අර්මන්ඩ් ඩුප්ලැන්ටිස් 13 වන වරටත් ලෝක වාර්තාව බිඳ දමයි!

ස්වීඩනයේ ඔලිම්පික් රිටි පැනීමේ ශූර අර්මන්ඩ් ඩුප්ලැන්ටිස්, තවත් එක් විශිෂ්ට දක්ෂතාවක් සටහන් කරමින් රිටි පැනීමේ පිරිමි ඉසව්වේ ලෝක වාර්තාව 13 වැනි වරටත් අලුත් කර තිබේ.

ඔහු මෙම නව ලෝක වාර්තාව පිහිටවූයේ 2025 අගෝස්තු 12 වැනිදා හංගේරියාවේ බුඩාපේස්ට් නගරයේදී පැවති ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලිය තුළ ය. මෙය ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ රන් කාණ්ඩයට (World Athletics Continental Tour Gold) අයත් තරගාවලියකි.

මේ වන විට ඔහු රිටි පැනීමේ ලෝක වාර්තාව බිඳ දැමීම 13 වතාවක් සිදු කර ඇති අතර, 2025 වසර තුළ පමණක් එය තුන් වරක් සිදුකර ඇත. මීට පෙර ඔහු මෙම වසරේදී ප්‍රංශය සහ ස්වීඩනයේ පැවති තරගවලද ලෝක වාර්තාව අලුත් කළේය. ඔහුගේ නිරතුරුවම වාර්තා බිඳ දැමීමත් සමඟම ලෝක රිටි පැනීමේ ඉසව්වේ නායකත්වය තහවුරු කරමින් සිටී.

සමන් දේවාලේ නිළමේ තෝරන දවස

එළඹෙන 20 වැනි දා (අගෝස්තු 20) මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරාගැනීමේ නිලවරණය පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

සම්ප්‍රදායට ගරු කරන රත්නපුරේ පුරවැසියෙකු ඓතිහාසික සබරගමු මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා වශයෙන් තෝරා පත් කරගත යුතු බව එම දේවාලයේ පාරම්පරික නිත්‍ය රාජකාරී මණ්ඩලය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන තිබේ.

සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයාගේ ධුරකාලය අවසන්වීම සමඟ ස්ථිර බස්නායක නිලමේවරයෙකු පත්කරන තෙක් තාවකාලිකව එම තනතුරේ කටයුතු ආවරණය කිරීම සදහා එස්.වී. චන්ද්‍රසිංහ මහතා පත්කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් මීට පෙර කටයුතු කරන ලදී

කෙසේ වෙතත් එම පත්කිරීමට විරෝධය පළ කරමින් කපු මහතුන් ඇතුළු රාජකාරි මණ්ඩලය තේවාවන් සහ රාජකාරි වලින් ඉවත් වූහ. ඔවුන් චෝදනා කළේ, මෙම පත්කිරීම සම්ප්‍රදායට එරෙහිව සහ දේශපාලන වුවමනාවන් මත සිදු කර ඇති බවටය.

එවන් පසුබිමකයි බස්නායක නිලමේවරයෙකු තෝරා ගැනීමට අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සිදුවිය.

කෙසේ වෙතත්, එම අධිකරණ කටයුතුවලින් පසු එළඹෙන 20 වනදා සබරගමු මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරාගැනීමේ නිලවරණය පැවැත්වෙනු ඇත.

දරුවන්ට අහිතකර ‘ලබුබු’ බෝනික්කන්

විදේශ මාධ්‍ය වාර්තා අනුව, ව්‍යාජ “ලබුබු” බෝනික්කන්ගෙන් කුඩා දරුවන්ට හුස්ම හිරවීමේ බරපතළ අවදානමක් ඇති කළ හැකි බව අනතුරු අඟවා තිබේ. මෙම බෝනික්කන් විකිණීම සම්බන්ධ වෙළඳුන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා වෙළඳ ප්‍රමිති ආයතන දැනටමත් සක්‍රීය වී ඇති අතර, අවශ්‍ය මට්ටමින් පරීක්ෂා කර අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ද සිදු කර තිබේ.

