ඇමරිකාව එපා කියද්දී ඉන්දියාවෙන් රුසියාවට

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සතියේදී ප්‍රකාශ කළේ, ඉන්දියාව විසින් රුසියානු ඉන්ධන මිලදී ගනිමින් එරට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන බවත්, එම හේතුව නිසා ඉන්දියාවට එරෙහිව දැඩි තීරුබදු පනවන බවත්ය.
නමුත්, එම අනතුරු ඇඟවීම් නොතකා ඉන්දියාව විසින් රුසියානු ඉන්ධන මිලදී ගැනීම තවදුරටත් කරගෙන යාමට කටයුතු කර තිබේ. මෙවන් තත්ත්වයක් තුළ වුවද ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් රුසියාවට නිල සංචාරයක් ආරම්භ කර ඇති අතර, ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයශංකර්ද ලබන මාසයේදී රුසියාවට සංචාරය කිරීමට නියමිතව ඇත.

සාගලට පැටලෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්ය මණ්ඩල ප්‍රධානීව කටයුතු කල සාගල රත්නායක ප්‍රකාශයක් ලබාදීම සදහා අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධූරය දරණ කාලයේ සිදුකල විදෙස් සංචාරයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීම සදහායි.

කෙසේ වෙතත් සාගල රත්නායක මහතා මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිමට පෙර වැරදිමකින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ගොස් තිබුණි.

 

යතුරුපැදි පෙරමුණේ රැඳෙමින් වාහන ලිපදිංචිය ඉහළට!

 

මේ වසරේ ගත වූ කාලය තුළ වාහන ලියාපදිංචිය ඉහළ ගොස් ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, වාහන එක් ලක්ෂ 33,678ක් ලියාපදිංචි කර තිබේ.

මෙලෙස ලියාපදිංචි කර ඇති වාහන අතරින් වැඩිම සංඛ්‍යාවක් යතුරුපැදි වන අතර, එම සංඛ්‍යාව එක් ලක්ෂ 451ක් ලෙස දැක්වේ.

මීට අමතරව, මෝටර් රථ 20,535ක්, ත්‍රිරෝද රථ 3,293ක් සහ ද්විත්ව කාර්ය වාහන 1,995ක් ද අදාළ කාලය තුළ ලියාපදිංචි කර ඇත.

රජය විසින් වාහන ආනයනය සඳහා අවසර දීම මෙම ලියාපදිංචි සංඛ්‍යාව ඉහළ යෑමට ප්‍රධාන හේතුව බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගත් අයෙක් රක්වානේදී පොලිස් දැලේ!

 

පුපුරණ ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි 78 හැවිරිදි පුද්ගලයකු රක්වාන, මැදගංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

උඩවලව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු සතුව තිබී කොඩයිට් කිලෝ 3ක්, ඇමෝනියෝ කිලෝ 9කට වැඩි ප්‍රමාණයක්, වෝටර් ජෙල් කුරු 15ක්, ඩෙටනේටර් 28ක් සහ සේවා නූල් අඩි 22ක් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා රක්වාන ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

COPA සභාපති අස්වෙයි

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති ධුරයෙන් ඉල්ලා අස්වේ.

අද (06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශක් සිදුකරමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කලා.

වත්තල ඝාතනයේ සිද්ධියට තිදෙනෙකු ඇතුලේ

වත්තල, හේකිත්ත, අල්විස්වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට මාරාන්තික ලෙස පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මුතුවල් සහ වත්තල ප්‍රදේශයේ සිදු කරන ලද සම්බන්ධීකරණ මෙහෙයුම් වලදී වයස අවුරුදු 17, 25 සහ 27 යන වයස්වල පසුවන සැකකරුවන් තිදෙනෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් තිදෙනාම කොළඹ 15 සහ වත්තල පදිංචිකරුවන් වන අතර, අපරාධය සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා භාවිතා කළ බවට විශ්වාස කෙරෙන ජංගම දුරකථන දෙකක්ද විමර්ශකයින් විසින් සොයා ගෙන තිබේ.
මෙම ඝාතන සිද්ධිය පසුගිය ජූලි මස19 වන දින සිදු වූ අතර, වෙස්මුහුණු පැළඳ සිටි පුද්ගලයින් සිව්දෙනෙකු ත්‍රිරෝද රථයකින් අදාළ පුද්ගලයාගේ දෙමහල් නිවසට පැමිණ තියුණු ආයුධ භාවිතා කරමින් ප්‍රචණ්ඩකාරී පහරදීමක් සිදු කර ඇත. පහර කෑමට ලක් වූ පුද්ගලයාගේ ශරීරය තුළ තිබූ බහුවිධ කැපුම් තුවාල හේතුවෙන් එම පුද්ගලයා ඒ ස්ථානයේදීම මිය ගිය අතර, මූලික පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ මියගිය පුද්ගලයා 2023 දී මහබාගේ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ අයෙක් බවත්, එහිදී ඔහු තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමටද සහාය දී ඇති බවත්ය.

