බිග්බේන් ඔරලෝසුවට වසර 25ක බදු සහන

ලෝකයේ විශාලතම කලාගාරය සහ “බිග්බෙන්”‍ පන්නයේ ඔරලෝසුවක් ඉදිකිරීමට කොළඹ “පෝර්ට් සිටි”‍ සමාගම තීන්දු කර ඇති අතර එම ඉදිකිරීම සදහා වසර 25ක බදු සහනයක් ලබාදීමට රජය තීරණය කර ඇත.

මෙම ඉදිකිරීමේ සැලසුම අනුව දැවැන්ත කුලුනු දෙකක් මුලින් ඉදිවනු ඇති අතර ඉන් එක් කුලුනක ලොව විශාලතම සිරස් කලාගාරය නිර්මාණය කෙරේ. අනෙක් කුලුනෙහි තරු 7 ක හෝටලයක් සහ නිවාස ඇතුළු තවත් ආයතන රාශියක් ස්ථාපිත කිරීමට නියමිතය. මේ සඳහා වන ආයෝජනය ඇමෙරිකන් ඩොලර් කෝටි 540 (පන්සිය හතළිහකට) අධිකය.

මෙම පරිශ්‍රයේ ඉදිකරන කලාගාරය එම වර්ගයේ ලොව පළමු කලාගාරය වන බැවින් එය ගිනස් වර්තා පොතට ඇතුළත් වනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය ද වාර්තා කර තිබිණි.

 

පැලවත්ත ගිණුමට එරෙහිව ජිනීවා කොමිසමට පැමිණිල්ලක්

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එකමුතුව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත. ඒ වත්මන් රජය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිවය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එකමුතුවේ ලේකම් ප්‍රේමසිරි මානගේ කියා සිටින්නේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට පියවර ගතහොත් ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දක්වාම සිටි කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණ අනීතිකව ලබා ගත් වැටුප නැවත ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන්නට සිදුවනු ඇති බවය.

පොලීසියෙන් අමුතු චක්‍රලේඛයක්

“ක්ලීන් ශ්‍රී ලංකා’’ (Clean Sri Lanka) ග්‍රාමීය සභාවේ සාමාජිකයන් දෙදෙනකු  මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමේදී කමිටු සාමාජිකත්වයට පත්කිරීම අනිවාර්ය කරමින් වැබ පොලිස්පති විසින් සියළු පොලිස් ස්ථානාධිපතිවරුන්ට චක්‍රලේඛයක් යවා ඇතැයි වාර්තා වේ.

මෙම කමිටුව සඳහා සාමාජිකයන් තෝරා පත්කර ගැනීමේදී වසමේ පිහිටුවා ඇති යෞවන හා ක්‍රීඩා සමාජ සාමාජිකයන්, වසමේ සමිති සමාගම් (පරිසර, මරණාධාර, කාන්තා, කුලී රථ) නියෝජිතයන්, විශ්‍රාමික පොලිස් නිලධාරින් හා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, සේවයේ නියුතු හෝ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් තෝරා ගැනීම සම්ප්‍රදායික වශයෙන් මෙතෙක් කලක් භාවිතා කල ක්‍රමවේදයකි.

මහජන ආරක්ෂාව තහවුරු කිරීම පිණිස මහජන සහභාගිත්වය සක්‍රීය ලෙස ලබා ගැනීම සඳහා නව ප්‍රවේශයක් ලෙස ග්‍රාම නිලධාරී වසම් 14,022 ම ආවරණය වන පරිදි මහජන ආරක්ෂක කමිටු පිහිටුවා ඒ සඳහා පොලිස් නිලධරයන් අනුයුක්ත කළයුතු බවත්, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන් අරමුණු සාක්ෂාත් කරගැනීම මූලික කරගනිමින් මෙම කමිටු මෙහෙයවීමට නියමිත බවත් අදාළ චක්‍රලේඛයේ දැක්වෙන බවද පැවසේ.

මූලාශ්‍රය – අරුණ

ට්‍රම්ප්ට බිලියන 200ක බෝල් රූම් එකක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයක් මත මේ දිනවල ධවල මන්දිරයේ යම් යම් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වෙමින් පවසයි.

ඒ යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 200ක් වැය කරමින් නවතම බෝල් රූම් ශාලාවක් ඉදිකිරීමට නියෝග නිකුත් කර තිබෙන බවට වාර්තා වේ. මෙම නව බෝල් රූම් ශාලාවේ නව ඉදිකිරීම් එළඹෙන සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම බෝල් රූම් ශාලාව ධවල මන්දිරයේ සාද පැවැත්වීම සඳහා යොදා ගන්නා බවයි.

