සංචිත පහලට ආර්ථිකය අවදානමේ

මුදල් සැපයුම (මුදල් අච්චු ගැසීම) ඉහළ නැංවීම, අඛණ්ඩව විදේශ සංචිත පහත වැටීම, ආර්ථිකය හැකිලීම, රුපියල බාල්දුවීම සහ ආර්ථික වර්ධන වේගය පහත වැටීම, අපේක්ෂිත ආර්ථික ඉලක්ක කරා ගමන් කිරීමට දැඩි බාධාවක් විය හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා මේ බව සඳහන් කරන්නේ අද (05) දින මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි.

එම නිවේදනය පහත දැක්වේ.

2022 දෙසැම්බර් මස ඩොලර් මිලියන 1,900 ක් වූ විදේශ සංචිත 2024 දෙසැම්බර් මස වන විට බි. 6,120 ක් දක්වා වර්ධනය විය. මාස 24 ක් තුල ඩොලර් මිලියන 4,220 ක් හෙවත් සෑම මසකට ඩො. මි. 175 බැගින් අඛණ්ඩව සංචිත වැඩි වෙමින් පැවතුණි.

2024 දෙසැම්බර් සිට මේ වසරේ මැයි දක්වා (මාර්තු – අප්‍රේල් මාස දෙක හැර) අඛණ්ඩව විදේශ සංචිත පහත වැටෙමින් ඇත. සංචිත වැඩිවි‍ම නැවතී, සංචිත පහත වැටීමේ රිද්මයකට පැමණ ඇත.

සල්ලි අච්චු ගැසීම

2025 ජූනි මාසයෙන් අවසන් වූ මාස 12 තුළ පුළුල් මුදල් සැපයුම රු. බි. 1,427.9 (10.4%) කින් වර්ධනය වී ඇත. පුළුල් මුදල් සැපයුමේ වර්ධන යනු මහ බැංකුවේ සංචිත මුදල් සැපයුම වැඩි කිරීම හෙවත් මුදල් අච්චු ගැසීම හා වාණිජ බැංකු හරහා සිදුවන මුදල් මැවීමයි.

2025 මැයි දක්වා වන අවසන් මාස 12 තුල සංචිත මුදල් සැපයීම රු. බි. 242.5 (17.1%) කින් වර්ධනය වී ඇත. මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂමන් හා අජිත් නිවාඩ් කබ්රාල් යුගයන් හි ‘මැරතන් අච්චු ගැසීම’ නොවුවත් මෙය බලපෑම්කාරී මට්ටමකි.

මුදල් මැවීමේ අනිවාර්ය ප්‍රතිඑලය උද්ධමනය ඉහළ යාම වුවත්, තවමත් ලංකා ආර්ථිකයේ මාස 11 ක් පුරා පවතින අවධමන තත්වයෙන් මිදී නැත. රජය අය වැය මගින් වෙන්කළ ප්‍රාග්ධන මුදල් වැය නොකිරීම (මිලදී ගැනීම්, ඉදිකිරීම් හා සේවා) මෙයට මුලික හේතුවයි.

රුපියල බාල්දුවීම

මහ බැංකුවට අනුව, 2025 ජනවාරි 1 රු. 292.58 ක් වූ ඩොලරය, අගොස්තු 2 දින වන විට රු. 302.18 දක්වා, එනම් ඩොලරයට සාපේක්ෂව රුපියල ඒකක 10 කින් බාල්දු වී ඇත.

මහ බැංකුව සංචිත ඉහළ නැංවීමට වානිජ්‍ය බැංකු හරහා ඩොලර් මිලදී ගෙන සංචිත ගොඩනැගු නමුත්, පසුගිය මාස 7 තුල සංචිත වැඩිවීමක් නොමැතිවම, රුපියල අවප්‍රමාණය වීම දැඩි ආර්ථික අවදානමකි. ආර්ථික වර්ධන වේගය පහත වැටීම

ලෝක බැංකුවේ ඇස්තමේන්තු අනුව, 2024 වසරේ දී 5% ක් වූ ආර්ථික සංවර්ධනය වේගය, 2025 දී 3.5% ක් දක්වා පහත වැටෙනු ඇති අතර, එය 2026 දී 3.1% ක් වනු ඇත.

ආසියානු සංවර්ධන බැංකුවේ පූර්වකථනයන්ට අනුව, 2025 දී ආර්ථිකයේ වර්ධනය 3.9% දක්වා ද, 2026 දී එය 3.4% දක්වා ද පහත වැටෙනු ඇත.

