වනෝද්‍යාන ටිකට් ඔන්ලයින් හරහා!

 

වනෝද්‍යාන නැරඹීම සඳහා අවශ්‍ය ප්‍රවේශපත් අද (10) සිට අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමේ පහසුකම ආරම්භ කර ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රවේශපත් ලබා ගත හැකිය.

මෙම ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවේ, ඊයේ (9) කවුඩුල්ල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණි සංචාරකයින්ට දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදු වීමෙන් ඇති වූ අපහසුතා වළක්වාලීමේ අරමුණෙනි.

ශිෂ්‍යත්ව විභාගය අද!

 

2025 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (10) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී ආරම්භ වේ.

විභාගය පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිත අතර, අයදුම්කරුවන් 307,951ක් මේ සඳහා පෙනී සිටීමට නියමිතයි. විභාග මධ්‍යස්ථාන සූදානම් කිරීමේ සහ දුම් ගැන්වීමේ කටයුතු ඊයේ (9) අවසන් කෙරිණි.

විභාගයේදී පළමුව දෙවන ප්‍රශ්න පත්‍රය ලබා දෙන අතර, එය පෙ.ව. 10.45ට අවසන් වීමට නියමිතයි. ඉන්පසුව පැය භාගයක විවේක කාලයක් ලැබෙන අතර, පළමු ප්‍රශ්න පත්‍රය පෙ.ව. 11.15ට ආරම්භ වී ප.ව. 12.15ට අවසන් වීමට නියමිතය. ඒ අනුව, සම්පූර්ණ විභාගය ප.ව. 12.15ට අවසන් වේ.

යෞවන සමාජ අර්බුදය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක් අද!

 

හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමට සූදානම් වේ. ඔහුගේ ප්‍රකාශය වත්මන් යෞවන සමාජ සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

ජාතික තරුණ සේවා සභාව පිහිටුවීමේ පුරෝගාමියා ලෙස, වික්‍රමසිංහ මහතා මෙම ආයතනයේ මුල් අරමුණු සහ තම පාලන කාලය තුළ යෞවන සමාජ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.

කෙන්යාවේ බසයක් පෙරළීමෙන් 25 ක් මරුට!

 

නිරිතදිග කෙන්යාවේදී සිදුවූ බිහිසුණු බස් රථ අනතුරකින් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් මෙම බස් රථය, බටහිර කකාමේගා නගරයේ සිට කිසුමු නගරය දක්වා ධාවනය වෙමින් තිබියදී රියදුරුට වේගය පාලනය කරගත නොහැකිව පෙරළී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියගිය අය අතර වයස අවුරුදු 10ක දැරියක් ද සිටින බව වාර්තා වේ.

ලොස් ඇන්ජලීස් හි කැනියොන් ගින්නෙන් පදිංචිකරුවන් පීඩා!

 

එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරයේ වයඹ දෙසින් ඇති වූ දරුණු ලැව් ගින්නක් හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචිකරුවන් දහස් ගණනක් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

“කැනියොන් ගින්න” ලෙස නම් කර ඇති මෙම ලැව් ගින්න පසුගිය බ්‍රහස්පතින්දා දහවල් වෙන්දුරා සහ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තවල මායිම් ආශ්‍රිතව ඇවිළී ගොස් තිබේ. ඊයේ (08) වන විට එය අක්කර 5,400ක පමණ ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත වී ඇති බව වාර්තා වේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 400කට අධික පිරිසක් දැඩි මෙහෙයුම් දියත් කර ඇති අතර, මේ වන විට එයින් 28%ක් පමණ පාලනය කිරීමට හැකි වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේ වෙතත්, අධික උණුසුම් හා වියළි කාලගුණය හේතුවෙන් ගිනි නිවීමේ කටයුතු සංකීර්ණ වී ඇති බව බලධාරීහු පෙන්වා දෙති. ගින්න තවමත් සක්‍රීයව පවතින අතර, එය කැස්ටයික් දෙසට නැගෙනහිරට පැතිර යන බව සඳහන් වේ.

ඉදිරි දිනවලදී උෂ්ණත්වය 100°F (37.7°C) දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති බැවින්, අවට පදිංචිකරුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස දන්වා ඇත.

