පාසැල් වාර විභාග අහෝසියි (VIDEO)

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව ඉදිරි වසර තුනක් ඇතුලත පාසැල් වාර විභාග ක්‍රමය අහෝසිකරන බව අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. අද අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පළකලාය.

ප්‍රේමකීර්තිගේ නිර්මලා පරවෙයි

ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ භාර්යාව වන ප්‍රවීණ ගේය පද රචිකා නිර්මලා ද අල්විස් මහත්මිය ඊයේ (22) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත.

ඇයගේ පුත් පූර්ණ ප්‍රේමකීර්තී ද අල්විස් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ පිළිබඳ දැනුම් දී තිබේ.

ට්‍රම්ප් පිලිපීනයටත් හොඳින් සලකයි

පිලිපීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඇමරිකා එක්සත් ජනපදය 19% ක බද්දක් අය කරන බව ට්‍රම්ප් Truth Social ගිණුමේ සටහනක් තබමින් හෙළිකරයි. “එය සුන්දර සංචාරයක් වූණා. අපි අපගේ වෙළඳ ගනුදෙනුව අවසන් කළා” යැයි ට්‍රම්ප් සදහන් කර ඇත්තේ ධවල මන්දිරයේදී පිලිපීන ජනාධිපතිවරයා සමඟ පැවති හමුවකින් පසුවය.

පිලිපීනය එක්සත් ජනපදය සමඟ සාපේක්ෂව කුඩා වෙළඳ හවුල්කරුවෙකු වන අතර, පසුගිය වසරේ ඇමරිකාවට ඩොලර් බිලියන 14.2 ක් පමණ වටිනා භාණ්ඩ අපනයන කර තිබුණි. එයට මෝටර් රථ අමතර කොටස්, විදුලි යන්ත්‍රෝපකරණ, රෙදිපිළි සහ පොල්තෙල් ඇතුළත් විය.

චෙම්මනියෙන් මතුවූ ළදරු ඇට සැකිල්ල

යාපනයේ චෙම්මනි සමූහ මිනී වළෙන් ළදරුවෙකුගේ අස්ථි කොටසක් හා කිරි බෝතලයක් හා ජෝගුවක් ඊයේ දිනයේදී හමුවී ඇත. ඒ යාපනය මහෙස්ත්‍රාත් ඒ. ඒ. ආනන්ද රාජා මහතා ඉදිරියේ කැණීම් කටයුතු සිදුවූ අවස්ථාවේදීයි.

චෙම්මනි සමූහ මිනී වලේ හතර වෙනි අදියරයේ කැණීම් කටයුතු 21 දා ආරම්භ වූ අතර එම අදියරයේ කැණීම් වලදී අලුතින් මිනිස් ඇට සැකිලි කොටස් 2 ක් හමු වී තිබේ.

ජපුරට රෙදි අන්ඳවන්න චක්‍රලේඛයක්

ජපුර රෝහලේ කාර්ය මණ්ඩලයට රෙදි අන්දවන්න චක්‍රලේඛයක් නිකුත් කිරීමට එහි අධ්‍යක්ෂ ධම්මික අලහප්පෙරුම ක්‍රියාකොට ඇතිබව රෝහල් සේවකයින් පවසයි.

මේ වනවිට රෝහලේ අක්ෂි ශල්‍ය කර්ම, විකලාංග ශල්‍යකර්ම, හෘද රෝග ශල්‍යකර්ම මුලුමනින්ම නැවතී ඇති අතර උගුර කණ නාසය පිළිබඳ ශල්‍යකර්ම අඩ වශයෙන් සිදුකරන මට්ටමට පත් වී ඇති බවත් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට එන රෝගීන්ගේ ද කැපී පෙනෙන අඩුවක් පවතින පසුබිමක් තුළ රෝහල ගොඩනැගීමට ගතයුතු තීරණ පසෙක තබා රෝහලේ ඉතිරි වී සිටින වෛද්‍යවරුන්ටත් රෙදි ඇන්දවීම නිර්දේශ කරමින් චක්‍රලේඛ ගැසීමේ විහිලුවක් බවයි රෝහල් කාර්ය මණ්ඩලය අවධාරණය කරන්නේ.