අද රට මුහණු දෙන විශාලතම අර්බුදය සැලසුම් කළ පරිදි ආයෝජන නොලැබීම ය. ජපන් සැහැල්ලු දුම්රිය පද්ධතිය, විදුලිබල පද්ධතිය ප්‍රතිව්‍යුහගත කිරීම (ඩො.බි. 3.8), හම්බන්තොට සිනෝපැක් පිරිපහදු සංකීර්ණය (ඩො.බි. 5) ක ආයෝජන රාජ්‍ය ප්‍රතිපත්ති හා පරිපාලන ගැටුම් හේතුවෙන් නැවතී හෝ ප්‍රමාද වී හෝ ඇත.

මන්නාරම අදානි විදුලි ජනන ව්‍යාපෘතිය වන්දි ගෙවමින් අතහැර දැමීමට තීරණය කර ඇත. ‍

අස්වනු නෙලන ආසන්නයේ දී ඩොලර් වැය කරමින් හාල්, බඩ ඉරිඟ, බී ළුණු සීනි ආනයනය කිරීමට රජය පියර ගනු ලැබීය. වාහන දහසක් පමණ රේගුවේ හිරවී ඇති අතර, ජාත්‍යන්තර විනිමය ව්‍යවහාරයන් අනුව ගෙන් වූ තවත් වාහන 1,200 ක් පමණ ආපසු හරවා යැවීමට රජය තීරණය කර ඇත. මේ සියල්ල නාස්තිකාර හා එලදායී නොවන ආර්ථික ව්‍යවහාරයන් වෙති.ට්‍රම්ප් බදු සාධකය

ට්‍රම්ප් රජය විසින් පනවා ඇති නව බදු 20% ක මට්ටමට පැමිණීම පිළිබඳ සතුටු විය හැක්කේ, එය රටේ ආර්ථිකය එල්ල විය හැකි මරු පහරක් නොවන බවට වන උපකල්පනය නිසාය. කෙසේ නමුත්, ට්‍රම්ප් බද්ද හි ‘වෙළඳ බලපෑම්’ ඩොලර් බිලියන 1.2 දක්වා විය හැකි බව අනුමාන කෙරේ.බොරු දත්ත

ඇමති ටී.බී. සරත් රටේ 8.3% ක ආර්ථික වර්ධන වේගයක් ඇතැයි ‘ලොකු බොරුවක්’ කීවේය.

පසුගිය මාස 7 තුල රටේ සංචාරක ආදායම ඇ.ඩො. බි. 1.71 ක් බව මහ බැංකුව ප්‍රකාශ කර පසු දින විජිත හේරත් අමාත්‍යවරයා පැවසූවේ එය ඇ.ඩො. බි. 3.7 ක් බවය.

රජයේ අමාත්‍යවරුන් දිගින් දිගමට ව්‍යාජ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් ආර්ථිකය ගැන ‘සුදු චිත්‍රයක්’ නිර්මාණය කරති.

රට තුල ආර්ථික අවස්ථා පුළුල් කිරීම, ආයෝජනයට හිතකර ප්‍රතිපත්ති හා පරිපාලන ක්‍රමවේදයක් සකස් කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

අවසනාවකට මුදල් අච්චු ගැසීම, විදේශ සංචිත පහත වැටීම, ප්‍රාග්ධන මුදල් වැය නොකිරීම, රුපියල බාල්දුවීම සහ ආර්ථික වර්ධන වේගය පහත වැටීම දිගු කාලීන අයහපත් ප්‍රතිඑල ඇති කරන්නේය.

රජිත් කීර්ති තෙන්නකෝන්
(විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය)

“අපකීර්තිමත් දේශබන්දු අද ඉවත් කරයි” – ආනන්ද විජේපාල –

 

 

දේශබන්දු තෙන්නකෝන් මෙරට පොලිස් ඉතිහාසයේ සිටි “අපකීර්තිමත්ම නිලධාරියෙක්” ලෙස ආනන්ද විජේපාල පැවසීය.අද (5) දින පාර්ලිමේන්තුවේදී පැවති උණුසුම් විවාදයකදී, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවට පක්ෂව අදහස් දක්වමින් මේ බව පැවසීය .

