යාපනයේ පන්සලකට දැඩි විරෝධයක්

යාපනයේ චුන්නාකම් ප්රදේශයේ පිහිටි කදුරුගොඩ විහාරයේ ඉදි කිරීමට සැලසුම් කොට ඇති බෞද්ධ මධ්යස්ථානයට පළාතේ වැසියන්ගෙන් එල්ල වී ඇති විශාලා බලපෑමක් නිසා එහි සමාරම්භක කටයුතු නවතා දැමීමට සිදුව තිබේ.

කදුරුගොඩ විහාරයට යාබදව සිටින පිරිස් එම විහාරස්ථානය සතු ඉඩම් වලින් විශාල ප්රමාණයක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින අතර එම ස්ථනයේ බෞද්ධ මධ්යස්ථානයක් ඉදි කළහොත් ඔවුන්ට ඉඩම් අහිමි වී යා හැකි බැවින් ඔවුන් මේ බෞද්ධ මධ්යස්ථානය ඉදිකිරීමට එරෙහිව විරෙධය පලකොට තිබේ.

විශාල පිරිසක් යාපනයේ තෙලිප්පලෙයි ප්රාදේශීය සභාව වෙත ගොස් කදුරුගොඩ විහාරාසන්නයේ බෞද්ධ මධ්යස්ථානයක් ඉදි කිරීමේ කාර්යයට අනුමැතිය ලබා නොදෙන ලෙස කළ ඉල්ලීමක් නිසා ප්රාදේශීය සභාවද ජනතවගේ බහට අවනත වී අනුමැතිය ලබා නොදී නිහඩව සිටියි.

මෙම ස්ථානයේ බෞද්ධ මධ්යස්ථානයක් ඉදිකරණු ලබන්නේ දකුණේ සිට යාපනයට ගොස් කදුරුගොඩ විහාරය වන්දනාමාන කිරීමට සහභාගී වන බැතිමතුන්ගේ පහසුව පිණිස වූවත් ප්රාදේශීය සභාව හා ජනතාව ඒ තත්ත්වය පිළිගැනීමට දැඩි අකැමැත්තක් දක්වන අතර ඔවුන් කියා සිටින්නේ බෞද්ධයින් නොමැති පළාතකට බෞද්ධ මධ්යස්ථානයක් අවශ්ය නොවන බවයි.

කොමාන්ඩෝ කණිෂ්කව සයනයිඩ් දී මරන්න හදලා

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ‘කොමාන්ඩෝ කණිෂ්ක කුමාර’ සහ ඉමේෂ් චතුරංග නමැති සැකකරුවන් ඝාතනය කිරීම සඳහා යොදා ගැනීමට සඟවාගෙන තිබූ සයිනයිඩ් කුප්පියක් සොයාගැනීමට එම බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකා නිලධාරීන් සමත් වුනේය.
අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ E-4 සිර අංශයේ පසුගිය 17 වැනිදා සිදු කළ සෝදිසි කිරීමකදී මෙම සයිනයිඩ් කුප්පිය සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරීහු සමත් වූහ.

විමර්ශනවලදී හෙළි වන්නේ මෙම සයිනයිඩ් කුප්පිය බන්ධනාගාරය තුළට පිටතින් ගෙනැවිත් ඇත්තේ විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ‘කුඩු සලිඳු’ගේ උපදෙස් මතය. ඔහුගේ ගෝලයකු වන විමුක්ති නමැත්තා මෙම කටයුතු හසුරුවා ඇතැයි මේ වනවිට අනාවරණය වී ඇත.

බන්ධනාගාර ආරංචි මාර්ග කියන්නේ එම සැකකරු තරිඳු මධුසංක නමැති තවත් සැකකරුවකුට මෙය ලබා දී ඇති බවය. බන්ධනාගාර නිලධාරීන් පරීක්ෂා කරන අවස්ථාවේදී තරිඳු මධුසංඛ නැමැත්තා සතුව තිබී මෙම සයිනයිඩ් කුප්පිය සොයාගෙන තිබිණි.