රෝහල්වල ශල්‍ය උපකරණ නොමැති වීම හේතුවෙන් පිටතින් උපකරණ ගෙන්වාගෙන සැත්කම් කිරීම හො පිටතින් ඖෂධ ගෙන්වා ගැනීම වැදගත් සෞඛ්‍ය ප්‍රසම්පාදනයක් බවත්, එම ක්‍රියාවලිය සද් භාවයෙන් කරගෙන යන සියලුම විශේෂඥ වෛද්‍යවරුන්ට එය පවත්වාගෙන යන ලෙස තමන් සෞඛ්‍ය ඇමතිවරයා ලෙස ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් කැබිනට් තීරණ දැනුම් දීමේ අවස්ථාවක ප්‍රසිද්ධියේ ඉල්ලා සිටිය ද නව රෝහල් අධ්‍යක්ෂවරයා කිසිම වෛද්‍යවරයෙකුට බාහිරින් ඖෂධ හෝ ශල්‍ය උපකරණ රැගෙන ඒම නිර්දේශ නොකරන ලෙස නියෝග කර ඇති පසුබිමක රෝහලේ බිඳවැටීම තීව්‍ර වී ඇතැයි ද අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

රොක් ගායක Ozzy Osboue මිය යයි

Black Sabbath සංගීත කණ්ඩායමේ ප්‍රධානියාවු ජනප්‍රිය රොක් ගායක Ozzy Osboue මියගිය බව විදෙස් මාධ්‍ය පවසයි.

1960 ගණන්වල අගභාගයේදී ගිටාර් වාදක ටෝනි අයෝමි, බේස් වාදක ගීසර් බට්ලර් සහ බෙර වාදක බිල් වෝඩ් සමඟ Black Sabbath හා සම්බන්ධවූ Ozzy Osboue  මියයන විට 76 වෙනි වියෙහි පසුවිය.

ඩොලර් බිලියන 550ක් ජපානයෙන් ට්‍රම්ප්ට

ජපන් ආයෝජන ඩොලර් බිලියන 550ක් අමෙරිකාව තුළ සිදුකිරීමට නියමිත බව ට්‍රම්ප් සිය Truth Social ගිණුමෙහි සටහනක් තබමින් අනාවරණය කරයි. ඒ ජපානය අතර ඇතිකරගත් ගිවිසුමකට අනුව බව ප්‍රකාශ කරන ට්‍රම්ප් ජපානයට 15%ක් දක්වා බදු අඩුකල බවද පවසයි.

ඒ අනුව ජපානයද, අමෙරිකානු නිෂ්පාදන වන මෝටර් රථ, ට්‍රක් රථ, සහල් සහ ඇතැම් කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු අනෙකුත් ආනයනය භාණ්ඩ සඳහා සියයට 15ක බද්දක් අඩුකර ඇති බවද සඳහන්ය.

හිමින් හිමින් වැටුප් වැඩිකර ගන්න

රජය 2025 වර්ෂයට ඉදිරිපත් කළ අයවැයෙන් කියා සිටියා රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා වැටුප් වැඩි කරන බව. රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව පුද්ගලික අංශයේත් වැටුප් වැඩි කළ යුතු බවත් අපි යෝජනා කළා.ඇත්තටම අද තිබෙන තත්ත්වයට අනුව සාමාන්‍ය ජීවන තත්ත්වක් ගෙනයන්න එය රුපියල් ලක්ෂයක්වත් විය යුතුයි. නමුත් හෙමින් ආර්ථිකය ස්ථාවර කර, අයෝජන කැන්දාගෙන ඇවිත් රටේ නිෂ්පාදන වැඩි කරමින් තමයි අපි වැටුප් වැඩි කරගත යුත්තේ. එහෙම නැතුව අණපනතකින් පමණක් මෙය කිරීමට බැහැ. සේවකයන්ගේ අයවැය සහන දීමනාව සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය යන (සංශෝධන) පනත් කෙටුම්පත් සම්මත කර ගැනීම පිණිස පැවැති විවාදයේදී අදහස් පළ කරමින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

2016දී අවම දෛනික වේතනය රුපියල් 400ක් තිබුණා. එය 500 දක්වා වැඩි වෙලා තිබුණා. 2024දී එය 700 දක්වා වැඩි වෙලා තිබුණා. අපේ ආණ්ඩුව යටතේ අවම මූලික වැටුප තිස්දහස දක්වා වැඩි කළ විට දෛනික වේතනය 1200 දක්වාත් අප්‍රේල් 01දා සිට දෙසැම්බර් දක්වා තවත් 1080 කිනුත් වැඩි වෙනවා. 17500ක තිබූ වේතනය එකවර 30000 දක්වා 12500කින් වැඩි කිරීම තමයි මේ අණපනත මගින් සිදු කරන්නේ. ඒ අවම වැටුප රුපියල් තිස්දහස ප්‍රමාණවත් වන්නේ නෑ යනුවෙන්ද පැවසීය.

