ජවිපෙ ලංවිම හතරට කඩයි

පෞද්ගලීකරණයට එරෙහිව දශක තුනක් මුළුල්ලේ හඬ නැගූ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායකත්වයෙන් යුත් මාලිමා ආණ්ඩුව, ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) සමාගම් හතරකට කඩා දැමීම සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක්ව තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පිරිස්) විසින් නිකුත් කරන ලද නවතම චක්‍රලේඛයක් සහ සේවක මාරු කිරීමේ නියැදි අයදුම්පත්‍රයක් මගින් ඔවුන් CEB ප්‍රතිව්‍යුහගත කිරීමේ කොටසක් ලෙස අනුප්‍රාප්තික සමාගම් හතරකට සේවකයින් මාරු කිරීමේ ක්‍රියාවලිය සාකච්ඡාවට ලක් කර තිබේ. මේ නව පියවර පිළිබඳව පුළුල් ලෙස කතාබහට ලක් විය යුතු අතර, විරෝධතා දැක්වූවන්ම බලයට පැමිණි පසු සිදු කරන මෙම වෙනස සාකච්ඡාවට බඳුන් විය යුතු ය.

අතීත විරෝධය: “ලංවිම විකුණන්නට එපා!”

ජවිපෙ සහ එහි වෘත්තීය සමිති දශක ගණනාවක් පුරා ලංවිම පෞද්ගලීකරණය කිරීමට එරෙහිව පුළුල් විරෝධතා ව්‍යාපාර දියත් කළේය. එවකට පැවති රජයන් විසින් ඉදිරිපත් කළ විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත් වලට දැඩි ලෙස විරෝධය පළ කළ ඔවුන්, ඒවා රාජ්‍ය දේපළ විදේශ සමාගම්වලට විකිණීමේ කුමන්ත්‍රණ ලෙස හඳුන්වා දුන්හ. ඔවුන්ගේ ප්‍රධාන තර්කය වූයේ ලංවිම පෞද්ගලීකරණය කිරීමෙන් විදුලි බිල වැඩි වන බවත්, එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවත්ය. ලංවිම පෞද්ගලීකරණයට එරෙහිව ඔවුන් විරෝධතා පැවැත්වූයේ දේශීය සම්පත් සුරැකීමේ සටන්කරුවන් ලෙසය.

වර්තමාන තත්ත්වය: සමාගම් හතරකට කැඩීම

නමුත් මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇත. මෙය අභ්‍යන්තර ලේඛන වලින්ද තහවුරු වන පරිදි ලංවිම ජනන, සම්ප්‍රේෂණ, බෙදාහැරීම් සහ ජාතික පද්ධති මෙහෙයුම් යන ප්‍රධාන සමාගම් හතරකට බෙදී යයි. අනුප්‍රාප්තික සමාගම් වෙත සේවකයන් මාරු කිරීම සම්බන්ධයෙන් වන ලේඛන මගින් මෙම ක්‍රියාවලියේ අභ්‍යන්තර තොරතුරු හෙළි වේ.

ආණ්ඩුව පවසන්නේ මෙය “පෞද්ගලීකරණය” නොව, කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා “ප්‍රතිව්‍යුහගතකරණයක්” බවයි. කෙසේ වෙතත්, මෙම තත්ත්වය පිළිබඳ විවේචකයන් සහ ඇතැම් වෘත්තීය සමිති විසින් නැවත ප්‍රශ්න කරනු ලැබේ. ඔවුන් පෙන්වා දෙන්නේ සමාගම්වලට කඩා දැමීම යනු පෞද්ගලීකරණය සඳහා මාවත විවෘත කිරීමක් බවයි. විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති අතීතයේදී මෙම ප්‍රතිසංස්කරණවලට විරෝධය පෑ නමුත්, දැන් ජවිපෙ ප්‍රමුඛ ආණ්ඩුව යටතේ මේ ක්‍රියාදාමයට සහයෝගය පළ කරයි.

