වර්ජනය නොතකා හැටන් තැපැල් කාර්යාලය ඕපන්

 

රටපුරා ක්‍රියාත්මක වන තැපැල් සේවක වැඩවර්ජනය නොතකා, හැටන් ප්‍රධාන තැපැල් කාර්යාලය අද (අගෝස්තු 19) විවෘත කර ඇති බව වාර්තා වේ.

තැපැල් වෘත්තීය සමිති 19ක ඉල්ලීම් මුල් කරගනිමින් ඊයේ (අගෝස්තු 18) ආරම්භ කළ මෙම වැඩවර්ජනය අද දිනයේද ක්‍රියාත්මක වන අතරතුර, හැටන් ප්‍රධාන තැපැල් ස්ථානාධිපතිනිය වන චම්පා ඒකනායක මහත්මිය විසින් මෙම තැපැල් කාර්යාලය විවෘත කර තිබේ.

තැපැල් ස්ථානාධිපතිනිය ප්‍රකාශ කළේ, තමන් කාර්යාලය විවෘත කළද, එහි සේවය කරන නිලධාරීන් සහ සේවකයන් ඊයේ සිට සේවයට වාර්තා නොකර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි. කෙසේ වෙතත්, තම තැපැල් කාර්යාලයට අනුයුක්ත කර ඇති ආදේශක තැපැල්කරුවන් කිහිප දෙනෙකු පමණක් සේවයට වාර්තා කර ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

පොහොර සහනාධාරය ඩිජිටල්කරණයරට අනුමැතිය

 

ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම තීරණය ගනු ලැබුවේ, රජයෙන් ගොවීන්ට ලබා දෙන සහනාධාරය නිසි වේලාවට ලැබෙන බවත්, එම මුදල් සම්පූර්ණයෙන්ම පොහොර මිලදී ගැනීම සඳහාම යොදා ගන්නා බවත් තහවුරු කරගැනීමේ අරමුණින්. ඒ සඳහා QR කේතයක් හෝ ඊට සමාන ඩිජිටල් ක්‍රමවේදයක් භාවිත කිරීමට නියමිතයි.

මේ යටතේ, පොහොර සහනාධාර වැඩසටහන සඳහා සුදුසුකම් ලබන සියලු ගොවීන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රාදේශීය නිලධාරීන් මඟින් හඳුනාගැනෙනු ඇත. ඉන් පසු, එම ගොවීන්ට සහනාධාරය ලබා දීම සඳහා QR කේතය හෝ වෙනත් සුදුසු ඩිජිටල් යාන්ත්‍රණයක් සකස් කිරීමට නියමිතයි.

ජනාධිපතිවරයා සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ආණ්ඩුව මුදල් අච්චු ගහලා නැහැ

 

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටින්නේ ආණ්ඩුව විසින් කිසිසේත්ම මුදල් අච්චු ගැසීමක් සිදු කර නොමැති බවයි.

අද (අගෝස්තු 19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ට්‍රිලියන 1.2ක මුදලක් වත්මන් ආණ්ඩුව යටතේ මුදල් අච්චු ගසා ඇති බවට ඇතැම් සංවිධාන සිදු කරන ප්‍රකාශ හිතාමතා හෝ නොදැනුවත්භාවය නිසා සිදු කරන ප්‍රකාශ බවයි.

දැනට පවතින නීතිමය තත්ත්වය අනුව ආණ්ඩුවට මුදල් අච්චු ගැසීමට හැකියාවක් හෝ ඉඩක් නොමැති බවත්, එබැවින් එසේ සිදු නොකළ බවත් ඔහු සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේ, මහ බැංකුව විසින් පාලනය කරන සංචිත මුදල් හරහා මුදල් ප්‍රසාරණය වීම සිදු වී ඇති බවත්, මෙය ආණ්ඩුව විසින් මුදල් නෝට්ටු අච්චු ගැසීමක් නොවන බවත්ය. එසේම, මෙම ප්‍රකාශ සම්පූර්ණයෙන්ම සමාජය නොමඟ යැවීමක් බවට ඔහු චෝදනා කළේය.

ශ්‍රී ලංකාවේ මේ වන විට සංචිත මුදල් ට්‍රිලියන 1.6ක් වන අතර, පුළුල් මුදල් සැපයුම ට්‍රිලියන 15කට ආසන්න වී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පුළුල් මුදල් සැපයුමේ මෙම වර්ධනය සිදු වී ඇත්තේ මහ බැංකුවේ මැදිහත් වීම නිසා මිස, ආණ්ඩුව මුදල් අච්චු ගැසීම නිසා නොවන බව ඔහු අවධාරණය කළේය.