වෙළඳ ප්‍රමිති නිලධාරීන් සඳහන් කළේ, චීනයේ නිෂ්පාදිත ජනප්‍රිය සෙල්ලම් බඩු වෙළඳපොළේ ඉහළ ඉල්ලුම හේතුවෙන් ව්‍යාජ නිෂ්පාදකයින් මේවා අනුපිටපත් කිරීමට වහාම යොමු වන බවය. ව්‍යාජ බෝනික්කන් තුළ ඇති කුඩා කොටස් හා අහිතකර ලොම් නිසා, දරුවන්ට හුස්ම හිරවීමේ අවදානම වැඩි වන බවද ඔවුන් අවධාරණය කරයි. නිලධාරීන් තවදුරටත් සොයාගෙන ඇත්තේ, මෙම ව්‍යාජ බෝනික්කන් සෑම විටම සාමාන්‍ය මිලට වඩා අඩුවෙන් අලෙවි වීමත්, නිවැරදි QR කේත නොමැති වීමත් යන ලක්ෂණ තිබෙන බවයි.

ගිය සතියේදී ලද තොරතුරු මත, දේශීය වෙළඳුන්ගෙන් බෝනික්කන් 100 ක් පමණ පොලිසිය භාරයට ගෙන තිබෙන අතර, මහජන අවධානය වැඩි වන තරමට, මෙවැනි අත්අඩංගුවට ගැනීම් තවත් ඉහළ යාම වැඩි විය හැකි බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.

දෙමාපියන් මෙන්ම දරුවන් රැකබලා ගනු ලබන්නන් මෙම බෝනික්කන් මිලදී ගැනීමේදී වගකිව යුතු තැන්වලින් පමණක් ලබාගන්නා ලෙසට කොවෙන්ට්‍රි නගර සභාවේ නියෝජ්‍ය නායක අබ්දුල් සලාම් ඛාන් ප්‍රකාශ කර තිබේ.

දයාට එරෙහිව අනුරට ලිපියක්

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) කොමිසමේ පුරප්පාඩුවක් පිරවීම සඳහා මෑතකදී සිදු කරන ලද ක්‍රියාවලිය පිළිබඳව බරපතල කනස්සල්ල පළ කරමින් ශ්‍රී ලංකා තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය ජනපති අනුර කුමාර දිසානායක වෙත විරෝධතා ලිපියක් යවමින්, අදාල පත්වීම RTI පනතේ විධිවිධාන උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරයි.

මෙම ලිපියේ සඳහන් වන්නේ , පුරප්පාඩුව පිරවීම සඳහා මහජන අයදුම්පත් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව (CC) විසින් ආරම්භ කරන ලද ක්‍රියාවලිය RTI පනතේ දක්වා ඇති ක්‍රියා පටිපාටිවලට අනුකූල නොවන බවයි.

පනතේ උපලේඛනයේ 4 වන වගන්තිය උපුටා දක්වමින්, ජනාධිපතිවරයා 12(1) වගන්තියට අනුව ක්‍රියා කළ යුතු බවත්, එය විශේෂයෙන් අයදුම්පත් නොව නාමයෝජනා කැඳවීම නීතිමය ක්‍රමය බවත් බවත් සංගමය අවධාරණය කළේය. තොරතුරු පනතේ මහජනයාගෙන් විවෘත අයදුම්පත් කැඳවීමට කවුන්සිලයට ඉඩ සලසන කිසිදු විධිවිධානයක් අඩංගු නොවන බව ඔවුහු සඳහන් කරති.

හිටපු කොමසාරිස් විශ්‍රාමික විනිසුරු රෝහිණී වල්ගම තොරතුරු කොමිසමෙන් ඉල්ලා අස්වූ විට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නීතියට අනුකූලව නාමයෝජනා කැඳවා ඇති බව අවධාරණය කරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එම පූර්වාදර්ශයක් පෙන්වා දෙයි. වත්මන් අවස්ථාවේදී ද එම නීත්‍යානුකූල ක්‍රියාවලියම අනුගමනය කළ යුතු බවට ඔවුහු තර්ක කරති.

