අද ලෝක අලිඇතුන්ගේ දිනයයි

ලොව පුරා අලිඇතුන් සංරක්ෂණය හා ආරක්ෂාව වෙනුවෙන් ප්‍රකාශයට පත්කළ ‘ලෝක අලිඇතුන්ගේ දිනය’ අදට (අගෝස්තු 12) යෙදී තිබේ.

අප්‍රිකානු සහ ආසියානු වනඅලි සහ හීලෑ අලිඇතුන් රැකබලා ගැනීම, අලි ඇතුන් දඩයම් කිරීම, විකිණීම, අලි වාසස්ථාන ආරක්ෂා කිරීම සහ ගෘහාශ්‍රිත අලිඇතුන්ට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය කටයුතු සඳසා අරමුණ කරගනිමින් 2012 වසරේ දී මෙම දිනය ප්‍රකාශයට පත්කරන ලදී.

එතැන් සිට මේ දක්වා වූ කාලය තුළ ලොව රටවල් 100කට අධික සංඛ්‍යාවක් මෙම දිනය පිළිගෙන සැමරීම කරනු ලබයි.සොබාදහම සංරක්‍ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයට අනුව අද වනවිට අප්‍රිකානු අලි ‘අවදානමට ලක්විය හැකි’ ලෙසත් ආසියානු අලි ‘වඳවීමේ තර්ජනයට ලක්ව ඇති’ ලෙසත් රතු ලැයිස්තුවේ ලැයිස්තුගත කර ඇත.

වර්තමානය වනවිට අප්‍රිකානු අලිඇතුන් ලක්ෂ 4ක් පමණද, ආසියානු අලිඇතුන් 50,000කට ආසන්න සංඛ්‍යාවක්ද සිටින බවටද ඇස්තමේන්තු කර තිබේ. ඉන් ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත වනඅලි ගහනය 7,500ක් බව සඳහන්ය.ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ කතාව දැන් ඇත්තේ ඉතා ඛේදනීය තැනකය. දශක ගණනාවක් තිස්සේ සිට අප මේ ගැන කතා කළද, එම දශක කිහිපයම දිනෙන් දින ගෙවී ගියේ අලින්ට, අලින්ගේ නිජ බිම්වලට, අලින්ගේ සංක්‍රමණික මාර්ගවලට සහ ඔවුන්ගේ වාසභූමිවලට යහපතක් උදාවීමෙන් තොරවය.

අලි-මිනිස් ගැටුම දිනෙන් දින උග්‍රවී වාර්ෂිකව අලි මරණ 450 ක් දක්වා වර්ධනය වීම සුළුවෙන් තැකිය හැකි සංසිද්ධියක් නොවේ.

අලි-ඇතුන් බුරුතු පිටින් මියයන්නේ එසේ ඔවුන් රැකගන්නට සැබෑ සැලසුමක් නැති බැවින් යන්න පරිසරවේදීන්ගේ ප්‍රධාන චෝදනාවයි.

2011 වසරේදී සිදුකරන ලද අවසන් වන අලි සංගණනයට අනුව මෙරට කැලෑ තුළ වෙසෙන වන අලි සංඛ්‍යාව 5879 ක් විය. එනමුත් නව සංගණනයක්ද 2024 වසරේ අගෝස්තු මාසයේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන්නට යෙදිණි. එනමුත් එම සංගණන දිනයේදී වර්ෂාව පැවති නිසා සිදුකරන ලද සංගණනය දෝෂ සහිත අසාර්ථක සංගණනයක් බව පරිසරවේදීන්ගේ අදහසයි.