වසර ගණනාවක් පුරා ඔවුන් දැඩි ලෙස විරුද්ධ වූ “සමාගම්කරණය” නම් ක්‍රමවේදය දැන් ඔවුන්ම ක්‍රියාවට නංවමින් සිටීම පරස්පර විරෝධී ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සඳහා පනවා ඇති කොන්දේසිවලට ආණ්ඩුව යටත්වී ඇති බව. මෙම ප්‍රතිව්‍යුහගතකරණය යනු IMF කොන්දේසි ඉටු කිරීමේ පළමු පියවර බවට බොහෝ දෙනා සැක පළ කරති. සමාගම්වලට කැඩීමෙන් පසු ඒවායේ කොටස් පුද්ගලික අංශයට විකිණීමට පහසු වන බව. අද රාජ්‍ය සතු සමාගම් ලෙස පැවතුනද, අනාගතයේදී කොටස් විකුණා දැමීමේ අවදානමක් ද පවතී.

ජවිපෙ, දැන් බලයේ සිටින පක්ෂයක් ලෙස, ආර්ථික අභියෝගවලට මුහුණ දීමටත්, දශක ගණනාවක් පුරා අලාභ ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමටත් සිදුව ඇත. නමුත් ඔවුන්ගේ අතීත සටන් පාඨ සහ වර්තමාන ක්‍රියාමාර්ග අතර පරතරය පිළිබඳව ජනතාව විමසිල්ලෙන් පසුවෙයි.

මෙම ප්‍රතිව්‍යුහගතකරණය අවසානයේ පාරිභෝගිකයින්ට සහ සේවකයන්ට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳ තවදුරටත් අවධානයෙන් සිටිය යුතුය

NGO ලියාපදිංචිය ඇණ හිට මාස 6ක් !

රාජ්‍ය නොවන සංවිධාන රාශියක් ලියාපදිංචි කිරීම සඳහා සුදුසුකම් ලබා ඇතත්, මාර්තු මස 18 වන දින සිට මේ දක්වා එකදු රාජ්‍ය නොවන සංවිධානයක්වත් ලියාපදිංචි කිරීමට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය කටයුතු කර නැති බව සියලු සුදුසුකම් සපුරා ලියාපදිංචිය අපේක්‍ෂාවෙන් සිටින රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් පවසති.

රාජ්‍ය නොවන සංවිධාන පිලිබඳ ජාතික ලේකම් කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම වසරේ මාර්තු මස 18 වන ද ඉල්ලා අස්වීමෙන් පසු, මේ දක්වා එම තනතුරට කිසිදු පුද්ගලයකු පත් කිරීමට හෝ වැඩ බැලීමේ පදනම සඳහා නිලධාරියෙකු නිසි ආකාරයට පත් කර නොමැතිවිම එම තත්ත්වයට හේතුවී තිබේ.

පසුගිය වසර දෙකක කාලය තුළ, හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මෙහෙයවීම යටතේ එම කාර්‍යාලයේ නිලධාරීන් විසින් දියුණු කාර්යක්ෂම සේවයක් ලබාදුන් ආයතනයත් මෙසේ කෙටි කලකින් බිඳවැටීම පිළිබඳ විමතියට පත් වන බව රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් කිහිප දෙනෙක්ම පැවසුහ.

ඔවුන් පවසා සිටියේ රජය විසින් මේ පිළිබඳ දැඩි අවධානය යොමු කොට, ඉක්මනින් රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයට සුදුසු පුද්ගලයෙකු අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා පත්කළ යුතු බවයි.

මෙම පත්කිරිම ප්‍රමාද කිරිම පිටුපස අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියකගේ අකාර්යක්ෂමතාවය හෝ මෙම තනතුර සඳහා ඇයව වැඩ බැලීමේ පදනමින් පත්කරවාගෙන වැටුපක් ලබා ගැනීමේ යටි අරමුණක් පැවතිය හැකි බවද අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය යටතේ පාලනය වේ.

රාජ්‍ය නොවන සංවිධාන නියාමනය සඳහා නව පනත් කෙටුම්පතක්

මේ අතරතුර රාජ්‍ය නොවන සංවිධාන නියාමනය සඳහා නව පනත් කෙටුම්පතක් ගෙන ඒමට අමාත්‍යංශය විසින් තීරණය කොට ඇති බවද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

එම පනත හරහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සියලු රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධීක්ෂණයට හා නියාමනය යටත් කෙරෙනු ඇත.

අල්ලස් සභාපති අල්ලසක්ද ?

