අජිත් ඉල්ලා අස්වෙයි ! නව සභාපති මරික්කාර්

යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා අද තේරීපත් විය.

ඒ එම කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා එම ධුරයෙන් ඉල්ලා අස් වූ බව ගරු නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි අද පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමෙන් අනතුරුවය.

මරික්කාර් මහතාගේ නම සභාපතිධූරය සදහා යෝජනා කරන ලද්දේ අජිත් පී පෙරේරා වන අතර එය ජගත් විතාන මන්ත්‍රීවරයා විසින් ස්ථීර කරනු ලැබීය.

 

අහෝ කොළඹ! නව නගරාධිපතිනියගේ විච්චූරණ, ගඳ ගසන ඇලමාර්ග සහ කාණුවල ගිලෙන ජන ජීවිත!

කොළඹ මහා නගර සභාවට අභිනවයෙන් නගරාධිපතිතුමියක් පත් විය. ඇය පත් කර ගැනීම සම්බන්ධ ක්‍රියාවලියේ දී ද, ජනතා විමුක්ති පෙරමුණේ ‘හොරුන් එක් කර නොගැනීමේ’ ප්‍රතිපත්තියට බරපතළ පැල්මක් ඇති කළේ ය. කෙසේ හෝ දැන් නගරාධිපතිනිය ව්‍රායි කැලී බල්තසාර් ය. ඇය ආපු හැටියේ නගරාධිපති නිල නිවස ආර්ථික කටයුතු සඳහා යොදා ගන්නා බවට වාර්තා රැසක් පල විය. මහජන බදු මුදලින් විශාල ගොඩනැගිල්ලක් පවත්වා ගෙන යනවා වෙනුවට එවන් ආදර්ශ සම්පන්න කටයුත්තක් සිදු කිරීමේ ගැටලුවක් නොමැත. එහෙත්; කොළඹ වැනි අතිශය දැවැන්ත මහා නගර සභාවක් මගින් සිදු කළ යුතු කාර්යභාරය අති විශාල බව නවකයෙක් වන බල්තසාර් නොදන්නවා වුව ද, ජනතා විමුක්ති පෙරමුණ නොදන්නවා විය නොහැකිය.

කාණුවල ගිලෙන කොළඹ: නොසලකා හරින ලද ඇල මාර්ග පද්ධතිය

නව නගරාධිපතිනියගේ අවධානය යොමු විය යුතු ප්‍රධාන ගැටලුවක් වන්නේ කොළඹ නගරයේ ඇල මාර්ග හා කාණු පද්ධතිවල පවතින අතිශය දුර්වල තත්ත්වයයි. වාර්තා වන පරිදි, නාරාහේන්පිට ඇළ සහ රාජගිරිය ඇළ මාර්ග ඇතුළු බොහෝ ඇල මාර්ග මේ වන විට කුණු කසළින් පිරී, දුර්ගන්ධය හමන වතුර වලවල් බවට පත් වී තිබේ. මාස ගණනාවක් පුරා නිසි නඩත්තුවක් නොමැති වීම මෙයට ප්‍රධාන හේතුවයි.

කොළඹ නගරයේ ඇල මාර්ග පද්ධතිය ප්‍රධාන වශයෙන් නිර්මාණය කර ඇත්තේ ගංවතුර පාලනය කිරීමේ අරමුණෙනි. එහෙත්, නිසි නඩත්තුවක් නොමැති වීම හේතුවෙන් මෙම ඇල මාර්ගවල රොන්මඩ, ප්ලාස්ටික්, කසළ සහ ජපන් ජබර වැනි දෑ තැන්පත් වී අවහිර වී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස, වැසි ජලය නිසි පරිදි මුහුදට හෝ කැලණි ගඟට ගලා නොගොස් නගරය තුළම රැඳී පවතී. විශේෂයෙන් අධික වර්ෂාපතනයක් ඇති වන විට නගරයේ බොහෝ ප්‍රදේශ ගංවතුරෙන් යටවීමට මෙය ප්‍රධාන හේතුවක් වී තිබේ.

