කාන්තාවන් සහ ළමයින් වෙනුවෙන් අනුකමිටුවක්

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් සියලු දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට අනුබද්ධව ‘කාන්තා සහ ළමා අනුකමිටු’ පිහිටුවීමට පියවර ගෙන ඇත. ඒ අනුව, කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ කාන්තා සහ ළමා අනුකමිටුව එහි සභාපතිනි ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස් විය.

ළමා හා කාන්තා අයිතිවාසිකම් සුරැකීම සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් ඇති කිරීම, කාන්තා හා ළමා ඒකක ‘ළමා මිතුරු’ ඒකක ලෙස සංවර්ධනය කිරීම, සහ පාසල් නොයන ළමුන් නැවත පාසල් පද්ධතියට එක් කිරීම සඳහා අරමුදලක් පිහිටුවීම ඇතුළු යෝජනා ගණනාවක් පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

මේ සඳහා ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය, ජාතික ළමාරක්ෂක අධිකාරිය, පළාත් පරිවාස දෙපාර්තමේන්තුව, සහ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වැනි විවිධ ආයතන නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී වී සිටියහ.

මීට අමතරව, පෙර පාසල් ගුරුවරුන් සඳහා වාර්ෂික අනිවාර්ය පුහුණු වැඩසටහන් පැවැත්වීම සහ වයස අවුරුදු 0-3 දක්වා දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය සඳහා විධිමත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

කාන්තාවන් සහ ළමුන් මුහුණ දෙන අපරාධ, අපයෝජන, මත්ද්‍රව්‍ය භාවිතය සහ ළමා මව්වරුන් සම්බන්ධ සමාජ ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

ඉදිරියේදී, රජයේ නියාමනය සහිත කාන්තා සුරක්ෂා රැඳවුම් මධ්‍යස්ථානයක්, කාන්තා ව්‍යවසායකයන් සඳහා වෙළෙඳපොළක් සහ ආපන ශාලාවක් දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමටද මෙම කමිටුවේදී තීරණය විය. මෙම යෝජනා ඉදිරි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

පාතාලය මර්දනයට නව වැඩපිළිවෙළක්

 

පාතාල ක්‍රියා සහ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා වඩාත් විධිමත් හා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (17) ප්‍රකාශ කළේය.

මහනුවරට පැමිණි පොලිස්පතිවරයා මහනායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.

ඔහු පැවසුවේ, මෙම අපරාධ මැඩලීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ මහජනතාවගේ සහාය ලබා ගනිමින් සැලසුම් සහගත මෙහෙයුම් දියත් කරන බවයි. මීට පෙර ඇතැම් පාතාල ක්‍රියාවන්ට සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා දේශපාලන සහයෝගය මෙන්ම පොලිස් නිලධාරීන්ගේද සහාය ලැබී ඇති බව පොලිස්පතිවරයා මෙහිදී පිළිගත්තේය.

“යම් යම් දේශපාලන ආශිර්වාද ලැබිලා තිබුණා, පොලීසියේ නිලධාරීන්ගේ සහාය ලැබිලා තිබුණා, ත්‍රිවිධ හමුදාවේ පුද්ගලයින් ඒ සඳහා පාවිච්චි කරලා තිබුණා, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මේකට පාවිච්චි කරලා තිබුණා.” ඔහු සඳහන් කළේය.

නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිදු දේශපාලන බලපෑමක් නොලැබෙන බවත්, පවතින දේශපාලන පරිසරය ඉතා යහපත් බවත් පොලිස්පතිවරයා අවධාරණය කළේය. කිසිදු අපරාධයක් සඟවා තැබීමට හෝ නොසලකා හැරීමට තමන් විසින් නියෝග ලබා නොදෙන බවද ඔහු පැවසීය.

මෑතකදී සිදු වූ වෙඩි තැබීම් සම්බන්ධයෙන් විමර්ශන කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. විදේශගතව සිටින පාතාල කල්ලි නායකයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තරය සමඟ එක්ව කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20

 

2022 වසරේ අරලියගහ මන්දිරය අසල පැවති විරෝධතාවට එල්ල වූ ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු පොලිස්පති (එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති) දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂිත ඇප අයැදුම්පත පිළිබඳ තීන්දුව අගෝස්තු 20 වැනිදා ප්‍රකාශ කිරීමට නියමිත බව අධිකරණ වාර්තාකරු සඳහන් කරයි.

මෙම අපේක්ෂිත ඇප අයැදුම්පත ඉදිරිපත් කර ඇත්තේ, සාමකාමීව විරෝධතාවල නිරත වූ පුද්ගලයන්ට පහරදීම සහ ඔවුන්ගේ දේපළවලට ගිනි තැබීම වැනි ප්‍රහාර වැළැක්වීමට අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් තෙන්නකෝන් මහතාට එල්ල වී ඇති චෝදනා මත ඔහු අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහායි.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව තීරණයක් ගැනීමට හැකි වනු ඇත.

විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!