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස රංග දිසානායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පත් කිරීම මේ වන විට බරපතල ප්‍රශ්න ගණනාවක් මතු කර තිබෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි වැදගත් තනතුරු සඳහා පත්කිරීම් සිදුවන්නේ ජනාධිපතිවරයා විසින් යෝජනා කරන නමක් මතයි. කෙසේ වෙතත්, මෙම පත්වීම සම්බන්ධයෙන් නෛතික විනිවිදභාවය සහ සාධාරණත්වය පිළිබඳව බරපතල සැකයක් පවතින බව පෙනී යනවා.

වැඩිම ලකුණු ලැබූ තැනැත්තා පත් නොකිරීම

වාර්තාවන්ට අනුව, මෙම තනතුර සඳහා රජය විසින් පවත්වන ලද ලිඛිත පරීක්ෂණයෙන් සහ සම්මුඛ පරීක්ෂණයෙන් වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ මාධව තෙන්නකෝන් මහතායි. නමුත් ව්‍යවස්ථාදායක සභාව විසින් පත් කර ඇත්තේ ඒ මහතා නොව, රංග දිසානායක මහතායි. මෙම තීරණයට හේතු වී ඇත්තේ කුමක්දැයි යන්න මේ වන තෙක් පැහැදිලි නැහැ. මෙම තත්වය මගින් පත්වීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් මතු කරනවා. තවදුරටත්, රටේ නීතිය හා සාමය සුරැකීමට වගකිව යුතු ආයතනයක ප්‍රධානියා පත් කිරීමේදී මෙවැනි දේශපාලන මැදිහත්වීම් සිදුවීම බරපතල තත්ත්වයක්.

දේශපාලන හිතවත්කම් මත සිදුවූ පත්වීමක්ද?

තොරතුරුවලට අනුව, රංග දිසානායක මහතා අධ්‍යක්ෂ ධූරයට පත්වීමට පෙර බලපිටිය මහාධිකරණයේ විනිසුරුවරයකු ලෙස කටයුතු කළා. ඔහු අනුර දිසානායක මහතා ජනාධිපති වීමට පෙර සිටම ජනතා විමුක්ති පෙරමුණේ හිතවතකු ලෙස කටයුතු කළ බවට චෝදනා එල්ල වනවා. එවැනි සමීප දේශපාලන සබඳතා හේතුවෙන් මෙවැනි තනතුරක් ලැබීම සාධාරණද යන්න පිළිබඳව සමාජයේ විවිධ පාර්ශ්වයන් තුළ දැඩි විවේචනයක් පවතිනවා. මේ ආකාරයෙන් දේශපාලන පත්වීම් සිදු කිරීම රටේ අධිකරණයේ ස්වාධීනත්වයට සහ රාජ්‍ය ආයතනවල විනිවිදභාවයට දැඩි හානියක් සිදුකළ හැකියි.

අධිකරණයේ මැදිහත්වීම

මේ සම්බන්ධයෙන්, එක්තරා ස්වාමීන් වහන්සේ නමක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර තිබෙනවා (නඩු අංක: SC FR 29/2025 – 23 September). මෙම නඩුව මගින් රංග දිසානායක මහතාගේ පත්වීම නීත්‍යානුකූල නොවන බවට ප්‍රශ්න කර ඇති අතර, අගමැති සහ නීතිපති ඇතුළු පිරිසකට නොතීසි නිකුත් කිරීමට අධිකරණය කටයුතු කර තිබෙනවා. මෙය මෙම පත්වීම තවමත් නීත්‍යානුකූල අභියෝගයකට ලක් වී ඇති බවට තවත් සාක්ෂියක්.

මෙවැනි තීරණාත්මක සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය නිහඬව සිටීම මහජනතාවට ඇති තොරතුරු දැනගැනීමේ අයිතියට විශාල අසාධාරණයක්. මෙම පත්වීම සම්බන්ධයෙන් ඇතිවන නෛතික සහ සදාචාරාත්මක ගැටලු පිළිබඳව විවෘත සහ විනිවිදභාවයෙන් යුතුව සාකච්ඡා කිරීම සමාජයක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට ඉතා වැදගත්. මෙවැනි තීරණාත්මක සිදුවීම් සම්බන්ධයෙන් වැඩිදුරටත් අවධානය යොමු කිරීම ද ඒ හා සමානව ම වැදගත්කමක් දරනවා.