අලින් අතර සුවිශේෂ පිරිස ඇතුන් ය. එය අතිශයෝක්ති කතාවක් නොවේ. සංචාරක ආකර්ෂණය දිනාගත් ඇත් පරපුර නිසා මෙරටට ඩොලර් උපයා ගැනීමේ මඟ විවරවී ඇත.මේ දිනවල බොහෝ අයගේ මාතෘකාව ගල්ගමුව ඇත් පරපුරේ ‘කාවන්තිස්ස’ මහ ඇතු ගැනය. ඒ කාවන්තිස්ස පසුපසද වෙඩික්කරුවෝ හඹා යන බවට පැතිරෙන කතාවක් නිසාය. මීට සති කිහිපයකට පෙර කතා කළේ වෙඩි වැදී වැටී සිට අකාලයේ මියගිය ‘භාතිය’ ගැන ය.. විටෙක ගල්ගමුවේ පූට්ටුවා, සියඹලන්ගමුවේ මහ ඇතා, රේවත, භරණ, චන්ඩි, දීඝදන්තු 1-2, වළගම්බා වැනි ඇත්තු ගැනද අපි විටින් විට කතා කළෙමු. නැතහොත් කුමන දළ පූට්ටුවා, සැන්ඩෝ, ගැමුණු වැනි දකුණේ ඇතුන් ගැන කාලයක් අවධානය යොමු කළෙමු.

එනමුත් මේ ඇතුන්ගෙන් වැඩි දෙනා අද ජීවතුන් අතර නැත.

වන අලින්ට ප්‍රතිකාර කිරීම සදහා ජංගම වෛද්‍ය ඒකකයක් ක්‍රියාත්මක බව, පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, වනජීවි දෙපාර්තමේන්තුවේ අඩුපාඩුවක්ව පවතින භෞතික සම්පත් මිලදී ගැනීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවයි.

පොහොට්ටුවෙන් ජනපතිවරුන්ගේ හිමිකම් කපන පනතට එරෙහිව පෙත්සමක්!

 

1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අවලංගු කිරීමට ඉදිරිපත් කර ඇති නව පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාලක ලේකම් රේණුක දුෂ්‍යන්ත පෙරේරා විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර, එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කරු පෙන්වා දෙන්නේ, යෝජිත පනත් කෙටුම්පතේ 1 සිට 4 දක්වා වගන්ති මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති බලය බෙදීමේ මූලධර්මය, ස්වෛරීභාවය සහ ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වන බවයි. එමෙන්ම, මෙම කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 3, 4 සහ 12(1) වගන්තිවල සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් ද සෘජුවම උල්ලංඝනය වන බව පෙත්සමෙහි සඳහන්.

එම නිසා, මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට නම්, එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. නීතිඥ අෂොක් කුමාර ගුරුබරන් විසින් නීතිඥ එන්.එස්. වෙල්ගමගේ උපදෙස් මත මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

අධ්‍යාපන ලේකම්ට ඇති වාහන 139ක් අතුරුදන්

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නමට ලියාපදිංචි කර තිබූ වාහන එකසිය තිස්නවයක් අතුරුදන්ව ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ වාර්තාවකින් හෙළිවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසීය. හෙතෙම මේ බව කියා සිටියේ ඊයේ (11 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

අදාළ වාහන මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය සතුව නොමැති බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය පැහැදිලි මැදිහත්වීමක් මේ සම්බන්ධයෙන් සිදුකළ යුතු බව හෙතෙම කියා සිටියේය.

මෙහිදී අදහස් දක්වමින් හෙතෙම වැඩිදුරටත් මෙසේද පැවසීය.