තොරතුරු පනත උල්ලංඝනය කරන ක්‍රියාවලියක් හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ක්‍රියාකර ඇත්නම්, එම නිර්දේශය සමඟ ඉදිරියට නොයන ලෙස එම ලිපිය ජනාධිපතිවරයාගෙන් තවදුරටත් ඉල්ලා සිටියි. කොමිසමට පත්වීම් නිර්දේශ කිරීමට සභාවට බලය පවරා ඇති අතර, සභාපතිවරයෙකු පත් කිරීමේ බලය පනත යටතේ ජනාධිපතිවරයාට පමණක් පැවරී ඇති බව ද එය ජනාධිපතිවරයාට මතක් කර දී තිබේ.

කොමිසමේ දැනටමත් සාමාජිකයින් හතර දෙනෙකු සේවය කරන බැවින්, නීත්‍යානුකූලව සුදුසුකම් ලත් පුද්ගලයින් තිදෙනාගෙන් එක් අයෙකු – විශ්‍රාමික විනිසුරු D.N. සමරකෝන්, නීතිඥ කිෂාලි පින්ටෝ-ජයවර්ධන හෝ නීතිඥ ජගත් ලියනාරච්චි – සභාපති ධුරයට පත් කිරීම සඳහා සලකා බැලිය යුතු බව සංගමය යෝජනා කර තිබේ.

තොරතුරු කොමිසමට අදාළ සියලු අනාගත ක්‍රියාමාර්ග පනතේ විධිවිධානවලට දැඩි ලෙස අනුකූල වන බවට සහතික වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සිය ලිපිය අවසන් කර තිබේ.

‘බ්ලූස්’ ඉවතට ‘ග්‍රේස්’ සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා­යම මේ මස අගදී සිම්බාබ්වේ සංචා­රය ආරම්භ කිරී­මට පෙර කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාං­ගණ‍යේ (එස්එස්සී) පැවැ­ත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ලීග් විස්සයි20 තර­ගා­ව­ලියේ අව­සන් මහා තර­ග­යට සුදු­සු­කම් ලැබී­මට චරිත් අස­ලං­කගේ ‘ග්‍රේස්’ පිල සමත් වූවේය. ඒ අනුව කමිඳු මෙන්ඩිස්ගේ ‘ග්‍රීන්ස්’ පිල සමඟ මේ 16 වැනිදා පැවැ­ත්වෙන අව­සන් මහා තර­ග­යට ‘ග්‍රේස්’ පිල පිවිසේ.

ඊයේ පැවති තර­ග­යේදී ‘ග්‍රේස්’ පිල වෙතින් කඩුලු 6කින් පරා­ජය වූ දුනිත් වෙල්ලා­ලගේ නාය­ක­ත්වය දැරූ ‘බ්ලූස්’ කණ්ඩා­යම ඔවුන් සහ­භා­ගිවූ තරග හත­රම පරා­ජ­යට පත්වීම හේතු­වෙන් තර­ගා­ව­ලි­යෙන් ඉව­තට විසිවී ගියේය.

‘ග්‍රේස්’ පිලේ නුව­නිඳු ප්‍රනාන්දු මේ තර­ගා­ව­ලියේ සිය දෙවැනි අර්ධ ශත­කය වාර්තා කර­මින් පන්දු 34කදී හයේ පහ­රක් හා හතරේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 50ක් ලබා තේරීම් කමි­ටුවේ අව­ධා­න­යට ලක් විය. 2023දී එක්දින වරම් දිනා තරග 5කට ක්‍රීඩා කළ ඔහු, එම වස­රේ­දීම විස්සයි20 තර­ග­ය­කදී ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කළ පසු ජාතික පිලෙන් ඉවත් කළ අතර, යළි මේ තර­ගා­ව­ලි­යේදී නුව­නිඳු සුදු­ස්සකු බව තහ­වුරු කළේය.