කැලිෆෝනියාවේ ලැව් ගිනි බහුලව ඇතිවන අතර, මේ වසරේ ජනවාරි මාසයේදී ලොස් ඇන්ජලීස් ආශ්‍රිතව ඇති වූ ගින්නකින් පුද්ගලයන් 31 දෙනෙකු මිය ගොස්, දහස් ගණනක් ගොඩනැගිලි විනාශ විය.

පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 907ක් අත්අඩංගුවට!

 

දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද විශේෂ මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා පුද්ගලයන් 907 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුමේදී අපරාධවලට සෘජුවම සම්බන්ධ පුද්ගලයන් 17ක් සහ වරෙන්තුකරුවන් 343ක් ද අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීමේ අරමුණින්, ආරක්ෂක නිලධාරීන් 6,129කට අධික සංඛ්‍යාවක් යොදාගෙන මෙම මෙහෙයුම දියත් කර ඇත.

එහිදී, පුද්ගලයන් 27,388ක්, වාහන 9,758ක් සහ යතුරුපැදි 7,509ක් පරීක්ෂාවට ලක් කර තිබේ. නීති විරෝධී ගිනි අවි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.

මෙම මෙහෙයුමේදී බීමත් රියදුරන් 58ක් අත්අඩංගුවට ගත් අතර, අපරීක්ෂාකාරී රිය ධාවනය ඇතුළු රථවාහන වැරදි 2,992ක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇත.

මීට අමතරව, බූස්ස බන්ධනාගාරයේ සිදු කළ විශේෂ සෝදිසියකදී හෙරොයින් මිලිග්‍රෑම් 11ක් සොයාගෙන තිබේ.

අගෝස්තු 8 වැනිදා තුළදී පමණක් මුළු දිවයිනෙන්ම හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 547ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 726යි මිලිග්‍රෑම් 107ක් පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.

ධම්මික එපා බිමල් ලියුමක් දාලා

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් කර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත මුදාහරින ලෙස ඉල්ලමින් ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා කැබිනට්ටුවට විශේෂ පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

ඊට අදාළව කැබිනට් ලේකම් කාර්යාලය විසින්ම නීතිපතිවරයාගේ උපදෙස් පතන ලද අතර නීතිපතිවරයා ද අදාළ ක්‍රියාමාර්ගය අනුමත කරමින් උපදෙස් දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පරිපාලන දුර්වලතා සහ මෙහෙයුම් කටයුතුවලදී දිගින් දිගටම සිදුවන අකාර්යක්ෂමතා හේතුවෙන් නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයකු පත් කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා තීරණය කර ඇතැයි දැනගන්නට තිබේ.

 

කවුඩුල්ල ජාතික වනෝද්‍යානය බලන්න දිගු පෝලිමක්!

 

දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රධාන ආකර්ෂණයක් වන කවුඩුල්ල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන පිරිස්, ප්‍රවේශපත් ලබාගැනීමේදී දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වේ.

විශාල සංචාරක පිරිසක් පැමිණියද, ප්‍රවේශපත් නිකුත් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් පැය ගණනාවක් දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇත. අගෝස්තු නිවාඩු සමය සහ විදෙස් සංචාරකයන් වැඩි වශයෙන් පැමිණීම නිසා මෙම තත්ත්වය උග්‍ර වී තිබේ.

මෙම ප්‍රමාදය නිසා සතුන් නැරඹීමට ඇති හොඳම අවස්ථා මගහැරෙන බවට සංචාරකයන් සහ මඟ පෙන්වන්නන් චෝදනා කරයි. ප්‍රවේශපත් නිකුත් කිරීමට සීමිත නිලධාරීන් පිරිසක් පමණක් සිටීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බව සඳහන් වේ.

තාක්ෂණය දියුණු මේ යුගයේ මාර්ගගත ක්‍රමවේදයක් (online system) මගින් ප්‍රවේශපත් නිකුත් කිරීමට කටයුතු කර, සංචාරකයන්ට අපහසුවකින් තොරව වනෝද්‍යානය නැරඹීමට අවස්ථාව සලසා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. මෙවැනි ගැටලු නිසා මෙරට සංචාරක කර්මාන්තයට ලැබිය හැකි විදේශ විනිමය අහිමිවන බව ද බොහෝ දෙනාගේ මතයයි.

