පැලවත්තෙ ජවිපෙ අරමුදලට මාසිකව කෝටි 05 ක්?

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන විසින් සිය පාර්ලිමේන්තු වැටුප් විස්තර ප්‍රසිද්ධ කිරීමත් සමඟ, මහජන නියෝජිතයන්ගේ මුදල් කටයුතු පිළිබඳව සමාජයේ යළිත් කතාබහක් ඇති වී තිබේ. මෙය රටට වඩාත් යහපත් දිශාවකට යාමට පිටිවහලක් වන බව බොහෝ දෙනාගේ අදහසයි.

ජගත් විතානගේ වැටුප් තොරතුරු

ජගත් විතාන විසින් ප්‍රසිද්ධ කරන ලද තොරතුරු අනුව, ඔහු 2025 මැයි මාසය සඳහා රු. 317,760.39 ක පාර්ලිමේන්තු වැටුපක් ලබාගෙන ඇත. මහජන නියෝජිතයෙකු ලෙස මෙලෙස විනිවිදභාවයෙන් කටයුතු කිරීම ඉතා ආදර්ශමත් බව බොහෝ දෙනාගේ මතය වී තිබේ. මෙවැනි විනිවිදභාවයක් අනෙකුත් සියලුම ගනුදෙනු හා කාරණා සම්බන්ධයෙන් ද සිදු වන්නේ නම්, එය රටේ යහපාලනයට සහ දූෂණය අවම කිරීමට විශාල පිටිවහලක් වනු ඇති බවට සමාජය තුළ අදහස් පළ වේ.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ මහජන ප්‍රතිචාර

ජගත් විතානගේ මෙම අනාවරණයත් සමඟ, ජාතික ජන බලවේගයේ (NPP) මන්ත්‍රීවරුන්ගේ වැටුප් සම්බන්ධයෙන් ද යළි අවධානය යොමුවී තිබේ. NPP පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනා විසින් තමන්ගේ වැටුප්, පැලවත්තේ පිහිටි පක්ෂ කාර්යාලයේ පොදු ගිණුමකට බැර කරන බව මීට පෙර ඔවුන්ගේ ඇතැම් මන්ත්‍රීවරුන් විසින්ම ප්‍රකාශ කර තිබිණි.

මෙම තත්ත්වය සලකා බලන විට, එක් මන්ත්‍රීවරයෙකුගේ වැටුප රු. 317,760.39 ක් ලෙස සලකන්නේ නම්, NPP මන්ත්‍රීවරුන් 159 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට මාසිකව රු. 50,523,902.01 (රුපියල් කෝටි 5 කට අධික) ක මුදලක් පාර්ලිමේන්තුවෙන් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණු (JVP) කාර්යාලයට ලැබෙනු ඇති බව ගණනය කර තිබේ.

මෙම තොරතුරු ප්‍රසිද්ධ කිරීමත් සමඟ, සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව විවිධ අදහස් පළ කරමින් සිටිති. සමහරු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ දීමනා පිළිබඳව ප්‍රශ්න කරන අතර, තවත් සමහරු මෙවැනි විනිවිදභාවයක් ඇතිවීම අගය කරති. මහජන මුදල් භාවිත කරන ආකාරය පිළිබඳව පුළුල් සංවාදයක් මේ හරහා නිර්මාණය වී තිබීම රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට ධනාත්මක බලපෑමක් ඇතිකරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඇප ලබා දීමට ගිය පුද්ගලයෙකු මරුට

පසුගිය දා ඇඹිලිපිටිය අධිකරණයේ දී මිතුරෙකු වෙනුවෙන් ඇප තැන්පත් කිරීමට පැමිණි අසංක ඉඳුනිල් (46)ගේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් කතාබහක් නිර්මාණය වී තිබේ. අධිකරණය තුළදී දුරකථනය නාද වීම හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින් සිදු කරන ලද සෝදිසියක දී සාක්කුවේ තිබී බීඩි දෙකක් සහ ලයිටරයක් සොයා ගැනීමෙන් පසු, කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු කිරීමට පැමිණි බවට සැක කර අසංකව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අසංක ඉඳුනිල් එහිදී සිදු වූ පහරදීමකින් මිය යාමෙන් පසු, දින දෙක තුනක් ඇතුළත ඔහු නිවසට පැමිණියේ මිනී පෙට්ටියකිනි.

මෙම සිදුවීමත් සමග, අධිකරණවල දී සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ ප්‍රබල සංවාදයක් ඇති වී තිබේ. අපරාධ යුක්ති මූලධර්ම අනුව, රක්ෂිත බන්ධනාගාරගත කිරීම සිදු කළ යුත්තේ ඉතා සීමිත අවස්ථාවලදී පමණක් වුවත්, බොහෝ අවස්ථාවලදී පොලීසියේ ඉල්ලීම මත සැකකරුවන් එකපැහැර රිමාන්ඩ් කිරීමට අධිකරණ කටයුතු කරන බවට චෝදනා එල්ල වේ. අසංක ඉඳුනිල් මහතාගේ සිද්ධියත් සමඟ, අධිකරණ තීන්දු විවේචනය කිරීම සම්බන්ධයෙන් පවතින භීතිය ද ඉස්මතු වී තිබේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් වැදගත් තීන්දුවක් මෙම තත්ත්වය පිළිබඳ ධනාත්මක සංවාදයකට ඉඩ විවර කරයි. 2018 මැයි 06 වන දින අරලගංවිල ප්‍රදේශයේදී වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා විරෝධතාවක නිරත වූ ගොවීන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය. පොලීසියේ ඉල්ලීමට අනුව මහේස්ත්‍රාත්වරයා විසින් ඔවුන්ව දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට මෙම ගොවීන් දෙදෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ අතර, එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉතා වැදගත් තීන්දුවක් ලබා දෙන ලදී. එම අත්අඩංගුවට ගැනීම මගින් ගොවීන් දෙදෙනාගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, අරලගංවිල හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාගේ පුද්ගලික මුදලින් එම ගොවීන් දෙදෙනාට රුපියල් 30,000 බැගින් ගෙවන ලෙස නියෝග කළේය.

මෙම තීන්දුවේ වඩාත්ම වැදගත් කොටස වූයේ ඇප ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දැක්වූ අදහසයි. එහි සඳහන් වූයේ:

  • පොලීසිය ඉල්ලීමක් කළ පමණින් යමෙකු රක්ෂිත බන්ධනාගාරගත නොකළ යුතු බව.
  • යමෙකු රක්ෂිත බන්ධනාගාරගත කළ යුත්තේ සීමිත අවස්ථාවලදී පමණක් බව සහ මහේස්ත්‍රාත්වරයෙකු අපරාධ යුක්ති මූලධර්මය අනුව කටයුතු කළ යුතු බව.
  • පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම නොතකා, පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා විසින් ඔවුන්ව දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත කිරීම වෘත්තීය ගරුත්වයට පවා නොගැලපෙන බව.