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය ඇරඹේ

2025 වර්ෂය සඳහා ලියාපදිංචි කිරීමට ඉල්ලීම් කර ඇති නව දේශපාලන පක්ෂවල සම්මුඛ පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, දේශපාලන පක්ෂ 47ක් මූලික සම්මුඛ පරීක්ෂණ සඳහා තෝරාගෙන ඇති බවය.

මේ වසර සඳහා දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට පසුගිය පෙබරවාරි මාසයේ ඉල්ලුම්පත් කැඳවීම සිදුකළ අතර එහිදී ඉල්ලුම්පත් 83ක් ඉදිරිපත්වී තිබුණි.

එම ඉල්ලුම්පත් 83 අතුරින් ඉල්ලුම්පත් 36ක් මූලික කරුණු පවා සපුරා නොතිබීම හේතුවෙන් ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ ‍කොමසාරිස් ජනාරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

ඒ අනුව ඉල්ලුම්පත් 47ක් සම්බන්ධයෙන් මූලික සම්මුඛ පරීක්ෂණ කටයුතු මේ දිනවල සිදුවන අතර එම සම්මුඛ පරීක්ෂණවලින් තෝරාගන්නා පක්ෂ සඳහා දෙවන වටයේ සම්මුඛ පරීක්ෂණවලට යොමුකිරීමට නියමිතය.

එම සම්මුඛ පරීක්ෂණවලින් අනතුරුව තෝරා ගන්නා පක්ෂ 2025 වර්ෂය සඳහා නව දේශපාලන පක්ෂ ලෙස ලියාපදිංචි කිරීම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ වන විට දේශපාලන පක්ෂ 86ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස පවතී.

අහසින් පහරදුන් රුසියානු ඩ්‍රෝන – යුක්‍රේනයේ ජීවිත 14ක් මරු තුරුළට

යුක්‍රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන් ප්‍රහාරයකින් කාර්කිව් නගරයේ පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂය පත් වී තිබෙන අතර තවත් 23 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරය සිදු වූ ස්ථානයේ පස් මහල් ගොඩනැගිල්ලක කොටසක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, තවත් තුන් මහල් ගොඩනැගිලක ගින්නක් ද පැවති බව සඳහන් වෙයි.

අතිශයින්ම කනගාටුදායක තත්ත්වය වන්නේ, මෙම ප්‍රහාරය නිසා කුඩා ළමුන් දෙදෙනෙකුගේ ජීවිතය කඩා වැලඳී යාමයි.**

මෙම හදිසි ප්‍රහාරය, ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර වොෂින්ටනයේ පැවති සාකච්ඡාවට පෙර සිදු වූ බවද වාර්තා වේ.

යුක්‍රේනයේ සිවිල් ජනතාවගේ ආරක්ෂාව සහ ප්‍රහාරයට ලක් වූ ගොඩනැගිලිවල ආරක්ෂාව තවමත් දැඩි අවදානමකට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අරුණ ගැන කථානායක පස්සෙ කියයි

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ තමාගේ තීරණය ඉදිරියේ දී දැනුම්දෙන බව කථානායකවරයා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අද (19) උදෑසන 9.30ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වූ අතර, එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු 31ක් දෙනෙකුගේ අත්සනින් යුතුව අගෝස්තු 12 වන දින විශ්වාසභාංග යෝජනාව තමා වෙත භාරදුන් බව ද කථානායකවරයා මෙහිදී කියා සිටියේය.

ඒ අනුව අදාළ විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් කරුණු අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉදිරියේ දී සභාවට දැනුම්දෙන බව ද කථානායකවරයා මෙහිදී දැනුම් දුන්නේය.

තිදෙනෙකු තුවාල ලැබූ ඩිෆෙන්ඩර් – බස් රථ අනතුර

හිඟුරක්ගොඩ මැදිරිගිරිය ප්‍රධාන මාර්ගයේ කිඹුලාවල ප්‍රදේශයේ දී ගුවන් හමුදා ඩිෆෙන්ඩර් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදු වී තිබේ.

මෙම අනතුරෙන් ඩිෆෙන්ඩර් රථයේ ගමන් කළ තිදෙනෙකු තුවාල ලබා හිඟුරක්ගොඩ රෝහලට ඇතුලත් කර තිබෙන අතර, බස් රථයේ ගමන් කළ කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බව වාර්තා වේ.