ඝාතනය කරන්නට නම් කළ කොමාන්ඩෝ කණිෂ්ක කුමාර සහ ඉමේෂ් චතුරංග නමැති සැකකරුවන් දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය චෝදනා මත අගුණුකොළපැලැස්ස සහ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණ මඟින් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියම කළ අය වේ. බන්ධනාගාරය තුළට ගෙන ආ මෙම සයිනයිඩ්, පරීක්ෂා කිරීමට මෙම පිරිස කටුස්සෙක් අල්ලාගෙන ඌට එන්නත් කර ඇති අතර, එම ස්ථානයේදීම කටුස්සා මියගොස් ඇති බව අනාවරණය වේ.

ඒ අනුව මෙම සයිනයිඩ් විෂ රසායනික ද්‍රව්‍ය සන්තකයේ තිබූ බව කියන තරිඳු මධුසංක නමැත්තාගෙන් බන්ධනාගාර බලධාරීන් වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට මෙම 06 වැනිදා රැගෙන ආ විමුක්ති නමැති සැකකරු බන්ධනාගාරගත කරන අවස්ථාවේදී සූක්ෂ්ම ලෙස සඟවාගෙන මෙම විෂ රසායනිකය රැගෙන විත් තමන් හට ලබා දුන් බවය.

ඒ අවස්ථාවේදී විමුක්ති විසින් එම සිර වාට්ටුවේ සිටින තවත් සිරකරුවකු පෙන්වා ඔහුට මෙම විෂ රසායනිකය මඟින් ජීවිත හානියක් සිදු කළහොත් තමන්ට රුපියල් 1,000,000 ක මුදලක් ලබා දෙන බව පැවසූ බවත් තරිඳු මධුසංක නමැති සැකකරුවා බන්ධනාගාර බලධාරීන් හමුවේ පවසා තිබේ.

එහෙත්, ඝාතනය කිරීමට නම් කළ සැකකරුවකු වූ කණිෂ්ක කුමාර නමැත්තා පසුගිය 16 වැනිදා වෙනත් නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ඒම නිසා ඔහු ඝාතන තැත වැරදී යන්නට ඇති බව බන්ධනාගාර නිලධාරීන් සැක පහළ කරයි.

මේ අනුව අනෙක් සැකකරුද අඟුණුකොළපැලැස්ස බන්ධනාරයේ වෙනත් සිර වාට්ටුවකට මාරුකර යැවීමට බන්ධනාගාර පාලනාධිකාරිය මේ වනවිට කටයුතු යොදා තිබේ. එමෙන්ම සයිනයිඩ් විෂ රසායනික ද්‍රව්‍ය සියල්ලම බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්ද යන්න සැක සහිත බැවින් ඒවා සන්තකයේ තිබූ තරිඳු මධුසංක නමැති සැකකරු එම බන්ධනාගාරයේ විශේෂ අංශයේ වෙනම රඳවා තැබීමටද බන්ධනාගාර අධිකාරිය කටයුතු යොදා ඇත.

මියගිය කටුස්සාගේ සිරුර අඟුණුකොළපැලැස්ස පොලීසිය වෙත භාරදීමට පියවර ගෙන ඇත.

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ විනය අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත එම බන්ධනාගාර අධිකාරිවරයාට දැනුම් දීමෙන් පසු බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකා නිලධාරීන්ගේ සහය ඇතිව මෙම සෝදිසි මෙහෙයුම දියත් කර ඇත.

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අද (අගෝස්තු 19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙම නියෝගය නිකුත් කළ බව වාර්තා වේ.

සිලෝන් ටීවලට ආදරේ ලිතුවේනියාවේ ඩයනා

ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 29 වන සංවත්සරය සනිටුහන් කරන මේ මොහොතේ, ශ්‍රී ලංකාවේ සහ ලිතුවේනියා සම්බන්ධතාවය කාලයත් සමග පරිණත වී ඇති ආකාරය දැකීම සතුටට කරුණක් බවත්, 1996 දී විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවක් ලෙස ආරම්භ වූ දෙය විශ්වාසය, ගෞරවය සහ බෙදාගත් අභිලාෂ මත ගොඩනගා ඇති සැබෑ රාජ්‍ය තාන්ත්‍රික හවුල්කාරිත්වයක් බවට පරිවර්තනය වී ඇති බවත් ලිතුවේනියා තානාපතිනි ඩයනා මෙකැවෙසියන් සඳහන් කරන්නී ය.

