ලොකු දොස්තරලා තුන්දෙනෙක්ට එරෙහිව පරීක්ෂණයක්

 

රත්නපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. රෝහල් අධ්‍යක්ෂවරයා විසින් සෞඛ්‍ය ලේකම්වරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.

පසුගිය අගෝස්තු 14 වන දින මෙම වෛද්‍යවරුන් තිදෙනා තම නිල රාජකාරී වේලාව තුළ පෞද්ගලික රෝහලක ශල්‍යකර්මයකට සහභාගී වී ඇති බවට චෝදනා එල්ල වී තිබේ. රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ මහතා සඳහන් කළේ, මෙම සිදුවීම මඟින් පොදු චක්‍රලේඛ අංක 02/99 උල්ලංඝනය වී ඇති බවයි.

සාමාන්‍ය ක්‍රියාපටිපාටියට අනුව, හදිසි අවස්ථාවකදී පෞද්ගලික රෝහලක රෝගියෙකුට ප්‍රතිකාර කිරීමට විශේෂඥ වෛද්‍යවරයෙකුට අවශ්‍ය නම්, අදාළ පෞද්ගලික රෝහල විසින් ප්‍රථමයෙන්ම රාජ්‍ය රෝහලේ අධ්‍යක්ෂවරයාට දැනුම් දිය යුතු අතර, අධ්‍යක්ෂවරයාගේ අනුමැතියෙන් පසු පමණක් වෛද්‍යවරයාට එම සේවය සඳහා සහභාගී විය හැකිය. කෙසේ වෙතත්, මෙම සිදුවීමේදී එම ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසා ඇත.

මෙම වෛද්‍යවරුන් රෝහල් අධ්‍යක්ෂවරයාට දැනුම් දීමකින් තොරව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකුට පමණක් දැනුම් දී ගොස් ඇති අතර, ඒ සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට බලයක් නොමැති බවද අධ්‍යක්ෂවරයා පෙන්වා දී තිබේ.

මෙම සිද්ධිය වූ දින, නොමේරූ ළදරු ඒකකය භාරව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා, නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා සහ පැය 24 පුරා රාජකාරියේ නිරත විය යුතු ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාද මේ පිරිසට අයත් බව වාර්තා වේ.

මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් විමසීමට මාධ්‍ය උත්සාහ කළද, ඒ සඳහා ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

ගතවූ මාස අටට දුම්රිය පීලි පැනීම් 71ක්

මෙම වසරේ (2025) ඊයේ (18දා) දින දක්වා මාර්ගයන්හි සහ දුම්රිය අංගණවල සිදුව ඇති දුම්රිය පීලි පැනීම් ප්‍රමාණය 71ක් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

එහිදී පසුගිය වසරේ (2024) එවැනි අවස්ථා 101ක්ද 2023 වසරේ 139ක්ද වාර්තා වී තිබේ.

ඊයේ උදෑසන ගාල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ සමුද්‍රදේවි කාර්යාල ශීඝ්‍රගාමී දුම්රිය ද කොළඹ කොටුව සහ මරදාන අතර පීලිපැනීමකට ලක්විය. මෙම දුමිරිය පසුගිය සෙනසුරාදා දින ද එම ස්ථානයේදීම පීලිපැනීමකට ලක්ව තිබිණි.

තුසිත හල්ලොලුව අත්අඩංගුවට

අධිකරණය මඟ හරිමින් සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අද (19) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (18) දින වරෙන්තු නිකුත් කර ඇති පසුබිමකය.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙලෙස වරෙන්තුව නිකුත් කරනු ලැබීය.

මෑතකදී නාරාහේන්පිට ප්‍රදේශයේදී තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

ගුවන් තොටුපොළ මෙහෙයුම් ලාභය ඉහළට

ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම (AASL) 2025 වසරේ පළමු මාස හය තුළ මෙහෙයුම් ලාභයේ 78%ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව මෙම තොරතුරු හෙළි වී ඇත.

නිවේදනයේ සඳහන් වන පරිදි, 2024 වසරේ පළමු මාස හය තුළ රුපියල් මිලියන 9,049ක්ව තිබූ මෙහෙයුම් ලාභය, 2025 වසරේ එම කාලය තුළ රුපියල් මිලියන 16,133ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම ලාභ වර්ධනයට අමතරව, 2024 වසරට සාපේක්ෂව 2025 වසරේ ගුවන් ගමන් වාර ද 16%කින් වර්ධනය වී තිබේ. මෙයින් ජාත්‍යන්තර ගුවන් ගමන් වාර 17%කින් ද, දේශීය ගුවන් ගමන් වාර 10%කින් ද වර්ධනය වී ඇත.