අමාත්‍යවරයාගේ ප්‍රකාශය අනුව, තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත් කර ඇත්තේ ඔහුට එරෙහිව තිබූ නඩු කිසිදු සැලකිල්ලකින් තොරවය. ඔහුට එරෙහිව එල්ල වූ විෂමාචාර චෝදනා සම්බන්ධයෙන් පත් කළ කමිටුවක් විසින් ඉදිරිපත් කළ වාර්තාවට අනුව, චෝදනා 23න් 19කටම ඔහු වැරදිකරු වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

“මෙවැනි අපකීර්තිමත් නිලධාරියෙකු ඉවත් කිරීම සඳහා පවත්වන මෙම විවාදය ඉතිහාසගත වනු ඇත” යනුවෙන් ආනන්ද විජේපාල මහතා පැවසීය.

තෙන්ඩුල්කාර් – ඇන්ඩර්සන් ටෙස්ට් ක්‍රිකට් අවසන් තරගයෙන් ඉන්දියාවට විශිෂ්ට ජයක්

ලන්ඩනයේ කෙනින්ටන් ඕවල්හි පැවති තෙන්ඩුල්කාර් – ඇන්ඩර්සන් ටෙස්ට් තරගාවලියේ 5 වැනි තරගයෙන් ලකුණු 6ක තීව්‍ර ජයක් හිමි කර ගැනීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට හැකි විය. ඒ ඉන්දීය කණ්ඩායමේ ප්‍රෂිද් ක්‍රිෂ්ණාගේ සහ මොහොමඩ් සිරාජ්ගේ විශිෂ්ට නදු යැවීමත්, යසස්වි ජයිස්වාල්ගේ විශ්ෂ්‍ට පිතිකරණය හමුවේය. ලකුණු 396ක දැවැන්ත ඉනිමක් තැනූ ඉන්දීය කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර එහිදී මොහොමඩ් සිරාජ් සහ ප්‍රෂිද් ක්‍රිෂ්ණාගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ එංගලන්ත කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 367 කි. එම ලකුණු ලබා ගැනීමත් සමග තරගාවලිය 2-2ක් ලෙස සමව නිමා විය. තරගයේ වීරයා මොහොමඩ් සිරාජ් වූ අතර තරගාවලියේ වීරයා හැරී බෲක් පත් විය.

ඇමරිකාවෙන් ඉන්දියාවට තර්ජන පිට තර්ජන

 

රුසියාවෙන් තෙල් මිලදී ගන්නේ නම් ඉන්දියාවට සැලකිය යුතු තීරු බදු වැඩි කිරීමක් සිදුකරන බවට තර්ජනය කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා ඇත. රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේන වැසියන් කොපමණ පිරිසක් මිය යන්නේද යන කරණාව පිළිබඳව ඉන්දියාවට තැකීමක් නොමැති බවද ඔහු තම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඉන්දියාව, රුසියාවෙන් තෙල් මිලදී ගන්නා ප්‍රධානම රටවල් අතරින් එකක් වන බවත්, 2022 වසරේ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමඟ යුරෝපීය රටවල් කිහිපයක් රුසියාවෙන් තෙල් මිලදී ගැනීම කප්පාදු කර නිසා රුසියානු තෙල් අපනයන වෙළඳපලට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි.

ලෙඩ ඇඳේ අම්මාගේ හීනය හැබෑ කිරීමට මනමාලියක් වූ දුව

මවකගේ ජීවිතයේ තිබෙන හීන අතර ඉහළින් ම ඇති හීනයක් වන්නේ තම දියණිය පති කුලයට යන දිනයයි. ඒ තම දියණිය ලස්සන මනමාලියක් ලෙස සැරසී සිටීමට දැක බලා ගැනීමට ඇති දැඩි ආශාවයි. නමුත් එම හීනය දෙපයින් නැගී සිට දැක ගන්නට නොහැකිව සිටි මවක් කෙතරම් වේදනාවක් උසුලනවා ඇති ද? එම වේදනාව විදීමට ඉඩ නොදී පිළිකාව සමග පොරබදිමින් සිටි මවකගේ ඒ හීනය හැබෑ කළ ආදරණීය දියණියකගේ අපූරු සටහනක් හා ඡායාරූප පෙළක් මුහුණුපොතේ මේ දිනවල දැඩි කතාබහට ලක් වීමත් සමග මෙම පුවත් දැඩි අවධානයට ලක් වී තිබේ. ඒත් සමග මෙය හැගුම්බර පුවතක් ලෙස සමාජ මාධ්‍ය තුළ බොහෝදෙනාගේ දැඩි ආකර්ෂණයක් දිනා ගැනීමට මේ වන විට සමත් විය.