මෙවැනි ක්‍රියා දිගින් දිගටම සිදු නොවීමට මහේස්ත්‍රාත්වරුන් දැනුවත් කිරීමට විනිසුරු පුහුණු ආයතන අධ්‍යක්ෂවරයාට ද තීන්දුව මගින් නියෝග කර තිබේ. නීතිඥ චතුර වෙත්තසිංහ සහ නුවන් බෝපගේ යන මහත්වරුන් මෙම පෙත්සම වෙනුවෙන් පෙනී සිට ඇත.

අසංක ඉඳුනිල් මහතාගේ අවාසනාවන්ත සිදුවීමත් සමග, මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වැනි පූර්වාදර්ශයන් පිළිබඳව පුළුල් සංවාදයක් ඇති කිරීමේ අවශ්‍යතාවය තවදුරටත් ඉස්මතු වේ. අධිකරණ ක්‍රියාවලියේ විනිවිදභාවය සහ යුක්තිය ආරක්ෂා කිරීම සඳහා මෙවැනි තීන්දු පිළිබඳව සමාජය දැනුවත් කිරීම අතිශය වැදගත්ය.

තොරතුරු කොමිසමේ සභාපති පුටුව රාජපක්ෂලාගේ දූෂිතයෙකුට?

තොරතුරු දැනගැනීමේ කොමිසමේ නව සභාපතිවරයා ලෙස නිමල් බෝපගේ පත් කිරීමට රජය විසින් ගෙන ඇතැයි පැවසෙන තීරණය සම්බන්ධයෙන් සිවිල් සමාජ ක්‍රියාකාරීන් දැඩි විරෝධයක් පළ කර තිබේ. යහපාලන සමයේ තොරතුරු දැනගැනීමේ පනත (RTI) ක්‍රියාත්මක කිරීමට බාධා කළ සහ මූල්‍ය වංචා චෝදනා ලත් පුද්ගලයෙකුට මෙවැනි වැදගත් තනතුරක් ලබාදීම “හොරකම, දූෂණය, වංචාව නැති සමාජයක්” පිළිබඳව වූ ජනාධිපතිවරයාගේ පොරොන්දුවට පටහැනි බව ඔවුන් පෙන්වා දෙයි.

සිවිල් සමාජ ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ, නිමල් බෝපගේ (බෝපගේ නිමලවීර) යහපාලන සමයේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති අතර, එකල රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා සමඟ ඇති වූ ගැටුමක් හේතුවෙන් තොරතුරු පනතට අදාළ කමිටුවක් සඳහා වෙන් කළ ප්‍රතිපාදන නතර කිරීමට කටයුතු කළ බවයි. තොරතුරු පනතට බාල්දි පෙරළු පුද්ගලයෙකුට එම පනත ක්‍රියාත්මක කරන ආයතනයේ ප්‍රධානත්වය ලබාදීම පිළිබඳව ඔවුහු ප්‍රශ්න කරති.

මීට අමතරව, බෝපගේට එරෙහිව බරපතළ මූල්‍ය වංචා චෝදනා එල්ල වී තිබේ. 2010-2012 කාලය තුළ මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ (NHRDC) සභාපතිවරයා ලෙස කටයුතු කරද්දී සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණ විසින් පැමිණිලි කර ඇති අතර, මෙම චෝදනා COPE කමිටුවේ අවධානයට ද ලක් වී තිබේ. 2014 නොවැම්බරයේදී COPE කමිටුව විසින් නීතිපතිවරයාගෙන් මේ පිළිබඳ කරුණු විමසා ඇති අතර, එවකට නීතිපති යුවංජන විජයතිලක විසින් 2015 අගෝස්තු මාසයේ දී මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කරන ලෙස නිර්දේශ කර ඇත. ඒ අනුව 2016 මාර්තු මාසයේදී නාරාහේන්පිට පොලීසියට පැමිණිලි කර ඇති අතර, පසුව එය වැල්ලවත්ත පොලීසියේ මූල්‍ය වංචා විමර්ශන ඒකකයට යොමු කර ඇත. එහෙත් මේ වන තෙක් එම විමර්ශන සම්බන්ධයෙන් කිසිදු ප්‍රගතියක් සිදුවී නොමැති බව වාර්තා වේ.

සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් පෙන්වා දෙන ලද ප්‍රධාන චෝදනා කිහිපයක් පහත දැක්වේ:

  • “විරැකියාවෙන් සුරැකියාවට” වැඩසටහනේ අක්‍රමිකතා: අනුරාධපුර දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන් පෞද්ගලික අංශයේ රැකියාවලට යෙදවීමේ අරමුණින් දියත් කළ මෙම වැඩසටහන සඳහා රුපියල් ලක්ෂ 07ක් ඇස්තමේන්තු කර තිබියදී රුපියල් මිලියන 2.3කට ආසන්න මුදලක් වැය කර ඇති අතර, කිසිදු ප්‍රතිඵලයක් අත් වී නොමැත. බාහිර උපදේශකයෙකුට අනුමතියකින් තොරව මිල අධික ලෙස ගෙවීම් සිදු කර ඇත.
  • ව්‍යාපෘති අතහැර දැමීම්: “මානව සම්පත් සංවර්ධන වසරට” අදාළව දියත් කළ “නිපුණතා සඳ” නමින් වූ රූපවාහිනී ගායනා තරගය සඳහා රුපියල් මිලියන 3කට අධික මුදලක් වැය කර පසුව එම ව්‍යාපෘතිය අතහැර දමා තිබීම.
  • දත්ත ගබඩා නිර්මාණය: ශ්‍රී ලංකාවේ රැකියා විරහිතයින්ගේ දත්ත ගබඩාවක් නිර්මාණය කිරීම සඳහා ප්‍රසම්පාදන පටිපාටියෙන් බැහැරව මහජන මුදල් වියදම් කිරීම.
  • පොත් මුද්‍රණය: මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාව නමින් පොතක් මුද්‍රණය කිරීමට මුදල් වියදම් කර එම ව්‍යාපෘතිය අසාර්ථක වීම.
  • ප්‍රචාරණ කටයුතු සඳහා මුදල් අවභාවිතය: මානව සම්පත් සංවර්ධනයට වෙන් කළ රුපියල් මිලියන 30න් රුපියල් මිලියන 19ක් වැය කර ඇති අතර, ඉන් රුපියල් මිලියන 10ක්ම “ප්‍රචාරණ කටයුතු” සඳහා වියදම් කර තිබීම. මෙම මුදලින් රුපියල් මිලියන 05ක්ම තමන්ගේම පෞද්ගලික ලිපිනයේ ලියාපදිංචි කරන ලද ආයතනයකට ලබා දී තිබීම.

