ගුරු සහ පරිපාලන සේවාවන්හි මාරුවීම් සඳහා නව ක්‍රමවේදයක්!

ගුරු අධ්‍යාපනඥ සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් සඳහා වඩාත් විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. මෙහිදී කාරක සභාවේ මන්ත්‍රීවරු පෙන්වා දුන්නේ, විශේෂයෙන්ම උතුරු මැද පළාතට පත් කළ නිලධාරීන් 6 දෙනෙකුගෙන් 5 දෙනෙකුම නැවත ස්ථාන මාරුවීම් ලබාගෙන ඇති බවයි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර, පත්වීම් ලබාදීමේදී මානුෂීය කරුණු සහ සේවා අවශ්‍යතාව සැලකිල්ලට ගත යුතු බව අගමැතිනිය පෙන්වා දුන්නාය.

මේ වන තෙක් ගුරු සහ පරිපාලන සේවාවන්හි මාරුවීම් සඳහා විධිමත් සැලැස්මක් නොතිබුණු බවත්, මේ වන විට ඒ සඳහා පිළියම් සකස් කරමින් සිටින බවත් ඇය ප්‍රකාශ කළාය. මානුෂීය කරුණු ද සලකා බලා වඩාත් යහපත් ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු කරන බව අගමැතිනිය වැඩිදුරටත් පැවසුවාය.

මීට අමතරව, ආබාධිත සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස අගමැතිනිය නිලධාරීන්ට උපදෙස් දුන්නාය. එසේම, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත් කරන ලද අනුකාරක සභා 6ක ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

තල් සංවර්ධන සභාපති ඉල්ලා අස්වෙයි

තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති වී. සගාදේවන් මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇත.

ඔහු ඊට අදාල ලිපිය විෂය භාර අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාට යොමු කර ඇතැයි වාර්තාවේ.

පොලිස් කොමිසමෙන් රේණුකා අස්වෙයි

රේණුකා ඒකනායක මහත්මිය ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත.ඒ සම්බන්ධයෙන් ඇය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලිපියක් යොමු කර ඇතැයි වාර්තාවේ.

රේණුකා ඒකනායක මහත්මිය හිටපු අමාත්‍යාංශ ලේකම්වරියකි. කිරි ගවයන් ආනයනය කිරීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඇය පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද කැඳවනු ලැබුවාය. ඒකනායක මහත්මිය හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ බිරිඳ වෙයි.

අවුරුදු 32කට පසු අනුර තරුණ සමුළුවක

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වසර 32කට පසු මෙරට තුළ ජාතික තරුණ සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි.

ඒ අනුව එම සමුළුව අද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බවත්, ඒ සඳහා තරුණ තරුණියන් 6000කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත අතර ඒ සදහා රට පුරා පිහිටි ග්‍රාම සේවා වසම් 14,022 ක සංඛ්‍යාවෙන් ග්‍රාමසේවා වසම් 12,700කට වැඩි ප්‍රමාණයක ‍Youth Club පිහිටුවා අවසන් බවත්, ප්‍රාදේශීය සම්මේලන හා දිස්ත්‍රික් සම්මේලන සියල්ල පවත්වා අවසන් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව අද අගෝස්තු 12 වැනිදා පැවැත්වෙන ‍Youth Club ජාතික සම්මේලනයේ දී නව නිලධාරි මණ්ඩලය හඳුන්වා දීමට කටයුතු කරන බව ද සභාපතිවරයා ප්‍රකාශ කරයි.

විනය පරීක්ෂණයේ නිවැරදිකරුවන් යළි වැරදිකරුවන් කරලා!

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට එරෙහිව පවත්වන ලද විධිමත් විනය පරීක්ෂණවලින් නිවැරදිකරුවන් බවට පත්වූ සෞඛ්‍ය නිලධාරීන් 19 දෙනෙකු පමණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (විමර්ශන) තාරකා කරුණාරත්න මහත්මිය විසින් යළි වැරදිකරුවන් බවට නිර්දේශ කර ඇතැයි වෛද්‍ය සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

විධිමත් විනය පරීක්ෂණ සඳහා දීර්ඝ කාලයක් සහ විශාල මුදලක් වැය වන බව පෙන්වා දෙන වෛද්‍ය චමල් සංජීව, එම පරීක්ෂණවලින් ලබා දෙන තීරණ මෙලෙස වෙනස් කරන්නේ නම්, එම පරීක්ෂණ සඳහා වැය කළ මුදල් අදාළ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් අය කර ගැනීමට රජය කටයුතු කළ යුතු බව සඳහන් කරයි.

