විශ්වාසභංගය නීතිය හරස්ව විසිවෙයි

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් කතානායකවරයාට බාර දෙනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව නීතිමය ගැටලුවක් හේතුවෙන් විවාදයට ගැනීමට නොහැකි වන පසුබිමක් නිර්මාණයවී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේ හෙයින් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමේ නෛතික හැකියාව සම්බන්ධයෙන් නිල වශයෙන් තොරතුරු විමසා බැලීමට නීතිපතිවරයාට යොමු කර ඇති බව රජයේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

එසේම මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ එම යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් නොකරන ලෙසට කතානායකවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මෙම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඊයේ ඇතුළත් කිරීමට නියමිතව තිබිණ.

අරුණ ජයසේකර නියෝජ්‍ය අමාත්‍යවරයාට ගැසට් නිවේදනයකින් විෂය පැවරීමක් කර නැති හෙයින් යම් වගකීමක් නිල වශයෙන් නොපැවරී ඇති අවස්ථාවක එවැන්නකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ නෛතිකමය හැකියාවක් නොමැති බව ආණ්ඩු පාර්ශ්වයේ මැති ඇමතිවරු පෙන්වා දෙති.

එවැන්නෙකුට විරුද්ධව යෝජනාවක් ගෙන එන්නේ නම් ගෙන ආ හැක්කේ දෝෂාරෝපණය කිරීමේ යෝජනාවක් පමණක් බව ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කරති.

යුක්තිය ඉටු කිරීමට නීතිපති හරහට!

 

ශ්‍රී ලංකාවේ සිදුවූ දරුණු මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් වින්දිතයන්ට යුක්තිය ඉටු කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය ප්‍රධාන බාධාවක් වී ඇති බව එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවක සඳහන් වේ. මෙම වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්ටර් ටර්ක්ගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසු සකස් කරන ලද අතර, ‘ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය’ ලෙස නම් කර ඇත. මෙම වාර්තාව සැප්තැම්බර් 8 වන දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 60 වන සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

වාර්තාවට අනුව, යුක්තිය ඉටු නොවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව සතු නඩු පැවරීමේ නිදහස, තහවුරු නොකළ සාක්ෂි මත ක්‍රියා කිරීමට ඇති අකමැත්ත, පොලිස් විමර්ශන සඳහා ඇති සීමිත හැකියාව, සහ සුදුසුකම්ලත් අධිකරණ වෛද්‍ය නිලධාරීන් හා දෙමළ කතා කරන නිලධාරීන්ගේ හිඟයයි. එසේම, යුද සමයේ සිදුවූ මානව හිමිකම් කඩවීම්, ලිංගික ප්‍රචණ්ඩත්වය, සහ ආරක්ෂක අංශ සාමාජිකයන් සම්බන්ධ නඩු සඳහා යුක්තිය ඉටු නොවීම අඛණ්ඩව සිදුවන බවද වාර්තාව පෙන්වා දෙයි.

මෙම වාර්තාවේ නිරීක්ෂණ තහවුරු කිරීම සඳහා සංකේතාත්මක සිදුවීම් කිහිපයක් උදාහරණ ලෙස දක්වා ඇත. ඒවා අතර, මේ දිනවල නැවත කතාබහට ලක්ව ඇති ක්‍රිෂාන්ති කුමාර්ස්වාමි දූෂණය කොට මරා දැමීමේ සිද්ධිය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, සහ කාටූන් ශිල්පි ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම ද ඇතුළත් වේ. මෙම සිදුවීම් හරහා ශ්‍රී ලංකාවේ යුක්ති පද්ධතියේ පවතින ගැටළු වඩාත් පැහැදිලිව ඉදිරිපත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය උත්සාහ කර ඇත.