ඇය මෙලෙස සඳහන් කරන්නී ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 29 වන සංවත්සරය සමරමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයකිනි.

එම මාධ්‍ය නිවේදනයේ ලිතුවේනියා තානාපතිනිය වැඩි දුරටත් මෙලෙස සඳහන් කරන්නී ය.

”අපි භූ ගෝලීය වශයෙන් කිලෝමීටර් දහස් ගණනක් දුරින් සිටිය හැකි නමුත්, අපගේ ජනතාව සහයෝගීතාවය, සොබාදහම මූලික කරගත් අන්‍යෝන්‍ය සංචාරක බැඳීම හා ඵලදායී හැකියාවන් හා අවස්ථාවන් නිරන්තරයෙන් බෙදා ගනු ලබන්නේ උණුසුම් සහෝදරත්වයකිනි. ලිතුවේනියානු බිමේ පිහිටි අපගේ නිවෙස්වල අඛණ්ඩව භුක්ති විඳින ලංකා තේ කෙරෙහි අපගේ බෙදාගත් ආදරයේ සිට, අපගේ රටවල් අතර සංචාරකයින්ගේ සහ සිසුන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධනය වන ප්‍රවාහය දක්වා, අපි සෑම වසරක ම එකිනෙකා ගැන වැඩි වැඩියෙන් අවධානය යොමු කරමින්, තව තවත් රාජ්‍ය තාන්ත්‍රික, සාමාජයික, සංස්කෘතික, තාක්ෂණික හා සංචාරක සොයා සබඳතා ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටිමු.”

මතු පළ වන්නේ ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 29 වන සංවත්සරය සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ පිහිටි ලිතුවේනියා රජයේ කොන්සාල් කාර්යාලය විසින් නිකුත් කරනු ලැබ ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

 

තැපැල් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මකයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාව සාර්ථක වුවත්, තැපැල් වෘත්තීය සමිති සිය වැඩවර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව අද (අගෝස්තු 19) පස්වරුවේ ප්‍රකාශ කළේය.

ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා සමඟ පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව පැවසීය.

ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් ඊයේ (අගෝස්තු 18) පස්වරුවේ සිට තැපැල් වෘත්තීය සමිති මෙම අඛණ්ඩ වැඩවර්ජනය ආරම්භ කර ඇති අතර, මේ හේතුවෙන් දිවයින පුරා සියලුම තැපැල් කාර්යාලවල කටයුතු අඩපණ වී තිබේ.

තැපැල් හා විදුලි සංදේශන නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඊ. ජී. සී. නිරෝෂන මහතා මෙසේ පැවසීය: “අමාත්‍යවරයා සමඟ අපට වහාම සාකච්ඡාවක් ලබා දෙන්න. ඒ සාකච්ඡාවෙන් පසු අපි අඛණ්ඩ වැඩවර්ජනය අවසන් කිරීමට සූදානම්. එතෙක් අඛණ්ඩ වැඩවර්ජනය ක්‍රියාත්මකයි.”

ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 26 දක්වා තවදුරටත් රිමාන්ඩ්

 

හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන අගෝස්තු 26 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය.

මෙම නියෝගය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය විසින් නිකුත් කරන ලද්දේ අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුවය.

හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලකට වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් ය. 2022 මැයි 9 වැනිදා ඇති වූ අරගලයේදී එම දේපළවලට හානි සිදුවීමෙන් පසු වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබුණද, ඔහු සිය නිල බලය භාවිතා කරමින් අදාළ රජයේ නිලධාරීන්ට බලපෑම් කර රුපියල් 8,850,000 ක වන්දියක් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත. මෙම ක්‍රියාව “දූෂණය” සහ පොදු දේපළ පනත යටතේ වරදක් බවට සැක කෙරේ

පාර්ලිමේන්තුවේ සුපිරි කෑමක් මාසෙට කෝටි 02ක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ සේවකයන්ට කෑම සැපයීම වෙනුවෙන් මාසයකට රුපියල් එක්කෝටි අනූපන් ලක්ෂ අසූ දෙදහස් අටසිය අනූ හයක් වැය වන බව ගණන් බලා ඇතැයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ පාර්ලිමේන්තුව ලබා දුන් පිළිතුරක සඳහන්වේ.