“ජාතික විගණන කාර්යාලය අධ්‍යාපන අමාතයාංශය සම්බන්ධයෙන් විගණන වාර්තාවක් එළිදක්වලා තියෙනවා. මේකේ තියෙන ප්‍රධාන කාරණයක් තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා විවෘත විශ්වවිද්‍යාල දුරස්ථ අධ්‍යාප රාජ්‍ය අමාත්‍යාංශය පිහිටුවා 2020 සහ 2021, 2022 වසර වලදී රුපියල් මිලියන පන්දාස් දෙසිය දහනවයක් වියදම් කරලා තියනවා. ජාතික අධ්‍යාපන ආයතනය මගින් රුපියල් මිලියන තුන්සිය පනහක් වියදම් කරලා තියෙනවා. සැලසුම් කළ පරිදි ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිරීමට අපොහොසත් වෙලා තියෙනවා.2025 මාර්තු 26 වැනිදා වන විටත් මේ සම්බන්ධයෙන් මාර්ග සිතියමක් සිදුකරලා නෑ කියලා විගණන වාර්තාව හඳුනගෙන තියෙනවා. 2024 මැයි මාසය වන විටත් උසස් පෙළ සිසුන් පමණක් නොව සාමන්‍ය පෙළ සිසුන්ද පාසලට පැමිණීම සීමාවෙමින් පවතින තත්ත්වයක් විගණනයට නිරීක්ෂණය වෙලා තියෙනවා. දැන් ටියුෂන් වලින් තමයි ඉගෙන ගන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය ජ්‍යෙෂ්ඨ ද්වීතික මට්ටමේ නිලධාරී පුරප්පාඩු අටසිය අසූවයි, ප්‍රාථමික මට්ටමේ පුරප්පාඩු දෙදාස් හාරසිය දහඅටයි.”

චීන රජයේ ප්‍රධානයක් විදිහට ලබාගන්නා ලද සුහුරු පුවරු පන්සීයක් පාසල් පද්ධතිය තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකර සුහුරු පුවරු දාහක් මිලදී ගැනීමට පමණක් කටයුතු කරලා තියෙනවා 2024 අගෝස්තු මස 08 වැනිදා.

මූලාශ්‍රය – අරුණ

දුම්රියේ බිලියනයක යකඩ හොරපාරේ

දුම්රිය දෙපාර්තුමේන්තුව භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි ඇතුළු අබලි යකඩ මෙටි්‍රක්ටොන් 6,000 ක පමණ විශාල ප්‍රමාණයක් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ප්‍රධාන පෙළේ යකඩ සමාගම් දෙකකට විකිණීමට සූදානම් වන බවට ශ්‍රී ලංකා වානේ සංස්ථාවේ මිලදී ගැනීමේ බලලත් නිලධාරියා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණි කර තිබේ.

මෙම යකඩ අළෙවි කිරීමට සම්බන්ධ ප්‍රසම්පාදන කමිටුව හෝ ඇගයිම් කමිටුව අසම්පූර්ණ ඉල්ලුම්පත් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැතිව වැරදි ලේඛණ සහිතව දෙපාර්තුමේන්තුවට පාඩු වන මිල ඉදිරිපත් කළ සමාගම්වලට අඩුපාඩු සහිත ලේඛණ යළි නිවැරදි කරගැනීමට අවස්ථාවක් දී තිබෙන බව ද එම පැමිණිල්ලේ සඳහන් වේ.

දුම්රිය දෙපාර්තුමේන්තුවේ ඉහළ නිලධාරීන් සහ ප්‍රසම්පාදන අංශ නිලධාරීන් මෙම උත්සහායේ නිරතව සිටින බවත් දුම්රිය දෙපාර්තුමේන්තුව සතු අබලි යකඩ පුද්ගලික අංශය වෙත විකිණීමට අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලිය පසුගිය ජුලි මාසයේදී ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් හරහා ආරම්භ කළ අතර එම ටෙන්ඩර් සදහා ඉදිරිපත් වූ සමාගම් ඉදිරිපත් කළ ලේඛණ පසුගිය මස 23 වැනිදා විවෘත කළ බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.

එහිදි සමාගම් 11 ක් ප්‍රසම්පාදනයට අදාල ලේඛණ සහ ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබුණු අතර ඒ අතරින් සමාගම් දෙකක් ප්‍රසම්පාදනයෙන් ප්‍රතික්ෂේප වන ආකාරයට කර්මාන්ත සංවර්ධණ මණ්ඩලයේ සත්‍ය ලේඛණ සහ මිල ගණන් ඉදිරිපත් කිරීමේදී සියයට 18 ක එකතු කළ අගය මත බදු අගයන් ඉදිරිපත් කර නොමැති බව නිරික්ෂණය වී ඇති බව ද ඔවුහු පවසති.