කොලරාඩෝවේ හාවන්ට ‘අං’ එන අමුතු වෛරසය

ඇමරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්තයේ හාවුන් අතර නව වෛරසයක් පැතිර යමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“ෂොපේ පැපිලෝමා” නමින් හැඳින්වෙන මෙම වෛරසය සහිත හාවුන්ගේ මුහුණුවලින් ‘අං’ මෙන් නෙරාඑන ඉන්නන් වර්ගයක් වර්ධනය වීමෙන් වසංගත තත්ත්වය හට ගෙන ඇතැයි වාර්තා වේ.

‘ෆ්‍රැන්කන්ස්ටයින් බනීස්’ (Frankenstein bunnies), යක්ෂ හාවන් (demon rabbits) සහ “සොම්බි හාවන් (zombie) යනුවෙන් අන්වර්ථ නාම් රැසකින් මෙම සතුන් හඳුන්වනු ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සත්වයින් බොහෝමයක් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඩෙන්වර් සිට සැතපුම් 65ක් උතුරින් පිහිටි ෆෝර්ට් කොලින්ස් ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින් ඡායාරූප පළ කිරීම නිසාවෙනි.

කොලරාඩෝ උද්‍යාන සහ වනජීවී ප්‍රකාශිකාවක් වන කාරා වැන් හූස් පවසා ඇත්තේ, මෙම වෛරසය ප්‍රධාන වශයෙන් මැක්කන් සහ කිනිතුල්ලන්ගෙන් පැතිර යන බවත්, එය මිනිසුන්ට හෝ ගෘහස්ථ සුරතල් සතුන්ට ආසාදනය නොවන බවත්ය.

මෙම වෛරසය ඉන්නන්ට සමාන නමුත් ඒවා දිගු වුවහොත් ‘අං’ මෙන් දර්ශනය වන බව ද කාරා වැන් හූස් පවසා තිබේ.

විද්‍යාඥයින්ගේ විස්තර අනුව, මෙය බිය විය යුතු මරණාන්ත රෝගයක් නොව, ලොම් සහිත සතුන් අතර සාමාන්‍යයෙන් මතුවන පොදු වෛරසයක් වෙයි.

අල්ලස් කොමිසමේ නිලධාරීන් මදි

 

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මේ වන විට දරුණු සේවක හිඟයකින් පීඩා විඳින බව වාර්තා වේ. නිලධාරීන් 340ක් අවශ්‍ය වුවත්, දැනට සිටින්නේ 230ක් පමණක් වන අතර, එමඟින් 100කට අධික පුරප්පාඩු ප්‍රමාණයක් නිර්මාණය වී ඇත. මෙම තත්ත්වය හේතුවෙන්, කොමිසමට ලැබී ඇති 5,000කට වැඩි පැමිණිලි සංඛ්‍යාවක් විමර්ශනය කිරීමට දැඩි බාධාවක් එල්ල වී තිබේ.

2025 ජනවාරි 1 සිට ජුනි 30 දක්වා කාලය තුළ පමණක් අල්ලස් කොමිසමට පැමිණිලි 3,022ක් ලැබී ඇත. මේවා අතර අල්ලස්, දූෂණ සහ මහා පරිමාණ වංචා පිළිබඳ චෝදනා ප්‍රධාන වේ. මෙම නව පැමිණිලි සංඛ්‍යාවට අමතරව, වසර දහයකට හෝ දොළහකට පෙර ලැබුණු පැරණි පැමිණිලි ද ඇතුළුව, විමර්ශනයට ලක් නොකළ පැමිණිලි 5,000කට වඩා දැනට ගොඩ ගැසී තිබේ.

කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට අනුව, විමර්ශන ප්‍රමාද වීමට ප්‍රධානම හේතුව නිලධාරීන්ගේ හිඟයයි. විශේෂයෙන්ම සංකීර්ණ විමර්ශනවලදී සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම වැනි කටයුතුවලට නිලධාරීන් නොමැතිවීම ප්‍රබල ගැටලුවකි. අතීතයේදී යම් යම් බලපෑම් මත යටගොස් තිබූ පැරණි නඩු නැවත විවෘත කිරීමත් සමඟ, සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ ලබා ගැනීමට සිදුවීම ද විමර්ශන කටයුතු තවත් සංකීර්ණ කර ඇත.

