ප්‍රවීණ අභ්‍යවකාශගාමී ජිම් ලොවෙල් දිවි ගමනට සමුදෙයි!

ලොව විශිෂ්ටතම අභ්‍යවකාශගාමීන්ගෙන් අයෙකු ලෙස සැලකෙන, ඇමරිකානු ජාතික ජිම් ලොවෙල් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 97 වන වියේ පසුවිය.

1928 වසරේ උපත ලද ජිම් ලොවෙල්, අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයකි.

1968 වසරේ සිදුකළ ඇපලෝ 8 මෙහෙයුම යටතේ සඳ වටා කක්ෂගත වූ පළමු ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයෙකු වූ ඔහු, 1970 වසරේ සිදු වූ ඇපලෝ 13 චන්ද්‍ර මෙහෙයුමේ ප්‍රධානියා ලෙසද කටයුතු කළේය.

ඔහු දෙවරක් සඳ වෙත ගමන් කළ පළමු පුද්ගලයා වූ නමුත්, කිසිදු අවස්ථාවක සඳ මතට ගොඩබැස නැත. එසේම, හතර වතාවක් අභ්‍යවකාශයට ගිය පළමු ගගනගාමියා ලෙස ද ඔහු ඉතිහාසයට එක් වී සිටී.

හදිසි වෛද්‍ය ප්‍රතිකාර සේවා පුළුල් කෙරේ!

 

හදිසි වෛද්‍ය ප්‍රතිකාර සේවාවන් රෝහල්වලට පමණක් සීමා නොකර, සියලු ජනතාව කේන්ද්‍ර කර ගනිමින් පුළුල් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ (SLCEP) වාර්ෂික අධ්‍යයන සම්මේලනයට කොළඹ ගලධාරි හෝටලයේදී සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“හදිසි ප්‍රතිකාර සේවාවන් අවශ්‍යතාව ඇති සෑම ස්ථානයකටම ව්‍යාප්ත විය යුතුයි. එම සේවා කටයුතු රෝහල්වලදී ලැබෙන නිශ්චිත ප්‍රතිකාර දක්වා බාධාවකින් තොරව ඉදිරියට යා යුතුයි” යනුවෙන් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස, හදිසි ප්‍රතිකාර සේවාවන්හි ව්‍යාප්තිය පිළිබඳව අවධානය යොමු කර ඇති බව ද ඔහු පැවසීය.

ප්‍රබල සාක්ෂි තිබියදීත් ටිරාන් නිදැල්ලේ අනුර මොකද බය ද?

2020 මහ මැතිවරණයේදී අපේ ජනබල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක සිද්ධිය, හිටපු අමාත්‍යවරයෙකු වූ ටිරාන් අලස් පිළිබඳ රජයේ නිහැඬියාව සහ ප්‍රසිද්ධ දේශපාලන භික්ෂුවක් වන රතන හිමි හේතුවෙන් නැවතත් කරළියට පැමිණ තිබේ. මෙම සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබියදීත්, ටිරාන් අලස්ට එරෙහිව කිසිදු නීතිමය පියවරක් නොගැනීම පිළිබඳව සමාජය තුළ ප්‍රබල ප්‍රශ්න කිරීමක් සිදුවෙමින් පවතී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණුවලට අනුව, එවකට අපේ ජනබල පක්ෂයේ මහලේකම් වූ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් හිස් ලියකියවිලිවලට අත්සන් ලබාගැනීම සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වී ඇත. මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක පිට දැනටමත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. රතන හිමියන් ද අත්අඩංගුවට ගැනීමට සොයන බව පැවසේ.

මෙහිදී පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් විසින් සිදු කරන ලද බරපතල ප්‍රකාශයක් වන්නේ, එවකට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් තමන්ව ටිරාන් අලස්ගේ නිවසට රැගෙන ගිය බවයි. එමෙන්ම, තමන්ව මරණයට පත් කිරීම සඳහා කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට භාර දුන් බවට ද උන්වහන්සේ චෝදනා කර ඇත.

