ලොකු දොස්තරලා 50කට ආණ්ඩුව පිටුපායි

පසුගිය සමයේ රට හැරගිය විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරුන් යළි සේවයට පැමිණීම සඳහා අභියාචනා ඉදිරිපත් කළත් ඔවුන් සේවය හැරගියා සේ සලකා එම ඉල්ලීම් බැහැර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු කර ඇතැයි වාර්තාවේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන නිරීක්ෂණ කැඳවීම්වලදී යළි සේවය ඉල්ලා සිටි වෛදවරුන්ට දැනුම් දී ඇත්තේ, මේ වනවිට රට තුළ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛදවරුන් අනුමත සංඛ්‍යාව ද ඉක්මවා සිටින බැවින් අදාළ අනුයුක්ත කිරීම සිදු කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට දුෂ්කර වී ඇති බවයි.

මෙලෙස ආපසු සේවයට එක්වීමට ඉල්ලා සිටි විශේෂඥ වෛද්‍යවරු සංඛ්‍යාව 50ක් පමන වන බවද වාර්තා වේ.

රුපියල තවත් බාල්දු වෙයි

අමෙරිකානු ඩොලරයට සාපේකෂව ශ්‍රී ලංකා රුපියල 3.1% කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පසුගිය සතිය අවසානයේ 3% ක අගයක් සටහවූ රුපියල ජූලි 26 වන විට 3.1% දක්වා අවප්‍රමාණය වී ඇත.

කළු සල්ලි නිසා ලංකාවට උසස් වීමක්

කළු සල්ලි සුදු කරන රටවල් සම්බන්ධයෙන් කරන ලද ශ්‍රේණිගත කිරීමේදී ලංකාව 80 වැනි ස්ථානයට පත්ව ඇත. ජාත්යාන්තර මූල්‍ය අරමුදල විසින් මෙම ශ්‍රේණිගත කිරීම සිදුකොට ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ අනාවරණය කළේය.

මෙම ශ්‍රේණිගත කිරීමට ලෝකයේ රටවල් 164 ක් යොදාගෙන ඇත. එම ශ්‍රේණිගත කිරීමෙන් අනතුරුව නිකුත් කළ මූල්‍ය අරමුදලේ නවතම වාර්තාව අනුව ලෝක ආර්ථිකයේ සංසරණය වන මුදල්වලින් 2% ත් 5% ත් අතර මුදලක් කළු සල්ලි බවද සඳහන්ය.

එසේම කළු සල්ලි ජාවාරම සම්බන්ධව ඉහළම අවදානම ඇති රට ලෙස වාර්තා වන්නේ හයිටි දේශයයි. එහි අවදානම් ශ්‍රේණිය 8.25% කි. අඩුම අවදානම ලෙස ඇති රට ලෙස වාර්තා වන්නේ අයිස්ලන්තයයි.

එහි අවදානම් ශ්‍රේණිය 1.17% කි. මෙම ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවට හිමිවී ඇති අවදානම් ශ්‍රේණිය 5.28% කි.

විශ්‍රාමිකයන්ගෙන් ආණ්ඩුවට දොස්

රාජ්‍ය පරිපාලන අංක 44/90 චක්‍රලේඛය මගින් විශ්‍රාම ගැන්වූ පිරිසට හිමිවිය යුතු 90%ක වැටුප් ප්‍රතිශතය වසර විස්සක් තිස්සේ ලැබී නැතැයි රා.පරි.ච. අංක 44/90 විධිවිධාන අනුව විශ්‍රාම ගැන්වූවන්ගේ සංවිධානය කියා සිටියි.

1991.01.01 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය පිරිසක් 2004 වර්ෂයේ සිට මෙම ගැටලුවට මුහුණ දී සිටින බව එහි පරිපාලන ලේකම් ටී. ලක්ෂ්මන් පීරිස් පැවසීය.

චක්‍රලේඛ අංක 06/2004, 2/2006, 16/2015, 14/2019(ඊ චක්‍රලේඛ යටතේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධ කළ වැටුප් ප්‍රතිශත මගින් මෙම විශ්‍රාමිකයන්ගේ වැටුප් හිමිකම 80%ක් දක්වා අඩුකර ඇතැයි පරිපාලන ලේකම්වරයා සඳහන් කළේ ය.