කෙසේ වෙතත්, මෙම සේවක හිඟයට කඩිනම් විසඳුමක් ලැබුණහොත්, දැනට ලැබී ඇති සහ අනාගතයේදී ලැබෙන පැමිණිලි ඉක්මනින් විමර්ශනය කර වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

පාකිස්තානයේ බිහිසුණු හෙලිකොප්ටර් අනතුර

උතුරු පකිස්තානයේ සහන කටයුතු සඳහා යොදාගන්නා ලද හෙලිකොප්ටරයක් කඩා වැටී, එහි නියමුවන් දෙදෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ප්‍රදේශ වෙත සහන භාණ්ඩ රැගෙන යමින් තිබූ අතරතුර, යානය පාලනයෙන් ගිලිහී භූමියට ඇද වැටී තිබේ.

අධික වැසි සහ සුළං තත්ත්වය අතරතුර සිදුවූ මෙම අනතුර පිළිබඳව නිලධාරීන් මෙතෙක් සෘජු ප්‍රකාශන නිකුත් කර නොමැත.

පොලිසිය ක්ලින් වීම ඇරඹේ.

 

පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිසියේ ඉහළ නිලධාරීන් විසින් සිදුකරන නීතිවිරෝධී සහ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි භාර ගැනීම සඳහා වෙනම ඒකකයක් පිහිටුවීමට පොලිස් මූලස්ථානය සැලසුම් කර තිබේ. මෙම නව ඒකකය පිහිටුවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ, ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගැනීම, අල්ලස් ඉල්ලීම, සහ මුදල් වෙනුවෙන් නීති විරෝධී ලෙස කටයුතු කිරීම් වැනි දූෂණ ක්‍රියා නැවැත්වීමයි. මීට අමතරව, සාමාන්‍ය ජනතාවගේ පැමිණිලි භාර නොගැනීම සහ ඒ සම්බන්ධයෙන් නිසි ලෙස ක්‍රියාත්මක නොවීම පිළිබඳවද මෙම නව ඒකකය විමර්ශනය කරනු ඇත. මහජනතාවට මෙම ඒකකයට සෘජුවම පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදී, පොලිස් නිලධාරීන්ගේ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් කරුණු ඉදිරිපත් කර ඇති අතර, විශේෂයෙන්ම මැණික් කර්මාන්තය ආශ්‍රිතව සිදුවන අල්ලස් ගැනීමේ සිදුවීම් පිළිබඳව එහිදී වැඩි අවධානයක් යොමුවී තිබේ. මෙම නව ඒකකය, දූෂණ මර්දනය සඳහා විශේෂයෙන් පිහිටුවා ඇති වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වැනි විශේෂිත ඒකකයක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිත බව පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙකු සඳහන් කර ඇත.

මේ අතර, වත්මන් ආණ්ඩුව විසින් පොලිස් ප්‍රධානීන් සහ ස්ථානාධිපතිවරුන් රැසකට ස්ථාන මාරු ලබා දී ඇති බවද වාර්තා වේ. මෙම නව ඒකකය පිහිටුවීම මඟින් පොලිස් දෙපාර්තමේන්තුව තුළ විනය සහ විනිවිදභාවය තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.

මාස අටට අලි මරණ 400ක්

මෙම වසරේ (2025) මේ දක්වා කාලයේ අලින් 400කට ආසන්න පිරිසක් මියගොස් ඇති බවත්, මෙය මහා ඛේදවාචකයක් බවත් පරිසර විද්‍යාඥ ආචාර්ය අජන්තා පෙරේරා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළාය.

බොහෝ දෙනා අලියා දිහා බලන්නේ සතුරෙක් විදිහට බවත්, එම සතාගේ බලවත්කම් බොහෝ දෙනකුට අඳුකොළ බවත් ඇය කියා සිටියාය.