මෙම වසරේ පළමු අර්ධ වර්ෂය පදනම් කරගෙන මෙම ගණන් බැලීම කර ඇත. මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සේවකයන් ඇතුළු පිරිසේ ආහාර පාන වෙනුවෙන් පසුගිය වසර පහක කාලයේදී වැය කර ඇති මුදල රුපියල් කෝටි අසූවකට වැඩි බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ සේවකයන්ගේ ආහාර පාන වෙනුවෙන් පසුගිය 2020 වර්ෂයේදී රුපියල් කෝටි නවයකට ආසන්න මුදලක්ද( 88,825,435.00) 2021 වර්ෂයේදී රුපියල් කෝටි දහයකට වැඩි මුදලක්ද ( 102,456,188.00) 2022 වර්ෂය වෙනුවෙන් රුපියල් කෝටි දහ අටකට වැඩි මුදලක්ද( 185,456,188.00) 2023 වර්ෂය වෙනුවෙන් රුපියල් කෝටි විසි හතරකට ආසන්න මුදලක්ද( 238,937,166.00) 2024 වර්ෂයේදී රුපියල් කෝටි විසි දෙකකට ආසන්න මුදලක්ද( 219,426,369.00) මෙසේ වැය කර ඇත. 2020 වර්ෂයේ මාර්තු අප්‍රේල් මැයි කොවිඩ් වසංගතය හේතුවෙන් කාර්ය මණ්ඩලය සේවයට කැඳවීම සීමා කිරීම හාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වීම හේතුවෙන් ආහාර පාන වියදම එසේ අඩුවුණු බවද එම ප්‍රකාශකයා කීය.

රනිල් වික්‍රමසිංහ CIDය හමුවට කැඳවීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද දැනුම්දීමට අනුව, හිටපු ජනාධිපතිවරයා අගෝස්තු 22 වන සිකුරාදා පෙරවරු 9ට CIDය හමුවේ පෙනී සිටිය යුතුය.

රාජිතට උසාවියෙන් අද දීපු නියෝගය මෙන්න

 

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව නිකුත් කර තිබූ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අත්හිටුවන ලෙස ඉල්ලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව, අද (අගෝස්තු 19) දිනයේදී මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන ලෙස නියෝගයක් ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෙම මෝසම ඉදිරිපත් කර තිබුණි. මෙම වරෙන්තුව අගෝස්තු 12 වැනිදා නිකුත් කර තිබුණි.

ඇඟිලි සලකුණු අනිවාර්යයි, කැමති නැත්නම් යන්න පුළුවන්

 

අද (අගෝස්තු 19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ, තැපැල් වර්ජකයන්ගේ ප්‍රධාන ඉල්ලීම් දෙකක් වන ඇඟිලි සලකුණු යන්ත්‍ර ඉවත් කිරීම සහ අතිකාල දීමනා වැඩි කිරීම ඉටු කිරීමට නොහැකි බවයි.

ඔහු සඳහන් කළේ, මෙම තීරණ දෙක අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බවත්, තැපැල් සේවකයන්ට සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් එය කළ හැක්කේ මෙම ඉල්ලීම් දෙකට එකඟ වන්නේ නම් පමණක් බවත්ය.

එමෙන්ම, මෙම තීරණ සමඟ ඉදිරියට යාමට කැමති තැපැල් සේවකයන්ට සේවයේ රැඳී සිටිය හැකි බවත්, ඇඟිලි සලකුණු යන්ත්‍රවලට අකමැති පිරිස් සිටිනවා නම්, ඇඟිලි සලකුණු යන්ත්‍ර නොමැති වෙනත් ස්ථානයක ගොස් රැකියාවක් කළ හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

දැනට තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති නිසා, ඔවුන්ගේ වැටුප් සම්බන්ධයෙන්ද ඉදිරියේදී තීරණයක් ගන්නා බව කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Add to cart