රනිල්ට ඇප නැතිවෙයි?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇප ලබා දීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධ බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් ප්‍රකාශ කරයි.

හිටපු ජනාධිපතිවරයාට එරෙහි නඩු විභාගය මේ වන විට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තුළ විභාග වෙමින් පවතී.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ දිලීප පීරිස්; රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද ආරාධනා පත්‍රය නිත්‍යානුකූල එකක් බව කිසිම ආයතනයකින් මෙතෙක් තහවුරු කොට නොමැති බව අධිකරණය වෙත කරුණු දක්වා තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතා කරුණු දැක්වීම ආරම්භ කර තිබේ.

රංජිත් හා ශාන්තිගේ ඇප කල් යයි

දූෂණ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී බරපතළ වැඩ සහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම වී සිටින උතුරුමැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් සහ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රසේන යන අය විසින් ගොනුකර තිබෙන අභියාචනයට යටත්ව තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ඇප ඇයැදුම්පත සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 9 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම ඇප ඉල්ලීම අද (25) කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙහිදී විත්තියේ නීතිඥවරු විසින් වගඋත්තරකාර අල්ලස් කොමිසම වෙත ලේඛන කිහිපයක් විවෘත අධිකරණයේ භාර දී ඇත.

ඉන් අනතුරුව අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 09 වනදා කැදවීමට දින නියම කර තිබේ.

2012 වසරේ සැප්තැම්බර් මස 27 වනදා සහ 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා අතර කාලසීමාව තුළ එස්.එම්.රංජිත් මහතා උතුරුමැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කල විත්තිකාර ශාන්ති චන්ද්‍රසේන යන අයට වැටුප සමග ඉන්ධන දීමනාවක් ලබා දී තිබියදී නීති විරෝධී ලෙස ඉන්ධන ඇනවුම්පත් මගින් රුපියල් ලක්ෂය 26කට අධික මුදලක් ඉන්ධන සඳහා ලබා දීම සහ එසේ ලබා දීමට රජයේ නිලධාරින් පෙළඹවීමෙන් ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 6ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

එම චෝදනාවලට වරදකරු කළ විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර 16 බැගින් සිර දඬුවම් සහ දඩ නියම කළේය.

එම දඬුවමට එරෙහිව විත්තිකරුවන් විසින් අභියාචනාධිකරණය වෙත අභියාචනා පෙත්සම් ඉදිරිපත් කර ඇති නිසා එම අභියාචනයට යටත්ව විත්තිකරුවන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා මෙම ඇප ඇයැදුම් පත ගොනු කර තිබේ.

කොළඹ DIG CID අත්අඩංගුවට

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ශ්‍රාවස්තිපුර තිබිරිකඩවල ප්‍රදේශයේ නිදන් හැරීමේ සිදුවීමක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින ඔහුගේ බිරිඳ සම්බන්ධව සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහාය.

ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරියක ඇතුළු 8 දෙනෙකු අනුරාධපුර පොලිසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබණි.

ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ රත්‍රං දේවාලය අසල පිහිටි ඉඩමක පිරිසක් නිධන් හාරන බවට අනුරාධපුර පොලීසියට පසුගිය 13 වැනිදා ලැබී තිබූ තොරතුරක් අනුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි

ගෝඨාභයටත් අධිචෝදනා

7වෙනි විධායක ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකෙරෙමින් පවතින විමර්ෂණයකට අදාලව අධි චෝදනා පත්‍රයට නීතිපති අස්සන් කල බව රජයේ ඉහළ පෙලේ ආරංචි මාර්ග අනාවරණය කරයි.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සමීප නීතිවේදීන් පවසන්නේ මේ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු තමන්ගෙ පාර්ශවයට මේ වන තෙක් ලැබී නොමැතිබවයි.

අතුරුදහන් වූවායැයි සැලකෙන ලලිත් කූගන් දෙදෙනාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් විමර්ශන අවසන්ව ඇති බව ඊයේ දිනයේ විමර්ශන අංශ උපුටා දක්වමින් වාර්තාවී තිබිණ.