මෙහිදී තවදුරටත් කතා කළ ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය මෙසේ ද කීවාය.

අලියා කියන්නේ බුද්ධිමත්ම සතා. අලියා කියන කෙනාගේ බුද්ධිය වැඩි නිසා මිනිසුන් ඔවුන් දිහා දකින්නේ වෛරයෙන්. මේ නිසා බුද්ධිමත්ම සතා දැක්කාම මිනිසා ඒ සතාට වෙඩි තියනවා. වන අලි දුම්රියේ වැදීමෙන්, වෙඩි වැදීමෙන්, වගා ළිංවලට වැටීමෙන්, විදුලිසර වැදීමෙන් වන අලි මියයන ප්‍රමාණය එන්න එන්නම වැඩියි.

2024 දී වන අලි 478ක් මිය ගිහින් තියෙනවා. මේ අවුරුද්දෙ (2024) මේ වෙනකොට වන අලින් 400කට ආසන්න සංඛ්‍යාවක් මියගිහින් තිබෙනවා. සාමාන්‍යයෙන් වසරකට වන අලින් 200ක් 300ක් මැරෙනවා. වන අලින්ට වන හිරිහැර නතරවිය යුතුයි. මේකට ඇත්තටම හඬ නැගිය යුතුයි. මේ වසර අවසානය වනවිට අලින් 700ක් 750ක් විතර ප්‍රමාණයක් මියැදෙන්න පුළුවන්. අලින්ට සිදුවන හිරිහැර ගැන වනජීවී දෙපාර්තමේන්තුව සොයා බලන්න ඕනෑ.

බෙල්ලන්විල පෙරහැර අද

ඓතිහාසික බෙල්ලන්විල රාජමහා විහාරස්ථ 75 වැනි වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර අද (16 වැනිදා) රාත්‍රියේ උත්කර්ෂවත් අන්දමින් වීථි සංචාරය කෙරේ.

මෙම පෙරහැර විහාරස්ථානයේ නැඟෙනහිර වාහල්කඩ දෙසින් විහාර මාවතට පිවිස මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි මාවත (දෙහිවල පාර), බෙල්ලන්තර මංසන්ධිය, කීල්ස් හන්දිය, පැපිලියාන පාර ඔස්සේ ගමන් කර විහාර මාවතට පැමිණ නැවත නැඟෙනහිර වාහල්කඩින් විහාර පරිශ්‍රයට ගෙවදීමට නියමිත බව විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමිපාණෝ පැවසූහ.

මෙම පෙරහැර හුදු විනෝදාස්වාදය සඳහා පමණක් නොව රටට සෙත්පතා කරන පුණ්‍යෝත්සවයක් ලෙස සිතා සාමකාමීව එය නරඹන ලෙස විහාරාධිපති හිමියෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

බෙල්ලන්විල ඇසළ පෙරහැර කමිටුව බෙල්ලන්විල පෙරහැර මංගල්‍යය සංවිධානය කරයි.

විනිමය පත්‍ර පනතට කථානායකගේ අස්සන

විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සිය අස්සන සටහන් කළේය.

විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය 7 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඒ අනුව මෙම විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත 2025 අංක 13 දරන විනිමය පත්‍ර (සංශෝධන) පනත ලෙස බලාත්මක වන අතර මෙම පනත මගින් 82 වන අධිකාරය වූ විනිමය පත්‍ර ආඥාපනත නවීකරණය කර සමකාලීන බැංකු කටයුතු සමඟ සමගාමී කිරීම අරමුණු කොට ඇත.

මෙම පනත මගින් වංක හා වැරදි සහගත චෙක්පත් අණකරුවන් සම්බන්ධයෙන් සාපරාධී වගකීම් පැනවීමට හැකියව පවතී. එමෙන්ම, නීත්‍යානුකූලව අවසරලත් ආකාරයට එදිනෙදා ව්‍යාපාරික කටයුතුවලදී නව්‍ය ලෙස හා නීතියට අනුකූල වන පරිදි විනිමය බිල්පත් භාවිතා කිරීම පිණිස පහසුකම් සලසන අතර චෙක්පත් ඉලෙක්ට්‍රොනිකව ඉදිරිපත් කිරීමට අදාළ විධිවිධාන සලසා ඇත.