වසරේ මුල් මාස පහේදී අඩු වයස් දැරියන් 32ක් ගැබ්ගෙන!

 

මෙම වසරේ (2025) මුල් මාස පහක කාලය තුළදී පමණක් ලිංගික අතවරවලට ලක්වූ වයස අවුරුදු 18ට අඩු දැරියන් 32 දෙනකු ගැබ්ගෙන ඇති බව ජාතික ළමාරක්ෂණ අධිකාරිය නිකුත් කළ වාර්තාවක් මගින් හෙළි කරයි.

මෙම දත්තවලට අනුව, අඩු වයසින් ගැබ් ගැනීම් පසුගිය වසරවලට වඩා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. 2023 වසරේදී මෙවැනි ගැබ් ගැනීම් 11ක් වාර්තා වූ අතර, 2024 වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ එම සංඛ්‍යාව 21ක් විය.

මෙම සංඛ්‍යාවලට නීතිවිරෝධී ගබ්සා කිරීම් පිළිබඳ තොරතුරු ඇතුළත් නොවන අතර, වාර්තා වූ සිදුවීම් පමණක් මෙයට ඇතුළත් වේ.

ජාතික ළමාරක්ෂණ අධිකාරියේ වාර්තාවට අනුව, මෙම වසරේ මුල් මාස පහ තුළදී ස්ත්‍රී දූෂණ සිදුවීම් 22ක්, අන්තර්ජාලය ඔස්සේ ඡායාරූප බෙදා හැරීමේ සිදුවීම් 63ක්, ලිංගික අතවර කිරීමට තැත් කිරීම් 216ක් සහ කණ්ඩායම් වශයෙන් දූෂණයට ලක් කිරීම් 85ක් වාර්තා වී තිබේ.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ, ප්‍රමුඛ පෙළේ පාසල් සිසුවියන් අතර පවා අඩු වයසින් ගැබ් ගැනීම සුලබ වී ඇති බවයි. ඔහු මෙයට හේතු ලෙස දක්වන්නේ:

පාසල් පද්ධතිය තුළ නිසි ලිංගික අධ්‍යාපන වැඩසටහන් නොමැති වීම.

ගුරුවරුන්, දෙමාපියන් සහ දරුවන් අතර ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින පරතරය.

කුඩා දැරියන් සහ තරුණියන් මෙවැනි තත්ත්වයන්ට ගොදුරු වන්නේ බොහෝ විට හිතවත් ඥාතීන් හෝ පෙම්වතුන් හරහා බවද ඔහු පවසයි. එවැනි තත්ත්වයන්ට පත්වන දැරියන් රැකබලා ගැනීම සඳහා සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.

ප්‍රවීණ අභ්‍යවකාශගාමී ජිම් ලොවෙල් දිවි ගමනට සමුදෙයි!

ලොව විශිෂ්ටතම අභ්‍යවකාශගාමීන්ගෙන් අයෙකු ලෙස සැලකෙන, ඇමරිකානු ජාතික ජිම් ලොවෙල් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 97 වන වියේ පසුවිය.

1928 වසරේ උපත ලද ජිම් ලොවෙල්, අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයකි.

1968 වසරේ සිදුකළ ඇපලෝ 8 මෙහෙයුම යටතේ සඳ වටා කක්ෂගත වූ පළමු ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයෙකු වූ ඔහු, 1970 වසරේ සිදු වූ ඇපලෝ 13 චන්ද්‍ර මෙහෙයුමේ ප්‍රධානියා ලෙසද කටයුතු කළේය.

ඔහු දෙවරක් සඳ වෙත ගමන් කළ පළමු පුද්ගලයා වූ නමුත්, කිසිදු අවස්ථාවක සඳ මතට ගොඩබැස නැත. එසේම, හතර වතාවක් අභ්‍යවකාශයට ගිය පළමු ගගනගාමියා ලෙස ද ඔහු ඉතිහාසයට එක් වී සිටී.

Add to cart