විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගෙන් විශ්‍රාම වැටුප් කපා හැරීමට විරෝධය!

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ලබන සතියේ සිට දැවැන්ත විරෝධතාවක් ආරම්භ කිරීමට විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව තීරණය කර තිබේ.

මෙම තීරණයට එරෙහිව එම එකමුතුව පසුගිය සතියේදී ජාත්‍යන්තර සංවිධාන තුනක් වන ජිනීවා මානව හිමිකම් සංවිධානය, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, සහ යුරෝපා පාර්ලිමේන්තු සංගමය වෙත මෙන්ම අසල්වැසි ඉන්දීය රජයට ද පැමිණිලි කර ඇත. තවද, ඔවුන්ගේ ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ද ලිපියක් යොමු කර තිබේ.

විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවේ ලේකම්, හිටපු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා පවසන්නේ, මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් බවයි. “රජය හිටපු ජනාධිපතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදවලට අත තැබීමෙන් පසු මීළඟට අත තබන්නේ රාජ්‍ය සේවකයන්ටයි” යනුවෙන් ඔහු සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, විශ්‍රාම වැටුප අහෝසි කළහොත් අධිකරණයට යන බවත්, අතීතයට බලපැවැත්වෙන පරිදි නීති සම්මත කළ නොහැකි බවට ඇති නීතිමය කාරණය පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බවත්ය.

මේ අතර, හිටපු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ද විශ්‍රාම වැටුප අහෝසි කළහොත්, පක්ෂය විසින් ඔවුන්ගෙන් ලබාගත් මන්ත්‍රී වැටුප ඉල්ලා අධිකරණයට යෑමට තීරණය කර ඇත. හිටපු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතා මේ සම්බන්ධයෙන් දැඩි ලෙස අදහස් දක්වමින් කියා සිටියේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට උත්සාහ කළහොත් මරාගෙන මැරෙන්නට වුවද සූදානම් බවයි.

මෙම ගැටලුව ඇති වූයේ පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මන්ත්‍රී විශ්‍රාම වැටුපද කපා හරින බවට ප්‍රකාශ කිරීමෙන් පසුවය.

හරිනිගේ රොකට් එක මිසයිලයක් වේ

සුප්‍රීම් සැට් චන්ද්‍රිකා සන්නිවේදන ව්‍යාපෘතියෙන් උපයාගත් ආදායම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වෙත ලබා දුන් දත්තවල නිරවද්‍යතාව පිළිබඳ විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග වාර්තා කරයි.

ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු විසින් මෙම තොරතුර තහවුරු කර ඇති අතර, අදාළ ව්‍යාපෘතිය පිළිබඳව ආයෝජන මණ්ඩලය විසින් අග්‍රාමාත්‍යවරියට සපයන ලද දත්ත අසත්‍ය බවත්, ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

2012 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතියෙන් 2015 සිට 2023 දක්වා කාලය තුළ රුපියල් මිලියන 343,909ක ආදායමක් උපයා ඇති බවත්, ඒ සඳහා රජයෙන් කිසිදු මූල්‍ය ආයෝජනයක් සිදු කර නොමැති බවත් අග්‍රාමාත්‍යවරිය පසුගිය අගෝස්තු 6 වැනි දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

කෙසේ වෙතත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊට පසු දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, අදාළ චන්ද්‍රිකා සන්නිවේදන ව්‍යාපෘතියේ ආදායම් සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය විසින් අග්‍රාමාත්‍යවරියට වැරදි තොරතුරු සපයා ඇති බවයි.

අග්‍රාමාත්‍යවරියගේ ප්‍රකාශයේදී දශමස්ථාන වැරදීමකින් මඟ හැරීම නිසා සංඛ්‍යාවන් පිළිබඳ වැරදි අදහසක් ඉදිරිපත් වූවාද යන්න පිළිබඳව මේ වන විට රජය තුළ කසුකුසුවක් පැතිරෙමින් පවතී. මන්ද, අමාත්‍ය සමරසිංහ මහතා පසු දින ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛනවලට අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළ සංඛ්‍යාවන්ගේ දශමස්ථාන වෙනස් කිරීමෙන් පසුව කියැවෙන ආකාරය සමාන වීමයි.

නව පොලිස්පති ධූරය පුරවන්න සභාවාරයක් ලබන 12 වෙනිදා!

 

ශ්‍රී ලංකාවේ නව පොලිස්පතිවරයා පත් කිරීම සඳහා වන තීරණයක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන අඟහරුවාදා (12) නැවත රැස්වීමට නියමිතය.