මේ ඒ අපූරු සටහනයි.

මගෙ රත්තරන් පුතේ
ඔයා මනමාලියක් වෙනවා බලන්න ආසයි මට..
අම්මා කිව්වේ එහෙම
හරි අම්මේ..අම්මා ඉක්මනට සනීප උනාම
අපි ගමුකෝ..
මං කිව්වේ එහෙම
බෑ පුතේ..පුලුවන් ඉක්මනට ගන්න
මං මැරෙන්න කලින් ඒ දේ බලන්න ඕන
අම්මට වෙඩින් එක බලන්න ඕනලු
මං එයාට කිව්වේ එහෙම..
එහෙනම් අම්මා ආස විදියටම කරමු..
එයා කිව්වේ එහෙම
ඉක්මනට නැකතක් බලමු
කිව්ව සැනින් එයත් හා කිව්වා
සති තුනක් වගේ තියෙන්නේ ඔක්කොටම
අපි දෙන්නා කතා උනා..
පොඩියට ගන්න එපා පුතේ..ජීවිතේට එක පාරයිනේ..
අම්මා එහෙම කියද්දී අමාරුවෙන් හරි හිත හදාගෙන මං ඒ දේට ලෑස්ති උනා..
අම්මා අරම ඉද්දි මට මොන මගුල්ද..
හිතත් එක්ක පොර බඳිනගමන්
ඇස් වල කදුලු පුරෝගෙන අම්මගෙ හීනේ වෙනුවෙන් මං මහන්සි උනා..
මට ඕන උනේ අම්මා ඉස්සරහ මනමාලියක් වෙන්න…
ඒත් අම්මා මෙහෙම ඉද්දි නෙමෙයි..
මේ වෙලාවේ අම්මා කියනවා නම් මගුල ගන්න…ඒක තමයි හොදම..
නැන්දලා මගෙ හිත හැදුවා
අම්මා අරම ඉද්දී වෙඩින් ගන්න පුලුවන්ද ?
ගෙදර පොඩියට ගත්තා නම් හරිනෙ..
සමහරු මගෙ මූණටම කිව්වා
කවුරු කොහොම කිව්වත් කාගෙවත් කතා
මට ගානක් උනේ නෑ
මට වටින්නෙ මගෙ අම්මගෙ සතුට විතරයි
හිත හැමවෙලේම මට කිව්වා
හොටෙල් එකේ මං ඉන්නේ කොහෙද පුතේ
පෝරුව බලන්නෙ කොහොමද..
අම්මා එහෙම කියද්දිත්..අම්මට පහසු වෙන විදියට සේරම මං ලෑස්ති කරලා තිබුනේ..
අම්මගෙ හීනේ ඉටුවෙන දවස ආවා
“අනේ මගෙ රත්තරන් පැටියා”
මාව දැක්ක ගමන්ම අම්මගෙ කදුලු ඉක්මන් උනා..
“මං හෙට මැරිලා ගියත් කමක් නෑ”
මගුලට ආපු හැමෝම එක්ක වගේ අම්මා කියලා තිබුනා…
අම්මව දාලා දවසක්වත් ගෙදරින් පිට ඉන්න මං කැමති උනේ නෑ…
අම්මා නැතුව කවුරුවත් මාව බාරදෙන්න යන්න එන්න ඕන නෑ…
මං දුකෙන් කිව්වා
උඹව අපි තනියම එහෙට යවන්නේ නෑ
අම්මවත් එක්කගෙන අපි හෙට එහෙ එනවා
ලොකු අම්මගෙ පුතාලා…මගෙ අයියලා..මගෙ හිත හැදුවා
මාව බාරදෙන්න අම්මවත් එක්කගෙන අයියලා වෑන් එකකුත් අරගෙන ආවා..
අනේ මගෙ කෙල්ල පැටියා..අම්මා එහෙම කියද්දී
අම්මට කලින් මගේ කදුලු ඉක්මන් උනා…
මෙහෙ දවසක් හිටියම ඇති නේද..මට ගෙදර යන්න ඕන හෙට…අම්මට සනීප උනාම ටික දවසක් ඉන්න එන්නම්…
මං එයාට කිව්වා..
හා එහෙම කරමු
හෙට ගිහින් ඇරලවන්නම්
නිවාඩු දවසට මං ඇව්ත් යන්න එන්නම්..
එයා එහෙම කිව්වා
දින සති ගෙව්නා..
අම්මා ලගම ඉන්න ඕන නිසා මගෙ වටිනා කියන
ගොඩාක් දේවල් මං කැප කලා..
දවසින් දවස ඔයා අඩපණ උනා..
අපි කතා කලත් ඔයා කලේ වහලේ දිහා බලන් ඉන්න එක විතරයි…
ප්‍රතිචාරයක් නැතත් ඔයාගෙන්
ඔයා ලගටම වෙලා මං තනියම කියෙව්වා..
කමක් නෑ අම්මගෙ හුස්ම වැටෙනවනේ..
ඒක විතරක් මට සැනසීමක් උනා…
අම්මට තව වැඩි දවසක් නෑ..යටි හිත කිව්වත් උඩු හිත කිව්වෙම
දවසක අම්මා නැගිටිනවමයි කියලා..
හැමදාම හිත රවට්ටගන්නවා වගේ..
එදා හිත රවට්ටගන්න බැරි උනා..
මගුල තිබිලා මාසයයි,දවස් අටයි..
ඔයා සදහටම ඇස් පියාගත්තා..
කවදාවත්ම පුරවන්න බැරි අඩුවක්,දුකක් දීලා…
ඔයා සතුටින්ම යන්න ගියා
හැමෝම කියන කතා අහලා
එදා මගුල නොගත්තා නම්…
ඔයාට කලින් මට ඉපදෙන්න තිබුනා..
ලොව සියලු පිළිකා රෝගීන් සුවපත්ම වේවා..”