මෙම තත්වය මත නිවැරදි ලෙස මිල ගණන් සහ ලේඛණ ඉදිරිපත් කර තිබූ සමාගම්වලට අවස්ථාව අහිමි වන අතර රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශමාලාවට අනුව ටෙන්ඩර් විවෘත කළ පසු ටෙන්ඩර් පත්‍රිකාවල හිස්තැන් පිරවීමට ප්‍රසම්පාදන කමිටුවට බලයක් නැති අතර මෙම ටෙන්ඩරය රුපියල් මිලියන 1,000 කට වැඩි වීම මත පෙර සුදුසුකම් නිරීක්‍ෂණය බලධාරීන් අනිවාර්යෙන්ම සිදුකළ යුතු බවත් දුම්රිය වෘත්තිය සමිති පවසයි.

– Lankadeepa

පොහොසත් රටක Luxury වාහනයක් ගන්න

ලෝක බැංකුවේ වාහන මිල මට්ටම් දත්ත අනුව ශ්‍රී ලංකාව වාහන මිල ගණන් අතින් ලෝකයේ තෙවන ස්ථානයට පත්ව ඇතැයි ඇඩ්වකොටා ආයතනය කියයි.

2021 වසරේදී ගෝලීය සාමාන්‍යයට වඩා 1.75 ගුණයකින් වැඩි මිලක් මෙරට වාහන සඳහා පැවතීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

මෙම දර්ශකයේ ගෝලීය මට්ටම 100 ලෙස සලකන විටල ශ්‍රී ලංකාවේ අගය 175ක් වන අතර එය සිංගප්පූරුව සහ මාලදිවයින හැර අනෙකුත් සියලුම රටවල් අභිබවා යයි.

ඉහළ ආනයන බදු සහ සීමාකාරී ප්‍රතිපත්ති හේතුවෙන් වාහනයක් මිලදී ගැනීම බොහෝ දෙනෙකුට ළඟා විය නොහැකි සිහිනයක් බවට පත්ව ඇත.

මෙය රටේ සංචරණය ඵලදායිතාව සහ ආර්ථික අවස්ථා කෙරෙහිද අහිතකර ලෙස බලපායි.

කෙසේ වෙතත් මෙම වාර්තාව සැකසෙන්නේ 2021 දත්ත මත පදනම්ව වන අතර මේ වන විට මෙරට වාහන බදු පෙරට වඩා වැඩි කර ඇති බැවින් දර්ශකයද වෙනස් වනු ඇත.

බිලියන 100ක් වෙන් කළත්, ප්‍රගතිය 12% යි

 

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ප්‍රගතිය මේ වසරේ (2025) දී සියයට 12ක් වැනි ඉතා දුර්වල මට්ටමක පවතින බව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ආයෝජන අධීක්ෂණ හා ඇගයීමේ කමිටුව සඳහන් කරයි. මෙම අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 100ක ප්‍රාග්ධනයක් වෙන් කර තිබුණත්, ජූනි මස 30 වන විට වැය කර ඇත්තේ රුපියල් මිලියන 12,452 ක් පමණක් බවද එම කමිටුව තහවුරු කරයි.

රාජ්‍ය ආයෝජන මත ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල ගැටලු සහ ප්‍රමාදයන් වළක්වා ගනිමින් අපේක්ෂිත ප්‍රතිඵල මහජනතාවට ළඟා කර දීම මෙම කමිටුවේ අරමුණයි.

ඒ අනුව, අමාත්‍යාංශයේ කටයුතු දුර්වල බැවින් ඉදිරි මාසවල වියදම් පුරෝකථනයක් ඉදිරිපත් කරන ලෙස කමිටුව අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ඇත.