මෙම චෝදනා සමග, රුපියල් කෝටි 10කට අධික මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා සිටි පුද්ගලයෙකුට තොරතුරු කොමිසමේ සභාපතිත්වය ලබා දීම, වත්මන් රජයේ “පිරිසිදු ශ්‍රී ලංකාවක්” ගොඩනැගීමේ ප්‍රතිපත්තියට කිසිසේත් නොගැලපෙන බව සිවිල් සමාජ ක්‍රියාකාරීහු අවධාරණය කරති.

ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මෙම පත්වීම වහාම නැවත සලකා බලන ලෙසයි. එසේ නොවුණහොත්, “සාරුව සුනිල් ලියනගේට කාන්තා කටයුතු අමාත්‍යාංශයත්, කෙහෙළියට යළි සෞඛ්‍ය අමාත්‍යාංශයත්, අර්ජුන් මහේන්ද්‍රන්ට මහබැංකුවත් බාර දීමට මෙය සමාන වන” බවට ඔවුහු අනතුරු අඟවති.

S.M . චන්ද්‍රසේන සහ අනුරාධපුරයේ “මැර දේශපාලනය”

හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයෙකු මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වූ පසුගිය රජය සමයන්හි ප්‍රබල අමාත්‍ය ධුරයක් දැරූ S.M. චන්ද්‍රසේන මහතා ගොවීන් අතර බෙදාදීම සඳහා රජයෙන් ආනයනය කරන ලද බඩ ඉරිඟු බීජ තම දේශපාලන හිතවතුන් අතර බෙදා දීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධව අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ පුවත ගිය සතියේ මාධ්‍ය මගින් වාර්තා කරනු ලැබුවා.

කලකට පෙර රජරට හොල්ලාගෙන සිටි දේශපාලනඥයෙකු වූ S.M චන්ද්‍රසේන මහතා මහින්ද රාජපක්ෂ රජය තුල ඉතා ප්‍රබල අමාත්‍ය ධූර කීපයක්ම දරනු ලැබූ අතර ඔහු රාජපක්ෂ රෙජීමයේ ඇතුළත වලල්ලේ (Inner Circle) ප්‍රබල සාමාජිකයෙකු ලෙසද එකල සලකනු ලැබුවා.

චන්ද්‍රිකා පාලන යුගය තුල අනුරාධපුර ප්‍රදේශය දික් විජය කරගෙන සිටි බර්ටි ප්‍රේමලාල් දිසානායක දේශපාලන පිටියෙන් ඉවත් කිරීමට ද චන්ද්‍රසේන සාධකය ඉවහල්ව පැවැති අතර, අවසන් වරට පැවැත්වූ පළාත් සභා මැතිවරණයේදී බර්ටි ප්‍රේමලාල් දිසානායක අභිබවා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් චන්ද්‍රසේනගේ සොහොයුරු හිටපු ග්‍රාමාරක්ෂක භටයෙකු වු S.M. රංජිත් උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍ය ධූරය දක්වා ඔසවා තැබීමටත් S.M. චන්ද්‍රසේන දේශපාලන සාධකය මෙන්ම රාජපක්ෂ රෙජීමය තුළ ඔහු ලබා තිබූ බලවත්කම ද ප්‍රබල කරුණක් ලෙස බලපානු ලැබූ බවත් සඳහන් කළ හැකියි.

1999 වර්ෂයේ සහකාර පොලිස් අධිකාරී වරයකු ලෙස උසස් වීමෙන් පසු මගේ මුල්ම පත්වීම ලැබුණේ අනුරාධපුරයටයි. ඒ වනවිට අනුරාධපුරයේ පොලිස් රාජකාරි හැඳින්වීමට මහජනතාව භාවිතා කළ ප්‍රකට නමක් වූයේ “බර්ටි පොලිසිය”යන්නයි. ඒ තරමටම දේශපාලනය අනුරාධපුර පොලිස් ව්‍යුහය වෙලාගෙන තිබුණු එවන් පසුබිමක අනුරාධපුරය ප්‍රදේශයේ හෘදශාක්ෂියට එකඟවව නිවැරදිව පොලිස් රාජකාරී ඉටු කිරීම “උඩුගම් බලා පිහිනීමක්” වගේ වුණා. ඒත් අසීරුවෙන් හෝ ඒ කාර්යය නිරත වීමට අපට සිදුව තිබුණා. මා මෙන්ම මේ සමයේ මගේ සහෘදයෙකු ලෙස කටයුතු කළ එවකට ජ්‍යෙෂ්ඨ සහකාර පොලිස් අධිකාරිවරයකු වූ පසුව නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්ව විශ්‍රාම ලැබූ M.H. මාසෝ මහතා මෙම තත්ත්වයට අදටත් ජීවමානව සිටින ප්‍රබල සාක්ෂියක් ලෙස හැඳින්විය හැකියි.

අනුරාධපුර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාා ලෙස
පද්මසිරි ලියනගේ මහතා කටයුතු කළ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර වරයා ලෙස කටයුතු කළේ විල්ෆ්‍රඩ් මහානායක මහතායි. සහකාර පොලිස් අධිකාරි අංක 1 දිස්ත්‍රික්කය ලෙස S.M . සමරකෝන් මහතාත් සහකාර පොලිස් අධිකාරි අංක 2 දිස්ත්‍රික්කය ලෙස කුප්‍රකට වාස් ගුණවර්ධනත් සහකාර පොලිස් අධිකාරි 3 දිස්ත්‍රික්කය ලෙස කනිෂ්ඨ සහකාර පොලිස් අධිකාරිවරයෙකු වූ මාත් සේවය කළ අතර M.H . මාසෝ මහතා තන්තිරිමලය සහ විලච්චිය අධි ආරක්ෂක කලාප අධීක්ෂණය කිරීම සිදුකරනු ලැබුවා.