 

පසුගිය වසර කිහිපය තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කළ ඉංජිනේරුවන්ගෙන් සියයට 20ක් පමණ රට හැර ගොස් ඇති බව එම මණ්ඩලය පවසයි

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතාට අනුව, පසුගිය වසර තුනක කාලය තුළ ඉංජිනේරුවන් 226 දෙනෙකු රට හැර ගොස් තිබේ. මෙම සංඛ්‍යාව සමස්ත ඉංජිනේරු සංඛ්‍යාවෙන් සියයට 20ක් නියෝජනය කරයි. රට හැර ගිය ඉංජිනේරුවන් අතරින් සියයට 85ක් විදුලි ඉංජිනේරුවන් වන අතර, යාන්ත්‍රික ඉංජිනේරුවන් සියයට 8ක් සහ සිවිල් ඉංජිනේරුවන් සියයට 7ක් වේ. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ අයර්ලන්තය වැනි රටවල රැකියා අවස්ථා සඳහා ඔවුන් විදේශගත වී ඇත.

මේ අතර, විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පවසන්නේ, මණ්ඩලය තුළ අභ්‍යන්තර ඉංජිනේරුවන් සිටියදී නව ඉංජිනේරුවන් 60 දෙනෙකු බඳවා ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටින බවයි. මෙම බඳවා ගැනීමේ ක්‍රියාවලිය පටිපාටි උල්ලංඝනය කරමින් සිදුකරන බවට ඔහු චෝදනා කරයි.

තැපැල් සේවකයින්ගේ වර්ජනයක් හෙට සිට

 

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ හෙට (අගෝස්තු 17) පස්වරු 4.00 සිට වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මෙම වර්ජනයට හේතුව ලෙස ඉල්ලීම් 19ක් ඉදිරිපත් කර ඇති අතර, ප්‍රධාන ඉල්ලීම් අතරට තැපැල් නිලධාරීන්ගේ අතිකාල ගෙවීම් සම්බන්ධ ගැටලු සහ පාලන හා ගිණුම් කාර්යාලවල නිලධාරීන් සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් පැමිණීම සටහන් කිරීමේ නව උපදෙස්වලට විරෝධය පළ කිරීම ඇතුළත් වේ.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණට අනුව, මෙම වර්ජනය හෙට පස්වරු 4.00ට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ආරම්භ වීමට නියමිතය. ඉන් පසුව, හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට දිවයින පුරා පිහිටි සියලුම තැපැල් හා පාලන කාර්යාලවල අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනු ඇත.

කෙසේ වෙතත්, තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසන්නේ, තැපැල් කාර්යාලයට අදාළ උප තැපැල් කාර්යාල 3,354ක උප තැපැල් ස්ථානාධිපතිවරු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහභාගී නොවන බවයි. එබැවින්, එම කාර්යාලවල සාමාන්‍ය පරිදි කටයුතු සිදුවන අතර, මහජනතාවට එමඟින් සේවාවන් ලබා ගත හැකි වනු ඇත.

තවද, මෙම වර්ජනය හේතුවෙන් තැපැල් භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු ප්‍රමාද විය හැකි බවට තැපැල්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට දැනුම් දී තිබේ.

චිත්‍රසිරි වාර්තාව ඉල්ලා විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගෙන් නඩුවක්

 

විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ගෙවීම සම්බන්ධයෙන් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චිත්‍රසිරි මහතා සකස් කළ නිර්දේශ ඇතුළත් වාර්තාව ලබා ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට “විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුව” තීරණය කර තිබේ.

විශ්‍රාමික මන්ත්‍රී එකමුතුවේ ලේකම් ප්‍රේමසිරි මානගේ මහතාට අනුව, මීට මාස කිහිපයකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් පිළිබඳව වාර්තාවක් සකස් කරන ලෙස විනිසුරු චිත්‍රසිරි මහතාගෙන් ඉල්ලා ඇත. ඒ අනුව, විනිසුරුවරයා එම නිර්දේශ ඇතුළත් වාර්තාව ජනාධිපති කාර්යාලයට භාර දී තිබේ.

කෙසේ වෙතත්, ජනාධිපති කාර්යාලය විසින් මේ දක්වා එම වාර්තාව ප්‍රසිද්ධ කර නොමැත. පෙබරවාරි මාසයේදී තොරතුරු දැනගැනීමේ පනත යටතේ වාචිකව හා ලිඛිතව මෙම වාර්තාවේ නිර්දේශ ඉල්ලා සිටියද, තොරතුරු නොලැබුණු බව මානගේ මහතා සඳහන් කරයි. තවදුරටත්, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් එවැනි වාර්තාවක් හෝ නිර්දේශයක් තමන් සතුව නොමැති බවට ලිඛිතව දැනුම් දී ඇති බවද ඔහු පවසා තිබේ.

මෙම තත්ත්වය මඟින් ආණ්ඩුව මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය කර ඇති බව පවසන විශ්‍රාමික මන්ත්‍රී එකමුතුව, ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත.

පොලිස් නිලධාරීන්ට තර්ජනය කල ප්‍රාදේශීය මන්ත්‍රී අත්අඩංගුවට!

