30% බද්ධ අගෝස්තු 01 වෙනිදාට පෙර අපි අඩුකර ගන්නවා අමාත්‍ය වසන්ත සමරසිංහ

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා ඇති 30% බද්ධ එළඹෙන අගෝස්තු පළමු වෙනිදාට පෙර තවත් අඩුකර ගැනීම සදහා සාකච්ඡා කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්‍ෂිතතා හා සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පවසයි.

රජය විසින් නව වෙළෙඳපොළවල් හඳුනාගැනීම, නව භාණ්ඩ නිෂ්පාදනයන්වලට යොමුවීම ඇතුළු කරුණු කිහිපයක් ගැන අවධානයට යොමුකර රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මේ වන විට නව අයුරකින් කටයුතුකරමින් පවතින බවත් අනාවරණය කල අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ පෙර පැනවූ 44% බද්ධ 30% දක්වා අඩුකිරීමට හැකිවූයේ රජයේ සෘජු මැදිහත් වීම මත බවයි.

 

 

අධිකරණයේ කැළඹීම: කෙහෙලිය, යෝෂිත, මර්වින්, නලින්ට එරෙහි නඩු කල් යයි!

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය මේ දිනවල දැඩි අවධානයට ලක්ව ඇත්තේ, ආන්දෝලනාත්මක නඩු කිහිපයක් විභාග වෙමින් පැවතීම හේතුවෙනි. හිටපු අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, මර්වින් සිල්වා, සහ නලින් ප්‍රනාන්දු මෙන්ම යෝෂිත රාජපක්ෂ සම්බන්ධ නඩු කටයුතු මේ වන විට කල් තබා ඇති අතර, ඒවායේ ඉදිරි කටයුතු පිළිබඳව දැඩි උනන්දුවක් පවතී.

කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි ප්‍රමිතියෙන් තොර එන්නත් ගනුදෙනුව

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා භාරදීම සැප්තැම්බර් 16 වැනිදා දක්වා කල් තබා ඇත. කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීරණය ගෙන ඇත්තේ, චෝදනා පත්‍ර ගොනු කර තිබුණද, ඊට අදාළ ඇමුණුම් මෙතෙක් ගොනු කර නොමැති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණයට දැනුම් දීම හේතුවෙනි. රජයේ මුද්‍රණාලයාධිපතිවරයා ඇමුණුම් ලබා දීමට දින 21ක් පමණ ගතවන බව දැනුම් දී ඇති බැවින්, මෙම කල් තැබීම සිදුවිය.

යෝෂිත රාජපක්ෂට සහ ඩේසි ෆොරොස්ට්ට එරෙහි මුදල් විශුද්ධිකරණ චෝදනා

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ජූලි 28 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. මෙම නඩුව විභාග කරන විනිසුරුවරයා මේ වන විට නිවාඩු ලබා සිටීම මෙයට හේතුව වී ඇත. රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණ වරදක් සිදු කළේ යැයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.

මර්වින් සිල්වාට එරෙහි අයථා වත්කම් නඩුව

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින්, අයථා ලෙස වත්කම් උපයාගත් බවට චෝදනා කරමින්, හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව ජූලි 28 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (ජූලි 11) නියෝග කළේය. නඩුව කැඳවූ අවස්ථාවේදී, ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අධිකරණය හමුවේ පෙනී සිටියද, නඩුව විභාග කරන විනිසුරුවරයා නිවාඩු ලබා සිටීම හේතුවෙන් නඩුව කල් තබන ලදී. 2010 මාර්තු 31 සහ 2012 මාර්තු 31 අතර කාලසීමාව තුළ හිටපු අමාත්‍යවරයා රුපියල් මිලියන 85කට අධික වත්කම් අයථා ලෙස උපයාගෙන ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.

නලින් ප්‍රනාන්දුගේ ඇප ඉල්ලීම

කැරම් බෝඩ් බෙදාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී, දැනට වසර 25 ක සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු තමාව ඇප මත මුදාහරින ලෙස ඉදිරිපත් කළ අභියාචනය සම්බන්ධයෙන් අගෝස්තු 25 වැනිදා කරුණු දක්වන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ. නලින් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායකයා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින්, එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඇත. මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට අගෝස්තු 25 වැනිදා කරුණු දක්වන ලෙස නොතීසි නිකුත් කර තිබේ.