මට මතකය හැටියට 1999 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ පමණ උතුරු මැද පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ සිවිල් පරිපාලන නිලධාරියෙකු වූ “තලාකොටුන්න” මහතායි. තනිකඩයකු ලෙස අනුරාධපුරයේ සේවය කළ ඔහුගේ නිල නිවස පිහිටා තිබුණේ නුවර වැව ඉස්මත්තේ රජයේ නිලධාරීන් සඳහා වෙන්කර තිබූ නිල නිවාස පිහිටා තිබී ප්‍රදේශයේයි. මෙම නිවසට යාබදව එවකට අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි 1 ලෙස කටයුතු කළ සමරකෝන් මහතාගේ නිවසත් ඒ ආසන්නයේම එවකට තනාගෙන යමින් තිබූ උසස් පොලිස් නිලධාරීන්ගේ සංචාරක නිවස්නයත් තවත් රජයේ නිලධාරී සදහා වෙන්කර තිබූ නිවාස කීපයක්ද පිහිටා තිබුණා.

තලාකොටුන්න මහතා පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර මෙම වකවානුවේ පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ එස්.එම්.චන්ද්‍රසේන අමාත්‍යවරයායි. පළාත් සභාව විසින් රජරට ප්‍රදේශය පුරා වෙලාගෙන තිබූ ජල ප්‍රශ්නය විසඳීම සඳහා සාධනීය පියවරක් ලෙස ජල ප්‍රශ්නය උග්‍ර ප්‍රදේශවල විශාල ප්‍රමාණයේ වගා ලිං ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබූ අතර මේ සඳහා විශාල මුදලක් පළාත් සභා විසින් වෙන් කරද තිබුණා. එක් එක් කොන්ත්‍රාත්කරුවන්ට මෙම වගා ලිං තැනීමේ කටයුතු භාරදී තිබූ අතර, එප්පාවල ප්‍රදේශයේ තනා තිබූ වගා ලිං පහක් සම්බන්ධව ගෙවීම් කටයුතු සිදු කිරීම සඳහා අදාළ වව්චර පත් අනුමැතිය සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා වූ “තලා කොටුන්න” මහතා අතට පත්ව තිබුණේ මේ අවධියේයි.

මෙම ස්ථාන භෞතිකව පරීක්ෂා නොකර එම ගෙවීම් සිදුකිරීම ප්‍රතික්ෂේප කල ලේකම්වරයා තකහනියක්ම මෙම ප්‍රදේශයන්ට ගොස් වගා ලිං තැනීම සම්බන්ධව සිදුකරනද පරීක්ෂණයේදී හෙළිදරව් වී ඇත්තේ මේ කිසිදු වගා ළිඳක් ඒ වන විට සම්පූර්ණ කර නොතිබූ බවත් වගා ලිං කීපයක්ම තැනීම ආරම්භ කිරීම පවා සිදුකර නොතිබූ බවය. මේ අනුව ගෙවීම් සිදුකිරීම සඳහා ඉදිරිපත් කර තිබූ වව්චර ව්‍යාජ ඒවා බව තීරණය කළ තලාකොටුන්න මහතා ඒවා සඳහා කිරීමට නියමිතව තිබූ ගෙවීම් අත්හිටවූ අතර මේ සම්බන්ධව උතුරු මැද පළාතේ ප්‍රධාන ලේකම්වරයාට පැමිණිලි කිරීමද සිදු කර තිබුණා.
මෙම සිද්ධිය හේතුවෙන් පළාතේ කෘෂිකර්ම අමාත්‍යවරයා සහ තලාකොටුන්න මහතා අතර එතරම් ඇයි හොඳයියක් පැවතුණේ නැති බවයි පසුව දැන ගන්නට ලැබුනේ.

1999 ඔක්තෝම්බර් මාසයේ දිනන තලාකොටුන්න මහතා සුපුරුදු පරිදි සිය කාර්යාලයේ වැඩ කටයුතු අවසන් කර ඔහු පදිංචි නිල නිවසට ගොස් රාත්‍රිය ආහාර ගැනීමට සූදානම් වෙමින් සිටියදී හදිසියේම මුහුණු ආවරණය කරගත් මැර කල්ලියක් ඔහුගේ නිවසට කඩා වැදුණා. පොලු සහ මුගුරු වලින් සන්නද්ධව සිටි මෙම මැර කල්ලිය කිසිදු වග විභාගයකින් තොරව තලාකොටුන්න මහතාට පහරදීම සිදු කළ අතර ඔහු කෙතරම් කෑගැසුවද ඔහුගේ සහයට කිසිවකු පැමිණීම හෝ මැරයන්ගේ පහරදීම අඩු වීම සිදුව තිබුණේ නැහැ. අවසානයේදී සිහිවිසඥ වනතුරු තලාකොටුන්න මහතාට පහර දුන් මැරවරයන් කිසිදු බාධාවකින් තොරව පලා යාමද සිදුකිරීමට සමත් වූූ අතර විනාඩි කිහිපයකට පසුව සහකාර පොලිස් අධිකාර සමරකෝන් මහතාගේ නිවසේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් විසින් සිහිවිසඥව සිටි ඒ මහතා රෝහල් ගත කිරීම සිදුකර තිබුණා.

මෙම පහරදීම් හේතුවෙන් පසුදින වන විට ‍අනුරාධපුර ප්‍රදේශයේ රාජ්‍ය සේවය තුළ මහත් කැළඹීමක් හටගෙන තිබූ අතර විශේෂයෙන්ම එවකට අනුරාධපුර දිසාපති ලෙස කටයුතු කර තවත් කොන්ද කෙලින්ම තියාගෙන වැඩ කරන නිලධාරියකු ලෙස ප්‍රකට මහ දිසාපති “වන්නිනායක” මහතා මෙම සිද්ධියේ බැරෑරුම්කම වහාම ඔහුගේ විශ්ව විද්‍යාල සමකාලිනයකු වූ එවකට ආරක්ෂක ලේකම් ධූරය දැරූ චන්දානන්ද සිල්වා මහතා දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම සිද්ධිය සම්බන්ධව ඉතා අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වන ලෙස ආරක්ෂක ලේකම්වරයා විසින් පොලිස්පතිතුමාටත් අනුරාධපුර දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් පෞද්ගලිකවම නියෝග කර තිබූ අතර මේ අනුව එම විමර්ශනය නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මා වෙත පැවරීම සිදුකරනු ලැබුවා.

විශේෂයෙන් මා මාරවිල පොලිස්ථානයේ සේවය කරන සමයේ එතුමා සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස හලාවත කොට්ඨාශය සේවය කළ අතර වගේ විමර්ශන හැකියාවන් සම්බන්ධව එතුමා තුළ තිබූ පූර්ව දැනුම මෙම විමර්ශනය මා වෙත පැවරීමට හේතුවක් වූ අතර එසේම මා “බර්ටි පොලිසියේ” සාමාජිකයකු නොවීමද එම පැවරීමට තවත් ප්‍රබල හේතුවක් වූ බව මා විශ්වාස කරනවා.