 

දිනන දකුණෙන් මාලිමාවට සැර ප්‍රහාරයක්

 

ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප් ඔවුන්ගේ පක්ෂයේ ගිණුමට බැර කිරීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කරමින්, නීතිඥ ශිරාල් ලක්තිලක එම ක්‍රියාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබේ. ගාල්ලේ පැවති “දිනන දකුණ” ජනහමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ශිරාල් ලක්තිලක මහතා පෙන්වා දුන්නේ, ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 159 දෙනෙකුගේ මාසික වැටුප වන රුපියල් ලක්ෂ 477ක් පක්ෂයේ පැලවත්තේ ගිණුමට බැර වන බවත්, එය වාර්ෂිකව රුපියල් ලක්ෂ 5727ක් තරම් විශාල මුදලක් බවත්ය. මෙම මුදල් මහජනතාවගේ බදු මුදල් වන අතර, ඒවා පක්ෂ අරමුදලකට බැර කිරීම වැරදි ක්‍රියාවක් බව ඔහු අවධාරණය කළේය.

“මේ ආණ්ඩුව බලය ලබා ගත්තේ ජනතාවට බොරු කියලා. අද ඒ බොරු පොරොන්දු එකක්වත් ඉටු කරගත නොහැකිව බලා සිටිනවා. ඔවුන් ජනතාවට පොරොන්දු වුණා මන්ත්‍රී වැටුප ලබා ගන්නේ නැහැ කියලා. නමුත් දැන් ඒ වැටුප පක්ෂයේ ගිණුමට බැර වෙනවා. මෙය ජනතාව රැවටීමක්,” ලක්තිලක පැවසීය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙම වැටුප් කිසිදු ආකාරයකින් ආදායම් බද්දට හසු නොවන බවත්, මෙය මහජන මුදල් අවභාවිත කිරීමක් බවත්ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පමණක් නොව, පළාත් සභා සහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ වැටුප් ද මෙලෙස පක්ෂ අරමුදලට බැර වන බවට චෝදනා කළ ලක්තිලක මහතා, මේ අසාධාරණ ක්‍රියාවට එරෙහිව නීතිමය පියවර ගැනීමට තමන් සූදානම් බවද සඳහන් කළේය.

“අද මේ රටේ පවතින තත්ත්වය හමුවේ පරණ ක්‍රමයට දේශපාලනය කරලා වැඩක් නැහැ. අලුත් ක්‍රමවේදයකට යා යුතුයි. අපි කිසිම දේශපාලන පක්ෂයක් බලයට ගේන්න කටයුතු කරන්නේ නැහැ. අපේ අරමුණ වී තිබෙන්නේ අසාධාරණයට ලක්ව නිදා සිටින ජනතාව අවදි කර ඔවුන්ට සාධාරණය ඉටුකර දීම පමණයි,” ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

වී මිලදී ගන්න ආණ්ඩුවට හදිස්සියක්

 

රජය වී මිලදී ගැනීම වේගවත්ව සිදු කිරීමට යන බව වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපාකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි .

ආණ්ඩුව , වී අලෙවි මණ්ඩලය සහ සතොස සමග එක්වී වී මිලදී ගැනීමේ මෙම ක්‍රියාවලිය කඩිනමින් සිදු කරන බව අමාත්‍යවරයා ඊයේ (05) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ආහාර සුරක්‍ෂිතතා සහ කමිටු රැස්වීමකදී පැවසුවේය .

ඒ අනුව යල කන්නයේදී මිලදී ගත් වී කෙටීමේ ක්‍රියාවලිය මේ වන විට සිදුකරමින් පවතින අතර එම සහල් පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට සතොස හරහා වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බවත් , සතොස මගින් අත්පත් කරගත් සහල් තොග ලබන සතියේ සිට අලෙවිය සඳහා නිකුත් කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය .

මෙම තීරණය ගෙන ඇත්තේ වෙළඳපොළ මිල ස්ථාවරත්වය සහ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා වන බවත් මෙම සැලැස්ම යටතේ වීමේදී ගැනීම වේගවත් කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය .

රැස්වීමේදීත් වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මෙම පියවර මගින් ගොවීන්ට සාධාරණ මිලක් ලබාදීමත් පාරිභෝගිකයන්ට සහල් හිඟයකින් තොරව හිඟයකින් තොරව මිලදී ගැනීමටත් අවස්ථාව සැලසෙනු ඇති බවට රජය අපේක්ෂා කරන බව කීවේය .

යොනෙක්ස් ශූරිය රනිත්මා අද පැමිණේ

අවුරුදු 19 න් පහළ එංගලන්ත කණිෂ්ඨ බැඩිමින්ටන් ශූරතා තරගාවලියේ යොනෙක්ස් කාණ්ඩය යටතේ සමස්ත ශූරතාවය දිනාගත් රනිත්මා ලියනගේ අද දිවයිනට පැමිණීමට නියමිතය.

රනිත්මා මේ තරගාවලියේ 64 දෙනාගේ වටයේ සිට අවසාන තරගයේදී එංගලන්තයේ අහානා භාතියා පරාජය කිරීම දක්වා වූ තරග පහේදීම දැක් වූයේ පරිනත ක්‍රීඩා විලාශයක්ය.භාතියා පරාජය කිරීමේ ලකුණු සටහන දැක් වුණේ 21 – 11 සහ 21 – 7 ක් ලෙස ය.ඇය අවසාන පූර්ව තරගය නිමා කළේ අයර්ලන්තයේ මිචෙලි ශොච්හාන් ලකුණු 21 – 15 සහ 21 – 10 ක් ලෙස පරාජය කරමින්ය.ඇය අර්ධ අවසන් පූර්ව තරගයෙන් එතෙර වූයේ එංගලන්තයේ රජීවි ප්‍රභා ලකුණු 21 – 7 සහ 21 – 12 ලෙස පරාජයට පත් කරමින්ය.

ඇය හෙට දිනයේදී නයිවලදී ඇරඹෙන ජාත්‍යන්තර කණිෂ්ඨ තරගාවලියටද සහභාගීවීමට නියමිතය.

කොමිසම හොයන තිළිණගේ යාළුවෝ කවුද?

විෂමාචාර චෝදනා එල්ල වී සිටින තිලින ගමගේ මහේස්ත්‍රාත්වරයා සමග ළඟින්ම සබඳතා පැවැත්වූ හිටපු ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයකුගේ පුත්‍රයෙක් වන නීතීඥයකු සහ තවත් නමගිය නීතීඥයින් පිරිසක් පසුපස අධිකරණ කොමිසමේ විමර්ශකයින් ඉව අල්ලමින් සිටින බව ආරංචිවේ.

මේ අතරම තමන් තිලින ගමගේගේ නීතීඥයා වශයෙන් තැන තැන කියමින් ගිය අයෙක් මෙන්ම නමට ගමගේ කොටසක් ඇති අයෙකු ද සිටින බවත් රාවයක් පවතී.

ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු විසින් මෙම නීතීඥවරුන්ට එරෙහිව ලැබී ඇති පැමිණිලි දෙකක් ඉදිරිපත් කර ඇති අතර ඔවුන් පැමිණිලි කර ඇත්තේ මුදල් ලබාගැනීමේ සිද්ධි සම්බන්ධයෙන් බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

නීතිවිරෝධී ලෙස අලි පැටවකු ළඟ තබාගැනීමේ සිද්ධියට අදාළව විෂමාචාර චෝදනා ඇතුළත් චෝදනා පත්‍රයක් තිලින ගමගේ මහතාට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පසුගිය ජුනි මාසයේදී යොමුකර තිබුණු අතර ඔහුව සේවයෙන් පහකිරීමට පසුගියදා අධිකරණ සේවා කොමිසම කටයුතු කර තිබිණ.