මීට අදාළව තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ විමසීමකට අනුව, 2025 ජූලි 24 දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තාරකා මේධාවී දිසානායක මහත්මිය විසින් නිකුත් කරන ලද ලිපියක් මගින් මෙම තත්ත්වය සනාථ වන බව ඔහු පෙන්වා දෙයි. එම ලිපියට අනුව, විධිමත් විනය පරීක්ෂණවලදී සෞඛ්‍ය සේවකයින් 13 දෙනෙකු නිවැරදිකරුවන් වූ අතර, ඉන් 19 දෙනෙකු පමණ යළි වැරදිකරුවන් බවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කර ඇත.

මෙම තත්ත්වය අතිශයින් කණගාටුදායක බවත්, විධිමත් විනය පරීක්ෂණ කෙරෙහි තැබූ විශ්වාසය බිඳ දමන ක්‍රියාවක් බවත් චමල් සංජීව මහතා පෙන්වා දෙයි. එම නිසා, මේ පිළිබඳව වෙනම විමර්ශනයක් පවත්වන ලෙස ඔහු සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියි.

ගංජා වවන්න ආණ්ඩුවෙන් අවසර

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් රජය විසින් නව ආයෝජන අවස්ථාවක් ලෙස ප්‍රථම වරට විදේශීය ආයෝජකයන්ට දැඩි කොන්දේසි යටතේ නීත්‍යානුකූලව කංසා වගා කිරීමට අවසර ලබා දී තිබේ.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් අධීක්ෂණය කෙරෙන අතර, එහි මූලික අරමුණ වන්නේ කංසා ඇසුරෙන් ඖෂධ නිෂ්පාදනය හා පර්යේෂණ කටයුතු සඳහා පමණක් යොදාගන්නා නිෂ්පාදන අපනයනය කිරීම තුළින් රටට සැලකිය යුතු විදේශ විනිමයක් උපයා ගැනීමයි.

මෙම ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් වූ අයදුම්පත් 37ක් අතරින් සුදුසුකම් සපුරාලූ විදේශීය ආයෝජකයන් 7 දෙනෙකු තෝරාගෙන ඇති අතර, ඔවුන්ට මූලික වශයෙන් මාස 6ක තාවකාලික බලපත්‍රයක් නිකුත් කර තිබේ. මෙම කාලසීමාව තුළ ඔවුන්ගේ ව්‍යාපෘති ක්‍රියාත්මක වන ආකාරය අනුව ඉදිරියේදී වගා කාලය දීර්ඝ කිරීමට නියමිතය.

ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා එක් ආයෝජකයකු විසින් අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5ක මූලික ආයෝජනයක් සිදු කළ යුතු වන අතර, ඇමරිකානු ඩොලර් මිලියන 2ක බැඳුම්කරයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කිරීම අනිවාර්ය වේ.

මෙම තොරතුරු ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා විසින් තහවුරු කර ඇත.

මිරිගම ප්‍රදේශයේ පිහිටි අක්කර 64ක භූමි ප්‍රමාණයක් මෙම වගාවන් සඳහා වෙන්කර ඇත. මෙම වගාවන් සිදු කළ යුත්තේ ශ්‍රී ලංකාවේ පවතින නීති රෙගුලාසිවලට අනුකූලව දැඩි ආරක්ෂිත විධිවිධාන යටතේය.

ඒ අනුව, වගා බිම වටා ශක්තිමත් ආරක්ෂිත වැටක් ඉදිකිරීමට අමතරව, විශේෂ කාර්ය බළකායේ (STF) සහ ශ්‍රී ලංකා පොලීසියේ ආරක්ෂාව ලබා ගැනීමද අනිවාර්ය වේ.

මෙම ව්‍යාපෘතිය මගින් වගා කරන කංසා ශ්‍රී ලංකාව තුළ භාවිතයට නොගෙන සම්පූර්ණයෙන්ම අපනයනය කළ යුතු අතර, කංසා ගසේ කිසිදු කොටසක් (ඇට, කොළ, මුල්) බාහිර පරිසරයට මුදා නොහැර විනාශ කිරීමට නීති රෙගුලාසි පනවා ඇත.

මෙම ව්‍යාපෘතිය අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් ඒකාබද්ධව කටයුතු කරනු ඇත.

වැ.බ ප්‍රියන්ත අද ස්ථීර වෙයි

පොලිස් දෙපාර්තමේන්තුවේ 37 වැනි පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය මහතා ව්‍යවස්ථාදායක සභාව විසින් අද දිනයේ පත් කිරීමට නියමිතව ඇති බව එම සභාවේ ආරංචි මාර්ග පවසයි.