මෙම සිද්ධියේ ප්‍රධාන චූදිතයා ලෙස සැලකෙන පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී අතුරුදහන් වීමෙන් මේ සිද්ධිය තවදුරටත් සංකීර්ණ වී ඇත. පොලිස් වාර්තා සඳහන් කරන්නේ රතන හිමියන් හිතාමතාම සැඟවී සිටින බවයි.

මෙම නඩුවේ ඉදිරි විමර්ශන සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිතය. එහෙත්, මෙම සිදුවීමේදී වඩාත්ම බලපෑම් කළ පුද්ගලයෙකු ලෙස සඳහන් වන හිටපු පොලිස් ඇමති ටිරාන් අලස් සම්බන්ධයෙන් රජය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම සැකයට භාජනය වී ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ ටිරාන් අලස් අතර ඇති සමීප සම්බන්ධතා හේතුවෙන් අලස්ව මෙම චෝදනාවලින් මුදා ගැනීමට රජය උත්සාහ කරන බවට කසුකුසුවක් පැතිර යයි. චෝදනා සියල්ල අතුරලියේ රතන හිමි සහ ඔහුගේ රියදුරා වෙත පැවරීමට රජය උත්සාහ කරන බවට ද මත පළ වේ.

මෙම සිද්ධිය ශ්‍රී ලංකාවේ දේශපාලනයේ සහ ආගමේ පවතින ගැටලුකාරී ස්වභාවය නැවත වරක් ඉස්මතු කර ඇත. රටේ නීතිය සියලු දෙනාටම සමාන ලෙස ක්‍රියාත්මක විය යුතු බවට දැඩි මතයක් ජනතාව අතර පවතී.

විශේෂයෙන්ම, මෙම බරපතල සිදුවීමට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු අතර, ටිරාන් අලස් වැනි ප්‍රබල චරිතයක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ පවතින නිහැඬියාව පිළිබඳව ප්‍රශ්න කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. මෙම නඩුව ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්ථාපිතය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය

බොරැල්ල වෙඩි තැබීමට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට!

 

බොරැල්ල සහස්පුර ක්‍රීඩාංගණයේදී පසුගියදා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අද (09) පෙරවරුවේ අත්අඩංගුවට ගත් මෙම සැකකරු, බොරැල්ල ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

මීට පෙර, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ක්‍රීඩාංගණයක සැරසිලි කරමින් සිටි තරුණයින් පිරිසකට වෙඩි තබා පලා ගොස් තිබුණි. මෙම සිද්ධියෙන් තරුණයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ අතර, 28 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ජීවිතක්ෂයට පත් විය.

තුවාල ලැබූ තවත් තිදෙනෙකු මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ලබයි.

ඇසළ පෙරහැර හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්!

 

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දහවල් පෙරහැර අද (09) දින සවස 2.16ට යෙදෙන සුබ නැකතින් අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරයෙන් පිටත්ව යාමට නියමිතය.

මේ හේතුවෙන්, පෙරහැර ගමන් කරන මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය දැනුම් දෙයි. රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

ජර්මනිය ඊශ්‍රායලයට ආයුධ සැපයීම අත්හිටුවයි

ඊශ්‍රායලයට ආයුධ අපනයනය කිරීම ජර්මනිය විසින් අත්හිටුවන බව චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් පවසා තිබේ.

චාන්සලර්වරයා සඳහන් කර ඇත්තේ ඒ අනුව නැවත දැනුම් දෙන තුරු ගාසා තීරයේ භාවිත කළ හැකි කිසිදු හමුදා උපකරණ ඊශ්‍රායලයට අපනයනය කිරීමට තම රජය අනුමැතිය ලබා නොදෙන බවයි.

