකිය.

මෙම නව නීති හඳුන්වා දීම පාලක පෑන්-මැලේසියානු ඉස්ලාමීය පක්ෂය (PAS) විසින් සිදු කර ඇති අතර එම පක්ෂය විසින් පාලනය කරන මැලේසියානු ප්‍රාන්ත 13 න් හතරක් පුරා ආගමික බලාත්මක කිරීම දැඩි කිරීමට උත්සාහ දරා ඇත. මෙම නීති හඳුන්වා දෙමින් ඔවුන් ප්‍රකාශ කර තිබුණේ, සිකුරාදා යාඥාවන් ආගමික සංකේතයක් පමණක් නොව මුස්ලිම්වරුන් අතර කීකරුකමේ ප්‍රකාශනයක් ද වන බැවිනි.

කෙසේ නමුත්, අගමැති අන්වර් ඉබ්‍රාහිම් දඬුවම් අවලංගු කළ යුතු බව සඳහන් කරමින් ප්‍රකාශ කර තිබුණේ, ආගමේ සහ විශ්වාසයේ නිදහස යනු විශ්වාස නොකිරීමට හෝ සහභාගී නොවීමට ඇති නිදහසයි, එබැවින් මෙම කුරිරු නීතිය සමඟ මානව හිමිකම් අමු අමුවේ අපයෝජනය කරමින් සිටින බවයි.

මුස්ලිම් බහුතරයක් සිටින මැලේසියාවේ ද්විත්ව නීති පද්ධතියක් ඇති අතර, එහි ඉස්ලාමය නිල ආගම වන නමුත් සිවිල් නීතිය සමඟ ක්‍රියාත්මක වේ. මිලියන 34 ක් වන රටේ ජනගහනයෙන් තුනෙන් දෙකක් පමණ වන මුස්ලිම්වරුන්ගේ පුද්ගලික සහ පවුල් කටයුතු සම්බන්ධයෙන් ෂරියා අධිකරණ බලය දරයි.

කටුනායක තදබදයට ආණ්ඩුවෙන් අමුතු විසඳුමක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පවතින මගී තදබදය අඩුකිරීම සඳහා අලුත්ම විසඳුමක් වශයෙන් ගුවන් මගීන්ගෙන් යම් කොටසක් වෙනත් ස්ථානයකදී පරීක්ෂා කර ඇතුළුකර ගැනීමට (check-in) රජයෙන් යෝජනා වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව කොළඹ වරාය නගරයේ (Port city) තීරුබදු රහිත සාප්පු සංකීර්ණය ස්ථාපිත ස්ථානයේ මේ සඳහා කවුන්ටර පිහිටුවීමට යෝජනා වී ඇති බව සඳහන්.

එහිදී කොළඹ වරාය නගරයේ (Port city) තීරුබදු රහිත සාප්පු සංකීර්ණය අසල අලුතින් පිහිටුවන කවුන්ටර හරහා ගුවන් මගීන්ගේ විදෙස් ගමන් බලපත්‍ර සහ ටිකට් පත් පරීක්ෂා කර ඇතුළුකර ගැනීමටත්, ඔවුන්ගේ ගමන් මළු ද කිරා බලා භාරගැනීමටත් මගීන් සහ ගමන් මළු එහි සිට ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපල වෙත ප්‍රවාහනය කිරීමටත් ක්‍රමවේදයක් සකස් කිරීමට යෝජනා වී ඇත.

දැනට කටුනායක ගුවන් තොටුපලේ පවතින කවුන්ටරවල දැඩි තදබදයක් සහ පෝලිම් පවතින නමුත් අලුතින් කවුන්ටර පිහිටුවීම සඳහා එහි ඉඩකඩ නොමැති වීම බරපතළ අර්බුදයක් බවට පත්ව තිබේ.

ඊට විසඳුමක් වශයෙන් ඉහත ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්නේ නම් කොළඹ වරාය නගරයේ (Port city) තීරුබදු රහිත සාප්පු සංකීර්ණය අසල අලුතින් check-in කවුන්ටර 20ක් පමණ පිහිටුවීමට හැකියාව ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

කොළඹට ආසන්න ප්‍රදේශවලින් පැමිණෙන මගීන්ට මෙම අලුත් පර්යන්තය භාවිතා කරමින් වඩාත් පහසුවෙන් සිය ගුවන් ගමන් සිදුකර ගැනීමට හැකිවනු ඇති අතර කටුනායක දක්වා සුඛෝපභෝගී බස් රථ යොදවා ඔවුන්ට ප්‍රවාහනය සැපයීමටත් ඒ සඳහා යම් සාධාරණ මුදලක් අයකිරීමටත් යෝජනා වී ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

සජිත් ඉගෙන ගන්න සිංගප්පූරු ගිහින්

රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (20) රාජ්‍ය අංශයේ සේවකයන්ගේ පුහුණුව සහ ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා කැප වූ ප්‍රමුඛ ආයතනයක් වන සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයයේ සංචාරයක නිරත වී තිබේ.