නායක චරිත් අස­ලංක පන්දු 27කදී හයේ 3ක් හා හතරේ පහර 2ක් සමඟ ලකුණු 45ක් හා පළ­පු­රුදු පිති­කරු දිනේෂ් චන්දි­මාල් පන්දු 25කදී හයේ 2ක් හා හතරේ 5ක් සමඟ ලකුණු 44ක් ලබා ගැනී­මත් කැපී පෙනිණි. කාසියේ වාසිය දිනා­ගත් ‘බ්ලූස්’ පිල මුලින් පන්දු­වට පහ­රදී කඩුලු 5කට ලකුණු 178ක් ලබා­ගත් අතර, පිළි­තුරු ඉනිම ක්‍රීඩා කළ ‘ග්‍රේස්’ පිල ඕවර 17.1කදී කඩුලු 4කට ලකුණු 179ක් ලබා ජය තහ­වුරු කර ගත්තේය.

‘බ්ලූස්’ පිලේ ආර­ම්භක පිති­ක­රු­වන් වූ පැතුම් නිශ්ශංක හා වි‍ශේන් හැළඹ‍ගේ පළමු කඩු­ල්ලට පන්දු 34කදී ලකුණු 60ක සබ­ඳ­තා­වක් ගොඩ­නැඟූ අතර, පැතුම් පන්දු 15කදී හයේ 2ක් හා හතරේ 3ක් සමඟ ලකුණු 30ක්, හැළඹ‍ගේ පන්දු 25කදී හයේ 3ක් සමඟ ලකුණු 32ක් එක් කළහ. හය­වැනි කඩු­ල්ලට පන්දු 39කදී ලකුණු 76ක සබ­ඳ­තා­වක් ගොඩ­නැඟූ දසුන් ශානක පන්දු 19කදී හයේ 2ක් හා හතරේ 3ක් සමඟ නොදැවී ලකුණු 35ක්, රවිඳු ප්‍රනාන්දු පන්දු 24කදී හයේ පහ­රක් හා හතරේ පහර 5ක් සමඟ නොදැවී ලකුණු 41ක් ඉනි­මට එක් කළහ.

මූලික වටයේ අව­සන් තර­ග­යට චරිත් අස­ලං­කගේ ‘ග්‍රේස්’ පිල හා කමිඳු මෙන්ඩිස්ගේ ‘ග්‍රීන්ස්’ පිල අද පස්වරු 1.30ට පිටි­යට පිවිසේ. එය අව­සන් මහා තර­ග­යට පිවිස සිටින එම කණ්ඩා­යම් දෙකට පෙර පුහුණු තර­ග­යක් වැනිය.

‘බ්ලූස්’ පිල කඩුලු 6කට ලකුණු 178 (ඕවර 20) පැතුම් නිශ්ශංක 30, වි‍ශේන් හැළඹ‍ගේ 32, නිශාන් මධුෂ්ක 23, ධනං­ජය ද සිල්වා 1, අශේන් බණ්ඩාර 8, දසුන් ශානක නොදැවී 35, රවිඳු ප්‍රනාන්දු 41, අති­රේක 8 (ගරුක සංකෙත් 46/2, චරිත් අස­ලංක 8/1, විජේ­කාන්ත් වියෙ­ස්කාන්ත් 15/1, සහන් ආර­ච්චිගේ 13/1)

‘ග්‍රේස්’ පිල කඩුලු 4ක් දැවී ලකුණු 179 (ඕවර 17.1) දිනේෂ් චන්දි­මාල් 44, නිරෝ­ෂන් දික්වැල්ල 21, ළහිරු උදාර 2, නුව­නිඳු ප්‍රනාන්දු නොදැවී 50, චරිත් අස­ලංක 45, සහන් ආර­ච්චිගේ නොදැවී 2, අති­රේක 15 (ධනං­ජය ද සිල්වා 14/1, අසිත ප්‍රනාන්දු 28/1, මතීෂ පති­රණ 32/2)

 

ලෝක Health We-Grow ශූරතාවලියෙන් පදක්කම් රැසක් ශ්‍රී ලංකාවට!