පොලිස්පති ධුරය සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම ජනාධිපතිවරයා විසින් දැනටමත් ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර ඇත. මෙම නම සලකා බැලීම සඳහා පසුගිය 7 වැනිදා රැස්වුවද, සාමාජිකයන්ගේ පැමිණීමේ ගැටලුවක් හේතුවෙන් අවසන් තීරණයක් ගැනීමට නොහැකි වූ බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මීට පෙර, පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාවකට අනුව, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ජනාධිපතිවරයා විසින් එම ධුරයෙන් ඉවත් කරන ලදී. ඉන් පසුව, 2024 සැප්තැම්බර් 27 වැනිදා ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පති ලෙස පත් කෙරිණි.

මීට පෙර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හය දෙනෙක් පොලිස්පති ධුරය සඳහා ප්‍රයත්නයක නිරත වූ බව ද වාර්තා විය.

කළුතර ප්‍රාදේශීය සභාවේ කෝටි විසි ලක්ෂයක සේවක වැටුප් වංචාවක්!

 

කළුතර ප්‍රාදේශීය සභාවේ සේවක වැටුප්වලින් වසර හතරක පමණ කාලයක් තිස්සේ රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීමේ චෝදනාව මත හිටපු කාර්ය භාර නිලධාරිනියක් සහ රියදුරෙක් අත්අඩංගුවට ගත් බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 45ක් වන කළුතර, බෝඹුවල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර, සැකකාර රියදුරු වයස අවුරුදු 54ක් වන වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කළුතර ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසුව මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඊශ්‍රායලය ගැන ලංකාව කනස්සල්ලෙන්

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පාලනය අත්පත් කරගැනීමට ගත් තීරණය ගැන ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළකරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

එම තීරණය ගාසා තීරයේ තවදුරටත් ප්‍රචණ්ඩත්වය වර්ධනයවීමට සහ එම ප්‍රදේශයේ සිටින ජනතාවගේ දුක් වේදනා තවදුරටත් උග්‍ර කිරීමට හේතු වනු ඇති බව එහි දැක්වේ.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව වහාම සටන් විරාමයක් ඉල්ලා සිටින බවත්, රාජ්‍ය තාන්ත්‍රික සංවාදයක් හරහා සියලු පාර්ශවයන්ට සිය මතභේදයන් විසදා ගන්නා ලෙසත්, තිරසාර සාමයක් ස්ථාපිත කිරීම සඳහා යොමුවන ලෙසත් ද එම නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත්කළ නිවේදනය

රනිල්ගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

ජාතික තරුණ සේවා සභාවේ සහ යෞවන සමාජවල උද්ගතව ඇති අර්බුදය පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට හමුවේ ඉරිදා (අගෝ. 10) විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.

තරුණ සේවා සභාව ගොඩනැඟූ අතීතය, ඊට බලපෑ හේතු, මේ දක්වා එම ආයතනය පවත්වාගෙන ආ ආකාරය මෙන් ම එමගින් රටේ තරුණ පරපුරට ඉටුවූ සේවය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා පැහැදිලි කිරීමක් සිදුකරනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේ ය.

“යෞවන සමාජ බලමණ්ඩල” පිහිටුවීමේදී දේශපාලනික මැදිහත්වීම් සිදුවී ඇතැයි ගෙවුණු සතියේදී රනිල් වික්‍රමසිංහ හමුවූ හිටපු මැති-ඇමතිවරුන්, දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, භික්ෂුන් වහන්සේ ඇතුළු විවිධ පාර්ශ්ව පෙන්වා දුන් බව ද ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

රනිල් වික්‍රමසිංහ ජාතික තරුණ සේවා සභාවේ නිර්මාතෘවරයා මෙන් ම එහි අරමුණු හොඳින්ම දන්නා පුද්ගලයා වන බැවින් තවදුරටත් උපේක්ෂාවෙන් හා නිහඬව බලා නොසිටින ලෙසත්, මෙම ගැටලුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ ස්ථාවරය රට හමුවේ ඉදිරිපත් කරන ලෙසත් එම පාර්ශ්ව ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව, හිටපු ජනාධිපතිවරයා සිය කාර්ය මණ්ඩලය කැඳවා දැනුම් දී ඇත්තේ, හෙට එම ප්‍රකාශය සිදුකිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස ය.

නිල විදේශ සංචිත ඩොලර් මිලියන 6,144ක්

ගෙවුණු (2025) ජූලි මාසය අවසානයේදී දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,144ක් ලෙස වාර්තා වේ. මෙම ප්‍රමාණය පෙර මාසයට වඩා ඩොලර් මිලියන 63කින් වැඩියි. වර්ෂාවසාන සංචිත ඉලක්කය ඩොලර් මිලියන 7,255කි.