මෙම කමිටුවේ සම සභාපතිවරුන් ලෙස උසස් අධ්‍යාපන, අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී.අපෝන්සු කටයුතු කරති.

තරුණ නියෝජ්‍ය ඇමතිගේ ලේකම්ට කාන්තාවකගෙන් ගුටි පූජාවක්

කාන්තාවක තනිව සිටි නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී ලිංගික බලහත්කාරකමක් කිරීමට ගිය වත්මන් රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු කාන්තාවන් විසින් පහරදී ගස්බැඳ බෝගස්වැව පොලිසිය වෙත බාර දී තිබේ.

මෙලෙස කාන්තාවන්ගෙන් පහරකා ඇත්තේ වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කරන නියෝජ්‍ය ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව පොලිසිය පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ වන්නි දිස්ත්‍රික් කමිටුවේ නිලධාරිවරයකු වන මෙම පුද්ගලයා වවුනියාව නන්දිමිත්‍රගම ප්‍රදේශයේ කාන්තාවක් පමණක් ජීවත්වු නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී ඇති අතර නිවෙස් හිමි කාන්තාව නිවසේ පිටුපස දොරින් පැනගොස් කෑ ගසා අසල්වාසීන්ගේ සහාය ඉල්ලා ඇැත.

එම අවස්ථාවේදී අසල්වාසී කාන්තාවන් හා ප්‍රදේශවාසීන් පැමිණ මෙම පුද්ගලයා අල්ලාගෙන තිබෙන අතර ඒ වනවිට ඔහු අධික ලෙස මත්පැන් ද පානය කර සිට ඇත.

ගම්මානයේ කාන්තාවන් අදාළ පුද්ගලයාට පහරදී ලණුවලින් බැඳ දමා බෝගස්වැව පොලිසිය වෙත භාරදී ඇති බවද ප්‍රදේශවාසීන් පැවැසූහ.

කෙසේ වෙතත් සැකකාර සම්බන්ධීකරණ ලේකම්වරයා බෝගස්වැව පොලිසිය වෙත බාර දී තිබුණ ද ජාතික ජන බලවේගයේ පිරිසක් මැදිහත්වී අදාළ පුද්ගලයා නිදහස් කර ගැනීමට කටයුතු කොට ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් පොලිසිය විසින් මෙම පැමිණිල්ල සමාදාන කර ඇත.

ගාසාහීදී අල් – ජසීරා මාධ්‍යවේදීන් 05 දෙනෙක් මරුට

ගාසාහි අල්-ෂිෆා රෝහල ආසන්නයට එල්ල වූ ඊශ්‍රායල් ප්‍රහාරයකින් තම මාධ්‍යවේදීන් පස් දෙනෙකු මිය ගිය බව අල් ජසීරා පුවත් සේවය පවසයි.

ප්‍රහාරය එල්ල වන විට අනාස් අල්-ෂරීෆ්, මොහොමඩ් ක්‍රෙයිකේ සහ කැමරා ශිල්පීන් වන ඉබ්‍රාහිම් සහර්, මොහොමඩ් නූෆාල් සහ මෝමෙන් අලිවා යන අය රෝහලේ ප්‍රධාන දොරටුව අසල පිහිටි මාධ්‍යවේදීන් සඳහා වෙන් වූ කූඩාරමක සිටි බව අල් ජසීරා වාර්තා කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අල් ජසීරා නාලිකාව මෙම ප්‍රහාරය “ඉලක්කගත ඝාතනයක්” ලෙස හැඳින්වූ අතර එය මාධ්‍ය නිදහසට එල්ල කරන ලද තවත් පැහැදිලි සහ සැලසුම්සහගත ප්‍රහාරයක් බව පැවසීය.