මෙම විමර්ශනය සම්බන්ධව මා විසින් මුලින්ම ස්ථානීය පරීක්ෂණයක් සිදු කළ අතර ස්ථාන පරීක්ෂණයෙන් මට ඉතාමත්ම පැහැදිලි වුණේ රාජ්‍ය සේවකයන්ගේ නිවාස විශේෂයෙන්ම උසස් පොලිස් නිලධාරියෙකුගේ නිවාසයක් සහ උසස් පොලිස් නිලධාරීන්ගේ තනාගෙන යනු ලබන නිවාසයේ ආරක්ෂාවට යොදවා සිටින නිලධාරීන් කණ්ඩායමක් මැදින් මෙවැනි මැර කණ්ඩායමක් පැමිණ පහර දීමක් සිදුකර නිරුපද්‍රිතව පලායාම අනිවාර්යයෙන්ම යම් බලවත් හස්තයකගේ අනුදැනුමකින් තොරව සිදුවීමට තිබූ අවකාශය ඉතා අල්ප බවයි.

මේ අනුව පහරදීම සිදුවූ දින රාත්‍රියේ තනාගෙන යමින් පැවති උසස් නිලධාරීන්ගේ සංචාරක නිවස්න වැඩබිමේ ආරක්ෂාව යොදවා සිටි සිවිල් ආරක්ෂකයින් තිදෙනාගේ සම්බන්ධව තොරතුරු මා විසින් ලබාගනු ලැබූ අතර පරීක්ෂා කර බැලීමේදී හෙළිවූයේ පරසන්ගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටින ඔවුන් මෙම සිද්ධියෙන් පසුව මෙතෙක් ආපසු රාජකාරී වාර්තා කර නොමැති බවයි. මේ අනුව එදින රාත්‍රියේම මා පරසන්ගස්වැව ප්‍රදේශයට ගොස් මෙම පුද්ගලයන් තිදෙනාම සොයා ඔවුන් රැගෙන මගේ කාර්යාලයට පැමිණි මධ්‍යම රාත්‍රිය වනතුරු ඔවුන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට ලක් කිරීම සිදුකරනු ලැබුවා. නමුත් ඔවුන් තිදෙනාම එක හෙලාම කියා සිටියේ තමන්ට තලාකොටුන්න මහතාගේ නිවස දෙසින් කෑගැසීමක් ඇසී එදෙසට යන විට පහරදීම සිදුව තිබූ බවයි. එහෙත් මෙම සිද්ධිය සම්බන්ධව යම් දැනුමක් මෙම සිවිල් ආරක්ෂක නිලධාරීන් සතුවන බවත් කුමන හෝ බලවේගයකට බියව ඔවුන් තමන් දන්නා සත්‍යය හෙළි කිරීම පමා කරන බවත් මා ප්‍රබල ලෙස විශ්වාස කළ අතර එම තිදෙනා අතරින් ඒ වන විට දුර්වලම පුද්ගලයා ලෙස මා හඳුනාගෙන සිටි තැනැත්තා වෙනම සවිස්තරාත්මකව ප්‍රශ්න කිරීමට ලක් කිරීම තුළින් මගේ මුල් සැකය නිවැරදි බව වටහාගැනීමට හැකි වුණා.

ඔහු පවසා සිටියේ කෑගැසිල්ල ඇසී තමා ඇතුළු නිලධාරීන් තිදෙනා ඒ දෙසට යන විට පුද්ගලයින් කණ්ඩායමක් තලාකොටුන්න මහතාගේ නිවසේ සිට ඉදිරියට පැමිණෙමින් සිටි බවත් ඔවුන් කීප දෙනෙකු මුහුණ ආවරණය කරගෙන සිටියද ඒ කණ්ඩායම් අතරින් කීප දෙනෙකු ඒ අවස්ථාවේ මුහුණු ආවරණය කර නොසිටි බවත් ඉන් එක් පුද්ගලයෙක් මීට පෙර S.M. චන්ද්‍රසේන මහතාගේ නිවසේ තමා ආරක්ෂක රාජකාරිවල නිරතව සිටින අවස්ථාවේදී එම ස්ථානයේ සේවය කළ සිවිල් ඇඳුමින් සැරසුණු ඔහුගේ ආරක්ෂකයෙකු බවට තමා ඉතා නිවැරදිව හඳුනාගත් බවත් ඔහුගේ නම “ජයසේන” බවත් සිවිල් ආරක්ෂකයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

මේ අනුව මම ඒ අවස්ථාවේදීම එවකට අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස කටයුතු කළ “ජයලත්” මහතාට කතා කර අමාත්‍ය චන්ද්‍රසේන මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින නිලධාරීන්ගේ ලැයිස්තුවක් ලබා ගැනීමට කටයුතු කළ අතර ඉතා හොඳින් පරීක්ෂා කර බැලීමේදී “ජයසේන” නමින් හඳුන්වන පොලිස් කොස්තාපල් වරයකු එම ලැයිස්තුවේ සිටින බව දැනගන්නට ලැබුණා.

මේ පුද්ගලයා සම්බන්ධව සිදුකරනු ලැබූ පසුබිම් පරීක්ෂණය තුළින් ඔහු කලක සිට චන්ද්‍රසේන අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කරන ඔහුට ඉතා හිතේශීවන්තව කටයුතු කරන අයෙකු බවත් ඔහු ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් හෙළි වූ අතර එදිනම අළුයම් කාලයේ විශේෂ පොලිස්‌ කණ්ඩායමක් ගල්ගමුව පිහිටි ඔහුගේ නිවසට ගිය නමුත් ඔහුගේ බිරිඳ පවසා සිටියේ ඔහු සතියකින් පමණ නිවසට නොපැමිණි බවයි.ඔහු මේ වන විට චන්ද්‍රසේන අමාත්‍යවරයාගේ නිවසේද නොසිටින බව අභ්‍යන්තර තොරතුරු ඒ වන විට වාර්තා කර තිබූ අතර මේ හේතුවෙන් මේ වන විටත් පොලිසිය විසින් සිදුකරන විමර්ශනය සම්බන්ධව මෙම පහරදීම පසුපස සිටින කණ්ඩායමට ඉව වැටී ඇති බවත් ඔවුන් අත්අඩංගුවෙන්ට පත්වීම වැළැක්වීමට කටයුතු කරන බවත් හොඳින් පැහැදිලි වූ අතර මා විසින් මෙම සියලුම විමර්ශන තත්ත්වයන් එවන විටත් නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කිරීමද සිදුකරනු ලැබුවා.
මූලික විමර්ශනය ආරම්භව පැය විසි හතරක් ඇතුළත අපරාධය සාර්ථකව විසඳිය හැකි ප්‍රධාන කරුණු කීපයක් එළි කර ගැනීමට අප සමත් ව තිබු අතර නමුත් පසු දින පහන් වන විට අප කිසිසේත් බලාපොරොත්තු නොවූ සිදුවීම් මාලාවක් පසුබිමේ සිදුවෙමින් පැවතුණා