JKCG නැව පිටින්ම ගිළෙන ලකුණු ?

මෙරටට ගෙන්වන ලද BYD විදුලි වාහන අතරින් ATTO 3 නම් මාදිලියේ මෝටර් ධාරිතාව අඩුවෙන් පෙන්වා අඩුවෙන් බදුගෙවා වාහන නිදහස් කරගෙන ඇති බවට චෝදනාවක් පසුගිය දිනවල එල්ල වී තිබුණු අතර එම වාහන 1000 කට අධික සංඛ්‍යාවක් දැනට රේගුවෙන් නිදහස් නොකර රඳවා තබාගෙන සිටින බවත් වාර්තා වී තිබිණි.

එසේම මේ පිළිබඳ විමර්ශනයක් ශ්‍රී ලංකා රේගුව විසින් සිදුකරගෙන යන අතර මෙරටට BYD වාහන ආනයනය කිරීමේ එකම බලයලත් නියෝජිතයා වන ජෝන් කීල්ස් CG ඔටෝ පුද්ගලික සමාගම ඊට අවශ්‍ය සහයෝගය ප්‍රමාණවත් පරිදි ලබානොදෙන බවට ද රේගු නිලධාරීන්ගෙන් චෝදනා එල්ල වී තිබෙනු දැකගත හැකිවිය.

මෙහිදී මෙම ATTO 3 වාහනයේ මෝටරයේ ධාරිතාව 100kW වශයෙන් පෙන්වා ඊට අදාළ බද්ද ගෙවා එම වාහන නිදහස් කරගෙන තිබුණු නමුත් එම වාහනයේ ඇත්තේ 150kW මෝටරයක් බවත් ඒ අනුව ඊට 150kW මෝටර් ධාරිතාවට අදාළ පරිදි වැඩියෙන් බදු අය විය යුතු බවත් කියැවිණි. නමුත් සමාගමේ පාර්ශ්වයෙන් කියැවුණේ මෙම වාහනයේ සවිකර ඇති මෝටරය 150kW වුවත් එහි බලය මෘදුකාංගයක් (firmware) මාර්ගයෙන් 100kW දක්වා සීමාකර ඇති බැවින් මෙහි ගැටලුවක් නොමැති බවකි. අනෙකුත් වාහන ආනයනකරුවන් ඇතුළු ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධ පාර්ශ්ව පෙන්වා දී තිබුණේ මෘදුකාංගවලින් සීමා කරන ලද මෝටරවලට බදු අයකරන ක්‍රමයක් ශ්‍රී ලංකාවේ නොමැති බවත් පවතින නීතිය කාටත් සමානව ක්‍රියාත්මක විය යුතු බවත් ය. මෙය සංවිධානාත්මකව බදු දැලෙන් රිංගා යාම සඳහා වංචනිකව භාවිතා කළ කූඨ උපක්‍රමයක් බවට ද ඇතැම් පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල විය.

කෙසේවෙතත් ඉහත කී මෝටර් ධාරිතාව පිළිබඳ ප්‍රශ්නය ATTO 3 මාදිලියට පමණක් නොව තවත් BYD මාදිලි කිහිපයකටම අදාළව උද්ගතව පවතින බව මේ වනවිට අනාවරණය වී ඇතැයි ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව,

BYD Dolphin Dynamic යන වාහනය 49kW කාණ්ඩය යටතේ බදු සඳහා පෙන්වා ඇතත් එහි මෝටරයේ ප්‍රකෘති ධාරිතාව (Original motor capacity) 70kW බවත්

BYD Dolphin Premium යන වාහනය 99kW කාණ්ඩය යටතේ බදු සඳහා පෙන්වා ඇතත් එහි මෝටරයේ ප්‍රකෘති ධාරිතාව (Original motor capacity) 150kW බවත්

BYD M6 යන වාහනය 100kW කාණ්ඩය යටතේ බදු සඳහා පෙන්වා ඇතත් එහි මෝටරයේ ප්‍රකෘති ධාරිතාව (Original motor capacity) 120kW බවත්

BYD Seal Dynamic යන වාහනය 100kW කාණ්ඩය යටතේ බදු සඳහා පෙන්වා ඇතත් එහි මෝටරයේ ප්‍රකෘති ධාරිතාව (Original motor capacity) 150kW බවත්

අනාවරණය වී ඇති බව සඳහන්.