ඊශ්‍රායල හමුදා සැලැස්ම නීත්‍යානුකූල අරමුණු සාක්ෂාත් කර ගැනීම උපකාරි වන්නේ කෙසේද යන්න පැහැදිලි කර ගැනීම මේ වන විට දුෂ්කර වී ඇති බවත් මෙම තත්ත්වයන් යටතේ නැවත දැනුම් දෙන තුරු ගාසා තීරයේ භාවිත කළ හැකි කිසිදු හමුදා උපකරණයක් ඊශ්‍රායලයට අපනයනය කිරීම ජර්මානු රජය අවසර ලබා නොදෙන බවත් ඔහු පවසා තිබේ.

විදෙස් මාධ්‍ය මේ සම්බන්ධව වාර්තා කර ඇත්තේ ඊශ්‍රායලයට ආයුද සපයන විශාලතම අවි සැපයුම්කරුවන්ගෙන් ජර්මනිය එක් රටක් වන බවත් එක්සත් ජනපදයෙන් පසු දෙවන විශාලතම අවි සපයන්නා ජර්මනිය වන බවත්ය.

ගාසා නගරයේ පාලනය අත්පත් කර ගැනීමේ ඊශ්‍රායල අනුමත සැලැසුම් පිළිබඳව මේ වන විට ලොව රටවල් කිහිපයකින් විරෝධතා මතුව ඇති අතර එරට පුරවැසියන්ද මේ සම්බන්ධව විරෝධය දක්වා තිබුණි.

එමෙන්ම ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර තවදුරටත් තීව්‍ර කිරීමේ තීරණය වැරදි සහගත බවත් මේ සම්බන්දව නැවත සලකා බලන ලෙස එක්සත් ජනපද අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇත.

එක්සත් ජනපද මානව හිමිකම් වෝල්කර් ටර්ක් අනතුරු අඟවා ඇත්තේ ප්‍රහාර තවදුරටත් උග්‍ර වන්නේ නම් අවතැන්වීම්, ඝාතන මෙන්ම දරාගත නොහැකි දුක් වේදනා ඉහළ යා හැකි බවයි.

විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගෙන් විශ්‍රාම වැටුප් කපා හැරීමට විරෝධය!

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ලබන සතියේ සිට දැවැන්ත විරෝධතාවක් ආරම්භ කිරීමට විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව තීරණය කර තිබේ.

මෙම තීරණයට එරෙහිව එම එකමුතුව පසුගිය සතියේදී ජාත්‍යන්තර සංවිධාන තුනක් වන ජිනීවා මානව හිමිකම් සංවිධානය, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, සහ යුරෝපා පාර්ලිමේන්තු සංගමය වෙත මෙන්ම අසල්වැසි ඉන්දීය රජයට ද පැමිණිලි කර ඇත. තවද, ඔවුන්ගේ ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ද ලිපියක් යොමු කර තිබේ.

විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවේ ලේකම්, හිටපු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා පවසන්නේ, මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් බවයි. “රජය හිටපු ජනාධිපතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදවලට අත තැබීමෙන් පසු මීළඟට අත තබන්නේ රාජ්‍ය සේවකයන්ටයි” යනුවෙන් ඔහු සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, විශ්‍රාම වැටුප අහෝසි කළහොත් අධිකරණයට යන බවත්, අතීතයට බලපැවැත්වෙන පරිදි නීති සම්මත කළ නොහැකි බවට ඇති නීතිමය කාරණය පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බවත්ය.

මේ අතර, හිටපු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ද විශ්‍රාම වැටුප අහෝසි කළහොත්, පක්ෂය විසින් ඔවුන්ගෙන් ලබාගත් මන්ත්‍රී වැටුප ඉල්ලා අධිකරණයට යෑමට තීරණය කර ඇත. හිටපු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා මේ සම්බන්ධයෙන් දැඩි ලෙස අදහස් දක්වමින් කියා සිටියේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට උත්සාහ කළහොත් මරාගෙන මැරෙන්නට වුවද සූදානම් බවයි.

මෙම ගැටලුව ඇති වූයේ පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මන්ත්‍රී විශ්‍රාම වැටුපද කපා හරින බවට ප්‍රකාශ කිරීමෙන් පසුවය.