එදින උදේ දහයට පමණ C.I. D ය නොහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරිවරයෙකුගේ නායකත්වයෙන් යුත් විශේෂ නිලධාරීන් කණ්ඩායමක් අනුරාධපුරයට පැමිණි අතර ඒ වනවිට මා විසින් සිදු කරගෙන යමින් තිබූ විමර්ශනය සම්බන්ධව සියලු විස්තර සහ ඒ වන විටත් මා භාරයේ සිටි සාක්ෂිකරුවන් වූ සිවිල් ආරක්ෂක නිලධාරීන් තිදෙනාද එම කණ්ඩායමට බාර දීමට නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ඉහළින් ආ නියෝගයක් අනුව මා හට උපදෙස් දෙනු ලැබුවා.

මේ අනුව මා සියලු විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත බාර දෙනු ලැබූ අතර අද වනතුරුත් එම විමර්ශනයට සිදුවූයේ කුමක්ද යන්න මා හට දැනගන්නට ලැබී නැහැ.

මෙම සිද්ධිය එම වකවානුවේ අනුරාධපුර ප්‍රදේශයේ තුළ සිදුවූ මැර දේශපාලන සංස්කෘතිය තුළින් බිහිවූ එක් සිද්ධියක් පමණක් වන අතර මෙවැනි සිද්ධීන් විශාල සංඛ්‍යාවක් වෙනම නීතියක් ක්‍රියාත්මක වූ මේ මැර රජ දහන තුළ සිදු වූ බවට මාධ්‍ය වාර්තා කර තිබෙනවා එම “පාර රාජ්‍යය” මේ වන විට පුපුරා යමින් පවතින අතර විශේෂයෙන්ම හිටපු මේජර් ජනරාල් ජානක පෙරේරා ඝාතනය වගේම අනුරාධපුරේ ප්‍රකට සමාජ සේවකයකු මෙන්ම වෛද්‍යවරයෙකු ද වන ජෝන් පුල්ලේ මහතාගේ නිවසට පහර දී ගිනිතබා විනාශ කිරීමේ සිද්ධීය ඇතුළු සිද්ධීන් රාශියක් මේ චෞර සමය තුළ වාර්තා වී ඇති අතර ඒ සියළු සිද්ධීන් නැවත විමර්ශනය කර ඒවාට වගකිවයුතුයි චූදිතයන් තරාතිරම නොබලා අධිකරණය හමුවට පැමිණවීම මෙවැනි චෞර රාජ්‍යයක් මතු බිහිවීමට ඇති ඉඩකඩ අහුරා තැබීම සඳහා කළ යුතු ශිෂ්ඨ සම්පන්නම සමාජ සත්කාරය ලෙසයි සඳහන් කළ හැක්කේ.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි

රු. 500 භාණ්ඩයට රු. 37,000ක් අයවීම ගැන හර්ෂ ද සිල්වාගෙන් අනාවරණයක්

පාරිභෝගිකයන් ඊ-වාණිජ්‍ය වේදිකා (E-Commerce Platforms) හරහා මිලදී ගන්නා භාණ්ඩ සඳහා අසාමාන්‍ය ලෙස ඉහළ පිරිවැයක් දැරීමට සිදුව ඇති බව පාර්ලිමේන්තුවේ පොදු මුදල් කාරක සභාවේ (COPF) සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. ශ්‍රී ලංකා රේගුව නිසි රාමුවකින් තොරව HS Code මත පදනම් වූ බදුකරණයට මාරු වීමට හදිසියේ කටයුතු කිරීම මෙයට හේතුව බව ඔහු සඳහන් කරයි.

එක්ස් (X) සමාජ මාධ්‍ය ජාලයේ පළ කරන ලද ප්‍රකාශයක ඔහු කියා සිටියේ රුපියල් 500ක භාණ්ඩයක් සඳහා රුපියල් 37,000ක පමණ අමතර ගාස්තු එකතු විය හැකි බවයි.

හර්ෂ ද සිල්වා පෙන්වා දෙන්නේ 2025 ජුනි 3 වන දින COPF විමර්ශන මගින් රේගුවේ අවිධිමත් බර මත පදනම් වූ E-Commerce බදු ක්‍රමය හෙළිදරව් වූ බවත්, වසර ගණනාවක් තිස්සේ ඊට නීතිමය පදනමක් නොතිබූ බවත්ය. රජයේ අකාර්යක්ෂමතාව හේතුවෙන් Temu වැනි වේදිකාවලට බදු රහිත තොග ආනයන මගින් අපගේ වෙළඳපොළට භාණ්ඩ ගලා ඒමට ඉඩ සැලසුණු අතර, එය දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට හානි කරමින් නීතිමය අඩුපාඩු වලින් අයුතු ප්‍රයෝජන ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම ක්‍රියාව අප්‍රේල් මාසයේ දී පාර්ශවකරුවන් සමඟ පැවති රැස්වීම්වල දී හෙළි වූ විට, රේගුව HS Code මත පදනම් වූ බදුකරණයට මාරු වීමට කඩිමුඩියේ කටයුතු කර ඇති නමුත්, නිසි රාමුවක් නොමැතිව එය සිදු කිරීම නිසා පාරිභෝගිකයන්ට දැන් අසාමාන්‍ය පිරිවැයක් දැරීමට සිදුව ඇති බව ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.

“රුපියල් 500ක භාණ්ඩයක් සඳහා රුපියල් 37,000ක ගාස්තු අය විය හැකියි! මෙම අකාර්යක්ෂමතාවය ගැනුම්කරුවන්ට, ව්‍යාපාරවලට සහ අපගේ ආර්ථිකයට හානිකරයි.”

IMF වැඩපිළිවෙළට එරෙහි විරෝධතා හමුවේ ආණ්ඩුවේ ස්ථාවරය වෙනස් කරන්නෙ නෑ!

මහජන විරෝධතා හෝ විපක්ෂයේ බලපෑම් නොතකා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) වැඩපිළිවෙළට රජය දිගින් දිගටම කැපවන බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අද (ජූලි 5) අවධාරණය කළේය.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ලාල්කාන්ත කියා සිටියේ, රජය දැනටමත් IMF විසින් යෝජනා කරන ලද වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින අතර, එය ඉදිරියටත් එසේ කරනු ඇති බවයි.