මෙම නඩු කටයුතු ඉදිරියේදී කුමන දිශාවකට යොමු වේද යන්න පිළිබඳව රටේ ජනතාව දැඩි අවධානයෙන් සිටී.

රාජිත අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් අවශ්‍ය නෑ!

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න දැනටමත් ක්‍රියාත්මක වන විමර්ශනයක සැකකරුවෙකු ලෙස නම් කර ඇති බැවින්, ඔහුව අත්අඩංගුවට ගැනීමට අධිකරණ වරෙන්තුවක් ලබා ගැනීමට අවශ්‍ය නොවන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කකුණවෙල අද (ජූලි 11) අල්ලස් කොමිෂන් සභාවට දැනුම් දුන්නේ ය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ඉල්ලා අල්ලස් කොමිෂන් සභාව විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම පැහැදිලි කිරීම සිදු කෙරිණ.

රජයේ ආයතනයකට නීත්‍යානුකූලව ලබා දුන් ව්‍යාපෘතියක් නීතිවිරෝධී ලෙස විදේශීය සමාගමකට පැවරීමෙන් රාජ්‍යයට රුපියල් මිලියන 26.3 ඉක්මවූ පාඩුවක් සිදුව ඇති බවට වන චෝදනා මෙම නඩුවට සම්බන්ධ වේ.

බහාලුම් අනීතිකව මුදාහැරීමට මම සම්බන්ධ නම් මාව හිරේ දාන්න..!

බහාලුම් මුදාහැරීම සම්බන්ධයෙන් තමාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන ලෙස අමාත්‍ය බිමල් රත්නායක විපක්ෂයට අද අභියෝග කළේය. තමාට එවැනි බහාලුම් මුදාහැරීමට බලයක් නොමැති බවත්, කිසිදු මුදාහැරීමකට සම්බන්ධ නොවූ බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

“විපක්ෂය මුලින්ම බහාලුම් මුදාහැරීම බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට සම්බන්ධ කිරීමට උත්සාහ කළා. ඒක වැරදි බව ඔප්පු වුනායින් පස්සෙ ඔවුන් ඒක මට සම්බන්ධ කිරීමට උත්සාහ කරනවා. මට බහාලුම් නිදහස් කිරීමට බලයක් නැහැ. මම එක බහාලුමක්වත් නිදහස් කරලා නැහැ. විපක්ෂය සතුව තොරතුරු තිබෙනවා නම්, ඔවුන්ට ඕනෑම පොලිස් ස්ථානයකට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර මා වැරදිකරු බව ඔප්පු කරන්න පුළුවන්. මම වංචාවක් කර තිබෙනවා නම් මාව හිරේ දාන්න.”

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, තමන්ට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, ඒවා දේශපාලන අරමුණු පෙරදැරිව ගොඩනඟන ලද ඒවා බවත්ය.

සාපෙල විෂයන් 09 අසමත් සිසුන් 2.34%ක්

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුවසියලුම විෂයන් අසමත් සිසුන් 2.34%ක ප්‍රතිශතයක් ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පවසයි.

මෙවර අපොස සාපෙළ විභාගයට ඉදිරිපත්වූ අපේක්ෂක අපේක්ෂිකාවන් අතරින් 237,026ක් දෙනෙකු උසස් පෙළ සදහා සුදුසුකම් ලබා ඇතිබවත් එය විභාගයට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ගේ ප්‍රතිශතයෙන් 73.45%ක අගයක් බවත් ඇය අනාවරණය කරයි.

“ගෝඨාභය එලවපු අයට දැන් දුකයි!” – නාමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (ජූලි 09) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ, හිටපු විධායක ජනාධිපතිවරයෙකු ධුරයෙන් ඉවත් වූ දිනයක් ලෙස අද දිනය කිසිදා අමතක කළ නොහැකි බවයි. අරගලය මගින් ඇති වූ තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කණගාටුව පළ කළේය.