කැනඩාවේ වෑන්කූවර් නගරයේදි පැවැති 15 වැනි ලෝක Health We-Grow ශූරතාවලියේදී ශ්‍රී ලංකාව විශිෂ්ටත්වයන් දක්වා තිබේ. රටවල් 21ක් සහ ක්‍රීඩකයින් 338ක් එක්වූ මෙම ජාත්‍යන්තර වේදිකාවේදී, ශ්‍රී ලාංකීය කණ්ඩායම ජයග්‍රහණ 11ක් හිමිකර ගනිමින් අභිමානවත් පදක්කම් රැසක් හිමි කර ගැනීමට හැකි විය.

කණ්ඩායම් නායක අයි.පී. ඒරංග වීරසිංහ රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනා ගත් අතර, මහේෂ් පතිරණ රිදී 2ක් සහ ලෝකඩ 2ක් දිනීය. නදීකා ඒකනායක, නෙතුල නන්විඳු, රිත්නි ඒරත්මා, සහ වියානා පතිරණ යන ක්‍රීඩිකාවන් තනි තරඟවලදී ලෝකඩ පදක්කම් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තර වේදිකාවේ දිදුලන්නට ඔවුන් සමත් විය.

එයට අමතරව, කණ්ඩායම් තරඟවලද ශ්‍රී ලංකා කණ්ඩායම සිය සාර්ථකත්වය පෙන්වා දෙමින් දෙවැනි ස්ථානය ලබා රිදී සම්මානයෙන් පිදුම් ලැබීය.

මැඩෝනා ගෙන් පාප්වහන්සේට ඉල්ලීමක්

ගාසා තීරයේ අස­රණ දරු­වන්ගේ ජීවි­ත­ව­ලට ආලෝ­කය උදා කිරී­මට ප්‍රමාද නොවී එහි සංචා­ර­යක නිර­ත­වන ලෙස අමෙ­රි­කානු පොප් ගී රැජන මැඩෝනා පාප් වහ­න්සේ­ගෙන් ඉල්ලී­මක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්ස්ට­ර්ග්‍රෑම් සමාජ මාධ්‍ය­ජා­ලයේ සට­හ­නක් තබ­මින් ඇය වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රමා­දය පසු­තැ­වි­ල්ලට හේතු­වනු ඇති බවය. මැඩෝ­නාගේ ප්‍රකා­ශය නිකුත් වී ඇත්තේ දෑස් ඉදි­රි­පිට සාග­ත­යක් ව්‍යාප්ත වෙමින් තිබෙන බවට බ්‍රිතා­න්‍යය, යුරෝපා සංග­මය, ඔස්ට්‍රේ­ලි­යාව, කැන­ඩාව සහ ජපා­නය ප්‍රකාශ නිකුත් කිරී­මෙන් පසුව බව ද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

ගාසා තීරයේ අස­රණ දරු­වන්ට ආලෝ­කය උදාකරන ලෙස පාප් වහ­න්සේට ආයා­චනා කර­මින් මැඩෝනා සමාජ මාධ්‍ය­ජා­ලයේ සඳ­හන් කර ඇත්තේ ඊශ්‍රා­ය­ල­යට ගාසා තීර­යට ඇතු­ළු­වීම ප්‍රති­ක්ෂේප කළ නොහැකි එකම පුද්ග­ලයා පාප් වහන්සේ වන බවය. ගාසා තීරයේ අස­රණ දරු­වන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ආධාර සැප­යී­මට සියලු දේශ­සීමා දොරටු සම්පූ­ර්ණ­යෙන්ම විවෘත කළ යුතු බව ද මැඩෝනා වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇතැයි වාර්තා වේ.