පෙට්‍රල් ලීට­ර­යක් 162කට දෙන්න

පිට­ර­ටින් ඉන්ධන මිල දී ගැනීමේ මිල සූත්‍රය ඛනිජ තෙල් සංස්ථාව සෑම මාස­ය­කම ප්‍රකා­ශ­යට පත් කල නමුත් පසු­ගිය අප්‍රේල් මාසයේ සිට එය ප්‍රකා­ශ­යට පත් කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ලංකා­වට එන මුදල, ගොඩ­බෑමේ ගාස්තුව ආදි වශ­යෙන් ඒ අය කිරීම් ටික දානවා. නමුත් එය වෙබ් අඩ­වියේ දැන් දාන්නේ නෑ. ආණ්ඩුව විප­ක්ෂයේ සිටින විට කිවුවේ මේ තෙල්ව­ලින් මෙච්චර මුද­ලක් ගහ­නවා. කංචන විජේ­සේ­ක­රගේ සාක්කු­වට මෙච්ච­රක් යනවා කිය­ලානේ. මේ ජූනි මාසයේ තෙල් ගොඩ­බෑමේ විස්ත­රය මං ළඟ තිබෙ­නවා. එහිදී ලෑන්ඩින් කොස්ට් එක 92 වර්ගයේ පෙට්‍රල් ලීට­ර­ය­කට රුපි­යල් 161.18යි. ඒත් ඉන් රුපි­යල් 120.42ක් රජය බදු වශ­යෙන් ජන­තා­ව­ගෙන් ගන්නවා යනුවෙන්ද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසීය.

මන්ත්‍රීවරයා මේ අදහස් පලකලේ ඊයේ පාර්ලිමේන්තුවේදී විවාදයකට එක්වෙමිනි. එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ ඕක තමයි කිවුවේ කංචන විජේ­සේ­ක­රගේ සාක්කු­වට යනවා කියලා. ඒ වගේම අනෙක් 95 වර්ගයේ පෙට්‍රල් ගේන්න 154.39යි. ඊට බදු ගහ­නවා 145.29ක්. ඊළ­ඟට ලංකා ඔටෝ ඩීසල් ලීට­ර­යක් ගේන්න 185.67යි, ඒකෙන් බදු ගහ­නවා රුපි­යල් 97.47ක්. ලංකා සුපර් ඩීසල් ලීට­ර­යක් ගේන්න රුපි­යල් 157.84යි, ඉන් බදු ගහ­නවා 120.67ක්. මේ බදු අඩු කරලා සහ­නය දෙනවා කිවුවා. හැබැයි කවදා ද මේ බදු අඩු කරලා සහ­න­යක් දෙන්නේ. බදු අඩු කළොත් රුපි­යල් 161.18කට පෙට්‍රල් ලීට­ර­යක් දෙන්න පුළු­වන් කියාය.

මොනවද මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ?