ජාත්‍යන්තර ගුවන් ගමන් වාර වැඩිම වර්ධනයක් පෙන්නුම් කර ඇත්තේ මාර්තු මාසයේදීය. එය 2024 මාර්තු මාසයට සාපේක්ෂව 22%ක වර්ධනයකි. දේශීය ගුවන් ගමන් වාරවල වැඩිම වර්ධනය ජුනි මාසයේදී වාර්තා වී ඇති අතර, එය 2024 වසරට සාපේක්ෂව 38%ක වර්ධනයක් බව අමාත්‍යාංශය පවසයි.

කලු සල්ලි වලට රනිල්ගේ නමත් ගෑවෙයි

කොළඹ නෙළුම් කුලුනේ කැසිනෝ ශාලාවක් පවත්වාගෙන යාම සඳහා ඉන්දියානු සමාගමකට බලපත්‍ර ලබාදීමේදී දැවැන්ත අක්‍රමිකතාවක් සිදුව ඇති බවත් මෙය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට මුදල් සෙවීම සඳහා සිදුකළ දෙයක් බවට බලවත් සැකයක් පවතින හෙයින් මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතු බවත් ‘ඉන්දියානු කැසිනෝ මාෆියාවට එරෙහි ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය’ පවසයි.

මේ පිළිබඳව ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට ද තමන් සූදානමින් සිටින බවයි ඔවුන් සඳහන් කළේ.

”මේ මැජස්ටික් ප්‍රයිඩ් එහෙමත් නැතිනම් ඉන්දියානු කැසිනෝ මාෆියාව මේ රටේ ස්ථාපිත කරන්නේ – ජනාධිපතිවරණය පවත්වන්නේ 2024 සැප්තැම්බර් 21 වෙනිදා, මේ කැසිනෝව නෙළුම් කුලුනේ ස්ථාපිත කරනවා ඉතාම කුඩා කොටසක සැප්තැම්බර් 17 වෙනිදා. ඒ ඇයි ? රනිල් වික්‍රමසිංහ තමයි හොර පාරෙන් මේකට බලපත්‍ර නිකුත් කරලා තියෙන්නෙ. මේ වෙද්දී අපට ලැබෙන ආරංචිමාර්ග අනුව, රනිල් වික්‍රමසිංහට තමන්ගෙ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට මුදල් හොයාගැනීම වෙනුවෙන් තමයි ඔහු මේ අතයට ගනුදෙනුව කරලා තියෙන්නෙ.

ජේම්ස් පැකර්ලාට බැරිවෙච්ච, අවුරුදු 20කට විතර බැරිවෙච්ච දේ. 2002 / 2003න් පස්සෙ බැරිවුණා මේ රටේ කැසිනෝ ව්‍යාපාරයක් විදේශිකයින්ට ආරම්භ කරන්න. හැබැයි ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්නවා යැයි පවසමින් රටට ආයෝජන ගේනවා යැයි පවසමින් රනිල් වික්‍රමසිංහ මේ අතයට ගනුදෙනුව රනිල් වික්‍රමසිංහගේ ගෝලයොත් එක්ක එකතුවෙලා කළා. ඒ නිසා මේ පිළිබඳව පැහැදිලි විමර්ශනයක් ආරම්භ කරන්න ඕනෙ. මේ ජනාධිපතිවරණයට දින හතරකට කලින් මේක විවෘත කරන්න මොකද හේතුව ? ඔවුන් දැනගෙන හිටියා, ඔවුන් බයවුණා රනිල්ට තවදුරටත් මේ රටේ ජනාධිපතිවරයා වෙන්න බෑ, අන්න ඒ නිසා තමයි සැප්තැම්බර් 17 වෙනිදා කඩිමුඩියේ නෙලුම් කුලුනේ පළවෙනි තට්ටුවේ මේ මැජස්ටික් ප්‍රයිඩ් කියන ඉන්දියාවේ ගෝවේ පමණක් තියෙන කැසිනෝව විවෘත කළේ. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඉන්දියානු භූමියේ කැසිනෝ ආරම්භ කරන්න බෑ. ඉන්දියාවේ ප්‍රාන්ත දෙකයි තියෙන්නෙ මුහුදේ වුණත් කැසිනෝ තියන්න පුළුවන්. ඉතින් ගෝවාවල මුහුදේ නැංගුරම් ලා තියෙන බෝට්ටුවක තමයි මේ මැජස්ටික් ප්‍රයිඩ් එක කරන්නෙ. මේකෙන් කළේ ඉන්දියානු භූමියේ තියන්න බැරි කුණුගොඩ ගෙනල්ලා ලංකාවේ භූමියේ ස්ථාපිත කළා. ඒ නිසා අපි මේ ආණ්ඩුවට බලකරනවා කරුණාකරලා මේ බලපත්‍ර ලබාදීමේදී සිදුවෙච්ච අක්‍රමිකතාව පිළිබඳව විමර්ශනයක් කරන්න කියලා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්න.

