පාකිස්ස්ථානයේ අයහපත් කාලගුණය 300කට දිවි අහිමි කරයි

පාකිස්ථානයේ කාශ්මීර් ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 300 දක්වා ඉහල ගොස් ඇති බව වාර්තා වෙයි. ඒ අතරින් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ කදුකර කයිබර් පක්තුන්ක්වා ප්‍රදේශයෙන් වීමද විශේෂත්වයකි.

විදෙස් වාර්තා සඳහන් කළේ වයඹදිග පාකිස්ථානයේ එක් දිස්ත්‍රික්කයක පමණක් පුද්ගලයින් 200 දෙනෙකු ගංවතුර හේතුවෙන් අතුරුදන්ව ඇති බවයි.

පාකිස්ථානයේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉකුත් ජුනි මස අග සිට මේ දක්වා වූ කාලය තුළ අවම වශයෙන් පුද්ගලයින් 500ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවටද එරට ආපදා අංශ තහවුරු කර තිබේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා වාර්ෂික නිලවරණය කල්යයි!

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා වාර්ෂික නිලවරණය කල්යයි!

අද (18) කොළඹ පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ වාර්ෂික මහ සභාව සහ නිලවරණය දිනයක් නියම නොකර කල්තැබීමට තීරණය කර ඇත. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් (වැ.ආ.) වී. ප්‍රේමචන්දිරන් මහතාගේ අධීක්ෂණයෙන් කටයුතු කරන නිලවරණ කමිටුව මේ සඳහා අදාළ තීරණය ගෙන තිබේ. එම තීරණය ගන්නට සිදුව ඇත්තේ නොවැළක්විය හැකි හේතුවක් හේතු කොටගෙන බවද පවසයි.

ඉදිරියේදී නව දිනයක් නියම කර එය ප්‍රකාශයට පත් කරන බවද සම්මේලනය සම්බන්ධ වාර්තා සඳහන් කරයි. මෙවර සභාපති ධුරය හා ලේකම් ධුරය සඳහා තුන්කොන් සටනක් නිර්මාණය වී ඇති අතර, උප සභාපති ධුර දෙක සඳහා අපේක්ෂකයන් නවදෙනෙකු ඉදිරිපත් වී තිබේ. උප ලේකම් ධුරය සඳහා අපේක්ෂකයන් සිව්දෙනෙක් තරගයට ඉදිරිපත් වී ඇත. එසේම භාණ්ඩාගාරික ධුරය සහ උප භාණ්ඩාගාරික ධුරය සඳහා තරගයක් නොමැතිව අපේක්ෂකයන් පත්වීමට නියමිත බව ද වාර්තා වේ.

ග්‍රීන්ස් පරාජය කොට ග්‍රේස් ජය ගනී!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ලීග් තරග වටයේ අවසන් තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ඊයේ දිනයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් පිටියට පැමිණි ග්‍රීන්ස් පිල, චරිත් අසලංකගේ ග්‍රේස් පිලට ලකුණු 23ක ජයක් ලබා ගනිමින් ශූරතාව දිනා ගත්තේය. මුලින් පන්දුවට පහරදුන් ග්‍රීන්ස් කඩුලු 4ක් දැවී ලකුණු 189ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිමක් ක්‍රීඩා කළ ග්‍රේස් ලකුණු 166ක් දක්වා පමණක් සීමා විය. කුසල් මෙන්ඩිස් පන්දු 47කදී ශක්තිමත් 77ක් ලබා අවසන් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය. සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 49ක් හා නායක කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 42ක් ලබාගත් අතර, නිරෝෂන් දික්වැල්ල ග්‍රේස් පිල වෙනුවෙන් 50ක් රැස් කළේය. පන්දු යැවීමේදී චාමික කරුණාරත්න කඩුලු 3ක් දවා තරගාවලියේදී එකතුව 8ක් දවාගත් නිසා ඔහුට තරගාවලියේ වීරයා සම්මානය හිමි විය. මෙසේ සියලුම තරග ජයගත් ග්‍රීන්ස් පිල අපරාජිතව ශූරතාව දිනාගැනීමෙන් තරගාවලියට විශේෂ ආලෝකයක් එක් කළේය.