“ගෝඨාභය මහත්තයා එළවපු අයට දැන් දුකයි”

“ගෝඨාභය මහත්තයාව එලවපු අය දැන් අපිට වඩා දුක් වෙනවා” යැයි නාමල් රාජපක්ෂ සඳහන් කළේය. ඒ, “ජේ.වී.පී. ආණ්ඩුවක් ගෙනල්ලා රැවටුනා, අපිව රැවැට්ටුවා, අපිව ඇන්දුවා” කියා දුක්වන බොහෝ පිරිසක් සිටින බව පෙන්වා දෙමිනි.

එමෙන්ම, අවංකව අරගල කර රටට යහපතක් කිරීමට බලාපොරොත්තු වූ තරුණ පිරිසටත්, ජනතාවටත් වඩා “ගතානුගතික, පාරම්පරික 88-89 සිස්ටම් එකකට” ආණ්ඩුවක් ස්ථාපනය වී ඇති බවට ඔහු කණගාටුව පළ කළේය.

“ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව විධායක ධූරයෙන් අයින් කරාට වඩා, එතුමාව යවලා ගෙනාපු ක්‍රමවේදයෙන් වෙන හානිය වැඩියි.”

නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේ, “ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කියන්නේ මේ රටේ විධායක ජනාධිපතිවරයෙක් විදිහට එක් සාධකයක් පමණයි. හැබැයි එතුමාව යවලා ගෙනාපු සිස්ටම් එකෙන් හදපු, යවලා ගෙනාපු ක්‍රමවේදයෙන් වෙන හානිය වැඩියි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව විධායක ධූරයෙන් අයින් කරාට වඩා.”

“මේ කාරණය නිවැරදි කිරීමේ වගකීම අපිටමයි”

මෙම තත්ත්වය නිවැරදි කිරීමේ වගකීම තමන්ටම පැවරෙන බව අවධාරණය කළ නාමල් රාජපක්ෂ, ඉදිරි කාලසීමාව තුළ රටේ ආර්ථිකය යළි ගොඩනංවන බවට පොරොන්දු විය. “ගෝඨාභය මහත්තයා එළවන්න, ගෝඨාභය මහත්තයාට කියලා බෝඩ් උස්සන් හිටපු අයට දැනෙන විදියට අපි මේ රටේ ආර්ථිකය හදලා දෙන්නම්.”

තරුණයන්ට නව බලාපොරොත්තුවක්

තරුණයාට බලාපොරොත්තුවක් ලබා දීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, “ලෝකෙට ගැලපෙන විදියට, මේ බොරු කියලා, කයිවාරු ගහලා නිලධාරී ටික අරන් ගිහිල්ලා හිරගෙවල්වල දාන සිස්ටම් එක නෙවෙයි. ලෝකෙට ගැලපෙන විදියට අවංකව මේ රට ගොඩනගන්න පුළුවන් සිස්ටම් එකක් අපි ගේනවා” යනුවෙනි.

අරගලයට වසර 3 ක් ගත වූ දින ම ජොන්ස්ටන්ට වන්දියක්! 10 දෙනෙකුට අත්හිටවූ සිර දඬුවම්!

2022 මැයි 09 වන දින ගාලු මුවදොර ගෝඨාගෝ ගම අරගලයට පහර දීමෙන් පසු, කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් සංචාරක හෝටලයකට සහ එහි නවතා තිබූ වාහන දෙකකට හානි කිරීමේ චෝදනාවලට වරද පිළිගත් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී මොහොමඩ් අනාස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (ජූලි 09) බරපතළ වැඩ සහිත වසර දෙක බැගින් වූ සිර දඬුවම් නියම කර එය අත්හිටුවීමට තීන්දු කළේය.

දඩ මුදල් සහ වන්දි ප්‍රතික්ෂේප කිරීම

මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය, විත්තිකරුවන් නව දෙනෙකුට රුපියල් 65,000 බැගින් දඩ නියම කළ අතර, හෝටලයෙන් ලැප්ටොප් පරිගණකයක් පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ විත්තිකරුට රුපියල් 80,000ක දඩයක් නියම කළාය.

නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන්ගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ, තම සේවාදායකයින් චෝදනා සඳහා වරද පිළිගැනීමට සූදානම් බවත්, සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට සූදානම් බවත්ය. කෙසේ වෙතත්, අගතියට පත් ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝෂන් සිරිවර්ධන අධිකරණයට දැනුම් දුන්නේ, විත්තිකරුවන් ගෙවීමට පොරොන්දු වූ වන්දිය භාර ගැනීමට තම සේවාදායකයා අකමැති බවත්, ඔවුන් වරද පිළිගෙන ඇති නිසා කිසිදු වන්දියක් අපේක්ෂා නොකරන බවත්ය.