හිඟුරක්ගොඩ පොලිසිය අනතුර පිළිබඳ පරීක්ෂණ තවදුරටත් සිදුකරනු ලබයි.

ජෙයරාජ් මැරිලත් කඩ කුළිය අරගෙන

රජ­යෙන් ගත් රුපි­යල් මිලි­යන හතක මූල්‍ය ප්‍රති­පා­දන වැය කර වැලි­හේන ප්‍රදේ­ශයේ ඉදි­කර ඇති කඩ කාමර 42ක් සහිත වෙළෙඳ සංකී­ර්ණ­යෙන් කටාන ප්‍රාදේ­ශීය සභා­වට අය­විය යුතු කඩ කුලිය ජෙය­රාජ් ප්‍රනා­න්දු­පුල්ලේ පද­නම විසින් බල­හ­ත්කා­ර­යෙන් ලබා ගන්නා බව එම ප්‍රාදේ­ශීය සභාවේ ජාතික ජන බල­වේ­ගයේ මන්ත්‍රී ලෙස්ලි ප්‍රනා­න්දු­පුල්ලේ මහතා පැව­සීය.

මේ නිසා සත පහක ආදා­ය­මක් කඩ­කා­ම­ර­ව­ලින් ප්‍රාදේ­ශීය සභා­වට නොලැ­බෙන බව ද හෙතෙම කීවේය.

ප්‍රාදේ­ශීය සභාවේ සභා­ප­තිනි නිෂානි ඉරේසා ජය­කොඩි මහ­ත්මි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් අගෝස්තු 15 දා පැවැති මාසික සභා රැස්වී­මේදී ඒ මහතා මේ බව කීවේය.

අගෝස්තු මාස­යට අදා­ළව කටාන ප්‍රාදේ­ශීය සභාවේ මාසික සභා­වට යෝජ­නා­වක් ඉදි­රි­පත් කර­මින් ඒ මහතා පැව­සුවේ වැලි­හේන ශාන්ත කයි­තනු දෙව්මැ­ඳු­රට අයත් ඉඩම් කොට­සක් හත­ළිස් අවු­රුදු බදු පද­නම යටතේ ලබා ගෙන 2007 වසරේ ඔක්තෝ­බර් 28 දා මෙම ගොඩ­නැ­ඟිල්ල විවෘත කර ඇති බවයි.

එදින සිට මේ දක්වා ප්‍රාදේ­ශීය සභා­වට මිලි­යන 21ක පමණ බදු මුද­ලක් අය­වී­මට ඇති බවත් එය නිසි පරිදි අය නොවන බවත් ඒ මහතා කීවේය.

ජෙය­රාජ් ප්‍රනා­න්දු­පුල්ලේ පද­නම මඟින් බල­හ­ත්කා­ර­යෙන් මෙම කඩ­කා­ම­ර­වල කුලිය ලබා ගන්නා බවත් සභා­වට ලැබිය යුතු මුදල තක්සේරු කර ඇත්තේ කඩ කාම­ර­යක කුලිය මස­කට රුපි­යල් 2500ක් ලැබෙන පද­න­මින් බවත් පැව­සු­වේය.

සත්‍ය වශ­යෙන්ම කඩ­ය­කින් වර්ත­මා­නයේ අය කරන කුලිය 7500ක් බැවින් ප්‍රාදේ­ශීය සභා­වට මිලි­යන 63ක් පමණ අය­විය යුතු බව ද මන්ත්‍රී­ව­රයා වැඩි­දු­ර­ටත් පැවැ­සීය.

මෙම කඩ කාමර සිද්ධිය පිළි­බඳ හිටපු රාජ්‍ය ඇමැ­තිනී විශේ­ෂඥ වෛද්‍ය සුද­ර්ශිනී ප්‍රනා­න්දු­පුල්ලේ මහ­ත්මි­ය­ගෙන් විම­සී­මක් කළ අතර දැනට විදේ­ශ­ග­තව සිටින බැවින් ලංකා­වට පැමිණි පසුව කරුණු පැහැ­දිලි කරන බවට වට්ස්අැප් පණි­වු­ඩ­යක් මඟින් දන්වා තිබිණි.