සෞඛ්‍ය හා ආර්ථිකයට බරපතල තර්ජන

ඇල මාර්ගවල ජලය එකතැන රැඳී සිටීම මදුරුවන් බෝවීමට කදිම පරිසරයක් නිර්මාණය කරයි. මෙය ඩෙංගු, චිකන්ගුන්‍යා, මැලේරියා වැනි මදුරුවන්ගෙන් බෝවන රෝග කොළඹ නගරය තුළ සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානම ඉහළ නංවයි. ඊට අමතරව, කාර්මික අපද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය සහ මළ අපද්‍රව්‍ය ඇළ මාර්ගවලට මුදා හැරීම නිසා ජලය අධික ලෙස දූෂණය වී ඇත. මෙම අපිරිසිදු ජලය මිනිසුන්ට ස්පර්ශ වීමෙන් හෝ පානීය ජලයට මිශ්‍ර වීමෙන් උණ සන්නිපාතය සහ පාචනය වැනි ජලයෙන් බෝවන රෝග ඇතිවීමේ අවදානමක් ද පවතී.

ගංවතුර හේතුවෙන් දේපළ හානි සිදු වීම, ව්‍යාපාර කටයුතුවලට බාධා ඇතිවීම සහ සෞඛ්‍ය ගැටළු සඳහා ප්‍රතිකාර සඳහා යන වියදම් වැනි කරුණු නිසා ආර්ථික වශයෙන් ද කොළඹ නගරයට විශාල පාඩුවක් සිදු වෙයි. සමස්තයක් ලෙස, කොළඹ නගරයේ ඇල මාර්ග නඩත්තු නොකිරීම නගරයේ ජනතාවගේ සෞඛ්‍ය, ජීවන තත්ත්වය සහ ආර්ථිකයට සෘජුවම බලපාන බරපතල ගැටලුවක් බව පැහැදිලිය.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත් වී දැන් මාස ගණනාවක් ගත වී තිබුණද, අවශ්‍ය කාර්යයන් අවශ්‍ය වේලාවට නොකිරීමේ දුර්වලතාවයෙන් ආණ්ඩුව පීඩා විඳින බව විශේෂයෙන් පෙනෙන්නේ අනවශ්‍ය වැඩ සහ කයිවාරු දිනපතා ආණ්ඩුව පාර්ශවයෙන් අසන්නට දකින්නට ලැබෙන බැවිනි. නව නගරාධිපතිනිය සහ වත්මන් රජය මෙම ගැටලු කෙරෙහි අවධානය යොමු කරමින් කඩිනම් විසඳුම් ලබා දෙනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වෙති.

පාසැල් සිසුන්ට වතුර බොන්න සීමාවක් ! වැඩිපුර බිව්වොත් ගෙවන්න වෙයි

එක් මසකට පාසැල් සිසු සිසුවියන් පරිභෝජනය කල හැක්කේ එක් සිසුවෙකුට වතුර ලීටර 400ක් බවත් ඉන් වැඩිපුර පරිභෝජනය සිදුකරන්නේ නම් එම පිරිවැය පාසැල දැරිය යුතු බවත් සදහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් විසින් චක්‍රලේඛයක් නිකුත් කොට ඇත.

පාසල්වල පිහිටි විදුහල්පති නිවාස ගුරු නිවාසවල ජල බිල්පත් ඒවායේ පදිංචිකරුවන් විසින් ගෙවිය යුතු බවත් මෙම චක්‍රලේඛයේ සදහන් කොට ඇති අතර තවද ජල තටාක සහ වෙනත් අවශ්‍යතා සඳහා ජල සැපයුම සම්බන්ධතා ලබාගෙන ඇත්නම් ඒවායේ බිල්පත් පාසල මගින් ගෙවිය යුතු යැයිද අවධාරණය කොට ඇත.

ඒ අනුව පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව ගුරු මණ්ඩලය සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ එක් පුද්ගලයකුට දිනකට ජලය ලීටර් විස්සක් වැය වෙතැයි ගණනය කොට දින විස්සක් සඳහා එනම් මසකට ලීටර් 400 ක් සදහා පමණක් රජයේ මුදලින් බිල්පත් ගෙවන බවද එම චක්‍රලේඛයේ සඳහන් කර තිබේ

රාජ්‍ය සේවකයින්ට අද සිට දඩ

සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය සේවකයින්ට වහාම ක්‍රියාත්මකවන පරිදි දඩ මුදලක් අය කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිසම සියළු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම්දී ඇත.

ඒ අනුව සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය සේවකයින්ගේ වැටුපෙන් දෛනිකව සියයට තිහෙන් එකක් දඩ වශයෙන් අයකරනු ලැබේ.

වත්කම් බැරකම් ප්‍රකාශ භාරදීමට රජයේ නිලධාරීන්ට දුන් සති දෙකේ සහන කාලය අවසන් වන අද දින වන විටත් වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදී ඇති නිලධාරීන්ගේ ලයිස්තුව ආයතන ප්‍රධානීන් විසින් ඉදිරි දිනවල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කරනු ලැබිය යුතුවේ.