‘අති­ශුද්ධ වූ පියා­ණෙනී, කරු­ණා­කර ප්‍රමාද නොවී ගාසා තීර­යට ගොස් ඔබේ ආලෝ­කය දරු­වන්ට ලබා­දෙන්න. මවක් ලෙස ඔවුන්ගේ දුක් වේදනා දැකීම මට දරා­ගත නොහැ­කියි. සියලු දරු­වන් ලෝක වාසී අප සැම­ටම අයි­තියි.‘

ඇය ඉන්ස්ට­ර්ග්‍රෑම් සමාජ මාධ්‍ය­ජා­ලයේ සිය ගිණු­මෙහි එසේ සට­හන් කර ඇතැයි වාර්තා වේ. ගාසා තීරයේ උද්ගත වී ඇති දරුණු මානු­ෂීය අර්බු­දය හේතු­වෙන් ඊශ්‍රා­ය­ලය දැඩි පීඩ­න­ය­කට මුහුණපා සිටින අතර, එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නය අව­ධා­ර­ණය කර ඇත්තේ ගාසා වැසියෝ සාග­තයේ උප­රිම අව­ස්ථා­වට ළඟාවී සිටින බවය.

කතරගමට වසරක සේවා දිගුවක් ඉල්ලයි

කතරගම බස්නායක නිලමේවරයාගේ ධුර කාලය ලබන මස 25 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබෙන බැවින් නැවත පත් කර ගැනීමක් නොකළ හොත් ඉන් අනතුරුව පවත්වන නිලවරණයකට ඔහු සහභාගි නොවන බව ප්‍රකාශ කිරීමෙන් පසු ඔහු නැවත වසර පහකට පත් කර දෙන මෙන් ඉල්ලා සන්දේශයක් අත්සන්කර ජනාධිපතිවරයාට භාරදීමට කටයුතු කරන බව සංවිධාන කිහිපයක නියෝජිතයෝ කියති.

මේ වන විටත් ස්විච්ඡා සංවිධාන ඇතුළු වෙළෙඳ සංගම් 25 කට ආසන්න ගණනක් ලිපි ලබාදෙමින් බස්නායක නිලමේවරයා තවත් වසර පහකට පත්කර දෙන ලෙස ජනාධිපතිවරයාට ඉල්ලීම් ලිපි ලබාදී තිබෙන බව වෙළෙඳ සංගම් නියෝජිතයෝ පවසති.

අත්සන් ලේඛනයට අත්සන් තැබීම සඳහා පැමිණි අය පවසා සිටියේ කතරගම දේවාලයට පැමිණි නිලමේවරුන්ගෙන් විශාල සේවාවක් ඉටුකරමින් රටට දෑයට යුතුකම් ඉටුකළ නිලමේවරයා ඔහු බවය.

රුපියල් ලක්ෂ 8450 ක මුදලක් දේවාලයේ පඬුරු මුදල් සහ ආදායම්වලින් වියදම් කර ඉතා සැලසුම් සහගතව මෙන්ම විධිමත්ව මහරගම පිළිකා රෝහලේ සිව් මහල් ගොඩනැගිල්ලක් මෙන්ම තවත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුදල් වැය කරමින් සිටීම, කතරගම ප්‍රාදේශීය රෝහලේ නව වාට්ටුවක් ඉදිකර ඇඳන් හතළිහක අංග සම්පූර්ණ පහසුකම් සහිතව රෝහලට ලබාදීම, මොනරාගල සිරිගල රෝහලේ හෘද රෝග සැත්කම් ඒකකයක් සිව් මහල් ගොඩනැගිල්ලක් ඉදිකරමින් පැවතීම, කතරගම බස් නැවතුම්පොළ ඉතා ආකර්ෂණීය අයුරින් වැඩ අවසන් කර ජනතා අයිතියට පත් කිරීම, නගරය ඉතා අලංකාරවත්ව කැටගල් අල්ලා රථ ගාල් පිළිසකර කර වෙළෙඳ සැල්වලට එකම හැඩයෙන් වැසි ආවරණ සකස් කර දීම, කිරිවෙහෙර , මහ දේවාලය ඇතුළු සෙසු පූජනීය ස්ථාන වැඳ පුදා ගැනීමට බැතිමතුන්ට පා දෝවනය කර ගැනීම සඳහා මැණික් ගඟ හරහා බැස යාමට රන් ද්වාර පිවිසුමක් සකස් කර දීම යනාදී විශාල වැඩ කොටසක් ඔහු විසින් කර ඇති බව ඔවුහු පවසති.