විශේෂ ලියුම්කරුවෙක් විසිනි

පලස්තීන සහයෝගිතා පාගමන හෙට

යුද්ධයකට වඩා පළිගැනීමකට පෙරලී ඇති ඊශ්‍රායල පලස්තීන යුද්ධය දෙස බලා සිටීමට තවදුරටත් නොහැකි නිසා ඒ වෙනුවෙන් රටක් ලෙස හඬක් නැගීමට සූදානම් බව ‘නිදහස් පලස්තීන සහයෝගිතා කමිටුව’ පවසයි.

ඒ වෙනුවෙන් එම සංවිධානය විසින් පලස්තීන ආක්‍රමණයට විරුද්ධ ව ලංකාවේ සිවිල් සංවිධාන සහ නිදහස අගයන සාමාන්‍ය ජනතාව සමග එක්ව එළඹෙන සිකුරාදා (15) සාමකාමී විරෝධතා පා ගමනක් සංවිධානය කර ඇත.

ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් පසුගියදා පැවති මාධ්‍ය හමුවට නිදහස් පලස්තීනයක් සඳහා වන ව්‍යාපාරයේ සාමාජිකයින් වන අමීන් ඉසඩීන්, හුසේන් ශාමිල්, ටාසි දහ්ලාන්, ඇන්ග්ලිකන් ෆ්‍රැන්සිස්කන් නිකායේ සාමාජිකයෙකු වන සහෝදර ලයනල් පීරිස්, සමස්තලංකා ජමියතුල් උලමා සභාවේ මහ ලේකම් අර්කම් නුරාමිත්, සමඟි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් යන අය සහභාගී වී සිටියහ.

මෙහිදී මේ වන විට පලස්තීනයේ දරුවන් ආහාර නොමැතිව දිනෙන් දින මරණයට පත්වෙමින් තිබේ. මෙවන් වූ අමානුශිකත්වයක් ඔබ අනුමත නොකරන්නේ නම් 15 වන සිකුරාදා ප.ව. 3.00 ට බොරැල්ල කනත්ත වටරවුමේ සිට බොරැල්ල කැම්බල් රථගාල දක්වා යන සාමකාමී විරෝධතා පා ගමනට එක්වන ලෙස ඔවුන් ජනතාව වෙත ආරාධනා කර සිටියේය.

ඉලෙක්ට්‍රික් වාහනවලට ඉන්ධන දීමනා ගත් ලොක්කෝ

මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් සඳහා ලබා දී ඇතැයි පැවසෙන BYD මාදිලියේ මෝටර් රථ ආනයනයේදී මහබැංකුව බරපතල අක්‍රමිකතාවක් සිදුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් සඳහා එම මෝටර් රථ 10 ක් හෝ 11 ක් ලබා දී ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියි.

ඊට අමතරව එම විදුලි වාහන සඳහා ඔවුන් ඉන්ධන දීමනාව ද ලබාගෙන ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මාස 03 ක කාලයක් සඳහා එලෙස ඉන්ධන දීමනාව ලබාගෙන ඇති බව රවී කරුණානායක මන්ත්‍රී වරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී ද සඳහන් කළේය.

දුම්රිය නියාමකවරු අද රෑ සිට වැඩවරයි

වෙන්කළ ආසන සහිත දුම්රිය ධාවන රාජකාරීවලින් ඉවත්වීමට ලංකා දුම්රිය නියාමක සංගමය තීරණය කර තිබෙයි.

එම සංගමයේ ලේකම් කේ.ඩී.ඩී ප්‍රසාද් කියා සිටියේ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කිරීමේදී නිවැරදි මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට පියවර නොගතහොත් අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි.

මහ බැංකුවේ වරදින් EPF 30%ගත් අය අමාරුවේ

සේවක අර්ථසාධක අරමුදලේ 30%ක ප්‍රතිලාභය ලබාගත් සාමාජිකයන්ට වසර 10ක් ගතවීමෙන් පසු එම ප්‍රතිලාභය දෙවැනි වර ලබාගැනීමට ඇති අවස්ථාව, මහ බැංකුවේ දත්ත වාර්තා යාවත්කාලීන නොවීම නිසා ප්‍රමාදවී ඇත. මේ හේතුවෙන් ප්‍රතිලාභ අයදුම් කළ පිරිස විශාල අපහසුතාවකට පත්ව සිටිති.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට පළමු වරට 30% ප්‍රතිලාභය ලබාගැනීමෙන් වසර 10ක් ගතවීමෙන් පසුව දෙවැනි වරටත් 30%ක ප්‍රතිලාභයක් ලබාගත හැකි බව එම පනතේ සඳහන් වේ.