දෙවැනි කාරණාව, අපේ රටේ ජනතාවගේ බදු මුදල්වලින් තවමත් ණය ගෙවන චීන ව්‍යාපෘතියක් වෙච්ච මේ නෙළුම් කුලුන ලබාදුන්නේ මොන පදනම යටතේද කැසිනෝවකට ? නෙළුම් කුලුනට අදටත් පාසල් දරුවෝ එනවා. අන්න ඒ නෙළුම් කුලුනට එන විදේශිකයෙක් රුපියල් 6000ක් දීලා ටිකට් එකක් ගත්තාම රුපියල් 5000ක නොමිලේ කූපන් එකක් නිකුත් කරනවා නෙළුම් කුලුනේ කවුන්ටරෙන්. අද මේක නෙළුම් කුලුන නෙවෙයි සම්පූර්ණයෙන්ම කැසිනෝ කුලුන බවට පත්කරලා තියෙනවා. පළවෙනි තට්ටුවේ, දෙවැනි තට්ටුවේ, 28 වෙනි තට්ටුවේ කාමර හදලා කැසිනෝ ව්‍යාපාරය ගෙනියන්නෙ.

ඊළඟට අපි එමු මේගොල්ලන්ගෙ කළු සල්ලි සුදු කරන ජාවාරමට. මේකෙදී සූදු කෙළිනවා, ගණිකා ව්‍යාපාරය ක්‍රියාත්මක වෙනවා, අපි ඒවා ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. හේතුව, ඒවා සිල්ලර දේවල්. දැන් මේ සැබෑ කතාව අපි එළියට ගන්නෙ. කොහොමද වෙන්නෙ ගනුදෙනු ? ඉන්දියාවේ ගෝවාවල තියෙනවා මැජස්ටික් ප්‍රයිඩ් ආයතනය. ඒකට ඉන්දියාවෙන් 27%ක බදු ප්‍රමාණයක් ගහනවා. හැබැයි ලංකාවේ ඒ බද්ද ගහන්නෙ නෑ, මොකද ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් විදියට තමයි මේක දීලා තියෙන්නෙ. ඉන්දියාවෙන් සල්ලි ඩිපොසිට් කරනවා, එහෙ ඉන්න පාතාල කල්ලි නායකයො, කළු සල්ලි සුදු කරන්න මිනිස්සු ටික. එහෙන් සල්ලි ඩිපොසිට් කළාම ඒගොල්ලන්ගෙම ෆ්ලයිට් එක, එයාර් ඉන්දියා එකේ ඇවිල්ලා, මෙහෙන් ඒගොල්ලොම කට්ටිය ගෙනල්ලා ඇතුළට දාලා, චිප්ස් ටික තමයි දෙන්නෙ අතට. කෝටි ගාණක් පැරදුණත් ඒකෙ ලාභය යන්නෙ ඉන්දියාවට. කෝටි ගාණක් දින්නත් මෙහෙන් එක රුපියලක්වත් දෙන්නෙ නෑ, නැවත වතාවක් ෆ්ලයිට් එකෙන් ඉන්දියාවට ගියාට පස්සෙ තමයි ඒ සල්ලි නැවත දෙන්නෙ. මේක රටේ දේශීය ආදායම් එකට අහුවෙන්නෙ නෑ. හේතුව ඉන්දියාවෙ මැජස්ටික් ප්‍රයිඩ් ආයතනයෙන් තමයි මේ සියලුම කටයුතු කරන්නෙ. ඒ නිසා ඉන්දියානු රජයට බදු ගෙවන්නෙත් නෑ, ලංකාවෙ රජයට බදු ගෙවන්නෙත් නෑ, මේක දැවැන්ත කළු සල්ලි ජාවාරමක්. මේක තවත් පැනමාවක් කරන එක තමයි මේගොල්ලන්ගෙ අරමුණ.