“අපි IMF වැඩපිළිවෙළ සමඟයි ඉන්නේ. එය කඩාකප්පල් කිරීමට රජය සූදානම් නැහැ,”

“IMF සමඟ එකඟ වූ ඉලක්ක රජය සාක්ෂාත් කරගනිමින් සිටිනවා. එය සම්පූර්ණ සාර්ථකත්වයක්. ඉතිරි යෝජනාත් ඉටු කරනවා. 2028න් පස්සේ ණය සේවාකරණය පටන් ගන්න ඕනේ.”

විපක්ෂ නායකයාගේ, මහජන උද්ඝෝෂණවල හෝ වැඩ වර්ජනවල පීඩනය යටතේ රජයේ තීරණ වෙනස් නොවන බව ඔහු අවධාරණය කළේය.

“අවශ්‍ය නම් අදාළ සූත්‍රයට අනුව මිල ගණන් වැඩි කිරීමට හෝ අඩු කිරීමට රජය කටයුතු කරනවා. විපක්ෂ නායකයාගේ පීඩනයට, මහජන විරෝධතාවලට හෝ වැඩ වර්ජනවලට අපි යටත් වන්නේ නැහැ. රටේ ඉදිරි ගමන ඇනහිටීමට ඉඩ නොදී වැදගත් තීරණ ගැනීමට අපි පසුබට වෙන්නේ නැහැ.”

රටේ තත්ත්වය කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බවත්, ඒ සමඟ එකඟ වීම දේශපාලඥයන්ගේ යුතුකම බවත් අමාත්‍ය ලාල්කාන්ත අවසාන වශයෙන් සඳහන් කළේය.

0.55% බස් ගාස්තු අඩු කිරීම විහිළුවක්. කිසි තේරුමක් නෑ!

පසුගියදා සිදු කරන ලද බස් ගාස්තු සංශෝධනය කිසිදු තේරුමක් නැති රැවටීමක් පමණක් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

මාධ්‍ය හමුවක් අමතමින්, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ, 0.55% ක ගාස්තු අඩු කිරීම හේතුවෙන් වගකිවයුතු නිලධාරීන් සහ ආණ්ඩුව මහජනයා හමුවේ “විහිළුවක්” බවට පත්ව ඇති බවයි.

“මෙම ගාස්තු සංශෝධනය මගීන්ට හෝ බස් හිමියන්ට කිසිදු සැබෑ ප්‍රතිලාභයක් ලබා දෙන්නේ නැහැ” මෙම නිවේදනය නිකම්ම ඇමතිවරුන් සහ නිලධාරීන් සතුටු කිරීමට කර ඇති බවක් පේනවා, ඔවුන් අර්ථවත් ප්‍රතිසංස්කරණවලට වඩා රැකියා සුරක්ෂිතභාවය ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා වගේ.”

“මිනිස්සු එක්ක කතා කරන කොට ඒ අයට තමන්ගෙ අදහස් පැහැදිලිව කියන්න පුළුවන්. මෙම අඩු කිරීමට කිසිදු ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා කියලා කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ,”

සත ප්‍රමාණවලින් පමණක් බලපාන ගාස්තු අඩු කිරීමක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික දුෂ්කරතාවය ද  ඔහු විසින් පෙන්වා දුන් අතර, ඉතිරි මුදල් ලබා දීමේ ගැටළු පිළිබඳව ද අවධානය යොමු කළේය.

බොහෝ මගීන් රුපියල් 27 සහ රුපියල් 35 ගාස්තු අවස්ථා සඳහා බස් රථ භාවිතා කරන බව අවධාරණය කළ ඔහු, එම මිල ගණන් සාමාන්‍යයෙන් වෙනස් වන්නේ ඩීසල් මිලෙහි සැලකිය යුතු වැඩිවීමක් හෝ අඩුවීමක් සමඟ පමණක් බව සඳහන් කළේය.

“ඇත්ත වශයෙන්ම, මෙම සුළු ගාස්තු සංශෝධනය දිනපතා බස් එකේ යන අයට නම් කිසිම වෙනසක් වෙලා නැහැ”

වෛද්‍ය මහේෂි විජේරත්නගේ ඇප ඉල්ලීම සළකා බැලීමට නියෝග

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ලබන ජූලි මස 08 වැනිදා කරුණු දක්වන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විත්තියේ නීතිඥවරුන්ට අද (04) නියම කරන ලදි.

වෛද්‍යවරිය ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විසින් අද දින මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ කරුණු දැක්වීය. මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් මෙම ඇප ඉල්ලීමට දැඩි විරෝධය පළ කළේය.

කෙසේ වෙතත්, මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම නඩුකරය ලබන 08 වැනිදා කැඳවීමට නියමිතව තිබෙන බැවින් එදින මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දක්වන ලෙසයි.

පසුබිම: අල්ලස් චෝදනා සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම

වෛද්‍ය මහේෂි විජේරත්න අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගිය ජුනි 17 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ ස්නායු ශල්‍යකර්ම සඳහා අවශ්‍ය EVD සහ VP SHUNT යන වෛද්‍ය උපකරණ, රෝහලේ වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් නොකර, බාහිර ආයතන හරහා වැඩි මිලට රෝගීන්ට ලබා ගැනීමට උපදෙස් ලබාදීමෙන් රෝගීන්ට සහ රෝහලට අලාභ සිදුකිරීමේ චෝදනා යටතේය. මෙම ක්‍රියාවන් මගින් රෝගීන් පාර්ශ්වයට විශාල මූල්‍යමය පාඩුවක් සිදුව ඇති බවත්, තමාට හෝ බාහිර පාර්ශ්වයන්ට අයුතු ලාභයක් ලබාගෙන ඇති බවත් අල්ලස් කොමිසම සඳහන් කරයි.

