රනිල් නිසා විපක්ෂය පළල් වෙයි..!

ලංකාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂ එකමුතුවක්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්අඩංගුවට ගැනීමෙන් පසු එක්ව ඉදිරියට යාමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. මෙහි මූලික අරමුණ වන්නේ අභ්‍යන්තර ගැටුම් සහ අන්‍යෝන්‍ය තරඟකාරී අවශ්‍යතා පසෙකලා අනාගතයේදී මැතිවරණ සන්ධානයක් පිහිටුවා ගැනීමයි.

රනිල් වික්‍රමසිංහට ඇප ලබා ගැනීම සඳහා එක්ව කටයුතු කළ සමගි ජන බලවේගය (SJB), එක්සත් ජාතික පක්ෂය (UNP), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP), සහ මහජන සන්ධානය (PA) යන ප්‍රධාන පක්ෂවලට අමතරව, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජාතික කොංග්‍රසය, සහ ලංකා කම්කරු කොංග්‍රසය (CWC) ද මෙම එකමුතුවට එක්ව තිබේ.

හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය අරමුදල් විදේශ සංචාරයක් සඳහා අයුතු ලෙස භාවිතා කළ බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු, මෙම පක්ෂ එකමුතුව රජයේ ක්‍රියා කලාපය ‘දේශපාලන පළිගැනීමක්’ ලෙස හඳුන්වා දී එයට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

මෙම සාකච්ඡාවලට සහභාගි වූ සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසා ඇත්තේ, රනිල් වික්‍රමසිංහ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසල විරෝධතාවයේ නිරත වූවන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කිරීමට රජය දරන උත්සාහය සොයා බැලීම සඳහා නීතිඥ කමිටුවක් පත් කළ බවයි. කෙසේ වෙතත්, පෙර දින සාකච්ඡාවලදී මැතිවරණ සන්ධානයක් පිහිටුවීම පිළිබඳව කිසිවක් සාකච්ඡා නොකළ බවද ඔහු පැවසීය. “ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කිරීමට රජය දරන උත්සාහයට එරෙහිව අපි එකට සිටිය යුතුයි,”

මෙම රැස්වීමට මහජන සන්ධානය නියෝජනය කරමින් සහභාගි වූ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසා ඇත්තේ, වහාම මැතිවරණ සන්ධානයක් පිහිටුවීම පිළිබඳව අවධානය යොමු නොවූ බවත්, වත්මන් ප්‍රජාතන්ත්‍රවාදී අභියෝගවලට මුහුණ දීම පිළිබඳව සාකච්ඡා කළ බවත්ය. කෙසේ වෙතත්, අනාගතයේදී අවශ්‍යතාව මතුවුවහොත් එවැනි සන්ධානයක් පිහිටුවීමේ හැකියාවක් ඇති බව ඔහු ප්‍රතික්ෂේප කළේ නැත.

සමගි ජන බලවේගයේ සාමාජිකයෙකු වන හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසුවේ, මැතිවරණ සන්ධානයකට අදාළ කරුණු මීට පෙර අවස්ථාවකදී සාකච්ඡා කළ බවත්, නමුත් පෙර දින සාකච්ඡාවේදී ඊට අදාළව කතා නොකළ බවත්ය. කෙසේ වෙතත්, නව පක්ෂ සහ කණ්ඩායම් ආරාධනා කරමින් සන්ධානය පුළුල් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව නායකයින් සාකච්ඡා කළ බව ඔහු පැවසීය.

අතීතයේදී ද, මේ වසර මුල පැවති පළාත් පාලන මැතිවරණයට පෙර මෙවැනි මැතිවරණ සන්ධාන පිහිටුවීමට උත්සාහ දරා තිබුණත්, පොදු නායකයෙකුට එකඟ වීම සහ වගකීම් බෙදා ගැනීම වැනි අභ්‍යන්තර අභියෝග නිසා එය අසාර්ථක විය.

රජය ප්‍රකාශ කර ඇත්තේ, ලබන වසරේ දී පළාත් සභා මැතිවරණ පැවැත්වීමට පියවර ගන්නා බව ය.

පොලීසියට ගහපු කළුතර මන්ත්‍රීට වැඩ වරදියි

කළුතර නාගරික මන්ත්‍රී ධනුක හෙට්ටිආරච්චි පොලීසිය මගින් අත්තඩංගුවට ගෙන ඇත.

ඒ පසුගිය 26 වෙනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසලදී පොලිසි නිලධාරියෙකුට බෝතලයකින් පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙනි.