මේ වනවිට 7වෙනි විධායක ජනාධිපතිවරයා පෞද්ගලික සංචාරයක් සදහා ඇමරිකාවට පිටත්ව ගොස් තිබේ.

රනිල් දැඩි සත්කාරයේ!

 

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

ඒ, විජලන තත්ත්වයක් හේතුවෙන් වෛද්‍යවරුන් ගත් තීරණයකට අනුවයි. මීට පෙර ඔහු බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර, බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ නිර්දේශයක් අනුව ජාතික රෝහලට මාරු කළාය.

ඊයේ (22) රාත්‍රී ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කළේ රුධිර පීඩනය සහ රුධිර සීනි මට්ටම් ඉහළ යාම හේතුවෙනි. පසුව කළ පරීක්ෂණ වලින් අනතුරුව ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමට තීරණය කරන ලදී.

මේ අතර, හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කළ බන්ධනාගාර වෛද්‍යවරුන් ඔහුට නිවසෙන් ආහාර ලබාදීමටද නිර්දේශ කළ අතර, එයට බන්ධනාගාර මූලස්ථානයේ අනුමැතියද ලැබී තිබේ.

සංචාරයේ සියලු ගෙවීම් අනුමත කළේ රනිල්ගේ ලේකම් ?

 

රනිල්ගෙ පුද්ගලික සංචාරයට අදාල සියළු ගෙවීම් සම්බන්ධව අනුමැතිය ලබාදී ඇත්තේ එකල සිටි ලේකම්තුමා වන සමන් ඒකනායක බවත් ඒ කරුණ පිළිබඳව විස්තරයන් තවමත් විමර්ශන මට්ටමේ පවතින බවත් අද දින පොලිස් මාධ්‍ය හමුවේදී නීති නියෝජ්‍ය පොලිස්පති විසින් අවධාරණය කරන ලදී.

රනිල්ගේ සංචාරයට වැයකළ මුදල ඇතුළේ ගුවන් ටිකට්පත් ගැන කිසිම කරුණක් නෑ!

 

මීට සුළු මොහොතකට පෙර පැවති පොලිස් මාධ්‍ය සාකච්ඡාවේ නීති නියෝජ්‍ය පොලිස්පති සදහන් කළේ රනිල්ගෙ පුද්ගලික සංචාරයට වියදම් කළ එක්කෝටි හැටදෙලක්ෂ හැත්තදාස් පන්සිය හැත්ත දෙකක මුදල තුළ සංචාරය සදහා වැයවූ ගුවන් ටිකට් වල මුදල පිළිබද කිසිදු සදහනක් සදහන්ව නොමැති බවයි.

තවද මේ දින දෙකක සංචාරයේ වැඩසටහන් විස්තරය තුළ රාජ්‍යතාන්ත්‍රික සබඳතා හමුවීම් කිසිදු කරුණක් සදහන්ව නැති බවත් ඒ නිසා මෙය පුද්ගලික සංචාරයක් සඳහා රජයේ මුදල් අවාභාවිතා වීමක් බවත් වීමර්ශනවලින් හෙළිව තිබේ.
මෙම මුදල් එකල ජනාධිපති ලේකම් කාර්යාලය හරහා විදේශ කටයුතු අමාත්‍යාංශයටත් ඒ හරහා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට ගෙවා ඇති බවත් හෙළිව තිබේ.

අදාළ මුදල පමනක් සම්පූර්ණයෙන් රනිල් ,එම මැතිණිය හා පුද්ගලික ලේකම්ගේ වියදම් සදහා වැයව ඇත.ලක්ෂ 32කට වැඩි මුදලක් වෙනම පොලිසිය හා නාවික හමුදා සදහා වැයව තිබේ.

රනිල් අත්තඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළුවේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්තඩංගුවට පත්විය.