බරපතළ සිදුවීමේ විස්තර

නීතිඥ සිරිවර්ධන අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, සිද්ධිය වූ දින විත්තිකරුවන් තම සේවාදායකයාගේ හෝටලයට කඩා වැදී පෙට්‍රල් දමා එය ගිනි තැබීමට උත්සාහ කළ බවත්, විදේශීය සංචාරකයින්ගේ මැදිහත්වීමෙන් එය වැළකුණු බවත්ය. තවද, තම සේවාදායකයාගේ දියණිය කාමරයක් තුළ දමා ගිනි තැබීමට මොවුන් උත්සාහ කර ඇති බවත්, ඔහු වහලයෙන් බැස ඇයව බේරාගෙන ඇති බවත් නීතිඥවරයා සඳහන් කළේය. මෙම සිද්ධියෙන් ප්‍රනාන්දු මහතාට රුපියල් මිලියන නවයක පමණ අලාභයක් සිදුවී ඇති බවද ඔහු පැවසීය.

දසවන විත්තිකරුගේ පෙර වැරදි

විත්තිකරුවන්ට පෙර වැරදි නොමැති නිසා ලිහිල් දඬුවමක් නියම කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. නමුත් මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ, මෙම නඩුවේ දසවන විත්තිකරුට පෙර වැරදි නොමැති බවට ඔහුගේ නීතිඥවරයාට ලබා දී තිබූ උපදෙස් අසත්‍යයක් බවයි. ඔහුට පෙර වැරදි තිබෙන බව පිළිගැනීමට සිදුවීමෙන් පසු, විනිසුරුවරිය කියා සිටියේ, විත්තිකරු සිදු කර ඇත්තේ බරපතළ වරදක් බවත්, ඔහුගේ නීතීඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බලා යළි සමාජගත විය හැකි දඬුවමක් ලබාදීමට කටයුතු කරන බවත්ය.

ඒ අනුව, එක් එක් විත්තිකරුට බරපතල වැඩ සහිත වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළ විනිසුරුවරිය, එය වසර 10 සිට 15 දක්වා අත්හිටුවීමට නියම කළාය. දඩ මුදල් ගෙවා තිබෙන ආකාරය පරීක්ෂා කිරීම සඳහා නඩුව යළි අගෝස්තු මස 28 වන දින කැඳවීමට නියම කර ඇත.

පාස්කු ප්‍රහාරය යළි රාජපක්ෂලා බලයට ගෙන ඒම සඳහා කරන ලද දේශපාලන අපරාධයක්!

පාස්කු ප්‍රහාරය හුදකලා සිදුවීමක් නොවන බවත්, එය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නැවත බලයට ඒම සඳහා දියත් කරන ලද “දේශපාලන අපරාධයක්” බවත් පාර්ලිමේන්තු සභානායක, අමාත්‍ය බිමල් රත්නායක අද (ජූලි 9) පාර්ලිමේන්තුවේදී ප්‍රබල ප්‍රකාශයක් කළේය.

ඔහු අවධාරණය කළේ, 2015 දී රාජපක්ෂවරුන් පරාජය වීමෙන් පසු රටේ බලතුලනය ඔවුන්ට වාසිදායක ලෙස වෙනස් කිරීමට උත්සාහ කළ බවයි. “ඔවුන් මේ තත්ත්වය නිර්මාණය කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අතර දේශපාලන ප්‍රතිවිරෝධයක් ඇති කිරීම හරහා,” ඔහු පැවසීය. සිරිසේනගේ දෙවන ධුර කාලයක් සඳහා වූ උත්සාහයත්, වික්‍රමසිංහගේ “තුච්ඡ දේශපාලනය”ත් මේ තත්ත්වය තවත් උග්‍ර කළ බව රත්නායක මහතා චෝදනා කළේය.


