වන අලින්ගේ ජීවිත වෙනුවෙන් ඉන්දියාවට AI

වන අලින්ගේ ආරක්ෂාව සඳහා AI තාක්ෂණය භාවිත කිරීමේ අපූරු ව්‍යාපෘතියක් මේ දිනවල දකුණු ඉන්දියාවේ තමිල්නාඩු හි මඩුක්කාරායි වනාන්තර කලාපයෙන් වාර්තා වී තිබේ.

දුම්රිය මාර්ග දෙපස පිහිටි කුලුනුවල සවිකළ කැමරා භාවිතයෙන් ක්‍රියාත්මක වන මෙම අනතුරු ඇඟවීමේ පද්ධතිය සවිකර ඇත්තේ 2024 වසරේ පෙබරවාරි මාසයේදීය.

එතැන් සිට මේ වනවිට වනඅලි, දුම්රිය මාර්ග අසල ගැවසෙන බවට සංඥා 6,000ක් නිකුත් වී ඇති අතර වනඅලි ඉතා ආරක්ෂිතව දුම්රිය මාර්ගය හරහා ඔබමොබ යාමේ අවස්ථා 2,800ක් වාර්තා වී තිබේ.

ග්‍රීන්ස් – ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි-20 තරගාවලියේ ලීග් වටයේ අවසන් තරගය වූ ග්‍රීන්ස් සහ ග්‍රේස් කණ්ඩායම් අතර ඊයේ (අගෝස්තු 14) කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති තරගය වර්ෂා බාධාවෙන් නවතා දැමුණි.

කාසියේ වාසිය ජයගත් ග්‍රීන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, වැසි නිසා තරගය එක් කණ්ඩායමකට පන්දුවාර 16කට සීමා කළාය. දෙපිළේම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් විවේක ගත් අතර, නායකත්වය ග්‍රේස් පිලට රමේෂ් මෙන්ඩිස් සහ ග්‍රීන්ස් පිලට කුසල් මෙන්ඩිස් හිමිවිය. පන්දුවට පහර දීමේදී කමිල් මිශාර පන්දු 11කදී ලකුණු 37ක් රැස් කර දැඩි ආරම්භයක් ලබාදුන් අතර, ග්‍රීන්ස් කණ්ඩායම පන්දුවාර 3කදී කඩුල්ලක් දැවී ලකුණු 46ක් ලබා සිටියදී තවත් වර්ෂා තත්වයක් හේතුවෙන් තරගය නවතා දැමිය.

තරගය නැවත ආරම්භ කළ නොහැකිවීමෙන් නිලධාරීන් විසින් එය අතහැර දමන ලද අතර, ලීග් වටය අවසන්වීමත් සමඟ ග්‍රීන්ස් සහ ග්‍රේස් කණ්ඩායම් දෙකම අවසන් තරගයට සුදුසුකම් ලබා ඇති අතර, එය පැවැත්වීමට නියමිතව ඇත අගෝස්තු 16 වැනි සෙනසුරාදා පස්වරු 1.30ට කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදීය.

ඉන්දියාවට යන්න සැරසෙන චීන විදේශ ඇමති

චීන විදේශ අමාත්‍යවරයා නිල සංචාරයක් සඳහා ඉන්දියාවට යෑමට නියමිත බව ඉන්දීය මාධ්‍ය පවසයි. ඉන්දීය මාධ්‍ය අනුව, ඔහු අගෝස්තු 18 වනදා නවදිල්ලියේදී ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් හමුවීමට නියමිතය.

මෙම හමුව, දෙරට අතර අඛණ්ඩව සිදුවෙන විවිධ මට්ටම් සාකච්ඡා අතර තවත් වැදගත් පියවරක් බව සඳහන් කරයි. චීනයේ විදේශ අමාත්‍යංශය පවසන්නේ දෙපාර්ශව නායකයින් සකස් කරගත් පොදු අවබෝධය මත ක්‍රියා කිරීම, දේශපාලන විශ්වාසය තහවුරු කිරීම සහ සබඳතා තිරසාරව ශක්තිමත් කිරීම තම අරමුණ බවයි.

කෙසේවෙතත් චීන විදේශ අමාත්‍යවරයාගේ මෙම සංචාරය මෙතෙක් කිසිඳු පාර්ශ්වයක් නිල වශයෙන් තහවුරු කර නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකා 19න් පහළ යොවුන් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව්වට!

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායම, බටහිර ඉන්දීය කොදෙව්වට එරෙහි එක්දින තරග 7ක තරගාවලියකට සහභාගී වීම සඳහා මෙම මස 24 වැනිදා (අගෝස්තු) එරට බලා පිටත්ව යෑමට නියමිතය.

මෙම තරගාවලිය සඳහා විමත් දින්සර නායකත්වය දරන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරග සියල්ලක්ම ඇන්ටිගුවා දිවයිනේදී ක්‍රීඩාකරන අතර, පළමු එක්දින තරග 4 ක් කූලිජ් ක්‍රීඩාංගණයේදීත්, අවසන් තරග 3 ක් ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.