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මේ වන විට ශ්‍රී ලංකාව තුළ පුළුල් කතාබහක් සහ අවධානයක් දිනාගෙන තිබේ. ප්‍රතිසංස්කරණ යනු අපට අලුත් දෙයක් නොවේ; මහින්දාගමනයේ සිටම සෑම ක්ෂේත්‍රයකම විවිධ ප්‍රතිසංස්කරණ සිදුවී ඇත. විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ, පෘතුගීසි, ලන්දේසි, සහ ඉංග්‍රීසි යටත් විජිත පාලන සමයේදී පවා විවිධාකාර ප්‍රතිසංස්කරණයන් වරින්වර සිදුවී ඇති බව ඉතිහාසය පෙන්වා දෙයි. කෙසේ වෙතත්, එම ප්‍රතිසංස්කරණයන් මෙරට ජනතාවගේ හෝ රටේ සංවර්ධනයට වඩා ආගම ප්‍රචාරය කේන්ද්‍ර කරගෙන සිදුවූ බව පැහැදිලිය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදුවූ වැදගත්ම ප්‍රතිසංස්කරණය ලෙස සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිදුකළ නිදහස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හැඳින්විය හැකිය. එමගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දැවැන්ත පිබිදීමක් ඇති වූ අතර, දරුවන් මිලියන ගණනකට අධ්‍යාපන අවස්ථා උදා විය. ඉන් අනතුරුව, විවිධ රජයන් යටතේ පත් වූ අධ්‍යාපන අමාත්‍යවරුන් විසින් විවිධ ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමට උත්සාහ කළද, ඒවා යම් මට්ටමකට සාර්ථක වුවද, ඇතැම් අවස්ථාවල සමාජ බලපෑම් හමුවේ ඒවා හකුළා ගැනීමට සිදුවීම ද සිදු විය. මෙතෙක් සිදුවූ බොහෝ ප්‍රතිසංස්කරණ හුදෙක් පාසල් විෂය මාලාව වෙනස් කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කළ අතර, අධ්‍යාපන ක්ෂේත්‍රයේ අනෙකුත් අංශ කෙරෙහි අවධානයක් නොවීම නිසි ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකි වීමට ප්‍රධාන හේතුවක් විය.


 

නව ප්‍රතිසංස්කරණයේ දැක්ම සහ අරමුණු

 

නව රජය බලයට පත්වීමෙන් පසු, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයන් එකම අමාත්‍යාංශයක් ලෙස නම් කර, එහි වගකීම වත්මන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වෙත පවරා දෙන ලදී. 2026 සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය, සමාජයට වැඩදායී මෙන්ම රටේ ආර්ථිකයට දායක වන ගුණගරුක දරුවකු පාසලෙන් බිහි කිරීම ඉලක්ක කරගත් ප්‍රායෝගික ක්‍රියාවලියක් බව අධ්‍යාපන විද්වතුන් පවා පිළිගනී.

මෙම ප්‍රතිසංස්කරණය හුදු විෂය මාලා සංශෝධනයකට එහා ගිය සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයේම පරිවර්තනයක් ඉලක්ක කර සිදු වන්නකි. ප්‍රධාන කරුණු පහක් තුළින් සමස්ත අධ්‍යාපන පද්ධතියම ආවරණය වන පරිදි මෙය කේන්ද්‍රගත වී ඇත:

  1. විෂය මාලා සංශෝධනය: නූතන සමාජයට සහ වැඩ ලෝකයට ගැළපෙන පරිදි විෂය මාලා සංශෝධනය කිරීම.
  2. මානව සම්පත් සංවර්ධනය: නව විෂය මාලාවට සහ තාක්ෂණික ලෝකයට ගැළපෙන පරිදි මානව සම්පත සංවර්ධනය කිරීම.
  3. යටිතල පහසුකම් සංවර්ධනය සහ පරිපාලන ප්‍රතිසංස්කරණ: නව විෂය මාලාව පාසල් තුළ ක්‍රියාත්මක කළ හැකි පරිදි සියලු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක්, වඩා යහපත් සහ ආකර්ෂණීය පාසල් පද්ධතියක් ලබාදීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ ඒ සමගාමීව කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සඳහා අධ්‍යාපන පරිපාලන අංශය ප්‍රතිසංස්කරණය කිරීම.
  4. ඇගයීම් සහ තක්සේරුකරණ ක්‍රියාවලිය: දරුවන්ට සහ දෙමාපියන්ට මානසික පීඩාවක්ව පවතින විභාග කේන්ද්‍රගත ක්‍රමවේදය වෙනුවට, නවීන අධ්‍යාපන උපායමාර්ග අනුව එක් එක් දරුවන් වෙත වෙන වෙනම අවධානය යොමු කරන ඇගයීම් සහ තක්සේරුකරණ ක්‍රියාවලියක් හඳුන්වා දීම.
  5. ජනතා දැනුවත් කිරීම: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සහ එමගින් දරුවන්ට ලබා දෙන ගුණාත්මක අධ්‍යාපනය පිළිබඳව දෙමාපියන් ඇතුළු සියලු අංශ තුළ කතිකාවක් නිර්මාණය කිරීම සහ ප්‍රචාරණයන් සිදු කිරීම.