අත්‍යවශ්‍ය ඖෂධ 56ක් ගෙන්වන්න මාස 09ක් ඕනලු

වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවේ 2025 පෙබරවාරි වාර්තාවට අනුව අත්‍යවශ්‍ය ඖෂධ 333 ක තොග දැනට නොමැති බව වාර්තාවේ. එයින් ඉතා වැදගත් ඖෂධ වර්ග 56ක ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් අනතුරුව රෝහල් පද්ධතිය වෙත ලැබීමට තවත් මාස 09ක පමණ කාලයක් ගතවෙනු ඇතිබව අනාවරණය වේ.

පිළිකා, දියවැඩියාව, අපස්මාරය සහ මානසික රෝග වැනි නිදන්ගත හා බරපතළ රෝග සඳහා අත්‍යවශ්‍ය ඖෂධ රාජ්‍ය හා පෞද්ගලික රෝහල් අංශ දෙකෙහිම හිඟව පවතින බව සෞඛ්‍ය අංශ හෙළිකරයි. ඖෂධ හිඟය කෙතරම්ද යත් පෞද්ගලික අංශයේ ඖෂධ සැපයුමද 30% කට වඩා පහත වැටී ඇත.

බිට්කොයින් වලටත් VAT

ක්‍රිප්ටෝ හා බ්ලොග් චේන් තාක්ෂණය සදහා ආණ්ඩුව වැට් බදු පනවා ඇතිබවත් මෙලෙස බිට් කොයින් වලට බදු ගැසූ ලොව පළමු රාජ්‍ය ලෙස ශ්‍රී ලංකාව ඉතිහාසයට එක්වෙනු ඇති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප ක‍්‍රිප්ටෝ හා බ්ලොක්චේන් තාක්ෂණය සමඟ ගැටුමකට නොයා යම් ලිහිල් ක්‍රියාමාර්ගයක් අනුගමනය කරමින් සිටින පසුබිමෙක ශ්‍රී ලංකාවේ ආර්ථික විශේෂඥයින් මෙලෙස බදු පැනවීමට තීරණය කල පදනම තමන්ට නොතේරෙන බව සදහන් කල අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කලේ ඇමෙරිකානු රාජ්‍ය බුද්ධි අංශය පවා බ්ලොක්චේන් සදහා බදු පැනවිය නොහැකියයි පවසා තිබියදී ආණ්ඩුව පැනවූ බදු නියාමනය කරන්නේ කෙලෙසද යන්න ගැටළු සහගත බවයි.

 

රජයේ සේවකයින් 1,300ක් ඉවතට

ගෘහ සේවයේ යෙදී සිටි සේවකයින් 1,107ක් සහ විදේශ සේවයේ යෙදී සිටි සේවකයින් 246ක් වහාම සේවයෙන් ඉවත් කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර ඇත. එලෙස ඉවත්කරනු ලබන්නේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සේවකයින් 1,300කි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනවාරි මාසයේදී දෙවන වරටත් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, ඔහු විවිධ පරිපාලන ප්‍රතිසංස්කරණ පියවර ගනිමින් සිටී. පරිපාලන ප්‍රතිසංවිධානයේ කොටසක් ලෙස මෙම සේවකයින් සේවයෙන් ඉවත් කරන බව එක්සත් ජනපද ප්‍රවෘත්ති වාර්තා පෙන්වා දෙයි.

ජාතික රෝහලේ “ට්‍රොපනින්අයි” ඇනහිටී

පපුවේ ඇතිවන හදිසි වේදනාවක් සමඟ රෝහල්ගතවන රෝගියෙකුට හෘදයාබාධයක් වැලඳී ඇතිද නැතිද යන්න හඳුනා ගන්නා ප්‍රාථමික පරික්ෂණය වන “ට්‍රොපනින්අයි” පරීක්ෂණය සම්පූර්ණයෙන්ම ඇනහිටීම හේතුවෙන් රෝගීන් බලවත් අපහසුතාවයට ලක්ව ඇති බව වාර්තා වේ.

පරීක්ෂණය සදහා අවශ්‍ය කට්ටල මිලයට ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකිරීම හේතුවෙන් අදාල පරීක්ෂණයන් සදහා රෝගීන් අසල පවතින පෞද්ගලික රෝහල්වෙත යොමුකිරීමට සිදුව ඇත්තේද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදලින් රෝහලේ බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග අනාවරණය කරයි. මෙකී පරීක්ෂණය සදහා පෞද්ගලික අංශය රුපියල් 8000 සිට 15000 දක්වා මුදල් අයකෙරේ.