මෙම සන්දේශය ඉදිරියේ දිනක ජනාධිපතිවරයා අතට ලබාදීමට කටයුතු කරන බව සංවිධාන නියෝජිතයෝ පවසති.

වැඩ භාරගත් අලුත් පොලිස්පති

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා, ශ්‍රී ලංකා පොලිසියේ 37 වන පොලිස්පති ලෙස අද (14) පෙරවරුවේ පොලිස් මූලස්ථානයේදී සිය ධුරයේ වැඩ භාර ගත්තේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයෙකු පත්කිරීමේ තීරණය ගෙන තිබුණු අතර, ඔහුගේ පත්වීම් ලිපිය ඊයේ (13) පස්වරුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී භාරදෙන ලදී. මෙම පත්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියද හිමිව තිබේ.

වෘත්තියේ දීර්ඝ කාලීන පසුබිමක් සහිත නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා, පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරී යන සියලුම අවධි ජයගනිමින් පොලිස්පති ධුරයට පත්වූ ශ්‍රී ලංකා පොලිසියේ පළමු පොලිස්පති ලෙස ඉතිහාසයට එකතු විය.

ධුරය භාරගැනීමේ අවස්ථාවේදී, ඔහු ප්‍රකාශ කළේ පොලීසියේ ගෞරවය, ප්‍රෞඩත්වය සහ විනය සුරකිමින් විනයානුකූල පොලීසියක් ගොඩනැගීම තම ප්‍රමුඛ අභිප්‍රාය බවයි. තමාට අට ලෝ දහම හොඳින් හුරු පුරුදු බවත්, පොලිසියේ දැක්ම යථාර්ථ‍යක් කිරීමට සියලු පොලිස් නිලධාරීන්ගෙන් ඉහළ කාර්ය සාධනයක් බලාපොරොත්තු වන බවත් නව පොලිස්පතිවරයා සඳහන් කළේය.

ඇමරිකාවේ ණය ඩොලර් ට්‍රිලියන 37 ඉක්මවයි

ඇමරිකානු රාජ්‍ය ණය ප්‍රථම වරට ඩොලර් ට්‍රිලියන 37 ඉක්මවා ඇතැයි එරට භාණ්ඩාගාරය නිකුත් කළ නවතම දත්තවලින් අනාවරණය කෙරේ.

වසර ගණනාවක් පුරා, අඛණ්ඩ මූල්‍ය හිඟයන් පැවතීම ඇමරිකානු ණය ප්‍රමාණය ඉහළ යාමට හේතු වී තිබේ. ඇමරිකානු ෆෙඩරල් අයවැය සඳහා වූ වගකිවයුතු කමිටුව පෙන්වා දුන්නේ, රටේ මූල්‍ය තත්වය බරපතල ලෙස අසමතුලිත වන නමුත්, කොංග්‍රසය එම තත්වය තවදුරටත් නරක අතට හැරවීම අඛණ්ඩව කරගෙන යන බවයි.

තීරණාත්මක ලක්ෂ්‍යය ඉක්මවුවහොත් විශාල ප්‍රමාණයේ සමුච්චිත රාජ්‍ය ණය, ඇමරිකාවේ ආර්ථික වර්ධනය මන්දගාමී කරනු ඇතැයි ආර්ථික විද්‍යාඥයින් කිහිපදෙනෙකු පවසා තිබේ.

මෙම තත්වය යටතේ, ඇමරිකානු රජයට තම මූල්‍ය තත්වය සකස් කර ගැනීමට ඇති හැකියාව පිළිබඳ ආයෝජකයින්ගේ විශ්වාසය ගිලිහෙනු ඇත. පොලී අනුපාතවල සැලකිය යුතු වැඩි කිරීමකින් තොරව ඇමරිකානු ණය ගැනීම් සඳහා මුදල් සැපයීමට ආයෝජකයින් අකමැති විය හැකි බවද ඔවූහු පෙන්වා දෙති.

Add to cart