ජාතික කෞතුකාගාර ආඥාපනත නියාමනයට අනුමැතිය

 

ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. මේ තීරණය ගෙන ඇත්තේ දැනට ක්‍රියාත්මක 1942 අංක 31 දරන පනත නවීකරණය කිරීමේ අරමුණෙනි.

මෙම සංශෝධන හරහා කෞතුක වස්තූන් වඩාත් කාර්යක්ෂමව සංරක්ෂණය කිරීම, ඒවාට හානි කිරීමේ වැරදි සඳහා දඬුවම් නියම කිරීම, සහ නව කෞතුකාගාර පිහිටුවීම සඳහා නියාමන රාමුවක් සැකසීම අපේක්ෂා කෙරේ. එසේම, කෞතුක භාණ්ඩ එකතු කිරීමේදී ඒවා වර්ගීකරණය කිරීම සඳහා නිර්ණායක හඳුන්වා දීම සහ කෞතුකාගාරවල පරිපාලන ව්‍යූහය ශක්තිමත් කිරීමද මෙහිදී අවධානයට ලක්ව ඇත.

මෙම කටයුතු සඳහා විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් කලින් පත් කර තිබූ අතර, එම කමිටුවේ වාර්තාවේ නිර්දේශ මත පදනම්ව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.

දකුණු ආසියානු තරුණ නායකයින් කතානායකවරයා හමුවෙයි

 

දකුණු ආසියානු තරුණ නායකත්ව වැඩසටහනේ (YSALI) නියෝජිත පිරිසක් ඊයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වූහ.

අගෝස්තු 17 සිට 21 දක්වා කොළඹදී පැවැත්වෙන දකුණු ආසියානු තරුණ නායකයින්ගේ කලාපීය වැඩමුළුවට සහභාගී වන මෙම පිරිස බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන තරුණ නායකයින් 80 දෙනෙකුගෙන් සමන්විත විය.

පාර්ලිමේන්තු සංචාරය අතරතුර, නියෝජිත පිරිස පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවූහ. එහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්යභාරය සහ ශ්‍රී ලංකාවේ වත්මන් සමාජ-දේශපාලන පරිවර්තනීය ක්‍රියාවලිය සඳහා තරුණ පරපුරේ දායකත්වයේ වැදගත්කම පිළිබඳව කථානායකවරයා පැහැදිලි කළේය.

කථානායකවරයා තවදුරටත් කියා සිටියේ තාක්ෂණය උරුම කරගත් වත්මන් තරුණ පරපුරට ලෝකය වඩාත් යහපත් කිරීම සඳහා විශේෂ කාර්යභාරයක් හිමිවන බවත්, ඒ සඳහා දකුණු ආසියානු තරුණ ප්‍රජාව ලෙස නායකත්වය ලබාදීමේ වගකීම මෙම නියෝජිතයින් සතු බවත්ය.

මෙම හමුවීමේදී තරුණ නියෝජිතයින් ඉදිරිපත් කළ ගැටලුවලට කථානායකවරයා පිළිතුරු දුන් අතර, දකුණු ආසියාව තුළ කලාපීය සහයෝගීතාව වර්ධනය කිරීම, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනැංවීම සහ සමාජ සංහිඳියාව වර්ධනය කිරීම වැනි කරුණු පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ නිවාඩු අවලංගු කෙරේ

 

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ දේශීය හා විදේශීය නිවාඩු නැවත දැනුම් දෙන තුරු අවලංගු කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් පසුගිය අඟහරුවාදා (අගෝස්තු 18) නිකුත් කරන ලද චක්‍රලේඛයක් මගින් මේ බව දැනුම් දී ඇත. සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් විදෙස්ගත වීම හේතුවෙන් අමාත්‍යාංශයේ අත්‍යවශ්‍ය කටයුතු පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බව එම චක්‍රලේඛයේ සඳහන් වේ.

අමාත්‍යාංශයේ පුරප්පාඩු සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීම සීමා කර ඇති බැවින් මෙම තීරණය ගැනීමට සිදුවූ බවද ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ලක්ෂ්මන්ගේ නඩුව කල්‍ යයි

 

රජයට රුපියල් ලක්ෂ 17කට අධික මුදලක් පාඩු කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහට එරෙහි නඩුව සැප්තැම්බර් මස 7 වැනිදා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (20) නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා හමුවේ අද කැඳවූ මෙම නඩුවේදී, අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය විසින් අධිචෝදනා පත්‍රයට සංශෝධන එක් කිරීමට අවසර ඉල්ලා සිටි අතර, අධිකරණය ඊට අවසර ලබා දුන්නේය. අනතුරුව, එම නඩුවට අදාළ ලේඛන ඇතුළත් සංයුක්ත තැටියක් විත්තියේ නීතිඥවරුන්ට භාර දෙන ලදී.

