ජාතික සතොස සන්නාමයෙන් සහල් වෙළඳපොළට

 

“ජාතික සතොස” යන වෙළඳ සන්නාමය යටතේ ඇසුරුම් කරන ලද නාඩු සහ සුදු කැකුළු සහල් අද (අගෝස්තු 19) සිට වෙළඳපොළට නිකුත් කෙරේ. පාරිභෝගිකයින්ට මෙම සහල් දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල් වලින් මිලදී ගත හැකි බව වාර්තා වේ.

ගුණාත්මක භාණ්ඩ හිඟයකින් තොරව සාධාරණ මිලකට පාරිභෝගිකයින්ට ලබා දීම සහ මෙරට ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම මෙම පියවරේ ප්‍රධාන අරමුණයි.

මෙම වැඩසටහන ආරම්භ වන්නේ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයට අයත්, ශ්‍රී ලංකාවේ පැරණිතම සංස්ථාවක් වන “සමූපකාර තොග වෙළඳ සංස්ථාව” නැවත සක්‍රීය කිරීමත් සමඟය.

පසුගිය රජය සමයේ ඈවර කිරීමට නියමිතව තිබූ මෙම ආයතනය, නව රජය බලයට පත්වීමෙන් පසු “ජාතික සමූපකාර තොග වෙළඳ සංස්ථාව” යන නව නාමයෙන් සහ නව මුහුණුවරකින් යළි ආරම්භ කර ඇත

EV අඩුවෙද්දි Hybrid ඉහළ යයි

විද්‍යුත් වාහන (EV) පමණක් නොව, විදුලියත්, ඉන්ධනයත් එක්ක ක්‍රියාකරන Hybrid වාහන මේ වනවිට ලොව පුරා විශාල ඉල්ලුමක් දිනා ගනිමින් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

2025 මුල් අර්ධය තුළ චීනයේ Hybrid වාහන අපනයනය, 2024ට සාපේක්ෂව, 210%කින් තුන්ගුණයක් ලෙස වැඩි වී ඇත. ඒ අතර, එහිදී බැටරි මත පමණක් ක්‍රියාකරන EV වාහන අලෙවිය ඉහළ ගියේ 40%කින් පමණය.

විශේෂයෙන්ම යුරෝපීය වෙළෙඳපොළ Hybrid වාහන සඳහා ප්‍රධාන ගනුදෙනුකරුවන් බවත්, එම වෙළෙඳපොළට ආනයනය වූ සම්පූර්ණයෙන්ම විදුලිය මත ක්‍රියාකරන EV සංඛ්‍යාව 2%කින් පහත වැටී තිබෙන බවත් වාර්තා වෙයි.

චීන EV නැතහොත් විද්‍යුත් වාහන සඳහා යුරෝපා රටවල් මෙලෙසින් වැඩි වශයෙන් යොමුවන්නේ 2035 වනවිට වායු දූෂණය ශුන්‍ය කිරීමේ ඉලක්කය කරා ළඟාවීම ගැටලුකාරී තත්ත්වයක තිබියදීය.

 

පෑලියගොඩදී වෙඩි තැබීමක්

 

අද (අගෝස්තු 19) උදෑසන, පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ.

මෙම වෙඩි තැබීමෙන් පෑලියගොඩ මාළු වෙළඳාමේ නිරත වන පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර, ඔහු මේ වන විට රෝහල්ගත කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

චීනය හදන්න යන ගර්භණී රොබෝවරුන්

ගර්භණී මවකගේ කුස මෙන් කළලය පැළඳ ගෙන උපත දක්වා රැඳවිය හැකි මානවරූපී ගර්භණී රොබෝවරුන් නිපදවීමේ තාක්ෂණය පිළිබඳව චීනයේ ග්වැන්ජෝ නගරයේ තාක්ෂණ ආයතනයක් දැනටමත් අත්හදා බැලීමේ අවධියට පියවර ගෙන ඇත.

මෙම නවෝත්පාදනය සාර්ථක වුවහොත්, මව්ගැබේ පිළිසිඳගැනීමේ දක්වා උපතේ දක්වා වූ සම්පූර්ණ ගර්භණී ගමනක් යාන්ත්‍රිකව සංකල්පනය කිරීමට හැකිවනු ඇතැයි පර්‍යේෂකයන් සදහන් කරයි.

එහෙත් මේ වන විට ඩිම්බ සංසේචනය කෙසේ සිදුකරන්නේද යන්න පිළිබඳ පැහැදිලි විස්තරයක් සොයාගැනීමට හැකි වී නොමැති බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත්, අනාගතයේ පරිගණක, රොබෝ සහ ජෛව විද්‍යාව එක්ව මනුෂ්‍ය ජීවිතයේ විශාල වෙනසක් ගෙන ඒමට සූදානම් වෙමින් සිටින බව විශේෂඥයන් පෙන්වා දෙයි.