අත්තඩංගුවට පත් සැකකරු අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ වන විට ඔහු කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කෙරේ

 

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ පෙන්ශන් එක ගැන බයක් නෑ

යෝජිත ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත් කෙටුම්පත මගින් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප් අයිතිය ඉවත්කිරීමට අපේක්ෂා නොකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඒ වෙනුවට සිදුකෙරෙන්නේ, 1986 අංක 4 දරන ජනාධිපති අයිතිවාසිකම් පනත යටතේ හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ වැන්දඹුවන්ට ලබා දී ඇති අතිරේක වරප්‍රසාද අඩු කිරීම පමණක් බව ද එහිදී පෙන්වා දී ඇත.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ, යෝජිත ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති විශේෂ පෙත්සම් හත විභාගයට ගත් අවස්ථාවේදීය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, විනිසුරු අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම් විභාග කෙරේ.

හිටපු නාවික හමුදාපති රිමාන්ඩ්

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න අද (27) සිට ලබන මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලබයි.

ඒ පොල්ගහවෙල මහේස්ත්‍රාත් පී.පී.ජේ ප්‍රනාන්දු සිදුකළ නියෝගය පරිදියි.

නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා ලෙස නිශාන්ත උළුගේතැන්න කටයුතු කරන සමයේ 2010 අගෝස්තු 26 හෝ ඊට ආසන්න දිනකදි අලව්ව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල රෝහලේ නවතා සිටි පුද්ගලයකුගේ දෑස් බැඳ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමක ඔහුට විරුද්ධව ඇති චෝදනාවයි.

ඒ සම්බන්ද නඩුවකට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන පසුගිය ජූලි 28 පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

ජූලි 30 වනදා පොල්ගහවෙල මහේස්ත්‍රාත් පී පී ජේ ප්‍රනාන්දු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 27 දින නැවත නඩුව කැඳවන බවත් එදිනට සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් බන්ධනාගාරයට නියෝග කර තිබුණි.

ඒ අනුව අද (27) හිටපු නාවික හමුදාපති වරයා ඇතුළු තවත් සැකකරුවන් 11 දෙනෙකු අධිකරණය හමුවේ පෙනි සිටියහ.

මෙහිදි විත්තිය වෙනුවෙන් කරුණු දැක්වු ජනාධිපති නිතිඥ මහේෂ් රුක්ෂාන් ඇතුළු කණ්ඩායමේ පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේත් කරුණු කෙරෙහි අවධානය යොමුකල මහේස්ත්‍රාත් පී.පී.ජේ ප්‍රනාන්දු දැනට ඇප මත මුදාහැර සිටින 1 සිට 9 දක්වා වු සැකකරුවන් හැර 10 සහ 11 වන සැකකරුවන් සැප්තැම්බර් 10 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙසත් නියෝග කලේය.

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මෙම නඩුවේ 11 වන සැකකරු වේ.

 

 

ජනපති, අගමැතිනිය සහ කැබිනට් මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

ශ්‍රී ලංකා පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අහෝසි කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ශව ඉදිරිපත් කළ පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට නියම කරන ලදී.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා, කුමුදුනී වික්‍රමසිංහ සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවා තිබූ මෙම නඩුවේදී, නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්ට මෙතෙක් නොතීසි නොලැබී ඇති බවයි.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් විසින් ඉල්ලා සිටියේ, මෙම නඩුව ඉක්මනින් සලකා බැලීමට දිනයක් ලබා දෙන ලෙසයි. ඒ අනුව, අගමැති හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් සහ ජනාධිපතිවරයා ඇතුළු 31 දෙනෙකුට නැවත නොතීසි නිකුත් කරන ලෙස නියෝග කරන ලදි.

පෙත්සම්කරුවන්ගේ අදහස් අනුව, ඉන්දියාව සමග ඇති ඩිජිටල් හැඳුනුම්පත් ගිවිසුමෙන් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ ජීව දත්ත ඉන්දියාවට බාර දෙනු ලබන අතර, එය ජාතික ආරක්ෂාව, ආර්ථිකය හා ස්වෛරීභාවයට බරපතළ බලපෑම් කළ හැකි ය. එවැනි කටයුතුවලට අදාළ කැබිනට් තීන්දුවලට මහජනතාව හෝ පාර්ලිමේන්තුව දැනුවත් කර නොතිබුණ බවද ඔවුන් පෙන්වා දී තිබුණි.

ඉහත කරුණු පදනම් කරගෙන, ඉන්දියාව සමග ඇති කරගත් ගිවිසුම සහ එයට අදාළ කැබිනට් තීන්දු අහෝසි කිරීමට සහ ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම වැළැක්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලීම් කර තිබෙයි.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ඇප

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු, අධිකරණය ඔහුට ඇප නියම කළේය.