අගෝස්තු 30 වැනිදා පළමු තරගය ආරම්භ වන අතර, තරගාවලිය සැප්තැම්බර් 15 වැනිදා අවසන් වේ. තරගාවලිය අවසන්වීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 16 වැනිදා යලි ශ්‍රී ලංකාවට පැමිණෙන්නට නියමිතය.

සයිබර් ආරක්ෂණ උපදෙස් කමිටුවක්

සයිබර් ආරක්ෂණ පනත සඳහා නිර්දේශ ලබාදීමට කමිටුවක් පත්කර තිබේ.ජනාධිපතිවරයාගේ උපදෙස් මත එම කමිටුව පත් කර ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් ය.

ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති ආයතන දෙකකට අදාළ පනත් පිළිබඳ එම කමිටුව විසින් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කරන බවයි.

ජාතික ආරක්ෂාව බලපාන සයිබර් ආරක්ෂණය සම්බන්ධ පනත් කෙටුම්පතක් සහ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සයිබර් ආරක්ෂනය සම්බන්ධ පනත් කෙටුම්පතක් පිළියෙල කිරිම මෙම කමිටු නිර්දේශ මත පදනම්ව සිදු කෙරෙනු ඇති.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, එම පනත් දෙකට අදාළ බලතල ක්‍රියාත්මක කිරිමට හා නියාමනයට ආයතන දෙකක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවයි.

මෙරට සයිබර් ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ එම පනත් කඩිනමින් සම්මත කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ ය.

හිටපු සෙබලකුගේ නිවසින් විදෙස් අවි

 

මාලඹේ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත නවීන පිස්තෝල ගිනි අවියක්, උණ්ඩ සහ යුද හමුදා නිල ඇඳුම් කට්ටල සමඟ විශ්‍රාමික යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය පවසයි.

මෙහෙයුම සහ සොයාගැනීම්
පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත. එහිදී සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමෙන් අනතුරුව, විදේශීය නිෂ්පාදිත පිස්තෝල ගිනි අවියක් සහ එහි උණ්ඩ දහයක්, මෙන්ම යුද හමුදා නිල ඇඳුම් කට්ටල දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.

නිදන් හාරමින් සිටි නියෝජ්‍ය පොලිස්පති බිරිඳ ඇතුළු අටක් කොටුවෙයි

 

අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, තිඹිරිකඩවල ප්‍රදේශයේ ඉඩමක නිදන් හාරමින් සිටි පිරිසක් අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම පිරිස අතර කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ද සිටින බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර 35ත් 58ත් අතර වයසේ පසුවන කාන්තාවක් ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු සිටිති. ඔවුන් බදුල්ල, මාළිගාතැන්න, පදවි-ශ්‍රී පුර, ගිරාඳුරුකෝට්ටේ, වරකාපොළ සහ අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබේ.

ශ්‍රාවස්තිපුර තිඹිරිකඩවල රත්තරන් දේවාලය ආසන්නයේ නිදන් හාරන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත. එහිදී ඔවුන් නිදන් හෑරීම සඳහා යොදාගත් උදලු, අලවංගු, යකඩ, සහ ඉනි වැනි උපකරණ කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාව කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ බවට වැඩිදුර පරීක්ෂණවලදී තහවුරු වී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.

ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි මුද්‍රණය සිංහලට ගලපන්න යයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල මුද්‍රණයේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ජේදයට ගැළපෙන ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (6) ජේදයට නිවැරදි කරන ලෙස නීතිඥවරුන් සහ පුරවැසියන් පිරිසක් ඊයේ (14දා) ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

සිංහල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ජේදයට ගැළපෙන ලෙස ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (6) ජේදයේ අර්ථ දැක්වීම වෙනස් බවත් එම නිසා කථානායකවරයා ද පිළිගන්නා සිංහල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉංග්‍රීසි ව්‍යවස්ථාවේ ඡේදය සංශෝධනය කරන ලෙසත් ඉල්ලා ජනාධිපති කාර්යාලයට ඊයේ ගොස් මහජන සම්බන්ධතා අංශයට ලිපියක් භාරදී ඇත.

ජනාධිපතිවරයාට භාරදුන් ලිපිය නීතිඥවරුන් 209ක් සහ නීතිඥවරුන් නොවන පුරවැසියන් 104ක් අත්සන් කර තිබේ.

කාශ්මීරයේ හදිසි වැස්සෙන් ජීවිත 56 ක් අහිමියි

උතුරු ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ කිෂ්ට්වාර් දිස්ත්‍රික්කයට ඊයේ (14) පස්වරුවේ ඇඳහැළුණු අනපේක්ෂිත ධාරාණිපාත වර්ෂාවක් සමග ඇති වූ ගංවතුර තත්ත්වයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළගොස් තිබේ.