මෙම නඩුව ගොනු කර ඇත්තේ 2014 වසරේ නොවැම්බර් 19 වන දින මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල් යොදාගෙන පුවත්පත් 11ක අතිරේක පළ කිරීම තුළින් රජයට රුපියල් 1,748,877.76ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙනි. මෙය දූෂණ විරෝධී පනත යටතේ වරදක් බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.

මෙහිදී විත්තියේ නීතිඥවරුන් සඳහන් කළේ, ඉදිරියේදී නඩුවට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි. අධිකරණය එය නඩු විභාගය ආරම්භයේදී ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නේය.

මෙම නඩුවේ ඉදිරි විභාගය සැප්තැම්බර් 7 වැනිදා පැවැත්වීමට නියමිතය

දේශබන්දුගේ ඇප ඉල්ලීම අධිකරණයෙන් ඉවතට

 

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂිත ඇප අයදුම්පත අද (20) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා, අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු පොලිස්පතිවරයා මෙම අයදුම්පත ගොනු කර තිබුණි. කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

මෙම නඩුව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.

වසරකට රුපියල් කෝටි 1800ක එළවළු-පලතුරු අපතේ

 

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව එළවළු සහ පලතුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 5කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනයේදී අපතේ යන බව නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය සහ කෘෂි විද්වතුන් එක්ව සිදුකළ මෙම අධ්‍යයනයේදී, මෙම නාස්තිය නිසා වසරකට රුපියල් කෝටි 1800ක පමණ ආර්ථික පාඩුවක් සිදුවන බව අනාවරණය විය.

අධ්‍යයනයට අනුව, ගොවි බිමේ සිට වෙළෙඳපොළ දක්වා ප්‍රවාහනය කරන එළවළු සහ පලතුරු අස්වැන්නෙන් සියයට 30-40ක් පමණ නාස්ති වේ. ප්‍රවාහනයේදී සිදුවන නාස්තිය සියයට 10ක් දක්වා අවම කර ගැනීමෙන් රුපියල් බිලියන හයක් පමණ ඉතිරි කරගත හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති. එසේම, මෙම නාස්තිය සියයට 5.7ක් දක්වා අඩු කිරීමේ හැකියාව තිබුණද, ඒ සඳහා ලබාදුන් නිර්දේශ සහ උපදෙස් ගොවීන්, වෙළෙඳුන් සහ අතරමැදියන් විසින් අනුගමනය නොකරන බවද හෙළි වී ඇත.

වසර ගණනාවක් තිස්සේ සිදුකළ පර්යේෂණවලට අනුව, ප්ලාස්ටික් කූඩ සහ තාක්ෂණික ඇසුරුම් භාවිත කිරීමෙන් එළවළු සහ පලතුරු තැලීම් හා පොඩිවීම් අවම කරගත හැකිය. කෙසේ වෙතත්, මෙම නවීන ක්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමු නොකිරීම ආහාර නාස්තියට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව විද්වත්හු පවසති. වරින් වර ගොවීන්, අතරමැදියන් සහ වෙළෙඳුන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණද, තවමත් නාස්තිය පහළ ගොස් නොමැත.

මෙම වාර්තාව මඟින්, රටේ ආහාර සුරක්ෂිතතාවයට සහ ආර්ථිකයට සෘජුවම බලපාන මෙම ගැටලුව පිළිබඳව ක්ෂණික විසඳුම් සෙවීමේ අවශ්‍යතාව නැවත වරක් අවධාරණය කර ඇත.

විපක්ෂයේ නායකයෝ අද හදිසියේ රැස්වෙති

 

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ පක්ෂ නායකයින් සහ නියෝජිතයින් අද දහවල් 12:00ට හදිසි රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

මෙම රැස්වීම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව වාර්තා වේ.

විශ්වාසභංග යෝජනාවට අදාළ කරුණු, ආණ්ඩුවේ ප්‍රතිචාර සහ හෙට දින පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කිරීමට අපේක්ෂිත කරුණු සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරෙනු ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

හිතවත්කම් මත රැකියා ලබානොදෙන බව තෙල් සංස්ථා සභාපති කියයි

 

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (CPC) සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (CPSTL) රැකියා පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බවත්, එම බඳවා ගැනීම් සඳහා කිසිදු දේශපාලන හෝ නිලධාරී මැදිහත්වීමකට ඉඩ නොදෙන බවත් එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කරයි.