“ජාතිවාදී කණ්ඩායම් බුද්ධි අංශ මගින් පවත්වාගෙන ගියා”

පාස්කු ප්‍රහාරය සඳහා පසුබිම සකස් කිරීම 2013 තරම් ඈතට දිව යන බව අමාත්‍යවරයා සඳහන් කළේය. “2013 ඉඳලා ජාතිවාදී සිංහල සහ ජාතිවාදී මුස්ලිම් කණ්ඩායම් වෙනම බුද්ධි අංශ මාර්ගයෙන් හදලා පවත්වාගෙන ගියා.”

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙම තත්ත්වය “අන්ත මුස්ලිම් මිනිහෙක්ට ලංකාවේ ඉපදිච්ච එක පාපයක්, සාපයක් හිතෙන විදිහේ මානසිකත්වයක්” නිර්මාණය කළ බවයි. “ඒ මුස්ලිම් විරෝධය ගොඩනැගුවා. ඔය ISIS ප්‍රහාරයට කලින් තිබුණා. ඒක තමයි ඇත්ත.”

“ජාතික ආරක්ෂාව බිංදුවට දාපු නායකයෝ”

ප්‍රහාරය වළක්වා ගැනීමට අවස්ථා තිබූ බවත්, බුද්ධි අංශ, ආරක්ෂක අංශ සහ පොලීසිය ශක්තිමත් නම් එය වැළැක්විය හැකිව තිබූ බවත් බිමල් රත්නායක පෙන්වා දුන්නේය. “සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ කරපු ලොකුම අපරාධය තමයි මේ රටේ ජාතික ආරක්ෂාව බිංදුවට දැමීම,” ඔහු දැඩි ලෙස චෝදනා කළේය.

ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු අනූවකට වඩා ලැබී තිබුණද ඒවා නොසලකා හැරීම සම්බන්ධයෙන් ඔහු හිටපු පාලනයට දොස් පැවරීය. “අද මේ මාතෘභූමිය විඳින ආර්ථික අර්බුදයත් මෙතැනින් තමයි පටන් ගත්තේ. සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා.”

පරීක්ෂණ යටපත් කිරීම සහ නිලධාරීන් දඩයම් කිරීම

පාස්කු ප්‍රහාරයෙන් පසු රනිල් – සජිත් ආණ්ඩුවට වසර එකහමාරක් පමණ බලයේ සිටියද නිසි පරීක්ෂණ සිදු නොකළ බව බිමල් රත්නායක චෝදනා කළේය. “තමන්ගේ ආණ්ඩුවෙන් ජාතික ආරක්ෂාව බිඳ වැටුණාට පස්සේ, තමන්ට කොච්චර වගකීමක් තියෙනවාද? තමන්ගෙන් වෙච්ච වැරැද්ද හදාගන්න.”

අමාත්‍යවරයා වැඩිදුරටත් චෝදනා කළේ, රාජපක්ෂ පාලන සමයේදී පරීක්ෂණ නිලධාරීන් දඩයම් කර සිරගත කළ බවත්, සාධාරණ පරීක්ෂණවලට බාධා කළ බවත්ය. “ශානි අබේසේකර කියන්නේ පාස්කු ප්‍රහාරයේ වික්ටිම් කෙනෙක්… රවී සෙනෙවිරත්න මැතිතුමා දාන්න කියලා කතෝලික ප්‍රජාව ඉල්ලීමක් කළා. මොකද කරේ? ඔබතුමාලා ගෝඨාභයලා දිනලා මේ මිනීමැරුම්.”

“මේක රට විනාශ කරපු, ජාතික ආරක්ෂාව බිංදුවට බස්සපු අසමත් කණ්ඩායමක්”

“මේක හතරක්, පහක් දෙනාගේ මිනීමැරුමක් විතරක් නෙමෙයි. මේක රට විනාශ කරපු, ජාතික ආරක්ෂාව බිංදුවට බස්සපු අසමත් කණ්ඩායමක්.” බිමල් රත්නායක තරයේ කියා සිටියේ, අද පරීක්ෂණ වාර්තා ගැන කතා කරන පිරිස්, “පරීක්ෂණ වාර්තා ඔක්කොම මැදමුලනේ ඉඳලා කුක් කරපුවා, ලියපුවා” බවයි.