අනුර මාමාගේ මීඩියා යුනිට් එක

ජනාධිපති අනුරට මාමා කියන අය ජනාධිපති මාධ්‍ය ඒකකයේ සිටින නිසා තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ලබාදීමට නොහැකිව ඇතැයි ප්‍රවීන මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරිය චෝදනා කරයි. සිය මුහුණු පොතේ සටහනක් තබමින් උවිදු මේ චෝදනාව කර ඇත.

උවිදු තැබූ සටහන පහත දැක්වේ

මම කියන්නම් – අනුරට මාම කිය අය ගොඩක් ජනාධිපති මාධ්ය අංශයෙ ඉන්නව​. ඒකයි කේස් එක​.
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම – ඒ කියන්නෙ RTI පනත විතරක්ම නෙමෙයි – ව්යවස්ථාවෙ මූලික අයිතිවාසිකමක් විදියට අපි සටන්කරල දාපු එක. ඒක තමා මමනම් හිතන මගේ ජීවිතේ ලබාගත්ත එකම ජයග්රගණය​.
ඒකත් කඩාකප්පල් කරන්න අනුර තන්ත්රය වැඩ කරන්නෙ. කොමිසමේ සභාපති පත්කරන්නෙත් නැහැ, සාමාජික හිස්තැන​ පත්කරන්නෙත් නැහැ. හරි හමන් ප්රතිපාදනත් නැහැ.
අර කවුද – මට මතක නැහැ මේ වෙලේ – සටන්කාමී තරුණයෙක් ඉල්ලුවනෙ ජනාධිපති මාධ්ය අංශයෙ තොරතුරු. දෙන්න බැහැ කියල බොරු වගන්තියක් දාල උත්තරයක් එව්වනෙ ඒ. තොරතුරු නොදුන්න හේතුව දන්නවද මහජනයා!
හොයා ගෙන හොයා ගෙන ගියා. මේක තමා හේතුව​. බොරු නම් බොරු කියන්න​!
මම කියන්නම් – අනුරට මාම කිය අය ගොඩක් ජනාධිපති මාධ්ය අංශයෙ ඉන්නව​. ඒ අය පක්ෂෙ අයගෙ පුතාල. ඒකයි කේස් එක​.
ජනාධිපතිවරයා සිය යුරෝපා සංචාරයේදී මෙරටින් මුං කැවුම් පාර්සලයක් රැගෙන ගොස් තෑගි කලේ උවිදු කුරුකුලසූරියටය.

වැලි කණින යන්ත්‍රයක් මිලදී ගන්න කැබිනට් අනුමැතිය!

 

ධීවර වරාය නීතිගත සංස්ථාවේ අත්‍යවශ්‍ය නඩත්තු සහ සංවර්ධන කටයුතු සඳහා වැලි කණින යන්ත්‍රයක් (ඩ්‍රෙජරයක්) මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ පිරිවැය-ප්‍රතිලාභ විශ්ලේෂණයක් සිදු කිරීමෙන් පසුවය. සංස්ථාවට වාර්ෂිකව වැලි ඝන මීටර් 183,000ක් පමණ කැණීම් කිරීමට අවශ්‍ය වන අතර, මේ සඳහා පෞද්ගලික අංශයේ සේවා ලබා ගැනීමට රුපියල් මිලියන 500ක පමණ මුදලක් වැයවේ. නව ඩ්‍රෙජරයක් මිලදී ගැනීම දිගුකාලීනව ආර්ථික වශයෙන් වඩා ඵලදායී බව මෙහිදී තහවුරු විය.