මෙතෙක් අඩු අවධානයක් යොමුව පැවැති පූර්ව ළමාවිය සංවර්ධනය සඳහා ද විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, ජීවිත කාලය පුරා ඉගෙනීමට අවශ්‍ය පදනම පූර්ව ළමා වියේදීම නිර්මාණය කිරීම මෙයට ඇතුළත් වේ.


 

පාසල් අධ්‍යාපනයේ නව ව්‍යුහය

නව ප්‍රතිසංස්කරණය යටතේ පාසල් අධ්‍යාපනය ප්‍රධාන වශයෙන් අංශ හතරක් ඔස්සේ ක්‍රියාත්මක වේ.

  • ප්‍රාථමික අංශය (1-5 ශ්‍රේණි): මෙහිදී දරුවන්ගේ අධ්‍යාපනය සංවර්ධනය සඳහා අවශ්‍ය මූලික ජීවන කුසලතා සංවර්ධනය කිරීම සිදු කෙරේ. ගුණාත්මක අධ්‍යාපනය රටේ සියලු දරුවන්ට හිමි වීමෙන් තරගකාරී ශිෂ්‍යත්ව විභාගය පාසල් අධ්‍යාපනයෙන් ඉවත්වී යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම අදියර වසර 1-2, 3-4, සහ 5 ලෙස අදියර තුනක් යටතේ සැලසුම් කර ඇත. මව් භාෂාව නිවැරදිව භාවිතය, ඉංග්‍රීසි සහ දෙවන භාෂාවක් ප්‍රායෝගිකව පුහුණු කිරීම, ගණිතමය හැකියාව වර්ධනය කිරීම, ආගම සහ සමාජ වටිනාකම් අවබෝධ කරදීම, නවීන විද්‍යාව පිළිබඳ ප්‍රාථමික අවබෝධය ලබාදීම, සෞන්දර්ය අධ්‍යාපනය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය මෙන්ම විෂය සමගාමී ක්‍රියාකාරකම් සහ දරුවාට මානසිකව නිදහස් අධ්‍යාපන පරිසරයක් නිර්මාණය කිරීම මෙහිදී සිදු කෙරේ.
  • කනිෂ්ඨ ද්විතීයික අංශය (6-9 ශ්‍රේණි): මෙම කාලය තුළ දරුවාගේ අනාගත ජීවිතය ඉලක්ක කර ගනිමින් දරුවන් ඒ සඳහා හුරු කරවීම සිදු කෙරේ. මූලික විෂය නිර්දේශය ඉගෙනීමට මෙහිදී අවස්ථාව හිමි වන අතර, ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ මූලික අවබෝධයක් ලබාදීම වෙනුවෙන් විෂයක් ද ඇතුළත් වී තිබේ. ක්‍රීඩා සමාජ සහ සංගම්වල සහභාගිත්වය සහ ඇගයීම් පාදක ක්‍රමවේදයක් ලෙස විෂයන් හැදෑරීමට අවස්ථාව ලැබේ. මූලික විෂයන් සඳහා ක්‍රෙඩිට් 30 ක් ද, අමතරව තෝරා ගත යුතු විෂයන් තුළින් ක්‍රෙඩිට් 03 ක් ද, වෘත්තීය ජීවිතය සඳහා වැදගත් වන විෂයන් අතරින් ක්‍රෙඩිට් දෙකක් ද ලෙස දරුවකු ක්‍රෙඩිට් 35 ක් හිමි කරගත යුතුය. 9 වන වසරේදී නිපුණතා පාදක විශේෂ ඇගයීමක් සිදු කෙරෙන අතර, එමගින් දරුවන්ගේ කුසලතා මට්ටම් සහ අනාගත වෘත්තීය නිපුණතා හඳුනා ගැනීමට අවස්ථාව ලැබේ.
  • ජ්‍යෙෂ්ඨ ද්විතීයික අංශය (10-11 ශ්‍රේණි): නිපුණතා පාදක ඇගයීම සහ දරුවන්ගේ රුචිකත්වය මත 10 සහ 11 ශ්‍රේණි සඳහා විෂයන් තෝරා ගැනීමට දරුවන්ට අවස්ථාව ලබාදී ඇත. අනිවාර්ය විෂයන් සහ තෝරාගත් විෂයන් සමඟ හැදෑරිය යුතු සම්පූර්ණ විෂයන් ගණන 07 කි. නිපුණතා පාදක ඇගයීම මත ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් යටතේ අවම වශයෙන් විෂය ධාරා තුනක් ආවරණය වන පරිදි විෂයන් තෝරා ගත හැකිය. එම විෂය ධාරාවන් වන්නේ:
    1. STEM විෂය ධාරාව
    2. මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා විෂය ධාරාව
    3. කළමනාකරණය සහ ව්‍යවසායකත්ව විෂය ධාරාව
    4. වෘත්තීය නිපුණතා විෂය ධාරාව මෙහිදී ප්‍රධාන විෂය ධාරාව යටතේ විෂයන් 04 ක් සහ සෙසු විෂය ධාරාවන්ගෙන් විෂයන් 03 ක් ලෙස විෂයන් 07 ක් තෝරා ගත හැකිය. ඉතිහාසය, සෞන්දර්යය විෂයන් සහ වෘත්තීය විෂයක් සෑම දරුවෙක්ම හැදෑරිය යුතු පරිදි විෂයන් තෝරා ගැනීම අනිවාර්ය කර තිබේ. තරගකාරී විභාග ක්‍රමය වෙනුවට GPA ක්‍රමවේදය හරහා ඇගයීම හා තක්සේරු කිරීම සිදු කිරීම ද මෙම ක්‍රමයේ විශේෂත්වයකි. අනාගතයේ තමන් යොමුවීමට අපේක්ෂිත වෘත්තිය අනුව ක්ෂේත්‍රගත අධ්‍යයනයක් සිදු කර, අත්දැකීමෙන් අනාගත වෘත්තිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ද දරුවන්ට අවස්ථාවක් හිමි වේ.
  • පාසල් අධ්‍යාපනයෙන් පසු: පාසල් අධ්‍යාපනය අවසන් කරන සියලු සිසුන්ට NVQ-4 ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය හිමි වන අතර, පාසල් අධ්‍යාපනයෙන් පසු පහසුවෙන් රැකියාවකට යොමු වීමට මෙය මහඟු අවස්ථාවකි. එමෙන්ම සියලු දරුවන්ට උපාධිය හැදෑරීමට ද හැකියාව ලැබේ. අවශ්‍ය නම් රැකියාවක නිරත වන අතරම උපාධිය හැදෑරීමට හැකි වීමද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ තවත් විශේෂත්වයකි.