ගෝවාවල ඉන්න මේකෙ අයිතිකාරයෝ තමයි සිරිනිවාසන් රාඕ, ගුලාටි, තරූල්, රවී. ඒ වගේම මේ සියල්ල සම්බන්ධීකරණය කරන්නෙ ජිම් කියන පුද්ගලයා. ඔවුන් ඉන්දියානු කැසිනෝ මාෆියාවෙන් මේ රටේ දේශපාලකයෝ අල්ලාගෙන, රනිල් වික්‍රමසිංහලාගේ හිටපු සියලුම දේශපාලකයෝ අල්ලාගෙන තමයි මේ වැඩේ ආරම්භ කළේ. දැන් මේ රටේ අලුත් ජනාධිපති සහෝදරයා මේ රට කරගෙන යනවා, අපට ඒ පිළිබඳ සතුටක් තියෙනවා, දැන් අවධානය යොමුකරන්න ඕනෙ මේ ඉන්දියානු කැසිනෝ මාෆියා ව්‍යාපාරය පිළිබඳව. රටටම හංගලා ගහපු ගේම තමයි අපි මේ එළියට ඇදලා දෙන්නෙ. එහෙම එළියට ඇදලා දුන්නාට පස්සෙ මේක පිළිබඳ පුළුල් පරීක්ෂණයක් කරන්න ඕනෙ”

මහා සංඝරත්නය, කලාකරුවන්, නීතීඥයින් ඇතුළු පිරිසකගෙන් සැදුම්ලත් ‘ඉන්දියානු කැසිනෝ මාෆියාවට එරෙහි ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය’ මේ බව පැවසුවේ පසුගියදා කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ය.

බෝම්බ බියට වැසුණු දිල්ලියේ පාසල්

ඉන්දියාවේ නවදිල්ලි නුවර පාසල් කිහිපයකට බෝම්බ තර්ජනයක් ඇති බවට වන ඊ-මේල් ලැබීම නිසා එම පාසල්වල සිසුන් සහ කාර්ය මණ්ඩල වහා ඉවත් කිරීමට එරට ආරක්ෂක පියවර ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ දිල්ලියේ ද්වාර්කා මහ විදුහල, නව කන්‍යාරාමය සහ ශ්‍රී රාම් ජාත්‍යන්තර පාසලට මෙම බෝම්බ තර්ජන ලැබුණු බවයි.

ඇමතුම් ලැබී තිබුණේ පාසල තුළ පුපුරණ ද්‍රව්‍ය සහිත උපකරණයක් පවතින බවටයි.

මේ පිළිබඳ පාසලෙන් දැනුවත් කළ වහාම දිල්ලි පොලීසිය, බෝම්බ නිෂ්ක්‍රීය අංශ සහ පොලිස් සුනඛයන් සෝදිසි කිරීම් සඳහා ගොස් තිබෙන අතර, විමර්ශන තවමත් ක්‍රියාත්මක බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

කෙසේවෙතත් මීට පෙර ද බෝම්බ තර්ජන ඇති ඇමතුම් ලැබී තිබුණ ද ඒවා ව්‍යජ තොරතුරු වී තිබුණත්, අද දින පැමිණ තොරතුරු සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශ වඩාත් වැඩි අවධානයක් යොමු කොට හදිසි ආරක්ෂක පියවර අනුගමනය කරන බවට පෙනී යන්නේ යැයි එරට මාධ්‍ය සඳහන් කරයි.

ජුලි මාසයේදී ද එරට පාසල් කිහිපයකට බෝම්බ තර්ජන පැමිණ තිබේ.

හෙට කථානායකගේ ලිට්මස් පරීක්ෂාවක්

 

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කථානායකවරයා සිය මතය හෙට දින පාර්ලිමේන්තුවට ප්‍රකාශ කිරීමට නියමිතය.

කෙසේ වෙතත්, කථානායකවරයා පක්ෂ නායකයින් සමඟ හෝ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සමඟ සාකච්ඡා නොකර හිතුවක්කාරී ලෙස හෙට දින සිය තීරණය ප්‍රකාශ කළහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂයේ පක්ෂ නායකයින් තීරණය කර තිබේ.

සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ, හෙට ඇතිවන තත්ත්වය සලකා බලා, පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට ගරු නොකරමින් කථානායකවරයා කටයුතු කරන්නේ නම්, ඔහුට එරෙහිවද විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය තීරණය කර ඇති බවයි.