ඒ අනුව 30% ප්‍රතිලාභය අයදුම් කිරීම සඳහා අදාළ ප්‍රදේශයේ කම්කරු කාර්යාලයට ගොස් ප්‍රතිලාභ අයදුම්පත් භාරදිය හැකිවුවත් එම කාර්යාල මේ වනවිට බොහෝ ප්‍රතිලාභීන් හරවා යවමින්, මහ බැංකුව මෙම ප්‍රතිලාභය ලබාගැනීමට සම්බන්ධ තොරතුරු යාවත්කාලීන කළ පසු දැනුම් දෙන බව පවසා ඇත.

මේ හේතුවෙන් සේවක අර්ථසාධක පනතට අනුව නියමිත කාලසීමාවේ 30% ප්‍රතිලාභය ලබාගැනීමේ අපේක්ෂාවෙන් සිටි සාමාජිකයෝ මහ බැංකුව අදාළ තොරතුරු යාවත්කාලීන නොකිරීම නිසා දැඩි අපහසුතාවකට ලක්ව සිටිති.

යුධ හමුදාව පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවේ මහා පරිමාණයෙන් සිදු කරනු ලබන අලුත්වැඩියා කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. මෙලෙස අලුත්වැඩියාවක් සිදුවන්නේ වසර 42කට පසුව වීම විශේෂත්වයකි.

අමාත්‍ය මණ්ඩල අනුමතිය යටතේ සිදුවන මෙය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් හා අධීක්ෂණය මත සිදු කෙරේ.

ඒ අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ කොන්ක්‍රීට් වහල (Roof Terrace) මත තිබෙන පස් තට්ටුව ඉවත්කොට අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී.

එමෙන්ම වැහි පිහිලි (Roof Gutters), තඹ දොර (Copper Door), පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානය (Parliament Medical Center), වැසිකිළි පද්ධතිය (Washrooms) සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවේකාගරයේ (Members Dressing Room) අලුත්වැඩියා කටයුතු මෙලෙස සිදුකිරීමට නියමිතය.

මෙයට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේ සුළු නඩත්තු කටයුතු සම්බන්ධිකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව මගින් සිදු කළද මෙම මහා පරිමාණ අලුත්වැඩියා කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සිදු කරනු ලබයි.

අර්මන්ඩ් ඩුප්ලැන්ටිස් 13 වන වරටත් ලෝක වාර්තාව බිඳ දමයි!

ස්වීඩනයේ ඔලිම්පික් රිටි පැනීමේ ශූර අර්මන්ඩ් ඩුප්ලැන්ටිස්, තවත් එක් විශිෂ්ට දක්ෂතාවක් සටහන් කරමින් රිටි පැනීමේ පිරිමි ඉසව්වේ ලෝක වාර්තාව 13 වැනි වරටත් අලුත් කර තිබේ.

ඔහු මෙම නව ලෝක වාර්තාව පිහිටවූයේ 2025 අගෝස්තු 12 වැනිදා හංගේරියාවේ බුඩාපේස්ට් නගරයේදී පැවති ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලිය තුළ ය. මෙය ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ රන් කාණ්ඩයට (World Athletics Continental Tour Gold) අයත් තරගාවලියකි.

මේ වන විට ඔහු රිටි පැනීමේ ලෝක වාර්තාව බිඳ දැමීම 13 වතාවක් සිදු කර ඇති අතර, 2025 වසර තුළ පමණක් එය තුන් වරක් සිදුකර ඇත. මීට පෙර ඔහු මෙම වසරේදී ප්‍රංශය සහ ස්වීඩනයේ පැවති තරගවලද ලෝක වාර්තාව අලුත් කළේය. ඔහුගේ නිරතුරුවම වාර්තා බිඳ දැමීමත් සමඟම ලෝක රිටි පැනීමේ ඉසව්වේ නායකත්වය තහවුරු කරමින් සිටී.

Add to cart