 

ඉදිරි අභියෝග සහ සාර්ථකත්වය

 

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මගින් දරුවන්ට නිසි ප්‍රතිලාභ ලබාදීම මේ රටේ අධ්‍යාපනයට සම්බන්ධ පිරිසගේ පමණක් නොව, අප සැමගේ යුතුකමක් සහ වගකීමකි. ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු අංශ මනා සබඳතාවයකින් කටයුතු කළ යුතුය. පළාත් මට්ටමින්, කලාප මට්ටමින් සහ කොට්ඨාස මට්ටමින් ද අවශ්‍ය සහය සහ කැපවීම මනාව සිදුවිය යුතුය.

නව ප්‍රතිසංස්කරණය යථාර්ථයක් වන්නට නම්, දරුවන්ට සමීපව කටයුතු කරන විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ගේ ඉහළ දායකත්වය අතිශයින් වැදගත් වේ. අපගේ අධ්‍යාපනය කාලෝචිත ලෙස ප්‍රතිසංස්කරණය කිරීම ජාතික අවශ්‍යතාවකි. එහිදී ජාති, ආගම්, දේශපාලන භේද ඉවත දමමින් අනාගත තරුණ පරපුර ගැන සිතා කටයුතු කිරීමට සියලු දෙනා වග බලා ගත යුතුය. 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තවත් එක් ප්‍රතිසංස්කරණයක් නොවන්නට නම්, රටේ සියලු දෙනාගේ සහය, ආශීර්වාදය සහ කැපවීම අපේ රටේ දරුවන් වෙනුවෙන් ලබා දිය යුතු බව යළිත් සිහිපත් කළ යුතුය.

Add to cart