ව්‍යවස්ථාදායක සභාව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට රැස්වීමට නියමිතව ඇති අතර එහිදී නව පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් තීරණය ගැනීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු ජනාධිපතිවරයා විසින් නව පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව වෙත යෝජනා කර තිබේ.

1988 වර්ෂයේ දී පොලිස් කොස්තාපල්වරයකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී ඇති ප්‍රියන්ත වීරසූරිය මහතා 1992 වර්ෂයේදී උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස උසස්වීම් ලබා ඇත.

1999 වර්ෂයේදී සහකාර පොලිස් අධිකාරි තරග විභාගයෙන් සමත්වී එම තනතුරට උසස්වීම් ලැබූ වීරසූරිය මහතා, 2007 වර්ෂයේ පොලිස් අධිකාරි ලෙසත් 2012 වර්ෂයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙසත් 2016 වර්ෂයේ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් උසස්වීම් ලබා ගත්තේය.

2020 වර්ෂයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීම් ලැබූ ඒ මහතා 2024 වර්ෂයේ වැඩබලන පොලිස්පතිවරයා ලෙස උසස්වීම් ලැබුවේය.

කැබිනට් එක ධම්මික ඉවත් කරයි

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර එම තනතුරින් ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ධම්මික ජයසුන්දර දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරින් ඉවත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක විසින් කැබිනට් මණ්ඩලයට විශේෂ යෝජනාවක්ද ඉදිරිපත් කර තිබුණි. එම යෝජනාවට මෙසේ කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

අදානිගේ වාහන වලට මන්නාරමේදී පොලිස් ගාඩ්

මන්නාරමේ සුළං විදුලි බලාගාර ඉදිකිරීමට අවශ්‍ය යන්ත්‍ර රැගත් වාහන පෙළක් ඊයේ (11) රාත්‍රී මන්නාරම නගරයට පැමිණීමත් සමගම ප්‍රදේශ වාසීන් විශාල පිරිසක් නගරයට එක්වී විරෝධය දක්වා ඇතැයි වාර්තා වේ.

මේ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් 200 කින් පමණ සමන්විත බල ඇණියක් නගරයට පැමිණ විරෝධතාකරුවන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

වැසියන් පිරිසක් මහා මාර්ගයේ වැතිර සුළං බලාගාර ඉදිකිරීමට රැගෙන යන යන්ත්‍ර රැගත් වාහනවල ගමන්මග අවුරමින් කටයුතු කර ඇති බවද වාර්තා වේ.

මන්නාරමේ සුළං විදුලි බලාගාර ඉදි කිරීමට එරෙහිව මුලු උතුරු පළාත පුරාම දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතීන අතර ජනතාව පෙන්වා දෙන්නේ එම බලාගාර ඉදි කිරීම නිසා උතුරේ ධීවරයින්ට මත්ස්‍ය සම්පත අහිමි වී යන බවය.

කෘෂිකාර්මික කටයුතු වලටද විශාල බාධාවක් මෙම සුළං බලාගාර නිසා ඇති වන බව පෙන්වා දෙන ප්‍රදේශවාසීන් ඒවායෙහි යන්ත්‍ර භ්‍රමණය වන ශබ්දයට පක්ෂීන් බියට පත්වීම නිසා මන්නාරමේ කුරුලු පාරාදීසයට විශාල බලපෑමක් එල්ල වන බවද ඔවුහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් ඊයේ (11) දිවා භාගයේද විරෝධතාවක් දියත් කර තිබූ අතර තවත් පිරිසක් ඊට පක්ෂවද විරෝධතාවක් දියත් කර තිබිණි.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් නිකුත් කරන ලද නවතම ODI කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී, ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම ශ්‍රේණියේ හතරවන ස්ථානයට ඉහළ ගොස් ඇත. ඔවුන් හිමිකරගත් ශ්‍රේණි ලකුණු සංඛ්‍යාව ලකුණු 103 කි. විශේෂයෙන්ම, ඔවුන් ශ්‍රේණියේ හතරවන ස්ථානයට පසුව ඇත්තේ පාකිස්ථාන කණ්ඩායම පසු කරමින් ය. මේ වන විට පාකිස්ථාන කණ්ඩායම පස්වන ස්ථානයයේ සිටින අතර ඔවුන්ගේ ශ්‍රේණි ලකුණු සංඛ්‍යාව 102කි.

Add to cart