හිටපු නාවික හමුදාපති 3දෙනෙක් අත්තඩංගුවට ?

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතාට චෝදනා එල්ල වී ඇති පොතුහැර ප්‍රදේශයේ තරුණයකු අතුරුදන් කිරීමේ සිදුවීමට අදාළව තවත් හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනකුට අදාළව පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව සතිඅන්ත දේශය පුවත්පත වාර්තා කරයි.

එම පුවත්පත පෙන්වා දෙන පරිදි එම හිටපු නාවික හමුදාපතිවරුන් වන්නේ තිසර සමරසිංහ, සෝමතිලක දිසානායක සහ ජයනාත් කොළඹගේ යන මහත්වරුන්ය.මේ අය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ තීරණය කර ඇතැයිද පුවත්පත අනාවරණය කරයි.

නළුවෙකුගේ සිරුරක් හෝටල් කාමරයක

ජනප්‍රිය රංගන ශිල්පියෙකුගේ සිරුර හෝටල් කාමරයකින් සොයාගෙන ඇත. ඔහුගේ සිරුර සොයාගත් විගස රෝහලකට ගෙන ගොස් ඇති අතර එහිදී වෛද්‍යවරු ඒවන විටත් ඔහු මිය ගොස් ඇතිබව තහවුරු කර තිබේ.

නවාස් නම් 51 හැවිරිදි මලයාලම් රංගන ශිල්පියා චිත්‍රපට රූගත කිරීමක් සඳහා නවාතැන් ගෙන සිටි හෝටලයේ කාමරයක මියගොස් සිටියදී සොයාගත් බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

කෙසේනමුත් රංගන ශිල්පියාගේ මරණයට හේතුව සම්බන්ධව මෙතෙක් නිල වශයෙන් ඉන්දීය සෞඛ්‍ය අංශ ප්‍රකාශයක් සිදුකර නැත.

 

ආණ්ඩුවේ අලුත්ම රිවස් එක මෙන්න

ලංකාව පුරා විහිදී ඇති කිලෝමීටර් 1620ක් දිගැති වෙරළ තීරයේ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් නොකර, ඒවා තවදුරටත් පවත්වාගෙන යාමට අවසර දීමට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

මේ සඳහා වාර්ෂික දඩ මුදලක් අය කර ගනිමින් වාර්ෂික බලපත්‍රයක් නිකුත් කිරීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන ගෙන එන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, ලංකාව පුරා වෙරළ තීරයේ තුරුලතා මායිම් සීමාවේ ඉදිකරන ලද එවැනි අනවසර ඉදිකිරීම් 2000ක් පමණ ඇති බවයි. මෙම ඉදිකිරීම් අධිකරණ නියෝග ලබාගෙන ඉවත් කිරීමට උත්සහ කළහොත් විවිධ ගැටලු ඇතිවිය හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය. එබැවින්, මෙම නීතිය සංශෝධනය කරමින්, අවිධිමත් ලෙස සිදුකර ඇති ඉදිකිරීම් විධිමත් කිරීමට කටයුතු කරන බවත්, ඇතැම් අවස්ථාවලදී මෙම ඉදිකිරීම් සංචාරක කර්මාන්තයට ද සහය වන බවත් සඳහන් කළේය.

යෝජිත නව ක්‍රමවේදය යටතේ, අනවසර ඉදිකිරීම් සඳහා වාර්ෂිකව රුපියල් ලක්ෂ පහක (රු. 500,000ක් පමණ) දඩ මුදලක් ගෙවා ඒවා පවත්වාගෙන යාමට අවස්ථාව සැලසේ. මෙම දඩ මුදල ගෙවා ගැනීමට නොහැකි වුවහොත් අධිකරණ නියෝග මත අදාළ ඉදිකිරීම් ඉවත් කරයි. කෙසේ වෙතත්, මෙම සීමාවේ ඉදිකර ඇති නිවාස වැනි දෑ සම්බන්ධයෙන් මානුෂීය ලෙස සලකා සුළු දඩ මුදලක් හෝ වෙනත් පිළියමක් යෙදීමට කටයුතු කරන බව ද ඒහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසන්නේ, මෙම කලාපය නියාමනය කිරීම ඔවුන්ට අයත් කාර්යයක් වන අතර, එක් එක් මුහුදු ප්‍රදේශ අනුව වෙරළ සීමාවේ සිට ඉදිකිරීම් සඳහා අවසර ලබා දෙන සීමාව වෙනස් වන බවයි.

අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේ, පෙර පැවති රජයයන් විසින් අවිධිමත් ලෙස අවසර ලබා දෙමින් වෙරළ තීරයේ ඉදිකිරීම් සිදුකර ඇති බවත්, ඉන් විධිමත් ලෙස අවසර ලබාගෙන ඉදිකිරීම් කටයුතු කරගෙන සිටි පුද්ගලයන්ට බලවත් අසාධාරණයක් සිදුවූ බවත්ය. තවද, දේශපාලන බලය, මුදල් හා ආයුධ බලය මත ඇතැම් පුද්ගලයන් වෙරළ තීරය අත්පත් කරගෙන අනවසර ඉදිකිරීම් කර ඇති බවට බොහෝ පැමිණිලි තම දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවත්, ඒවා ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී ඇති බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, මෙම සීමාව තුළ නව ඉදිකිරිම්වලට කිසිදු අවසරයක් නොදෙන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා අවධාරණය කළේය

යෞවන සමාජ වලට ඇමරිකන් CIA රිංගයි ?

ශ්‍රී ලංකාවේ දැනට පවතින හා ඉදිරියේදී නිර්මාණය විය හැකි දේශපාලන ගැටලු සම්බන්ධයෙන් ඇමරිකානු බුද්ධි අංශ එරට තානාපති කාර්යාලය සතිපතා දැනුම්වත් කරන බවත්, ඒ අනුව ගෙවුණු සතියේදී යෞවන සමාජ ආශ්‍රිතඅර්බුදය තානාපති කාර්යාලයේ විශේෂ අවධානයට ලක්ව තිබෙන බවත් දේශපාලන ආරංචිමාර්ග පවසයි.

යෞවන සමාජ පිහිටුවීම, සාමාජික ලැයිස්තු සකස් කිරීම, තනතුරු වලට පත්කිරීම, තරුණ කටයුතු අමාත්‍යාංශය හා ජාතික තරුණ සේවා සභාවේ හැසිරීම ඇතුළු කරුණු කිහිපයක් ඇමරිකානු තානාපති කාර්යාලයේ නිරීක්ෂණයට ලක්ව ඇතැයි දැනගන්නට ලැබේ.

මේ අතර යෞවන සමාජ වලට දේශපාලනය ඈදාගෙන ඇතැයි තරුණ නියෝජිතයන් පිරිසක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ හමුවී පැමිණිලි කර තිබේ.

ලොකු පොහොට්ටු 25ක් සඳුදා නාමල් ළඟට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මැති ඇමතිවරුන් කණ්ඩායමක් සඳුදා (අගෝ. 4) පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ය.පොහොට්ටුවේ හිටපු මැති ඇමතිවරුන් නියෝජනය කරමින් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම හමුවට එක්වන බවට පක්ෂ මූලස්ථාන ආරංචි මාර්ග හෙලිකරයි.

ඔවුන් එක්ව පොදු එකඟතාවක් ඇතිකර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවද සැලවෙන අතර එකඟතාව ඇතිකර ගැනීමෙන් පසු පක්ෂය සමඟ සිට පසුව වෙනත් දේශපාලන පක්ෂ සමග එක්ව සිටින හා අනෙකුත් විපක්ෂයේ සිටින වමේ සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් එක්කරගෙන පුළුල් වමේ බලවේගයක් ගොඩනඟා ගැනීමට සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව ඇත.

 

15ත් 24ත් වයසට රස්සාවල් නැහැලු

2025 පළමු කාර්තුවේදී මෙරට රැකියා විරහිත පුද්ගලයන් 322,331ක් වාර්තා වී ඇති අතර, එම කාර්තුවේදී අවුරුදු 15–24ත් අතර තරුණ විරැකියා අනුපාතය 19.7%ක් බවත්, එය සියලු වයස් කාණ්ඩ අතර වාර්තා වී ඇති ඉහළම විරැකියා අනුපාතය බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මෙරට සියලු වයස් කාණ්ඩවල සහ සමස්ත අධ්‍යාපන මට්ටම්වල කාන්තාවන් අතර විරැකියාව පිරිමින්ට වඩා ඉහළ මට්ටමක පවතින බවත්, රටේ සමස්ත විරැකියාවට තරුණ හා කාන්තා විරැකියාව වැඩි දායකත්වයක් සපයන බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2025 වසරේ පළමු කාර්තුවට අදාළ ශ්‍රම බලකා සංඛ්‍යාලේඛන මඟින් හෙළි වේ.

2025 පළමු කාර්තුවේදී මෙරට ආර්ථික වශයෙන් ක්‍රියාකාරි ජනගහනයෙන් 65.4%ක් පිරිමින් වන අතර, 34.6%ක් කාන්තාවෝය. ආර්ථික වශයෙන් අක්‍රිය ජනගහනයෙන් 27.6%ක් පිරිමින් වන අතර, 72.4%ක් කාන්තාවෝය.

Add to cart