1990.10.18 දිනැති රාජ්‍ය පරිපාලන අංක 44/90 චක්‍රලේඛය යටතේ 1991.01.01 දින සිට 2003.12.31 දක්වා මෙම විශ්‍රාමිකයන්ට 90% ප්‍රතිශතයකට වැටුප් හිමිවූ බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

දස වසරක සේවා කාලයක් සපුරා හා එහෙත් විසි වසරක සේවා කාලයක් සපුරා නොමැති විශ්‍රාමිකයන්ට 44/90 චක්‍රලේඛයෙහි විධිවිධාන හා නියමයන් අනුව අවසන් වරට ලබා සිටි මාසික වැටුපෙන් 90%ක ප්‍රතිශතකට හිමිකමක් ඇතැයි ඔහු කීය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් 2004 වසරේ සිට පැවති සෑම රජයක ම වගකිවයුතු නිලධාරීන්ට ලිපි 120කට වඩා යවා ඇතත් මේ දක්වා යහපත් ප්‍රතිචාරයක් ලැබී නැතැයිද ටී. ලක්ෂ්මන් පීරිස් පැවසීය.

වත්මන් රජයේ ජනාධිපති අනුර කුමාර දිසානායකට 2025.04.19 සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට 2025.04.26 දින ලිපි යවා මේ පිළිබඳ ඉල්ලීම් කළ බවද පරිපාලන ලේකම්වරයා සඳහන් කළේ ය.

මේ අතර, විශ්‍රාම වැටුප් යාවත්කාලීන කිරීමේදී එම ප්‍රතිලාභ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 44/90 යටතේ විශ්‍රාම ගත් නිලධාරීන්ට ද අදාළ කර ගනිමින් ඔවුන්ගේ විශ්‍රාම වැටුප සංශෝධනය කර තිබෙන බවත් එම අවස්ථාවලදී ඊට අදාළ චක්‍රලේඛයන්හි පොදු විධිවිධාන විශ්‍රාම ගිය නිලධාරීන් සියලු දෙනාට එක සේ අදාළ කර නොගැනීම තුළ ගැටලු ඇති විය හැකි බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීම තුළ විශ්‍රාමික වැටුප් ඉහළ ගොස් ඇති බැවින් විශ්‍රාමිකයන්ට අවාසිදායක තත්ත්වයක් ඇතැයි නිරීක්ෂණය නොවන බව ද එම අමාත්‍යාංශය කියා සිටියි.

2026 අයවැයට IMF කොන්දේසි

2026 අයවැය සකස් කිරීමේදී මෙරට රජය අනුගමනය කලයුතු ක්‍රියාමාර්ග ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමුකලයුතු බව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ මෙරට ප්‍රධානී එවන් පැපජෝජියෝ පවසයි.

රජයේ ආදායම ඉහළ දැමීම සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කලයුතු බවත් බදු ආදායම ඉහළ දැමීම සදහා මෙන්ම බදු අයකරගන්නා පුද්ගලයින් සංඛ්‍යාව වැඩිකරලීම සදහාත් අවධානය යොමුවීම අනිවාර්යක් බව ඔහු වැඩිදුරටත් පවසයි.

ආරක්ෂක අමාත්‍යාංශයට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

ආරක්ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් ෆ්‍රන්ක්ලින් ජෝසප් පත්කර තිබේ.

ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ලෙසද කටයුතු කර ඇති කීර්තිමත් නිළධාරියෙකි.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ මීට පෙර එම ධූරයේ රාජකාරී කළ කර්නල් නලින් හේරත් විශ්‍රාම යාමෙන් පසු ෆ්‍රන්ක්ලින් ජෝසප් එම ධූරයේ වැඩ භාර ගත් බවයි.