වහපු කඩ අරින්න ජාජබෙන් තර්ජන – මන්ත්‍රී රාසමානික්කම්ගෙන් චෝදනා

 

දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් මහතාට අනුව, අගෝස්තු 18 වන දින උතුරු-නැගෙනහිර ප්‍රදේශවල පැවති හර්තාලය අතරතුර, මඩකලපුව ප්‍රදේශයේ වසා දමා තිබූ කඩ සාප්පු නැවත විවෘත කරන ලෙස බල කරමින් ජාතික ජන බලවේගයේ (ජාජබ) මන්ත්‍රීවරුන් පිරිසක් තර්ජනය කර තිබේ. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඊට අදාළ වීඩියෝ සාක්ෂි තමන් සතුව ඇති බවයි.

මෙම හර්තාලය ඉතා සාර්ථක වූ බවත්, එය දහවල් 12:00 දක්වා පැවති බවත් රාසමානික්කම් මහතා පැවසීය. මෙම හර්තාලයට ප්‍රධාන හේතුව වූයේ, ආණ්ඩුව බලයට පත්වන විට දෙමළ ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීම බව ඔහු පෙන්වා දුන්නේය. හර්තාලයෙන් පසුව පවා ආණ්ඩුවේ කිසිදු නියෝජිතයෙක් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට කතා නොකළ බවට ඔහු චෝදනා කළේය.

ආණ්ඩුව දිගින් දිගටම ඔවුන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදෙන්නේ නම්, හර්තාලයට සීමා නොවී උතුරු-නැගෙනහිර පරිපාලන කටයුතු පවා නැවැත්වීමට ජනතාව සූදානමින් සිටින බව රාසමානික්කම් මහතා කියා සිටියේය.

කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා විසින් මෙම හර්තාලය ‘එක් දේශපාලන කණ්ඩායමක වුවමනාවකට සිදු කරන කාරණයක්’ ලෙස හැඳින්වීම සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා විවේචනය කළේය. මුලතිව්හි පුද්ගලයන් හතර දෙනකුට හමුදාව යොදවා පහර දීමක් හා තරුණයෙකු මිය යාම පිළිබඳව පැවති මාධ්‍ය හමුවකදී හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා එවැනි සිදුවීමක් සිදු නොවූ බව ප්‍රකාශ කළ නමුත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊට පරස්පර පිළිතුරක් දුන් බවද ඔහු සිහිපත් කළේය.

චීන-ඉන්දීය සබඳතා යළි අලුත් කරගත් විදේශ ඇමතිවරු

මෙම මාසයේ අවසන් දිනයන් සමග ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ චීන සංචාරය නිසා දෙරට සබඳතා යළි ශක්තිමත් වන ආකාරයක් දක්නට ලැබේ.

එයට පෙර චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා ඉන්දියාවට කළ සංචාරයත් මේ වන විට විශේෂ අවධානයක් ගත් අතර, ඔහු ඉන්දීය විදේශ අමාත්‍ය Subrahmanyam Jaishankar මහතා සමග පැවැත්වූ සාකච්ඡාව තුළ ද්විපාර්ශ්වික සබඳතා නව පියවරකට ගෙන යෑම පිළිබඳව දෙපාර්ශ්වයම එකඟතාව දක්වා ඇත.

Wang Yi මහතා තර්ජන හෝ තරඟකරුවන් ලෙස නොව, හවුල්කරුවන් සහ අවස්ථා ලෙස එකිනෙකා බලමින් නිවැරදි උපායමාර්ගික දැක්මකින් ක්‍රියා කිරීමට අවශ්‍ය බව අවධාරණය කර තිබේ. එමෙන්ම දෙරට නායකයන්ගේ මඟපෙන්වීම් යටතේ, නව සංවාද හා හුවමාරු යළි ආරම්භ කිරීමට චීනය සූදානම් බව ද ඔහු ප්‍රකාශ කරයි. ඉන්දීය බැතිමතුන්ට චීනයේ Xizang ප්‍රදේශයේ ආගමික ස්ථානවලට වන්දනා ගමන් යළි ආරම්භ කිරීමටද සහයෝගය ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර Subrahmanyam Jaishankar මහතා සඳහන් කළේ දෙරට නායකයින්ගේ මඟපෙන්වීම යටතේ ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වැඩිදියුණු වන බවත්, සියලු අංශවල සහයෝගීතා නව තත්ත්වයකට පත් වන අතර, දේශපාලන විශ්වාසය ශක්තිමත් කරගෙන ආර්ථික සහ වෙළඳ කටයුතුත් ඵලදායී කරගැනීමට ඉන්දියාව උනන්දු වන බවත් ඔහු අවධාරණය කරයි.

මෙම වසරේදී චීන – ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික සබඳතා 75 වැනි සංවත්සරයට පත් වීමත්, අතීත පාඩම් මත පදනම්ව නව සම්බන්ධතා ගොඩනගා ගන්නා බවත් යළි සිහිපත් කළේය.

විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ අසල්වැසි විශාල රටවල් ලෙස ගරුත්වය, විශ්වාසය සහ පොදු සංවර්ධන අරමුණු මත පදනම් වූ නව කාල පරිච්ඡේදයකට දෙරට පිවිසෙමින් සිටින බවය.