මෙම ගොඩ­නැ­ඟිල්ල පාල­නය සඳහා නීත්‍ය­නු­කූල අයි­තිය ඇත්තේ කටාන ප්‍රාදේ­ශීය සභා­වට බවත් තමන් විසින්ද කඩ කුලී අය­කර ගැනීම හා කඩ ටෙන්ඩර් කිරීම සභාව මඟින් සිදු කළ යුතු බවට කළ යෝජනා සභා සම්මත වුවත් හිටපු සභා­ප­ති­වරු සහ නිල­ධා­රීන් එම තීරණ ක්‍රියා­ත්මක නොකළ බව හිටපු ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී­ව­ර­යකු වන ලක්ෂ්මන් ප්‍රනා­න්දු­පුල්ලේ මහතා කියා සිටි­යේය.

මෙම කඩ කාමර සඳහා නීත්‍ය­නු­කූ­ලව අයි­තිය ඇති ප්‍රාදේ­ශීය සභා­වට අය­විය යුතු මුදල් අය­කර ගැනී­මට අවශ්‍ය පිය­වර කඩි­නම් කරන බව කටාන ප්‍රාදේ­ශීය සභාවේ උප සභා­පති අජිත් රොෂාන්ත අප්පු­හාමි මෙහිදී කීවේය.

මේ වන විට ජෙය­රාජ් ප්‍රනා­න්දු­පුල්ලේ අධ්‍යා­පන පද­නම අක්‍රි­යව ඇති අතර එම­ඟින් පව­ත්වා­ගෙන ගිය පෙර පාසල්ද නවතා දමා ඇත.

සතීෂ් ගමගේ යළි රක්ෂිත බන්ධනාගාරයට

අල්ලස් කොමිසමේ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගත් පොලිස් දෙපාර්තමේන්තුවේ සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ මහතාව නැවත වරක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

අද (අගෝස්තු 19) නඩුව කැඳවූ අවස්ථාවේදී, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළේ සැප්තැම්බර් මස 02 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසුව මෙම තීරණයට එළැඹිණි.

සැකකරුට එල්ල වී ඇති චෝදනාව වන්නේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල කල්ලි සාමාජිකයින් සහ මහජනතාවගෙන් අල්ලස් වශයෙන් රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක මුදලක් ලබා ගැනීමයි. මෙම මුදල් සැකකරුගේ අනුදැනුම මත වෙනත් පුද්ගලයෙකුගේ බැංකු ගිණුම් තුනක තැන්පත් කර තිබී සොයා ගත් බව අල්ලස් කොමිසම මීට පෙර අධිකරණයට වාර්තා කර තිබුණි.

මියන්මාරයේ මහ මැතිවරණයට දින නියමවෙයි

2021 පෙබරවාරි මාසයේ කුමන්ත්‍රණයක් මගින් බලය අත්පත් කරගත් හමුදාව, ජනතාවට දී ඇති පොරොන්දුව යටතේ මෙය පළමු මහ මැතිවරණය වන අතර, එය සම්පූර්ණයෙන්ම හමුදා බලය තහවුරු කරගැනීමට උත්සාහයක් බවට විවේචන එල්ලවෙයි.

කූටාණ්ඩයෙන් පසු නායකිනි අවුන්ග් සාන් සු කී සිරගත කරනු ලැබූ අතර, එතැන්පටන්ම රට පුරා දැවැන්ත සිවිල් අරගලයක් උද්ගත විය. හමුදාව සහ කැරලිකාර කණ්ඩායම් අතර ගැටුම් හේතුවෙන් සිය ගණනක් මිය ගොස්, දහස් ගණනක් අවතැන් වී ඇත.

ආරම්භයේ සිටම විශාල විරෝධයට මුහුණ දුන් හමුදා පාලනය, පසුගිය අවුරුදු තුන තුළ මැතිවරණය නැවත නැවත කල්දමා තිබුණු නමුත්, නව දින පත් කිරීමෙන් හමුදාවට යළිත් ලොව මූලික අවධානය යොමු වී තිබේ.

මේ වනවිට මැතිවරණයට දේශපාලන පක්ෂ 55 ක් ලියාපදිංචි වී ඇති බවත් වාර්තා වෙයි.

මෙම මැතිවරණය මියන්මාරයේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අනාගතයක් ගොඩනගන අවස්ථාවක් වනු ඇතැයි විශ්වාස කරන අතර, අනිත් අතට බොහෝ දෙනා මෙය හමුදා බලය නීතිගත කිරීමට කරන උත්සාහයක් බවට සැක ප්‍රකාශ කරයි.

Add to cart