සභාපතිවරයා අවධාරණය කරන්නේ, අයදුම්කරුවන් බඳවා ගැනීමේදී කිසියම් ආකාරයක හඳුනාගැනීමක් මත හෝ මුදල් ලබාදී රැකියාවට පැමිණ ඇති බවට අනාවරණය වුවහොත්, අදාළ පුද්ගලයන් එම රැකියා සඳහා නුසුදුස්සන් බවට පත්වන බවයි. එසේම, රැකියා ලබා දීම හෝ ලබා ගැනීම වෙනුවෙන් මුදල් හුවමාරු කරගත් සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.

මෙමඟින්, රටේ ඕනෑම සුදුසුකම් ලත් පුද්ගලයෙකුට කිසිදු බලපෑමකින් තොරව මෙම රැකියා සඳහා අයදුම් කිරීමට අවස්ථාව හිමි වේ.

අතීතයේදී මෙම ආයතනවල රැකියා අවස්ථා සඳහා දේශපාලන මැදිහත්වීම් හෝ ඉහළ නිලධාරීන්ගේ හිතවත්කම් මත පුද්ගලයන් පත් කිරීම් සිදුව ඇති බවට මෙන්ම, අල්ලස් ලෙස විශාල මුදල් ලබාගෙන රැකියා ලබා දී ඇති බවටද තොරතුරු වාර්තා වී තිබූ බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, ඉදිරියේදී එවැනි අක්‍රමිකතා කිසිවක් සිදු නොවන බවත්, සුදුසුකම් මත පමණක් රැකියා ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

සෞඛ්‍ය සහ ජනමාධ්‍යයේ අයවැය පූර්ව සාකච්ඡා ඇරඹේ

 

2026 අයවැය සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයන්ට අදාළ පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 2025 වසරේ වෙන් කළ අයවැය ප්‍රතිපාදන හා ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සමාලෝචනය කෙරිණි.

සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතන 41ක් වෙනුවෙන් වෙන් කළ ප්‍රතිපාදන පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය. ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළ නැංවීම සඳහා ඉදිරි අයවැයෙන් විශේෂ ප්‍රතිපාදන වෙන් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. දැනට පුද්ගලයන් 30,000කට එක් ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් පවතින අතර, එය 10,000කට එකක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති බව මෙහිදී අනාවරණය විය.

ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සහ උපායමාර්ගික සැලැස්මක් ලබන වසරේ එළිදැක්වීමට නියමිත බවද සඳහන් වූ අතර, සෞඛ්‍ය සේවාවේ භෞතික හා මානව සම්පත් නවීන තාක්ෂණයට හා ජනගහන වර්ධනයට අනුකූලව පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය. උපකරණ මිලදී ගැනීම් සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීම සහ ඖෂධවල ගුණාත්මකභාවය සහතික කිරීමේ ක්‍රමවේදයන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ජාතික රුධිර පාරවිලන සේවය වැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අවශ්‍ය වාහන මේ වසරේදීම මිලදී ගැනීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළ සැලසුම් පිළිබඳවද අවධානය යොමු වූ අතර, සමාජ ආකල්ප වර්ධනය සඳහා රාජ්‍ය මාධ්‍යයේ වගකීම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මේ සඳහා අවශ්‍ය සැලැස්මක් ඉදිරිපත් කරන්නේ නම් ලබන අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බව ඔහු සඳහන් කළේය.

තැපැල් සේවාව නවීකරණය කිරීම පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. නවීන තාක්ෂණයට අනුව කුරියර් සේවා වැනි අංග එකතු කරමින් තැපැල් සේවාව නවීන මාදිලියකට ගෙන ඒමේ අවශ්‍යතාව අවධාරණය විය.

පසුගිය අයවැයෙන් සියලු ක්ෂේත්‍ර සඳහා ප්‍රමාණවත් පරිදි ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, එම මුදල් ව්‍යාපෘති සඳහා නිසි ලෙස යොදවා උපරිම ප්‍රතිලාභ ජනතාවට ලබා දීමේ වැදගත්කම ජනාධිපතිවරයා පැහැදිලි කළේය. සාකච්ඡාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

ගුරු සේවයට අලුත් නීති

ඉදිරියේදී ප්‍රමිතියෙන් තොර අධ්‍යාපනවේදී උපාධි ලබා ගත් පුද්ගලයන් ගුරු සේවයට බඳවා නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් ලබා දෙන අධ්‍යාපනවේදී උපාධිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කමිටුවක් මගින් විමර්ශනයක් සිදු කළ බවයි. අදාළ වාර්තාව මේ වනවිට අමාත්‍යාංශයට ලැබී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව, දැනටමත් ගුරු සේවයට එක්ව සිටින ප්‍රමිතියෙන් තොර අධ්‍යාපනවේදී උපාධිධාරීන් පිළිබඳ තොරතුරු රැස්කිරීම ආරම්භ කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Add to cart