නව සූදු නියාමනයෙන් කලු සල්ලි සුදුවේ

 

වත්මන් ස්වරූපයෙන් සූදු නියාමන අධිකාරි පනත් කෙටුම්පත සම්මත කිරීමෙන් දූෂණය සහ අසාධාරණ ලාභ ඉපැයීම් සඳහා වැඩි අවස්ථාවක් හිමිවන බවත්, එය ජාතික ජන බලවේග රජයේ දූෂණ විරෝධී අරමුණු සමඟ ගැටෙන බවත් ස්වාධීන ආර්ථික පර්යේෂණ ආයතනයක් වන ඇඩ්වොකාටා පවසයි.

ඇඩ්වොකාටා ආයතනයේ පර්යේෂක සුදාරක ආරියරත්න මහතා සඳහන් කරන්නේ, මෙම පනත් කෙටුම්පත කඩිමුඩියේ සම්මත කිරීමට වඩා සිංගප්පූරුව, පිලිපීනය සහ මැකාවු වැනි පළපුරුදු රටවලින් උපදෙස් ලබාගත යුතු බවයි. පනතේ පවතින අඩුපාඩු හේතුවෙන් දුර්වල නියාමන අධිකාරියක් නිර්මාණය විය හැකි බවත්, එය ශ්‍රී ලංකාවට කලාපීය තරගකාරීත්වයක් ලබා ගැනීමට බාධාවක් විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.

පර්යේෂකයා තවදුරටත් කියා සිටියේ, මෙම පනත් කෙටුම්පත ශ්‍රී ලංකාවේ සූදු ක්‍රීඩා නියාමනය සඳහා ගනු ලබන පළමු උත්සාහය බැවින්, අනාගතයේදී බලවත් පාර්ශවයන්ගේ බලපෑම් මත නීති සංශෝධනය කිරීමට සිදුවීමට වඩා, දැන්ම එය නිවැරදිව සකස් කර ගැනීම වැදගත් බවයි. එයින් රටට වඩා යහපතක් සිදුවනු ඇතැයි ඔහු පෙන්වා දෙයි.

තැපැල් වර්ජනය අඛණ්ඩව

 

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් ඊයේ (අගෝස්තු 17) ආරම්භ කරන ලද අඛණ්ඩ වැඩ වර්ජනය අද දිනත් ක්‍රියාත්මක වේ.

ඉල්ලීම් 19ක් මුල් කරගෙන ආරම්භ කළ මෙම වර්ජනය ඊයේ පස්වරු 4.00ට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ආරම්භ වූ අතර, මධ්‍යම රාත්‍රී 12.00 සිට දිවයින පුරා ක්‍රියාත්මක වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි. මෙම තත්ත්වය හේතුවෙන් අද දිනයේදී සියලුම තැපැල් කටයුතු අඩපණ වන බව එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසීය.

මේ අතර, කොළඹ පැවති මාධ්‍ය හමුවකදී තැපැල්පති රුවන් සත්කුමාර මහතා කියා සිටියේ, තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් රැසක් දැනටමත් ලබා දී තිබියදී මෙලෙස වර්ජනයක නිරත වීම අසාධාරණ බවයි.

ජෙනරල් සොඩ් දිවිසැරිය නිමකරයි

‘සුපර්මෑන්’ චිත්‍රපට මාලාවේ ප්‍රධාන දුෂ්ට චරිතයක් වූ ජෙනරල් සොඩ් ලෙස රඟපෑ සුප්‍රකට ඉංග්‍රීසි නළු ටෙරන්ස් ස්ටෑම්ප් අද (18) අභාවප්‍රාප්ත විය.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 87කි.

40ක් අතුරුදන් වූ නයිජීරියාවේ බෝට්ටු අනතුර

නයිජීරියාවේ වයඹදිග සොකෝටෝ ප්‍රාන්තයේ සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු අතුරුදන්ව තිබේ.

50 දෙනෙකුට ආසන්න මගීන් පිරිසක් රැගත් බෝට්ටුවක් මෙලෙස අනතුරට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉන් පුද්ගලයින් 10 දෙනෙකු පමණ බේරාගෙන ඇති අතර තවත් මගීන් 40 කට වැඩි පිරිසක් තවමත් අතුරුදහන් වී ඇති බව සදහන් වේ.

මාලිමාවේ බලශක්ති ඇමතිට අල්ලස් නඩුවක්

2015 දී පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් දූෂණ පැමිණිලි ලැබීමෙන් පසු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇති බව “සන්ඩේ ටයිම්ස්” පුවත්පත වාර්තා කර තිබේ.