එමෙන්ම, මෙම ඩ්‍රෙජරය ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කලපු සංරක්ෂණ හා කළමනාකරණ වැඩසටහන් සඳහා ද යොදා ගැනීමට හැකියාව පවතී. ඒ අනුව, ආරුගම්බේ, නන්දිකඩාල්, නයාරු සහ ලංකා පටුන වැනි කලපු වල කැණීම් කටයුතු සඳහා ද මෙම යන්ත්‍රය භාවිතා කිරීමට සැලසුම් කර ඇත.

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ජ්‍යෙෂ්ඨ පුහුණුකරු සුරංග විජේනායක අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දැවැන්ත නාමයක් වූ සුරංග විජේනායක හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වී ඇත. මොහු මිය යන විට 48 වන වියේ පසු විය. මොහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බස්නාහිර උතුරු පළාත් පුහුණුකරුවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වූ මොහු ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පිටියේ 90 දශකයේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු විය. ජාතික මට්ටමේ කණ්ඩායම් රැසක් නියෝජනය කළ මොහු වමත් දඟ පන්දු යවන්නෙකු හා ප්‍රවේගකාරී පිතිකරුවකු ද විය.
මොහුගේ දේහය ගල්කිස්ස මහින්ද මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර, දේහය පිළිබඳ අවසන් ගෞරව දැක්වීම සඳහා මොරටුව වේල්ස් කුමර විදුහලේ අද (6) දේහය තැන්පත් කර ඇත. මොහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගල්කිස්ස පොදු සුසාන භූමියේ දී හෙට (7) පස්වරුවේ දී සිදු කිරීමට නියමිතය.

අලහකෝන් ඔලිම්පික් විධායක කමිටු සාමාජිකත්වයෙන් ඉවත් වෙයි!

 

ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක කමිටු සාමාජිකයකු වූ රුවන් සම්පත් අලහකෝන් සිය තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඔහු ඊයේ (05) සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජාතික ඔලිම්පික් කමිටු ලේකම්වරයා වෙත භාර දී තිබේ. ටයිකොන්ඩෝ ක්‍රීඩාවේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් ඔලිම්පික් කමිටුවේ තනතුරක් දැරීම සම්බන්ධයෙන් ඇති වූ නෛතික ගැටලුවක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතට අනුව, ක්‍රීඩා සංගමයක වෘත්තීය පුහුණුකරුවකුට හෝ ක්‍රීඩකයකුගේ නියෝජිතයකුට එම සංගමයක තනතුරක් දැරිය නොහැක. රුවන් අලහකෝන්, ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ ලේකම් ලෙස පත්වීමෙන් අනතුරුව, ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභිකයකු බවට පත්විය. කෙසේ වෙතත්, ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ ටයිකොන්ඩෝ ප්‍රධාන පුහුණුකරුවකු ලෙස වැටුප් ලබන බවට සාක්ෂි සොයා ගැනීමත් සමඟ, ඔහුගේ තනතුරේ නීත්‍යානුකූලභාවය පිළිබඳව ප්‍රශ්න මතු විය.

මීට පෙර ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු ලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ දූෂණ චෝදනා විමර්ශනයට ලක්කිරීමට ආචාරධර්ම කමිටුව නිර්දේශ කළ අවස්ථාවේදී, එම විමර්ශනය යටපත් කිරීමට කටයුතු කළ සාමාජිකයන් අට දෙනා අතර රුවන් අලහකෝන් ද සිටි බව වාර්තා වේ. කෙසේ වෙතත්, මැක්ස්වෙල් ද සිල්වාට පනවන ලද තහනමෙන් පසු අලහකෝන් හට එම රැකවරණය අහිමි විය.

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා, අලහකෝන්ගෙන් ඔහුගේ පුහුණුකරු තත්ත්වය පිළිබඳව විමසූ විට, ඔහු තමන් වැටුප් නොලබන උපදේශකයකු පමණක් බව ප්‍රකාශ කර තිබේ. නමුත් කැලණිය විශ්වවිද්‍යාලයෙන් කරන ලද ලිඛිත විමසීමකදී, ඔහු වැටුප් ලබන පුහුණුකරුවකු බව තහවුරු විය. ඒ අනුව, ඔලිම්පික් කමිටුව ඔහුට එරෙහිව දඬුවම් දීමට පෙර නිදහසට කරුණු විමසීමට සූදානම්ව සිටියදී, අලහකෝන් සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

Add to cart