රු. ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් යටතේ ඔහු නිදහස් කරන ලද අතර, විදෙස් ගමන් තහනමක්ද අදාළ අධිකරණය මගින් නියම කර තිබේ.

 

රනිල්ගේ රෝග විනිශ්චයත් එජාපයෙන්ම ද ?

 

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වර්තමාන සෞඛ්‍ය තත්වය සළකා බලා ඊයේ දින නිකුත් කරන ලද වෛද්‍ය මණ්ඩල විනිශ්චයකට අනුව ඔහුට ඇප ලබාදීම සිදු කෙරිණි.

අදාළ විනිශ්චය සඳහා සම්බන්ධ වූ වෛද්‍ය මණ්ඩලයේ සිටින වෛද්‍යවරයෙකු වූයේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ය. මෙහි දී විශේෂ අවධානයට ලක්වන්නේ ඔහුගේ දේශපාලනයයි. වෛද්‍ය බෙල්ලන මහතා එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ ආසන සංවිධායකයෙකු ලෙසද මේ වනවිට කටයුතු කරයි.

මෙම තත්ත්වය යටතේ, එජාපයේ හිටපු නායකයකු වන රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබාදීම සඳහා වෛද්‍ය නිර්දේශය දේශපාලන බලපෑමකට ලක්වී තිබේද? යන්න ගැටලුවකි.

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ (GIT) ප්‍රතිඵල නිකුත් වෙයි

2023 සහ 2024 වසර සඳහා පැවති සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගයේ ප්‍රතිඵල ඊයේ (26) නිල වශයෙන් නිකුත් කෙරුණා.

මෙම විභාගයට අයදුම්කරුවන් 380,795 දෙනෙකු අයදුම් කර ඇති අතර, ඔවුන්ගෙන් 235,031 දෙනා පමණ විභාගයට පෙනී සිට ඇත.

එම විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2,692 ක පවත්වා තිබුණ අතර, අදාළ ප්‍රතිඵල දැන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය www.doenets.lk හෝ www.result.exams.gov.lk වෙත පිවිසිමෙන් ලබා ගත හැකිය.

 

රනිල්ට ඇප නැතිවෙයි?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇප ලබා දීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධ බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් ප්‍රකාශ කරයි.

හිටපු ජනාධිපතිවරයාට එරෙහි නඩු විභාගය මේ වන විට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තුළ විභාග වෙමින් පවතී.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ දිලීප පීරිස්; රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද ආරාධනා පත්‍රය නිත්‍යානුකූල එකක් බව කිසිම ආයතනයකින් මෙතෙක් තහවුරු කොට නොමැති බව අධිකරණය වෙත කරුණු දක්වා තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතා කරුණු දැක්වීම ආරම්භ කර තිබේ.

රංජිත් හා ශාන්තිගේ ඇප කල් යයි

දූෂණ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී බරපතළ වැඩ සහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම වී සිටින උතුරුමැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සහ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රසේන යන අය විසින් ගොනුකර තිබෙන අභියාචනයට යටත්ව තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ඇප ඇයැදුම්පත සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 9 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම ඇප ඉල්ලීම අද (25) කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙහිදී විත්තියේ නීතිඥවරු විසින් වගඋත්තරකාර අල්ලස් කොමිසම වෙත ලේඛන කිහිපයක් විවෘත අධිකරණයේ භාර දී ඇත.

ඉන් අනතුරුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 09 වනදා කැදවීමට දින නියම කර තිබේ.

2012 වසරේ සැප්තැම්බර් මස 27 වනදා සහ 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා අතර කාලසීමාව තුළ එස්.එම්.රංජිත් මහතා උතුරුමැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කල විත්තිකාර ශාන්ති චන්ද්‍රසේන යන අයට වැටුප සමග ඉන්ධන දීමනාවක් ලබා දී තිබියදී නීති විරෝධී ලෙස ඉන්ධන ඇනවුම්පත් මගින් රුපියල් ලක්ෂය 26කට අධික මුදලක් ඉන්ධන සඳහා ලබා දීම සහ එසේ ලබා දීමට රජයේ නිලධාරින් පෙළඹවීමෙන් ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 6ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

එම චෝදනාවලට වරදකරු කළ විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර 16 බැගින් සිර දඬුවම් සහ දඩ නියම කළේය.

එම දඬුවමට එරෙහිව විත්තිකරුවන් විසින් අභියාචනාධිකරණය වෙත අභියාචනා පෙත්සම් ඉදිරිපත් කර ඇති නිසා එම අභියාචනයට යටත්ව විත්තිකරුවන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා මෙම ඇප ඇයැදුම් පත ගොනු කර තිබේ.

Add to cart