රුපියල් මිලියන 8 ක අයථා පරිහරණය කිරීමේ චෝදනාව මත අමාත්‍යවරයාට සහ තවත් දෙදෙනෙකුට එරෙහිව මහාධිකරණයේ මේ නඩු පැවරීමට නියමිතව ඇති බව පුවත්පත වාර්තා කොට ඇත.

එහිදී පරීක්ෂාවට ලක් වූ විශේෂිත ටෙන්ඩරයක් ප්‍රදානය කළ ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ජයකොඩි මහතා සේවය කර ඇත.

ගෙවීම් ක්‍රියා පටිපාටි සහ බැඳුම්කර ස්ථානගත කිරීම පිළිබඳ ගැටළු මතුවීමෙන් පසුව ටෙන්ඩරය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කෙරුණි.

අයථා පරිහරණය පිළිබඳ පෙර විමර්ශන සලකා බලා අල්ලස් කොමිසම පරීක්ෂණ නැවත ආරම්භ කර ඇති බවද පැවසේ.

දූෂණ චෝදනාවලට මුහුණ දෙන වත්මන් රජයේ පළමු අමාත්‍යවරයා අමාත්‍ය ජයකොඩි මහතා වනු ඇතැයි ද මේ අතර වාර්තා වේ.

මීට පෙර, මඩකලපුව දිස්ත්‍රික් ITAK පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රශ්නය මතු කරමින් කියා සිටියේ පොහොර සංස්ථාවේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් වූ පුද්ගලයෙකු NPP කැබිනට් මණ්ඩලයේ සේවය කරන බවයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) විසින් මෙම පියවර ගනු ලැබුවේ පසුගිය රජයේ අමාත්‍යවරුන්ට එරෙහිව දූෂණ නඩු මාලාවක් ගොනුකර ඇති පසුබිමකය.

මනූෂට FCIDයෙන් කැඳවීමක්

අමාත්‍ය ධුරය දරන කාලයේදී වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ඇමැති මනූෂ නානායක්කාර ලබන 20 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන දිසාවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇතැයි පොලිසිය සඳහන් කළේය. හිටපු ඇමැතිවරයා විසින් සිය වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

මනූෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරය දරන කාලයේදී නීතිවිරෝධී ආකාරයෙන් දේපළ හෝ වත්කම් උපයාගෙන ඇත්දැයි සෙවීමට විමර්ශනයත් සිදු කරන ලෙස ඉල්ලමින් අල්ලස දූෂණය හා නාස්තියට එරෙහිව පුරවැසි බලය සංවිධානයේ සභාපතිවරයා විසින් මූල්‍ය අපරාධ විමර්ශන දිසාවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඊට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ඇමැතිවරය​ා මෙසේ කැඳවා ඇතැයි පොලිසිය සඳහන් කළේය.

ජවිපෙ කාඩරය ලංවිම සාමාන්‍යාධිකාරිට නියෝග දෙයි.

 

අනුයුක්ත කිරීම් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශය යටතේ ඇති විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්‍යාංශය නම් සංවිධානයක් විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) සාමාන්‍යාධිකාරීවරයාට ලිපියක් යොමු කර ඇත. ලිපියේ අංකය PSRS/250817/012 වන අතර දිනය 2025.08.17 ය.

යෝජිත අනුයුක්ත කිරීම් දැනුම් දෙන ලිපියේ ආකෘතිය සහ ස්වේච්ඡා විශ්‍රාම යෑමේ යෝජනා ක්‍රමය ඉදිරි සතිය තුළ බලශක්ති අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කිරීමට නියමිත බවත්, නියමිත දිනට පසු මෙම සමාගම් අතර නිලධාරීන්ට සහ සේවකයන්ට මාරුවීමට අවස්ථාවක් නොලැබෙන බවත් මෙමගින් දැනුම් දී තිබේ. එබැවින්, නියමිත දිනට පෙර, දැනට සිටින අංශවලින් වෙනත් අනාගත නව සමාගම් අංශයකට මාරුවීමට ඇති කැමැත්ත සලකා බැලීම සඳහා බලශක්ති අමාත්‍යාංශය විසින් පත් කරන ලද තේරීම් කමිටුවක් මඟින් ඉල්ලුම්පත් කැඳවා ඇත. මෙම ක්‍රියාවලිය මගින් යෝජිත මාරුවීම් බලාත්මක වන්නේ නියමිත දිනට පෙර දිනයේදීය. යෝජිත මාරුවීම් ලැබෙන නිලධාරීන් සහ සේවකයන්, ඒ දක්වා දැනට සේවය කරනා ස්ථානයේම කටයුතු කළ යුතුය.