ඔහු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අකිල විරාජ්ව අල්ලස් කොමිසමට කැඳවයි

ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍යවරයෙකු වන අකිල විරාජ් කාරියවසම් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණ තිබේ.

වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයෙකු ලෙස සිටින සමයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේ අලුත්වැඩියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවා තිබේ.

අදාළ කාලය තුළ එක්සත් ජාතික පක්ෂය මහලේකම්වරයා ලෙස හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කටයුතු කර ඇති අතර, ඒ අනුවයි ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අල්ලස් කොමිසම කටයුතු කර තිබේ.

කෝටියක මුදල් ඉස්සූ රියදුරා පැය 24 ඇතුළත පොලිස් දැලේ

බම්බලපිටියේ මුදල් ප්‍රවාහනය කරන ආයතනයක වෑන් රථයකින් රුපියල් කෝටියකට අධික මුදල් මල්ලක් සොරා ගත් එම ආයතනයේම රියදුරා පැමිණිල්ල ලැබී පැය 24 ක් තුළදී අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසයි.

අස්ථානගත වූ මුදල් මල්ලේ තිබු රුපියල් එක්කෝටි තුන්ලක්ෂ අනූ හයදාහසක මුදලක් පොලිසිය මගින් සොයා ගෙන තිබෙනවා.

එකී මුදල් තොගය අතර වලංගු මුදල් රුපියල් 10,000,000/=, පළුදු නෝට්ටු රුපියල් 6000/= , රුපියල් 390,000/= ක් වටිනා ඇමෙරිකන් ඩොලර් 1300 ක් තිබු බව පොලිසිය සඳහන් කරයි.

බම්බලපිටිය ෆොන්සේකා පෙදෙසේ පිහිටි මූල්‍ය ආයතනවල මුදල් එක්රැස් කිරීම සහ බෙදාහැරීම සිදු කරනුු ලබන ආයතනයක ඉකුත් 13 වෙනිදින කොළඹ ප්‍රදේශයේ පිහිටි ඒ ටි එම් කුටි 15 ක එක් රැස්ව තිබූ මුදල් රියැදුරු ඇතුළු සිව් දෙනකු විසින් එකතු කරගෙන බම්බලපිටියේ ආයතනය වෙත පැමිණ තිබූ බව පොලිසිය පවසයි.

ඔවුන් විසින් මුදල් මලු 15 ක් රැගෙන ආවද මුදල් එකතු කිරීම සඳහා ගිය නිලධාරීන් ආයතන වෙත භාරදී ඇත්තේ මුදල් මලු 14 ක් බවත්, වැල්ලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ඒ ටී එම් කුටියෙන් ලබා ගත් රුපියල් කෝටියකට අධික මුදල් අඩංගු මල්ල බාරදී නොමැති බවට එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් කළමනාකරු පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.

ඒ අනුව බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පද්මලාල් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කසුන් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමක්, මුදල් එකතු කිරීම සඳහා ගිය කණ්ඩායමේ නිලධාරීන් තිදෙනාගෙන්ද හා රියදුරාගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදුකර අනතුරුව සීසීටිවි දර්ශනද පරික්ෂාවට ලක් කිරීමට කටයුතු කළ බව පොලිසිය පවසයි.

ඒ අනුව විමර්ශන සිදුකළ පොලිස් කණ්ඩායම සැකකරුගේ මඟ පෙන්වීම මත සැකකරු පදිංචි පයාගල නිවස වෙත ගොස් කාමරයේ අල්මාරියේ සඟවා තිබූ රුපියල් එක්කෝටි තුන් ලක්ෂ අනූ හයදාහක් මුදලක් අඩංගු මුදල් බෑගය සොයා ගැනීමට සමත් වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු මීට මාස හයකට පමණ ඉහතදී සේවයට පැමිණි පුද්ගලයකු බවත් පොලිසිය සඳහන් කරන අතර, 34 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් පත්මලාල් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කසුන් වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

Add to cart