නායකත්වය, ප්‍රතිපත්ති නවෝත්පාදනය සහ අනාගත සූදානම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින්, ඵලදායී හා පුරවැසි කේන්ද්‍රීය පාලනයක් ලබා දීම සඳහා සිංගප්පූරුවේ රාජ්‍ය සේවය සූදානම් කිරීමේ දී සිවිල් සේවා විද්‍යාලය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර එකී දැනුම සහ අත්දැකීම් අප රටේ පරිපාලන ව්‍යුහයට අදාළ කර ගැනීම සම්බන්ධයෙන් දැනුවත් වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම විද්‍යාලයේ සංචාරයක නිරත වූ බවයි විපක්ෂ නායක මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

එම සංචාරයේ දී සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගෞරවයෙන් පිළිගනු ලැබීමෙන් අනතුරුව රාජ්‍ය ප්‍රතිපත්ති සංවර්ධනය, පාලනය සහ පරිපාලන පුහුණුව සඳහා සහයෝගීතාවයේ ක්ෂේත්‍ර පිළිබඳ මූලික සාකච්ඡා රැසක නිරත වී ඇත.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් සඳහා ධාරිතා වර්ධනයේ වැදගත්කම මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරමින් සිංගප්පූරුව සාර්ථකත්වය කරා ගිය ගමනේ දී විනයගරුක සහ ඉදිරි දැක්මක් ඇති සිවිල් සේවය සුවිශාල සේවාවක් කළ බවත් හෙතෙම සඳහන් කළේය.ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනය සහ පාලන රාමු ශක්තිමත් කිරීම සඳහා සිංගප්පූරුවේ හොඳම භාවිතයන් අනුවර්තනය කිරීමේ ක්‍රම ගවේෂණය කිරීමට තමා උනන්දු බව ද විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ඇමති වසන්තගේ නඩුවේ විනිසුරුට මාරුවීමක්

ඇමැති වසන්ත සමරසිංහට එරෙහිව නඩුවක් පවතින ගල්කිස්ස උසාවියේ නඩුකාරවරයා මාරුකර තිබෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවසීය.

සමෘද්ධි සංවර්ධන පනත් කෙටුම්පත ඇතුළු නියෝග කිහිපයක් සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් මේ බව කී මන්ත්‍රිවරයා මෙසේද කීවේය.

“ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමා පත් කළේ ජනාධිපතිතුමා. ඒ සභාපතිතුමා අද අයින් වෙලා. එතුමන්ට අමාත්‍යාංශයේ ලේකම්වරයා බලපෑම් කරලා තියෙනවා. පන්නල ගණේමුල්ල වත්තේ සභානායකතුමාගේ දිස්ත්‍රික්කය. පන්නල අක්කර හැත්තෑවක් ඇමැතිතුමාගේ ඥාති හිතවතුන්ට බෙදලා දෙන්න කියලා ලේකම්වරයා කළ ඉල්ලීම එතුමා ප්‍රතික්ෂේප කරලා තියනවා. ජීඑම් ගිහිල්ලා බලලා තියෙනවා සභාපතිතුමා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අමාත්‍යාංශයේ ලේකම්තුමා බලපෑම් කළ නිසා ඉල්ලා අස්වෙන්න ඇති කියලා මම හිතනවා.”