අරුණේ නිරෝෂා CIDයට කැඳවයි !

“අරුණ” පුවත්පතේ මාධ්‍යවේදිනී නිරෝෂා වාසලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් සිදුකර තිබේ.

ඒ, නීතීඥ අචලා සෙනවිරත්න විසින් කරන ලද පැමිණිල්ලක් අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ය.

නාවික හමුදා කණ්ඩායමක් විසින් තරුණයින් පිරිසක් පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවක් පිළිබඳව උදය ගම්මන්පිල කරන ලද ප්‍රකාශයක් පිළිබඳව අරුණ පුවත්පතේ පළ කෙරුණු පුවතක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක මිනීමැරුම් අංශය හමුවේ පෙනී සිටින නිරෝෂා වාසලට දැනුම් දී ඇති බව සඳහන්.

ඉදිරි සති දෙක තීරණාත්මක වන රුසියානු යුක්‍රේන නායක හමුව

ඉදිරි සති දෙක ඇතුළත රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහ යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අතර නියමිත සාම සාකච්ඡාවක් පැවැත්වීමට එකඟ වී ඇති බව ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් නිවේදනය කර තිබේ.

මෙම වාර්තාව අනුව, ඉහත තීරණයට එළඹුණේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පුටින් සමඟ පැවැත්වූ විශේෂ දුරකථන සංවාදයකින් පසුවය.

වොෂින්ටනයේදී සෙලෙන්ස්කි සහ යුරෝපීය නායකයින් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මර්ස් වැඩිදුරටත් පැවසූයේ, යුද්ධය අවසන් කිරීමට අවශ්‍ය ප්‍රධාන කොන්දේසි කිහිපයක් පිළිබඳව දීර්ඝ සාකච්ඡා සිදු වූ බවයි.

මෙම සන්දර්භය තුළ, ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කළේ රුසියාව සාමය කරා ගමන් කිරීමට කැමැත්ත පෙන්වීමේ පියවරක් ලෙස යුක්‍රේන සිරකරුවන් 1,000ක් නිදහස් කරන ලෙස තමන් බලාපොරොත්තු වන බවයි.

තැපැල් වැඩවර්ජනය අදත්

අද (අගෝස්තු 19) දිනයේද තැපැල් සේවකයන් සිය දීපව්‍යාප්ත වැඩවර්ජනය දිගටම කරගෙන යන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතාට අනුව, අගෝස්තු 17 වන දින ආරම්භ වූ මෙම වැඩවර්ජනය ඔවුන්ගේ ඉල්ලීම් 19ක් මුල්කරගෙන සිදුවේ. ඔවුන් සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් ලැබෙන තුරු වැඩවර්ජනය අත්හිටුවන්නේ නැති බවත්, අද දිනයේදී සිය ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සංදේශයක් භාර දීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර, තැපැල්පති රුවන් සත්කුමාර මහතා ප්‍රකාශ කළේ, තැපැල් සේවකයන්ගේ බොහෝ ඉල්ලීම් දැනටමත් ලබා දී ඇති බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙම ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා වැඩවර්ජනය නවත්වන ලෙස තැපැල් වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරන බවයි.

ට්‍රම්ප් හා සෙලෙන්ස්කි සාකච්ඡා සාර්ථකයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡාව මෙතෙක් පැවති සාර්ථකම හමුව බව යුක්‍රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, යුද්ධය සම්බන්ධයෙන් නිසි දැනුවත් කිරීමක් සිදුකිරීමට මෙම සාකච්ඡාවේ දී අවස්ථාව හිමි වූ බවය.

අමෙරිකානු ජනාධිපතිවරයා සහ යුක්‍රේන ජනාධිපතිවරයා අතර ඊයේ (18) ධවල මන්දිරයේ පැවති සාකඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ව්ලොද්මියර් සෙලෙන්ස්කි මේ බව ප්‍රකාශ කර තිබේ.

රුසියාව සමග යුද්ධය අවසන් වුවහොත් මැතිවරණය පැවැත්වීමට තමන් සූදානම් බව ද යුක්‍රේන ජනාධිපතිවරයා පවසයි.

අමෙරිකානු ජනාධිපතිවරයා සහ යුක්‍රේන ජනාධිපතිවරයා අතර පැවති මෙම සාකච්ඡාවට ලෝකයේ වැඩි අවධානයක් යොමුවූ අතර අදාළ සාකච්ඡාවට යුරෝපා කවුන්සිලයේ සභාපතිනිය, බ්‍රිතාන්‍ය අගමැති, ප්‍රංශ ජනපති, ජර්මන් චන්සලර්, ඉතාලි අගමැති, නේටෝ සමාගමේ ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් සහභාගී වී සිටියහ.

අදාළ සාකච්ඡාව පැවැත්වෙන අවස්ථාවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග දුරකථන මාර්ගයෙන් අදහස් හුවමාරු කර ගැනීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

Add to cart