නව රජය මාස හතක් තුළ දී පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ නැවත ආරම්භ කර ඇති බවත්, වගකිවයුත්තන්ට දඬුවම් දීමට කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළේය. “අපි හෘද සාක්ෂියේ සිදුරක් තියෙනවා මාතෘ භූමියේ. අපි මේ සිදුර උපරිම වශයෙන් පුරවලා මේ රටේ ක්‍රිස්තියානි, ඉස්ලාමීය ජනතාව, පොදු ජනතාව අතර සමගිය, සංහිඳියාව හදලා, ඔබතුමාලා අත්පුඩි ගහන දේශපාලඥයන්ගේ සැබෑ ගෝඩ්ෆාදර්ලව අනිවාර්යෙන්ම සිරගෙට යවනවා.”

ගල්කිස්ස – යාපනය නගරාන්තර දුම්රිය අසාර්ථක වීම ගැන ඇමැති බිමල් මගීන්ගෙන් සමාව ඉල්ලයි!

අද (ජූලි 9) දින සිට දිනපතා ධාවනය කිරීමට නියමිතව තිබූ ගල්කිස්ස – යාපනය අන්තර් නගර සීඝ්‍රගාමී දුම්රිය නියමිත පරිදි ධාවනය නොකිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක;  අපහසුතාවයට පත් වූ මගීන්ගෙන් සමාව අයැද සිටියේය.

මෙම සමාව අයැදීම සිදු කරනු ලැබුවේ  X ඔස්සේ මගියෙකු විසින් අමාත්‍යවරයාට කරන ලද පැමිණිල්ලකට ප්‍රතිචාර වශයෙනි. එම මගියා වාර්තා කර තිබුණේ යාපනය අන්තර් නගර දුම්රිය නිවේදනය කළ පරිදි ගල්කිස්සෙන් පිටත් නොවූ බවයි. ඒ වෙනුවට, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව දුම්රිය කොළඹ කොටුවෙන් ධාවනය ආරම්භ කිරීමට කල් දමා ඇති අතර, වැල්ලවත්ත දුම්රිය ස්ථානයේ නතර කර නැත. මේ හේතුවෙන් අලුයම 5:00 ට පමණ දුම්රියට ගොඩවීමට සූදානම්ව සිටි මගීන් කිහිප දෙනෙකු කර කියාගත නොහැකිව අසරණ තත්ත්වයට පත් ව තිබේ. ටිකට් පතේ මිල රුපියල් 3,600 ක් වූ බව ද එම පැමිණිල්ලේ සඳහන් ව තිබේ.

X ඔස්සේ ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය රත්නායක තහවුරු කළේ තමා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳ විමසා බැලූ බවයි. පෙර දින සහ අද දින යන දින දෙකේ ම පොරොන්දු වූ පරිදි දුම්රිය ගල්කිස්සේ සිට ධාවනය කර නොමැති බව ඔහු පිළිගත්තේය.

ඔහු තවදුරටත් කියා සිටියේ, සේවාව නිසි පරිදි ආරම්භ කිරීමට සූදානම් වූ විට පමණක් මහජනතාවට දැනුම් දෙන ලෙසටත්, ඒ සඳහා නිසි විධිවිධාන සලසන ලෙසටත් තමා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බවයි. සිදුවීම සම්බන්ධයෙන් මහජන සමාව අයැදීමක් නිකුත් කරන ලෙස ද අමාත්‍යවරයා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේය.

පාස්කු ප්‍රහාරය පිල්ලෙයාන් කළින් ම දැනගෙන හිටියා – මහජන ආරක්ෂක ඇමැති

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැන හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් ‘පිල්ලෙයාන්’ කලින්ම දැනගෙන සිටි බව පරීක්ෂණවලින් හෙළි වී තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරයි.

පාස්කු ප්‍රහාරය වෙනකොට පිල්ලෙයාන් හිටියේ මඩකලපුව බන්ධනාගාරයේ. එතකොටත් එයාට ප්‍රහාරය ගැන දැනුම් දීලා තිබුණා.

පිල්ලෙයාන් මඩකලපුව බන්ධනාගාරගත ව සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙනි. මේ ඝාතනය සම්බන්ධයෙන්ම බන්ධනාගාරයේ හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරීන් සමග පිල්ලෙයාන් සමීප සබඳතා පවත්වාගෙන ගොස් තිබෙන බව ද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ ය.

මේ සිද්ධිය ගැන තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Add to cart