හෘදයාබධයක් සෑදී පැමිණෙන රෝගීන් ජාතික රෝහලේ හෘද ප්‍රතිකාර ඒකකය වන වාට්ටු අංක 60 සහ 61 වටිටුවෙත යාමට ඇති විදුලි සෝපානයද ක්‍රියා විරහිත වීම හේතුවෙන් හෘද රෝගීන්ට පඩිපෙළ භාවිත කරමින් ප්‍රතිකාර සඳහා වෛද්‍ය වාට්ටුව වෙත යාම සිදුව තිබීම තවත් කණගාඩුදායක තත්වයකි. විදුලි සෝපානය පිලිසකර කර දෙන බලධාරීන්ට කොතෙක් පැවසූවද එයද කල්මරමින් සිටින බව අනාවරණය වෙයි.

ශල්‍ය උපකරණ හිගයද හෘද රෝගී ඒකකයේ දරුණුව ඇති අතර මේ හේතුවෙන් අත්‍යාවශ්‍ය ශල්‍යකර්ම පවා දින නියමයක් නොමැතිව කල් තැබීම මේ දිනවල සුලබ දසුනකි.

 

වෛද්‍ය මහේෂිට එරෙහි අල්ලස් පැමිණිලි ඉහළට

රක්ෂිත බන්ධනාගාරගතව පසුවන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය, මහේෂී විජේරත්න මහත්මියට එරෙහිව අල්ලස් පැමිණිලි 100 ඉක්මවා ලැබී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

ස්නායු ශල්‍යකර්ම සිදුකිරීමේදී ඊට අවශ්‍ය ශල්‍ය උපකරණ බාහිර ආයතනවලින් ලබා ගැනීමට සැලැස්වීමෙන් රෝගීන්ට අලාභ සිදුකිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් යටතේ සිදුකරනු ලබන පරීක්ෂණ කටයුතු සදහා වින්දිතයින්ගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කර ගනිමින් පවතින බව සදහන් කරන අල්ලස් කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ” පරීක්ෂණවලට අදාල වින්දිතයින් සම්බන්ධයෙන් ඔබවෙත යම් තොරතුරක් සතුවන්නේ නම් ක්ෂණික ඇමතුම් අංක 1954 ට හෝ ciaboc_gen@ciaboc.gov.lk යන විද්‍යුත් ලිපිනයට දැනුම්දෙන ලෙසයි.

විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය සම්බන්ධයෙන් නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ලබන 15 වැනිදා නැවත කැදවීමට නියමිතයි.

එයාර් ඉන්දියා අනතුර කළු පෙට්ටියෙන් හෙලිවේ

පුද්ගලයින් 260ක් ජීවිතක්ෂයට පත්කරමින් පසුගියදා ඉන්දියාවේ අහමාබාද් ගුජරාට් ගුවන්තොටුපල ආසන්නයේ සිදුවූ එයාර් ඉන්දියා ගුවන් අනතුරේ මූලික පරීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත්වී ඇත.

අනතුරට පත් ගුවන් යානයේ කලු පෙට්ටියේ සඳහන්ව තිබූ ගුවන් නියමුවන් දෙදෙනොගේ හඩ පටිගත වීමක් මෙම මූලික පරීක්ෂණ වාර්තාවට පදනම් ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

යානයේ ඉන්ධන සැපයීම විසන්ධි කලේ ඇයිදැයි යන්න මෙහිදී එක් ගුවන් නියමුවෙකු විමසා ඇති අතර අනෙක් ගුවන් නියමුවා එයට පිළිතුරු ලෙස පවසා ඇත්තේ තමන් විසින් ඉන්ධන සැපයීම විසන්ධි නොකල බවයි.

ප්‍රශ්නය අසන ගුවන් නියමුවා හා පිළිතුරු දෙන නියමුවා කවුරුන්ද යන්න හෙළිදරව්වී නොමැතිබව පවසන ජාත්‍යාන්තර මාධ්‍ය පවසන අයුරින් මෙම අනතුරට මූලික හේතුව වී ඇත්තේ ගුවන් යානයේ ඉන්ධන සැපයීමේ අවහිරතාවයක් හට ගැනීම බවද පෙන්වාදී ඇත.

Add to cart