එරට ආපදා අංශ නිවේදනය කර ඇත්තේ තවත් 200කට අධික පිරිසක් අතුරුදහන් වී ඇති බවය.

ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ මෙම ප්‍රදේශයට පැයක් ඇතුළත මි.මී. 100 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

කිෂ්ට්වාර් හි හිමාලයානු මාතා චන්දි සිද්ධස්ථානය වැඳපුදාගැනීමට යමින් සිටි පිරිසක් මෙම අනපේක්ෂිත ගංවතුරට මුහුණපා ඇත.

ගංවතුර තත්ත්වය ඇතිවන විට සිද්ධස්ථානය වැඳපුදාගැනීමට යමින් සිටි පිරිසක් කඳුකර ප්‍රදේශයේ ප්‍රජා ශාලවක එක්රැස් වී දිවා ආහාරය ලබාගමින් සිට ඇති අතර ඔවුන් එකවර ඇති වූ ජල ගැලීමත් සමග ගසාගෙන ගොස් ඇත.

මීට සතියකට පමණ ඉහත දී උත්තරාකන්ද් ප්‍රාන්තයේ කඳුකර කලාපයක ඇතිවූ වැසි කුණාටුවක් සමග හටගත් හදිසි ජලගැලීමකින් ද පුද්ගලයින් 100කට වැඩි පිරිසක් අතුරුදන් විය.

ඒ අනුව සතියක කාලයක් තුළ හිමාල කඳුවැටියේ ආසන්නයේ ඇති වූ දෙවන ව්‍යසනය මෙය වේ.

මුලින්ම ක්ලීන් කළ යුත්තේ පොලිසිය බව පොලිස්පති කියයි

 

පොලිස් සේවය තුළ සිටින ඇතැම් නිලධාරීන් පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ වී සිටින බවට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කළේය. පොලිසිය තුළින්ම මත්ද්‍රව්‍ය මාෆියාවට සම්බන්ධ සියලු නිලධාරීන් සේවයෙන් පහ කිරීමට කටයුතු කරන බවත්, පළමුව පොලිස් දෙපාර්තමේන්තුව පවිත්‍ර කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.

37 වන පොලිස්පතිවරයා ලෙස පොලිස් මූලස්ථානයේදී ඊයේ වැඩ භාරගැනීමෙන් පසු මාධ්‍ය අමතමින් පොලිස්පතිවරයා මේ බව කියා සිටියේය.

ඔහු තවදුරටත් කියා සිටියේ, විදේශගතව සිට මෙරට අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන “නිවට අපරාධකරුවන්” පිරිසක් සිටින බවයි. මොවුන්ට දේශපාලන රැකවරණය දුන් අයගේ සහාය ඇතිව ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සහ ඇතැම් පොලිස් නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් ජාවාරම් හා අපරාධ සිදුකරන බවද ඔහු පැවසීය. මෙලෙස සිටි අපරාධකරුවන් 11 දෙනෙකු මේ වනවිට මෙරටට ගෙන්වාගෙන අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති බවද පොලිස්පතිවරයා සඳහන් කළේය.

මහජනතාවට පොලිසිය කෙරෙහි තිබූ විශ්වාසය යළි ගොඩනැගෙමින් පවතින බවත්, ඉදිරියේදී පොලිසිය පිළිබඳ අවිශ්වාසයක් ඇතිවීමට තමන් ඉඩ නොදෙන බවත් වීරසූරිය මහතා පැවසීය. යම් පොලිස් නිලධාරියෙකු අපරාධයක් කළහොත්, ඔහු අපරාධකරුවෙකු ලෙස සලකා අධිකරණයට ඉදිරිපත් කර විනය පියවර ගන්නා බවද ඔහු පැහැදිලි කළේය.

අපරාධ රැල්ල පාලනය කිරීමට පොලිසිය උපරිම උත්සාහයක් ගෙන ඇති බවත්, සාමාන්‍ය නීතිය යටතේ පාතාල හා මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම් සාර්ථකව කළ නොහැකි බැවින් ඒ සඳහා නව නීති ගෙන එන ලෙස මහජන ආරක්ෂක සහ අධිකරණ අමාත්‍යාංශ වෙත දැනුම් දී ඇති බවද ඔහු කීවේය. මහජන සහයෝගය නොමැතිව මෙම අපරාධ මැඩලිය නොහැකි බවත්, විනයානුකූල පොලිස් සේවයක් නිර්මාණය කිරීම තම අරමුණ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මීට අමතරව, එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත්, යුද හමුදා කඳවුරුවලින් සහ පොලිස් ස්ථානවලින් සොරකම් කරන ලද ගිනි අවි පාතාලය අතර සංසරණය වන බව පොලිස්පතිවරයා හෙළි කළේය. පොලිසියෙන් අස්ථානගත වී ඇති ගිනි අවි සොයා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශන සිදුකරන බවද ඔහු ප්‍රකාශ කළේය.

Add to cart