“අධිකරණ අමාත්‍යාංශ ගැනත් අද කතා කරනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වුණා කිව්වේ 77-89 කාලේ. ඒ කාලෙදි මැතිනියගෙ ප්‍රජා අයිතිය අහෝසි කළා. ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළා. ඒ කාලෙදි තමයි ප්‍රජාතන්ත්‍රවාදය වළ දැම්මා කිව්වෙ. නමුත් දැන් ඒ කාලෙ නොවුණ දේවල් දැන් වෙනවා. වත්මන් ආණ්ඩුව යටතේ අධිකරණය ගැන විශ්වාසයක් නැති තැනට පත් වෙලා තියෙනවා. වසන්ත සමරසිංහ ඇමැතිවරයාට ගල්කිස්ස උසාවියේ නඩුවක් තියෙනවා. පොලිසිය භාර ලේකම් රවී සෙනෙවිරත්නට නඩුවක් තියෙනවා. එහෙම තියෙද්දි ගල්කිස්ස උසාවියෙ නඩුකාරයා මාරු කරලා තියෙනවා. නඩුකාරවරු මාරු කරන්නේ කිසිම ක්‍රමවේදයක් අනුව නෙමෙයි. එක්කෙනෙක් වැල්ලවායට දානවා. තව කෙනෙක් හම්බන්තොටට දානවා. අත්දැකීම් අඩු අය වෙනත් තැන්වලට දානවා. මේ වෙනකොට නඩුකාරවරු 10කගෙ වැඩ තහනම් කරලා තියෙනවා. මේ විධියට ගියොත් ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවා. ආණ්ඩුවට ඕනෑ විදියට අධිකරණ ඇමැතිතුමාට ඕනෑ විදියට නඩුකාරවරු පත් කරනවා. අල්ලස් එකයි පොලිසියයි විතරක් තියාගෙන ආණ්ඩු කරන්න බැහැ. කොළඹ මහාධිකරණයේ අත්දැකීම් ඇති අය වෙනත් තැන්වලට යවනවා. වෙනත් අයව කොළඹට පත් කරලා තියෙනවා. මේ නිසා ඇතැම් නඩුකාරවරු ඉල්ලා අස්වන තැනට පත් වෙලා. ඉතිහාසයේ කවදාවත් නැති විදියට අධිකරණයට ඇඟිලි ගහනවා. 88- 89 වත් නැති ලෙස ඇඟිලි ගහනවා. ඒ කාලෙ නෙමෙයි දැන් තමයි ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙනවා කියලා කියන්න වෙන්න. අධිකරණයට ඇඟිලිගැසීම හොඳ නැහැ.”

සභානායක බිමල් රත්නායක
“විනිශ්චයකාරුවරුන්ගේ ස්ථාන මාරු සිදු කරන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන්. මේ කරන චෝදනා එල්ල වෙන්නේ ජනාධිපතිතුමාටවත් ආණ්ඩුවටවත් නෙමෙයි. ඍජුවම අධිකරණ සේවා කොමිෂන් සභාවට. එවැනි ප්‍රකාශ කරන්න පුළුවන්ද කියලා සොයා බලන්න.”

මන්ත්‍රි චාමර සම්පත් දසනායක
“වැරැද්දක් වුණාම පාර්ලිමේන්තුවෙ කතා කළ යුතුයි. නැතුව වෙන කොහෙද කතා කරන්න පුළුවන්.”

බස්නාහිර සියළු රෝහල් උදේ අටට ලෙඩ වෙලා

බස්නාහිර පළාත් සභාවට අයත් සියලුම රෝහල්වල පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය විසින් අද (අගෝස්තු 21) දින සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මෙම වර්ජනය අද උදෑසන 8.00ට ආරම්භ වූ බව එම බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම පවසයි.

මෙම ක්‍රියාමාර්ගය ගැනීමට හේතුව ලෙස ඔහු සඳහන් කළේ, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය විසින් ගැටලු සහගත ලෙස ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමයි.

මෙම වර්ජනය හේතුවෙන් රෝහල්වල සේවාවන් රැසකට බාධා එල්ල විය හැකි බව චානක ධර්මවික්‍රම වැඩිදුරටත් හෙළිදරව් කරයි.

ඒ අතරට විකිරණ පරීක්ෂණ, සීටී ස්කෑන් පරීක්ෂණ, රසායනාගාර පරීක්ෂණ, ඖෂධ නිකුත් කිරීම සහ බෙදාහැරීම වැනි අත්‍යවශ්‍ය සේවාවන් අයත් වේ.

මෙම තත්ත්වය රෝහල්වල දෛනික කටයුතුවලට සහ රෝගීන්ගේ සෞඛ්‍ය සේවා අවශ්‍යතා සඳහා සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බවත් ඔහු පවසයි.

ලංකාවේ 71%කට අස්වැසුම

මෙරට පවුල් වලින් සියයට හැත්තෑ එකකට ආසන්න ප්‍රමාණයක් යැපෙන්නේ අස්වැසුම වැඩපිළිවෙළ මත බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ ඇමැති උපාලි පන්නිලගේ  පවසයි.

මේ වන විට අස්වැසුම අයදුම්පත් ලක්‍ෂ 37ක ප‍්‍රමාණයක් ලැබී ඇතැයිද ඔහු අනාවරණය කරයි..පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදි.

සිලි සිලි බෑග් වලට අලුත් බද්දක්

සුපිරි වෙළෙඳසල් ඇතුළු ව්‍යාපාරික ස්ථානවලින් සිලි සිලි මලු නිකුත් කිරීම පාලනය කිරීම සඳහා ඊට බද්දක් හෝ අධිභාරයක් නියම කරන ලෙස මුදල් අමාත්‍යාංශයට යෝජනා කළ බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල පවසයි.