ඒ අනුව, පවතින නීතිය යටතේ සලකා බැලීමේදී සාවද්‍ය තොරතුරු රේගුවට ඉදිරිපත් කර, අඩුවෙන් බදුගෙවා මෙම වාහන නිදහස් කරගැනීමක් සිදුව ඇතැයි පෙනී යන අතර මෙය ඉතාම බරපතළ තත්වයක් බවයි මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ අදහස වී ඇත්තේ.

මෙරටට BYD වාහන ආනයනය කිරීමේ එකම බලයලත් නියෝජිතයා වන ජෝන් කීල්ස් CG ඔටෝ පුද්ගලික සමාගම යනු ශ්‍රී ලංකාවේ දැවැන්තම සමාගමක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංස් සමාගම සහ නේපාලයේ දැවැන්තම සමාගමක් වන චෞද්‍රි ගෲප් (Chaudhary Group) සමාගම එක්ව පිහිටුවන ලද්දකි. එම සමාගම් දෙකම කොතරම් දැවැන්ත සමාගම් වුවත්, ඒවායේ හිමිකරුවන් කොතරම් බලවත් ව්‍යාපාරිකයින් වුවත් තවදුරටත් මේ ප්‍රශ්නය සුළු අත්වැරදීමක් හෝ කුඩා අනවබෝධ තත්වයක් හෝ වශයෙන් හඳුන්වමින් හෝ ශ්‍රී ලංකා රේගුවේ බදු ක්‍රමය පිළිබඳ ප්‍රශ්නයක් යැයි පෙන්වා රේගුව පැත්තට බෝලය මාරුකිරීමෙන් හෝ ගොඩින් බේරාගත හැකි ප්‍රශ්නයක් නොවන මට්ටමට පැමිණ ඇති බවත් ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග සඳහන් කළේය.

එසේම Chaudhary Group විසින් මේ ආකාරයටම මේ වාහන නේපාලයටත් ආනයනය කර ඇති නිසා ශ්‍රී ලංකාවේ රේගුව මේ ප්‍රශ්නය විසඳන ආකාරය අනුව නේපාලය තුළ ද මීට සමානම ගැටලුකාරී තත්වයක් උද්ගත වනු ඇත.

ජෝන් කීල්ස් CG ඔටෝ පුද්ගලික සමාගම BYD වාහන ගෙන්වා බෙදාහැරීමේ ව්‍යාපාරය සඳහා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ප්‍රදර්ශනාගාර විවෘත කිරීම, සේවා ස්ථාන පිහිටුවීම, චාජින් පහසුකම් ස්ථාපිත කිරීම, වෙළඳ ප්‍රචාරණ කටයුතු යනාදිය වෙනුවෙන් අතිවිශාල වියදමක් දරා ඇති අතර ඔවුන් විසින් තවත් අතිවිශාල මුදලක් වැයකර මෙරටට ආනයනය කළ වාහන 1000 කට අධික සංඛ්‍යාවක් දැනටත් වරායේ සිරවී තිබේ. මේ වාහන සඳහා අත්තිකාරම් ගෙවූ පිරිසක් ද සිය වාහන ලබාදෙන තුරු බලා සිටිති. ඒ අනුව තත්වය ඉතාම සංකීර්ණ වී ඇති බව පැහැදිලි ය.

එහෙත් ශ්‍රී ලංකා රේගුව ජෝන් කීල්ස් CG ඔටෝ පුද්ගලික සමාගම ඉදිරිපත් කරන සාධාරණීකරණයේ තර්ක පිළිගතහොත් තවත් සමාගම් ගණනාවක්ම මේ ක්‍රමයට රටට විදුලි වාහන ආනයනය කරනු ඇති අතර රජයට රුපියල් බිලියන ගණනක අතිවිශාල බදු මුදලක් අහිමි වනු ඇත. එය බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ පා යන්තම් එයින් ගොඩ එමින් සිටින ශ්‍රී ලංකාවට දරාගත හැකි තත්වයක් නොවේ.

මේ සියල්ල අනුව මේ ප්‍රශ්නය මේ වනවිට ඇත්තේ කිසිසේත්ම පහසුවෙන් ගොඩදා ගැනීමට නොහැකි වියවුලක් වශයෙන් බවයි ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

~ විශේෂ ලියුම්කරුවකු විසිනි

Add to cart