 

බීමතින් රිය අනතුරක් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් පාදුක්ක පොලිස් ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරුණු හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියට අදාළ රිය අනතුර ඊයේ (අගෝස්තු 15) පස්වරුවේ පාදුක්ක මාවත්ගම ප්‍රදේශයේදී සිදුව ඇත. එහිදී ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් ගැටී තිබෙන අතර, අනතුරට හේතුවූ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් කටයුතු කර ඇත.

මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් පොලිස් ස්ථානයට පැමිණි හිටපු සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීන්ට බැණ වැදී තර්ජනය කර ඇත. ඔහු පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට පහර දීමට උත්සාහ කර ඇති අතර, පොලීසිය දැඩි පරිශ්‍රමයක් දරා ඔහුව සිර මැදිරියට ඇතුළු කර තිබේ.

සැකකරු තමා අසනීප තත්ත්වයෙන් පසුවන බව පැවසීම හේතුවෙන් ඔහුව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත. කෙසේ වෙතත්, රෝහල තුළදී ද ඔහු කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වේ. ඔහුගේ පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ද එම රෝහලේම ප්‍රතිකාර ලබයි.

අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රීවරයා හංවැල්ල, තුන්නාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු වන අතර, පසුව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් තරුණ කටයුතු ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබේ. රිය අනතුරට පත්වූ මෝටර් රථයේ රියදුරු මෙම සැකකරුගේ මිතුරෙකු වන අතර, ඔවුන් දෙදෙනා අනතුරට පෙර මත්පැන් පානය කර ඇති බවට පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

සැකකරු අද (16) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, පාදුක්ක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

විශේෂ පොලිස් මෙහෙයුමකින් 689කට මාංචු!

 

දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද විශේෂ පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 689 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම මෙහෙයුම ඊයේ (අගෝස්තු 15) දින ක්‍රියාත්මක කර තිබේ.

මෙම මෙහෙයුමේදී, අපරාධවලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 24 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 242 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය. ඊට අමතරව, විවෘත වරෙන්තුකරුවන් 158 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෙහෙයුමේදී රථවාහන වැරදි සම්බන්ධයෙන් ද පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගෙන තිබේ. බීමත් රියදුරන් 100 දෙනෙකු සහ අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කළ පුද්ගලයින් 27 දෙනෙකු ඒ අතර වේ. තවද, රථවාහන වැරදි 3,635ක් සඳහා නෛතික පියවර ගෙන ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

වරප්‍රසාද සටනට රනිල්ගේ සහයක් නෑ

 

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමට එරෙහිව අධිකරණයට යෑමේ අදහසක් තමාට නොමැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරුන් වරප්‍රසාද ආරක්ෂා කර ගැනීම සඳහා අධිකරණය හමුවට ගියහොත් තමන් ඊට සහාය නොදෙන බව වික්‍රමසිංහ මහතා පවසා තිබේ. වරප්‍රසාද අහිමි කිරීම සම්බන්ධයෙන් නඩු පවරන්නේ නම්, පරස්පර විරෝධී කරුණු ඉදිරිපත් නොකර අධිකරණ ක්‍රියාවලිය සිදුකරන ලෙසට නීති උපදෙස් ලැබී ඇති බවද ඔහු සඳහන් කර ඇත. කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරුන් කිසිවෙකු මේ සම්බන්ධයෙන් සාමූහිකව සාකච්ඡා කර නොමැති බවද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

මේ අතර, පසුගිය සතියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී ඇත. පක්ෂයේ ශාඛා සමිති, බල මණ්ඩල සහ දිස්ත්‍රික් සංවිධාන ශක්තිමත් කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට එහිදී තීරණය කර තිබේ.

පක්ෂයේ ප්‍රචාරක යාන්ත්‍රණය සහ මානව සම්පත් සංවර්ධනය කිරීමටත්, පක්ෂයේ ප්‍රමුඛ නායකයන්ට දිස්ත්‍රික් දෙක තුනක් භාර දී ප්‍රතිසංවිධාන කටයුතු පැවරීමටත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අවධානය යොමු විය.

එසේම, එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරය සැප්තැම්බර් 6 වන දින පැවැත්වීමටත්, එජාප සම්මේලනය මාර්තු මාසයේදී පැවැත්වීමටත්, නව නීතිඥ සංගමයක් ස්ථාපිත කිරීමටත් තීරණය කර ඇත.

කෝටි 5ක් වූ ගංජා සමඟ දෙදෙනෙක් අල්ලයි

 

රුපියල් කෝටි 5කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස්පතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමේ කොටසක් ලෙස මෙම වැටලීම සිදුකර ඇත.

ඊයේ (අගෝස්තු 15) සවස් කාලයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු තොරතුරක් අනුව වත්තල පොලිස් වසමේ බංගලාවත්ත ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර තිබේ. එහිදී, කිලෝග්‍රෑම් 309කට ආසන්න කේරළ ගංජා ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි 43 සහ 49 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් කුලී පදනම මත ලබාගත් නිවසක කාමරයක් තුළ සඟවා තිබියදී මෙම ගංජා තොගය සොයා ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිදුකරන අතර, අද (16) දින සැකකරුවන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Add to cart