ජෑස් ගායිකා ඩේම් ක්ලියෝ මියයයි

1985 දී ජෑස් සංගීතයෙන් ග්‍රැමී සම්මානයක් දිනාගත් පළමු බ්‍රිතාන්‍ය ගායිකා ඩේම් ක්ලියෝ ලයින් මියගිය බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

මියයන විට ඇය 97 හැවිරිදි වියෙහි පසුවූ ඇය අභාවප්‍රාප්ත සංගීතඥයෙකුවන ජෝන් ඩෑන්ක්වර්ත්ගේ බිරිඳයි

ලුතිනන් කොයාන්ට ඇමරිකානු SEAL ලාංඡනය

ඇමරිකානු නාවුක සීල් (US NAVY SEAL) පුහුණු වැඩසටහන සම්පූර්ණ කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයට (Special Boat Squadron) අයත් ලුතිනන් කොයාන් චමිත් සමත්ව තිබේ.

ඇමරිකානු නාවික හමුදාව යටතේ ලොව දරුණුතම හමුදා පුහුණු වැඩසටහන් වලින් එකක් ලෙස සැලකෙන මාස 14ක් පුරා පැවති දැඩි පුහුණුවකින් අනතුරුවයි ලුතිනන් චමත්ට SEAL ලාංඡනය පිරිනැමුනේ.

අගමැති මෝදි ගාන්ධිව පසුකරයි

ඉන්දීය ඉතිහාසයේ දෙවැනි දීර්ඝම කාලයක් අගමැති ධුරය දැරූ අගමැතිවරයා බවට වත්මන් අගමැති නරේන්ද්‍ර සිං මෝදි ඊයේ පත්විය. ඒ 1966 වසරේ ජනවාරි 24 වැනිදා සිට 1977 වසරේ මාර්තු 24 වැනිදා දක්වා වූ කාලයේ දී එක දිගට දින 4077ක් (වසර 15කුත් දින 350ක් ) අගමැති ධුරය දැරූ ඉන්දිරා ගාන්ධි අග්‍රාමාත්‍යවරියගේ ධූර කාලසීමාව පසුකර යමිනි.

ඊයේ දිනය වන විට මෝදි අග්‍රාමාත්‍යවරයා දින 4078ක් එක දිගට අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිට ඇත. 2014 වසරේ මැයි 26 වැනිදා සිට එකදිගට මේ දක්වා ඉන්දීය අගමැතිවරයා වශයෙන් කටයුතු කරන අතර ඔහු 2014, 2019 හා 2024 වසරවල පැවති ඉන්දීය මහා මැතිවරණවලදී අගමැති ධුරයට තේරී පත්ව තිබේ.

ඉන්දියාවේ මෙතෙක් වැඩිම දින ගණනක් අගමැති ධුරය දරා ඇත්තේ එරට ප්‍රථම අගමැතිවරයා වන ශ්‍රී ජවහල්ලාල් නේරු තුමා විසින් වන අතර ඔහු විසින් එකදිගට වසර 16කුත් දින 286ක කාලයක් එම ධුරයේ කටයුතු කර තිබේ.

වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගතකරන්නේ ඔහුගේ තෙවැනි ධූර කාලයයි.

කාම්බෝජය සටන් විරාමයක් ඉල්ලයි

තායිලන්ත – කාම්බෝජ දේශසීමාවේ පවතින යුද ගැටුම්වලින් පසුව කාම්බෝජය කොන්දේසි විරහිතව තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලා තිබේ.එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපතිවරයා උපුටා දක්වමින් ආසියානු මාධ්‍ය සදහන් කරන්නේ යුද ගැටුම්වලට සාමකාමී විසඳුමක් කාම්බෝජය බලාපොරොත්තු වන බවයි.

කාම්බෝජයේ ඉල්ලීමට තායිලන්තය මේ දක්වා ප්‍රතිචාර දක්වා නොමැත.

ඔවුන් මේ වනවිටත් කාම්බෝජයට මායිම්ව ඇති දිස්ත්‍රික්ක අටක යුද නීතිය ප්‍රකාශයට පත්කර ඇත. පසුගිය දින දෙකක් පුරා පැවැති මෙම යුද ගැටුම් හේතුවෙන් දෙරටේම අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තවත් ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන් වී සිටියි.

 

 

Add to cart