වාහන ආනයන පුරෝකථන ඉක්මවා ඉහළ යමින් තිබීම රජයේ බදු ආදායම් ඉලක්ක ලඟා කරගැනීම කෙරෙහි හිතකර ලෙස බලපා ඇතත්, විදේශ සංචිත එකතු කර ගැනීම වඩා අසීරු කර ඇත.

දහම් පාසල් විභාග ජාතික සුදුසුකම් බවට පත් කිරීමට පියවර!

 

දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය විභාග ජාතික සුදුසුකම් ලෙස පිළිගැනීමට පියවර ගන්නා බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසයි. ඒ සඳහා අධ්‍යාපන කොමිෂන් සභාවෙන් ඉල්ලීම් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

මෙම පියවර ගනු ලබන්නේ දහම් පාසල් අධ්‍යාපනය සඳහා සිසුන් වැඩි වශයෙන් යොමු කිරීමේ අරමුණිනි. නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඇතැම් ආයතනවල රැකියා සඳහා බඳවා ගැනීමේදී මෙම විභාග සහතිකවලට නිසි පිළිගැනීමක් නොලැබීම නිසා සිසුන්ගේ දහම් පාසල් අධ්‍යාපනය කෙරෙහි ඇති උනන්දුව අඩුවී ඇති බවයි.

දැනට මෙරට පාසල් 10,096ක සිසුන් ලක්ෂ 40කට අධික සංඛ්‍යාවක් සිටියත්, දහම් පාසල් 10,647ක් පැවතියද, දහම් පාසල් අධ්‍යාපනය ලබන්නේ සිසුන් ලක්ෂ 18ක් පමණි. මේ අනුව, සිසුන් ලක්ෂ 22ක් පමණ දහම් පාසල් අධ්‍යාපනයට යොමු වී නොමැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ලෝක ආදිවාසී දිනය අද යි

ලෝක ආදිවාසී දිනය අදට යෙදී තිබේ.

1982 වසරේදී ජිනීවාහි පැවති ආදිවාසී ජනතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ පළමු රැස්වීමේදී සෑම වසරකම අද දිනය ලෝක ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය ලෙස නම් කෙරුණි.

ලෝකයේ රටවල් 90ක් පුරා ආදිවාසී ජනතාව මිලියන 476ක් ජීවත් වන බවට ඇස්තමේන්තු කර තිබේ.

ඔවුන් ලෝක ජනගහනයෙන් සියයට 6 කටත් වඩා අඩු ප්‍රමාණයක් වන නමුත් අවම වශයෙන් දුප්පත්ම අයගෙන් සියයට 15ක් නියෝජනය කරයි.

මෙම පිරිස ලෝකයේ ඇස්තමේන්තුගත භාෂා 7,000න් අති බහුතරයක් කතා කරන අතර විවිධ සංස්කෘතීන් 5,000ක් නියෝජනය කරන බවයි ජගත් සංවිධානය පවසයි.

ජනප්‍රිය අංක සඳහා ඉහළ ඉල්ලුමක්!

 

වාහන ආනයනය වැඩිවීමත් සමඟම වාහන ලියාපදිංචියේදී ජනප්‍රිය අංක ලබාගැනීම සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. දැනට, රුපියල් ලක්ෂ දහයක් ගෙවා ලබාගත හැකි “සුපිරි අංක” පමණක් ඉතිරිව ඇති බව වාර්තා වේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතාට අනුව, බොහෝ පිරිස් සාමාන්‍ය අනුපිළිවෙළට නොමිලේ ලැබෙන අංක වෙනුවට, මුදල් ගෙවා තමන් කැමති ජයග්‍රාහී හෝ ආකර්ෂණීය අංක ලබා ගැනීමට පෙළඹී සිටිති.

මේ සඳහා විවිධ අංක කාණ්ඩවලට ගෙවිය යුතු මුදල් මෙසේය:

1 සිට 999 දක්වා: රුපියල් ලක්ෂ 1

1000 සිට 1999 දක්වා: රුපියල් ලක්ෂ 2

2000 සිට 2999 දක්වා: රුපියල් ලක්ෂ 3

3000 සිට 3999 දක්වා: රුපියල් ලක්ෂ 4

4000 සිට 4999 දක්වා: රුපියල් ලක්ෂ 5

5000 සිට 9999 දක්වා: රුපියල් ලක්ෂ 10

ජනප්‍රිය අංක සඳහා පවතින ඉහළ ඉල්ලුම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ආදායම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. පසුගිය දිනකදී පමණක් මුළු ආදායම රුපියල් කෝටි දහයක් වූ බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

Add to cart