මෙම ලිපිය පුබුදු නිරෝෂන් හැඩිගල්ලගේ නමැත්තෙක් විසින් අත්සන් කර ඇති අතර, ඔහු බලශක්ති අමාත්‍යාංශයේ විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා බව කියයි. ඔහුගේ ඉතිහාසය පිරික්සීමේ දී පැහැදිලිව ම පුබුදු නිරෝෂන් යනු ජවිපෙ ක්‍රියාකාරිකයෙකු බව පෙනී යයි.

අප මින් පෙර පැවසූ ආකාරයෙන් ම ජාතික ජන බලවේග ආණ්ඩුව තුළ පවතින රාජ්‍ය ආයතන පාලනය කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සෘජු කාඩරය යොදවා ඇති ආකාරයට මෙය හොඳ ම උදාහරණයකි. පැලවත්තේ ජවිපෙ කාර්යාලයට වාර්තා කරන ජවිපෙ කාඩරය සෘජුව රාජ්‍ය ආයතන පාලනය කිරීම සඳහා යොදවා ගැනීම මගින් ගැටළු රාශියකට මග පාදයි.

ආයතනයේ නිල ධූරාවලිය තුළ සිටින ප්‍රධානීන් (උදා: සාමාන්‍යාධිකාරීවරයා) මඟහැර දේශපාලන බලයක් සහිත බාහිර පුද්ගලයින් හෝ ආයතන විසින් සෘජුවම උපදෙස් ලබා දීම තුළ, එම නිලධාරීන්ගේ අධිකාරියට හා ගෞරවයට හානි සිදුවිය හැකිය. නිල කාර්ය පටිපාටි අනුගමනය නොකර කෙලින්ම නියෝග නිකුත් කිරීම නිසා, කාර්යයන් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේදී ව්‍යාකූලතා හා අවුල් ඇතිවිය හැකිය. එමගින් සේවකයන් අතර අවිශ්වාසයක් ද ගොඩනැගෙනු ඇත.

රාජ්‍ය ආයතනවලට දේශපාලන බලපෑම් සෘජුව එල්ල වීම නිසා, එම ආයතනවල ස්වාධීනත්වය, වෘත්තීයභාවය හා කාර්යක්ෂමතාව නැති වී යා හැකිය. තීරණ ගැනීම සඳහා නිසි ක්‍රියා පටිපාටිය වෙනුවට දේශපාලන අභිලාෂයන් බලපෑම් එල්ල කිරීම මෙහිදී සිදුවිය හැකිය. දේශපාලන පක්ෂපාතීත්වය මත පදනම්ව තනතුරු හෝ අවස්ථා ලබාදීම සිදුවුවහොත්, හැකියාව හා දක්ෂතාව පදනම් කරගත් තෝරාගැනීම් අඩුවිය හැකිය. එමගින් රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය පහත වැටීම සිදුවිය හැකිය. විශේෂයෙන් ම පෙර පැවති පාලනයන්වල දේශපාලනියකරණය සම්බන්ධයෙන් විශාල ඝෝෂාවක් නගන ලද ජනතා විමුක්ති පෙරමුණ මෙවන් ලජ්ජාසහගත ක්‍රියාවක නිරත වීම සළකා බැලිය යුතු විශේෂම කරුණකි.

රාජ්‍ය ආයතන දේශපාලන මැදිහත්වීම්වලට ලක්ව ඇති බව මහජනයාට හැඟී ගියහොත්, එම ආයතන කෙරෙහි ඇති විශ්වාසය බරපතල ලෙස පළුදු විය හැකිය. එය අවසානයේදී සමස්ත රාජ්‍ය සේවයේම කීර්තිනාමයට හානි කරනු ඇත.

ඉහත සඳහන් කළ කරුණුවලට අමතරව, ප්‍රජා පොලිස් ඒකක සහ යෞවන සමාජ වැනි පහළ ස්ථරයන්ට සහ දැන් මෙසේ රාජ්‍ය ආයතන තුළට ජනතා විමුක්ති පෙරමුණේ (JVP) පක්ෂ කාඩරයන් ඇතුළත් කිරීම නිසා මතුවිය හැකි ගැටලු සහ පක්ෂ රාජ්‍යයක් (Party State) ගොඩනැගීම යන චෝදනාව වඩාත් තහවුරු වනු ඇත.

Add to cart