තුසිත හල්ලොලුවගේ ඇප ප්‍රතික්ෂේපයි

 

හිටපු ජාතික ලොතරැයි මණ්ඩල අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාගේ ඇප ඉල්ලීම අද (04) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

නාරාහේන්පිට ප්‍රදේශයේදී තමා ගමන් ගත් වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හල්ලොලුව මහතා, තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඒ අනුව, ඔහු ලබන සැප්තැම්බර් 18 දක්වා රක්ෂිත බන්ධනාගාරයේ රැඳී සිටිනු ඇත.

බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්

පාතාල කල්ලි නායකයෙකු වන ‘බැකෝ සමන්’ නමැත්තාගේ බිරිඳ වන ෂාධිකා ලක්ෂානි නමැති කාන්තාව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ලබන සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (සැප්තැම්බර් 04) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබා දී තිබේ.

දුම්රියේ ගැටී කාන්තාවකට දිවි අහිමි වෙයි

යාපනයේ කොඩිගාමම් ප්‍රදේශයේදී කාන්තාවක් දුම්රියක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

දුම්රිය මාර්ගය හරහා මාරුවීමට ගිය කාන්තාවක්, කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ යාල්දේවී සීඝ්‍රගාමී දුම්රියට ගැටී, සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

මළ සිරුර දුම්රිය නිලධාරීන් විසින් කොඩිගාමම් දුම්රිය ස්ථානයට ගෙන ගොස් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත භාර දී ඇත.

පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

ගුවන් තැපෑලෙන් එවූ කෝටි 31ට වැඩි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

ගුවන් තැපෑල ඔස්සේ මෙරටට එවූ රුපියල් කෝටි 31කට වැඩි වටිනාකමින් යුත් කොකේන් 1.445 kg, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

සීදුවේ පෞද්ගලික ගුදමකදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇති බවද සදහන් වේ.

ආයේත් හිරේ ගිය රාජිත

අල්ලස් කොමිසම හමුවට අද (03) පෙරවරුවේ පැමිණි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, පැය පහක පමණ කාලයක් ගතවීමෙන් පසු නැවතත් බන්ධනාගාරයට රැගෙන ගිය බව වාර්තා වේ.

අදාල නියෝගය යටතේ, රාජිත සේනාරත්න මහතා අල්ලස් කොමිසම හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතාගේ විධි විධාන අනුවය. මහෙස්ත්‍රාත්තුමා පසුගිය අගෝස්තු 29 වැනිදා නියම කළේ, බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍යවරයා අද උදේ 9ට කොමිසම හමුවට රැගෙන එන ලෙසය.

ඒ අනුව, අල්ලස් කොමිසම වෙත රැගෙන ගිය රාජිත සේනාරත්න මහතාගෙන් අවශ්‍ය ප්‍රකාශ සටහන් කරගැනීම සිදු වූ අතර, එම ප්‍රකාශය අවසන් කිරීමෙන් පසු ඔහු නැවතත් බන්ධනාගාරයට යොමු කරන ලදී.

 

අද හයිලෙවල් මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

අද (3) පස්වරු 2.00 සිට රාත්‍රී 7.00 දක්වා කොළඹ හයිලෙවල් මාර්ගයේ රථවාහන සැලැස්මට විශේෂ වෙනස්කම් සිදුකර ඇති බව පොලිසිය පවසයි.

මෙය සිදුකරන්නේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත 159 වැනි ජාතික පොලිස් දින සැමරුම් උත්සව හේතුවෙනි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වේ.

එය සම්බන්ධයෙන් තුම්මුල්ල මංසන්ධියෙන් තිඹිරිගස්යාය මංසන්ධිය දක්වා කලාපය තුළ විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන අතර, උත්සව කාලය තුළ බර වාහන එම මාර්ග භාවිතා කිරීමට සීමා කර තිබේ.

පොලිසිය පැවැසුවේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය ඉදිරිපිට කොළඹින් පිටවන මංතීරුවේ ඇති බස් නැවතුම එම කාලය තුළ හැව්ලොක් පාර ෆොන්සේකා පාර හන්දිය දක්වා රැගෙන යන බවයි.

මාළිගාවත්තේ වෙඩි තැබීමක්

කොළඹ මාලිගාවත්තේ ජුම්මා මස්ජීඩ් මාර්ගයේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ.

ව්‍යාපාරික ස්ථානයක රැඳීසිටි තරුණයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ එම තරුණයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු T56 ගිනිඅවියක් භාවිත කරමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මධ්‍යම අධිවේගයේ මාරක අනතුරක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල රෝහල් ගත තිබේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ 41 වන කිලෝමීටර් කණුව අසලදී ඉන්ධන ප්‍රවාහන ප්‍රයිම් මුවර් රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටී මාර්ගයයෙන් ඉවත පහල බෑවුමට පෙරලී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් මියගිය එක් අයෙක් , ලොරි රථයේ ගමන්කළ රිය සහායකයා බව වාර්තා වේ.

ඡායා – Accident 1st

 

Add to cart