හරිනිගේ රොකට් එක මිසයිලයක් වේ

සුප්‍රීම් සැට් චන්ද්‍රිකා සන්නිවේදන ව්‍යාපෘතියෙන් උපයාගත් ආදායම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වෙත ලබා දුන් දත්තවල නිරවද්‍යතාව පිළිබඳ විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග වාර්තා කරයි.

ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු විසින් මෙම තොරතුර තහවුරු කර ඇති අතර, අදාළ ව්‍යාපෘතිය පිළිබඳව ආයෝජන මණ්ඩලය විසින් අග්‍රාමාත්‍යවරියට සපයන ලද දත්ත අසත්‍ය බවත්, ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

2012 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතියෙන් 2015 සිට 2023 දක්වා කාලය තුළ රුපියල් මිලියන 343,909ක ආදායමක් උපයා ඇති බවත්, ඒ සඳහා රජයෙන් කිසිදු මූල්‍ය ආයෝජනයක් සිදු කර නොමැති බවත් අග්‍රාමාත්‍යවරිය පසුගිය අගෝස්තු 6 වැනි දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

කෙසේ වෙතත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊට පසු දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, අදාළ චන්ද්‍රිකා සන්නිවේදන ව්‍යාපෘතියේ ආදායම් සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය විසින් අග්‍රාමාත්‍යවරියට වැරදි තොරතුරු සපයා ඇති බවයි.

අග්‍රාමාත්‍යවරියගේ ප්‍රකාශයේදී දශමස්ථාන වැරදීමකින් මඟ හැරීම නිසා සංඛ්‍යාවන් පිළිබඳ වැරදි අදහසක් ඉදිරිපත් වූවාද යන්න පිළිබඳව මේ වන විට රජය තුළ කසුකුසුවක් පැතිරෙමින් පවතී. මන්ද, අමාත්‍ය සමරසිංහ මහතා පසු දින ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛනවලට අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළ සංඛ්‍යාවන්ගේ දශමස්ථාන වෙනස් කිරීමෙන් පසුව කියැවෙන ආකාරය සමාන වීමයි.

නව පොලිස්පති ධූරය පුරවන්න සභාවාරයක් ලබන 12 වෙනිදා!

 

ශ්‍රී ලංකාවේ නව පොලිස්පතිවරයා පත් කිරීම සඳහා වන තීරණයක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන අඟහරුවාදා (12) නැවත රැස්වීමට නියමිතය.

පොලිස්පති ධුරය සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම ජනාධිපතිවරයා විසින් දැනටමත් ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර ඇත. මෙම නම සලකා බැලීම සඳහා පසුගිය 7 වැනිදා රැස්වුවද, සාමාජිකයන්ගේ පැමිණීමේ ගැටලුවක් හේතුවෙන් අවසන් තීරණයක් ගැනීමට නොහැකි වූ බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මීට පෙර, පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාවකට අනුව, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ජනාධිපතිවරයා විසින් එම ධුරයෙන් ඉවත් කරන ලදී. ඉන් පසුව, 2024 සැප්තැම්බර් 27 වැනිදා ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පති ලෙස පත් කෙරිණි.

මීට පෙර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හය දෙනෙක් පොලිස්පති ධුරය සඳහා ප්‍රයත්නයක නිරත වූ බව ද වාර්තා විය.

කළුතර ප්‍රාදේශීය සභාවේ කෝටි විසි ලක්ෂයක සේවක වැටුප් වංචාවක්!

 

කළුතර ප්‍රාදේශීය සභාවේ සේවක වැටුප්වලින් වසර හතරක පමණ කාලයක් තිස්සේ රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීමේ චෝදනාව මත හිටපු කාර්ය භාර නිලධාරිනියක් සහ රියදුරෙක් අත්අඩංගුවට ගත් බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 45ක් වන කළුතර, බෝඹුවල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර, සැකකාර රියදුරු වයස අවුරුදු 54ක් වන වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කළුතර ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසුව මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Add to cart