ප්‍රහාරයෙන් සුළු මොහොතකට පසු, සිය ප්‍රහාරයේ ඉලක්කය වූයේ අනාස් අල්-ෂරීෆ් බව ඊශ්‍රායල හමුදාව පැවසුවේ, ඔහු හමාස් ත්‍රස්තවාදී අංශයක නායකයෙකු බවට ටෙලිග්‍රෑම්හි සටහනක් පළ කරමිනි.

බොරැල්ලේ වෙඩි තැබීමේ සිද්ධියට තවත් 3කට මාංචු!

බොරැල්ල, සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 24, 25 සහ 40 වයස්වල පසුවන බොරැල්ල සහ දෙමටගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි. ඔවුන් මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට සැක කෙරේ.

මීට පෙරද මෙම සිද්ධියට සම්බන්ධ බවට සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, ඔහු මේ වනවිට දින තුනක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටී.

පසුගිය අගෝස්තු 7 වැනිදා රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සිදු කළ මෙම වෙඩි තැබීමෙන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරිණි. ඉන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, තිදෙනෙකු තවමත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

රජයේ ගබඩා 12ක් වී නැතිව වේලේ

මෙවර පොළොන්නරුව දිස්ත්‍රීක්කය ඇතුළු මහවැලි බී හා සී කලාපවල යල කන්නයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ රජයේ වී අලෙවි මණ්ඩලය මගින් ආරම්භ කළ ද මෙතෙක් කිසිදු ගබඩාවකට වී ලැබී නොමැති බව වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කරයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රජයේ වී ගබඩා 12ක් මේ වනවිට විවෘතව තැබෙන අතර ඉකුත් 15 වෙනිදා සිට එම ගබඩා විවෘත කළ බවත්, මෙතෙක් කිසිදු ගොවි සංවිධානයක් හෝ ගොවියකු වී අලෙවි මණ්ඩලයට වී ලබාදී නොමැති බව වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව දිස්ත්‍රික් කළමනාකාර නිමල් ඒකනායක සදහන් කරයි.

ගොවීන්ගේ මෙවර යල කන්නයේ අමු සහ වියළි වී මිලදී ගැනීමට රජය මුදල් ප්‍රමාණවත් තරම් වෙන්කර තිබුණද පෞද්ගලික වෙළඳපොලේ තරගකාරී අයුරින් වෙළෙඳුන් වී මිලදී ගැනීමේ කටයුතු සිදු කරන බැවින්, ගොවීන් මණ්ඩලයට වී ලබාදීමට මැලිකමක් දක්වන බවද දිස්ත්‍රික් කළමනාකාරවරයා පවසයි.

මේ වනවිට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පෞද්ගලික වෙළඳුන් අමු නාඩු වී කිලෝවක් රුපියල් 98 ත්100 ත් අතර මිලකටත්, වියලි නාඩු කිලෝවක් 125 ත් 130 ත් අතර මිලකට ලබාගන්නා අතර ඔවුන් කුඹුරටම පැමිණ එලෙස වී ලබාගැනීම නිසා තමන් රජයේ සහතික මිලට වී රජයට ලබාදීම ප්‍රතික්ෂේප කරන බවත්, කාලය, ධනය, ප්‍රවාහන වියදම් වැය කරමින් රජයේ ගබඩාවලට වී ලබාදීම විශාල පාඩුවක් බවත් ගොවීහු සඳහන් කරයි.

මෙවර යල කන්නයේ සාර්ථක වී අස්වැන්නක් තිබුනද ප්‍රමාණවත් වී මිලක් නොමැති බව පවන ගොවීන් වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 125 ක පමණ පිරිවැයක් දැරීමට සිදුවන බව පෙන්වා දෙති. වි කිලෝවක් සඳහා අවම තරමේ රුපියල් 150 සහතික මිලක් වත් නියම කරන්නේ නම් ගොවියාට යම් ලාභයක් ලබා ගැනීමට හැකි වන බව පොළොන්නරුව ඇතුළු මහවැලි බි හා සි කලාපවල ගොවීහු පවසයි.

Add to cart