මේ වනවිට සුපිරි වෙළෙඳසල්වලින් නොමිලේ සිලි සිලි මලු නිකුත් කළද, ඔවුන් විසින් රෙදි බෑග් එකක් හඳුන්වාදී තිබෙන බවත්, එය අගය කරන බවත්, එවැනි කටයුතු ප්‍රවර්ධනය කළයුතු බවත් ඔහු කියා සිටී.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (20 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටි අතර මුදල් අමාත්‍යාංශය,පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඇතුළුව අමාත්‍යාංශ රැසක් සමග මේ සම්බන්ධව සාකච්ඡා පැවැත්වූ බවත්, පනත් ආදිය වෙනස් කර නීතිමය ප්‍රතිපාදන සලසා ගන්නා තුරු මෙම බද්ද හෝ අධිභාරය පැනවීම සම්බන්ධව යෝජනා කළ බවත් පැවසුවා.

සිලි සිලි මලු සඳහා අවම මිලක් නියම කිරීමට පවතින නීතිමය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවද ඔහු අනාවරණය කලා.

සමන් දෙවොලට දේශපාලනය ගෙන ඒමේ මාලිමා උත්සාහය ආයෙත් පරදියි!

 

සබරගමුව මහ සමන් දේවාලයේ නව බස්නායක නිළමේ ලෙස ඉශාන් සංඛ මහතා වැඩි ඡන්දයෙන් අද දින පත්විය.

පසුගිය සමයේ සිදුවූ යම් හේතූන් නිසා සබරගමු මහා දේවාලයේ බස්නායක නිලමවරයා පත් කිරීමේ කටයුතු ප්‍රමාදයට ලක් විය.එවර දේශපාලන තත්ත්වයකට මුල පිරීමක් ලෙසට ජාතික ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් වියදම් කළ චන්දරේ නම් ව්‍යාපාරිකයා නව බස්නායක නිළමේ ලෙස පත් කිරීමේ සූදානමක් මතුවිය. එවර බස්නායක නිලමේ තනතුර තමන්ට අවශ්‍ය බවට පවසමින් දේශපාලන බලය ප්‍රයෝජනයට ගනිමින් චන්දරේ නම් පුද්ගලයා ක්‍රියාකළ නමුත් රත්නපුර ජනතාවගේ මතය වූයේ ඔහු එම තනතුරට සුදුස්සෙකු නොවන බවයි.ඒ අනුව ඔහුට රත්නපුර ජනතාවගේ විරෝධය එල්ල විය.ජනතා හඬට සවන් දුන්නාක් මෙන් මාලිමාවට වියදම් කළ චන්දරේ නම් පුද්ගලයාට බස්නායක තනතුර ලබාදීමේ මාලිමාවේ සම්ප්‍රදාය විරෝධී උත්සාහය අධිකරණ තීන්දුවකින් ව්‍යාර්ථ විය.

එලෙසම දේවාලයේ නිලමේ ලෙස දේශපාලන අතකොලුවක් වෙමින් ආණ්ඩුව විසින් පත්කිරීමට උත්සාහ දැරූ චන්ද්‍රකුමාර ජයසිංහ නම් ව්‍යාපාරිකයා නව ඡන්දයෙන් පරාජයට පත්ව තිබේ.
මෙවර නව නිලමේවරයා ලෙස පත්වූ ඉෂාන් සංඛ මාපිටිගම මහතා ඡන්ද 6කින් ඡන්දය දිනා ඇති අතර, මාලිමාවෙන් පත් කිරීමට නියමිත තිබූ චන්ද්‍රකුමාර ජයසිංහ නම් පුද්ගලයාට හිමිව ඇත්තේ ඡන්ද 4ක් පමණි.
තවද චන්ද්‍රකුමාර ජයසිංහගේ ජය වෙනුවෙන් ඇමැති සුනිල් සෙනෙවි ඡන්ද බලය හිමි ප්‍රාදේශීය ලේකම්වරුන්ට කිහිපවරක්ම බලපෑම් කර තිබූ බවත් නමුදු මහ සඟරුවන ඇතුළු ඡන්ද බලය හිමි ප්‍රාදේශීය ලේකම්වරු ඇමති සුනිල් සෙනවිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් වාර්තා විය.ඒ අනුව දේශපාලන බලයෙන් පත්වීමට නියමිතව තිබූ චන්ද්‍රකුමාර ජයසිංහට උරුම වූයේද චන්දරේගේ ඉරණමය.

විශේෂයෙන්ම ආගම රාජ්‍යයට මැදිහත්වීමත්, ආගමට දේශපාලනය මැදිහත් වීමත් සිදු නොවිය යුතු බවත් තම පාලනයකදී එසේ සිදු නොවන බවටත් පාරම් බෑ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව විසින්ම මෙම පිළිකුල් සහගත ක්‍රියාවන් සිදුකිරීම විශේෂත්වයකි.

Add to cart