මෙම සංශෝධනයේ ප්‍රධාන අංග අතරට තත්කාලය සඳහා අදාළ වන නෛතික අනුප්‍රමාණයට අනුව බිල්පතක පොළිය ගණනය කිරීම සඳහා විධිවිධාන සැලසීම, ෆැක්ස් මගින් සම්ප්‍රේෂණය කිරීම මගින් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික ක්‍රම මගින් අගරු කිරීමේ නිවේදන ලබා දීම සදහා විධිවිධාන සැලසීම, අභාවිත පරිචයන් ඉවත් කිරීම සහ වර්තමාන කෙටුම්පත් කිරීමේ පරිචයන්ට අනුකූල වන පරිදි නීතිය සකස් කිරීම ඇතුළත් වේ.

එමෙන්ම ගෙවීම සඳහා චෙක්පතක් ඉදිරිපත් කිරීමේදී ෆැක්ස් මගින් සම්ප්‍රේෂණය කිරීම මගින් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික ක්‍රමවලින් චෙක්පතක අනුරූපයක් අණලත් බැංකුව වෙත යැවීමට බැංකුකරුට හැකියාව ලබා දීම, චෙක්පතක කවර හෝ එක් පසෙක රේඛනය කිරීමේ පරිචය පිළිගැනීම, “ආදායකයාගේ ගිණුමට” යනුවෙන් රේඛනය කිරීම (“පමණි” වචනය සමඟ හෝ නොමැතිව) ව්‍යවස්ථානුකූලව පිළිගැනීම, ගෙවීම් සිදු කරන බැංකු සඳහා ආරක්ෂණය වැඩි කිරීම, චෙක්පත් අගරු කිරීම සඳහා දඬුවම් සහ ඒ සම්බන්ධ විධිවිධාන සැලැස්වීම සහ ආදායකයාගේ නම වෙනස් කිරීම වාස්තවික වෙනස් කිරීමක් ලෙස සැලකීම යන විධිවිධාන ද ඇතුළත් වේ.

ඇලස්කාවේ දී හමුවී කතා ඇරඹේ

වසර හයකට පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ ඇන්කරේජ් හි එක්සත් ජනපද හමුදා කඳවුරකදී හමුවිය.

මෙරට වේලාවෙන් අද අලුයම පැය 3 කට ආසන්න කාලයක් පැවති සාකච්ඡා වලින් අනතුරුව ජනාධිපතිවරුන් දෙදෙනා ඒකාබද්ධ මාධ්‍ය හමුවක්ද පැවැත්වුවේය.

එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ, සාකච්ඡාවලදී ඔවුන් කිසිඳු ගිවිසුමක් අත්සන් නොකළ බවයි.

එහෙත්, සාකච්ඡා ඵලදායී බවත් එමගින් සාකච්ඡාවල ප්‍රගතියක් අත්කරගත් බව ද ඇමරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ.

යුක්‍රේන යුද්ධයේ සිට න්‍යෂ්ටික අවි ගිවිසුමක් දක්වා මාතෘකා පිළිබඳව සාකච්ඡා කර ඇති අතර ඒ පිළිබඳ කිසිඳු විස්තරයක් එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර නොමැත.

යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ නේටෝ නායකයින්ට මේ බව දැනුම් දෙන බව ද අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ.

එම මාධ්‍ය හමුවේදී රුසියානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ යුක්‍රේනියානුවන් සහ යුරෝපීයයන් සාම ක්‍රියාවලියට බාධා නොකරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

රුසියාවට තමන්ගේම අවශ්‍යතා ඇති බව ට්‍රම්ප් තේරුම් ගත් බවද රුසියානු ජනාධිපතිවරයා පවසා තිබේ.

 

Add to cart