යුක්‍රේන රුසියා ගැටුමට නව හැරවුමක්?

යුක්රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කිට රුසියා-යුක්‍රේන ගැටුම ඉක්මනින් නැවැත්වීමේ හැකියාව පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ යුක්‍රේන ජනාධිපතිවරයාට අවශ්‍ය නම් යුද්ධය තවදුරටත් පවත්වාගෙන යාමට ද හැකි බවයි.

“ඔබාමා දුන්නු ක්‍රිමියාව ආපහු ගන්න බෑ වගේම යුක්රේනයට නේටෝවට යන්නත් බෑ. සමහර දේවල් කවදාවත් වෙනස් වෙන්නේ නෑ!” ලෙස ට්‍රම්ප් අවධාරණය කරන ලදී.

ට්‍රම්ප් යුක්‍රේන ජනාධිපතිට පවසන්නේ යුද්ධය ආරම්භ වූ ආකාරය සිහිපත් කරගන්නා ලෙසයි.

යුක්‍රේනය සමඟ පවතින ගැටුම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමඟ පසුගියදා ඇලස්කාවේදී පැවති සාකච්ඡාවෙන් පසුව ට්‍රම්ප් යුක්‍රේන ජනාධිපතිවරයාට බලකර සිටින්නේ ක්‍රිමියා සහ නේටෝ සාමාජිකත්වය නොමැතිව සටන්විරාමය පසෙක තබා සාම ගිවිසුමකට එන ලෙසයි.

එය රුසියාවේ ද ස්ථාවරය වීම විශේෂත්වයකි.

ඇලස්කා සාකච්ඡාවෙන් පසුව පුටින් සිය රටට පැමිණෙන විටදී රුසියානු පාර්ශ්වය පැවසුවේ ‘පුටින් දැනටමත් දිනුම්’ යනුවෙනි.

කෙසේවෙතත් යුද්ධය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම උදෙසා එංගලන්තයේ අගමැති කීර් ස්ටාමර් ඇතුළු යුරෝපීය නායකයින් සමඟ නේටෝ මහලේකම් මාර්ක් රූට් සඳුදා සෙලෙන්ස්කි සමඟ අමෙරිකාවේ ධවල මන්දිරයේදී සැලසුම් කර ඇති සාකච්ඡාව සඳහා පැය කිහිපයකට පෙර ට්‍රම්ප් මේ බව පැවසීම ද කැපී පෙනෙන ලක්ෂණයක් වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නව “නිල ඇඳුම් කට්ටල” එළිදක්වයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ නිල ඇඳුම් සහකරු Moose Clothing Company එක්ව නව ක්‍රිකට් කට්ටලය එළිදක්වීය. ජාත්‍යන්තර එක්දින, විස්සයි-20 සහ ටෙස්ට් තරග සඳහා නිර්මාණය කළ මෙම ඇඳුම් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වෙළෙඳසල් හරහා ක්‍රීඩා ලෝලීන්ට මිලදී ගත හැක.

ටෙස්ට් ඇඳුම – සම්ප්‍රදායික සුදු වර්ණය, වැඩි සුවපහසුභාවය සහ වායු සම්ප්‍රේෂණය.

එක්දින ඇඳුම – 80–90 දශකවල පරණ විලාසිතාව ආදර්ශ කරගත් නිල් සහ කහ වර්ණ.

විස්සයි-20 ඇඳුම – කහ පාදක, නිල්-කහ රේඛීය හැඩතල සහ V කොලර.

SLC ප්‍රධානී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කළේ, අති නවීන තාක්ෂණය භාවිතයෙන් ක්‍රීඩකයින්ට උපරිම සුවපහසුභාවය ලබාදීමේ අරමුණ ඇති බවයි. Moose Clothing සමාගමේ CEO හෂීබ් ඕමාර් මහතා ද ක්‍රීඩකයින් සහ ලෝලීන් සඳහා ගෞරවයෙන් නිර්මාණය කළ ඇඳුම් ලෙස විස්තර කළේය.

මිහින්තලේ විහාරාධිපති හිමි CIDයට

 

මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් අද (අගෝස්තු 18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිලි දෙකක් ඉදිරිපත් කර තිබේ.

උන්වහන්සේ අද උදෑසන CID වෙත පැමිණියේ මෙම පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා බව වාර්තා වේ. කෙසේ වෙතත්, මෙම පැමිණිලිවල ස්වභාවය පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.

Add to cart