මීට අමතරව, රෝහලේ සැපයුම් අංශය මගින් අදාළ උපකරණ ඉල්ලා නොසිටීම තුළින් රෝහලට ද පාඩු සිදුව ඇති බවට චෝදනා එල්ල වී තිබේ. අත්අඩංගුවට ගැනීමෙන් පසු, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇයව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇය සමග රෝහලේ කළමනාකරණ සහායකයෙකු සහ ඇයගේ පෞද්ගලික ආයතනයක සේවකයෙකු ද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

අල්ලස් කොමිසම පෙන්වා දෙන්නේ, රෝහලෙන් රුපියල් 17,500කට පමණ ලබාගත හැකි EVD වැනි ශල්‍ය උපකරණ, වෛද්‍යවරියගේ නිර්දේශ මත බාහිර ආයතන මගින් රෝගීන්ට රුපියල් 120,000 සිට 250,000 දක්වා වූ මුදලකට මිලදී ගැනීමට සිදුව ඇති බවයි. මේ වන විට මෙම සිද්ධියට අදාළව ශල්‍යකර්මවලට භාජනය වූ 300කට අධික පිරිසක් හඳුනාගෙන ඇති අතර, ඉන් 77 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇත. මෙම විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ, අදාළ රෝගීන්ට රුපියල් කෝටි තුනකට ආසන්න පාඩුවක් සිදුව ඇති බවයි.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ, වෛද්‍යවරිය සිදු කරන්නේ ඉතා සියුම් සැත්කම් බවත්, පිටතින් ශල්‍ය උපකරණ මිලදී ගැනීම අලුත් දෙයක් නොවන බවත්ය. ජයවර්ධනපුර රෝහල මුදල් අය කර ශල්‍යකර්ම සිදු කරන ආයතනයක් වන අතර, එහිදී පිටතින් උපකරණ රැගෙන ඒම සාමාන්‍ය දෙයක් බවත් ඔහු පෙන්වා දී තිබේ. තවද, රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මිලදී ගන්නා ශල්‍ය උපකරණ ප්‍රශස්ත මට්ටමේ නොවන බැවින්, වඩාත් ගුණාත්මක උපකරණ පිටතින් මිලදී ගැනීමට රෝගීන්ට සිදුවන බව ද විත්තිය සඳහන් කර ඇත.

වෛද්‍යවරිය විසින් කිසිදු පුද්ගලයෙකුට තර්ජනය කර නොමැති බැවින්, ඇයගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ කරුණු අධිකරණයට ඉදිරිපත් වී නොමැති බව ද නීතිඥවරයා කියා සිටියේය.

මෙම නඩුකරය ලබන ජූලි 08 වැනිදා යළි කැඳවීමට නියමිත අතර, එදිනට දෙපාර්ශ්වයේම නීතිඥවරුන්ගේ වැඩිදුර කරුණු දැක්වීම් සලකා බැලීමෙන් පසු වෛද්‍ය මහේෂි විජේරත්නගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අධිකරණය අපේක්ෂා කෙරේ.

අත්අඩංගුවට ගත් එස්.එම්. චන්ද්‍රසේන රිමාන්ඩ්!

අද (4) පෙරවරුවේ අල්ලස් කොමිසම විසින්  අත්අඩංගුවට ගනු ලැබූ  හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ඊට අදාළව සිදුකරන විමර්ශයේ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි.

එහිදී ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මෙසේ අත්අඩංගුවට ගෙන තිබිණ. අධිකරණයට ඉදිරිපත් කෙරුණු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිස අමාත්‍ය ධුර ගණනාවක් දැරූ එස්.එම්. චන්ද්‍රසේන; මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිඳී සාදාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල සාමාජිකයෙකු වූ අතර, රාජපක්ෂලාගේ බලය පිරිහීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පසුගිය ජනාධිපතිවරණයේ දී සහාය පල කළේ ය.

ඉන්පසු දිලිත් ජයවීර විසින් පිහිටුවා ගත් සර්ව ජන බලය සමග එක් වීමට එස්. එම්. චන්ද්‍රසේන කටයුතු කළේ ය.

රජයේ “හිඟ වියදම්” වංචාව IMF අවධානයට: “නිරවද්‍ය නොවන දත්ත” රටට කළ අවමානය!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ සිව්වන සමාලෝචනය සම්පූර්ණ කිරීම නිවේදනය කිරීමත් සමඟම, රජයේ ආර්ථික කළමනාකරණය පිළිබඳ බරපතළ ප්‍රශ්න නැවත වරක් කරළියට පැමිණ තිබේ. IMF පුවත්පත් නිවේදනයේ (PR24/235) පැහැදිලිවම සඳහන් වන ආකාරයට, ශ්‍රී ලංකා රජය විසින් ඔවුන්ගේ “හිඟ වියදම්” (expenditure arrears) සම්බන්ධයෙන් නිරවද්‍ය නොවන තොරතුරු (inaccurate data) ලබා දී ඇති බවට කෙරෙන සඳහන, රටේ විනිවිදභාවය සහ වගවීම පිළිබඳව බරපතළ සැකයක් මතු කරයි.

“නිරවද්‍ය නොවන දත්ත”: විශ්වාසය පළුදු කරන ක්‍රියාවක්

 

IMF වැඩසටහනක් යටතේ සිටින රටකට, අරමුදලේ ප්‍රධානතම අවශ්‍යතාවක් වන්නේ නිවැරදි හා විනිවිදභාවයෙන් යුත් දත්ත සැපයීමයි. මෙය මූල්‍ය ස්ථාවරත්වය සහ විශ්වසනීයත්වය ගොඩනැගීමට අත්‍යවශ්‍ය පදනමකි. IMF වාර්තාවේ “නිරවද්‍ය නොවන දත්ත සැපයීම” සහ “අරමුණින් තොරව ප්‍රමාදවීම්” (inadvertent provision of inaccurate data) පිළිබඳ සඳහන් වීමෙන් පෙනී යන්නේ, රජය විසින් මධ්‍යම රජයේ හිඟ වියදම් පිළිබඳව සත්‍ය තොරතුරු සඟවා හෝ වැරදි ලෙස ඉදිරිපත් කර ඇති බවයි. මෙය ජාත්‍යන්තර මූල්‍ය ප්‍රජාව තුළ රට පිළිබඳ විශ්වාසය පළුදු කරනු ඇත.

IMF විධායක මණ්ඩලය විසින් මෙම සිදුවීම සැලකිල්ලට ගෙන, “නොගැලපෙන මිලදී ගැනීම්” (noncomplying purchases) සහ IMFහි VIII වන වගන්තියේ 5 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ බැඳීම් උල්ලංඝනය කිරීමක් (breach of obligations under Article VIII, Section 5) ලෙස සලකා ඇති බව එම වාර්තාව තවදුරටත් අවධාරණය කරයි. කෙසේ වෙතත්, රජය විසින් “නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග” (corrective actions) ගෙන ඇති බව සහ අනාගතයේදී පොදු මූල්‍ය කළමනාකරණ ක්‍රියා පටිපාටි වැඩිදියුණු කිරීමට කැපවී සිටින බව සලකා “කාර්ය සාධන නිර්ණායක නොසලකා හැරීමට නිදහස් කිරීමක්” (waiver of non-observance of this quantitative performance criteria) ලබා දී ඇති බවද IMF ප්‍රකාශ කර ඇත.

හිඟ වියදම් සඟවා ගැනීම: කුමන අරමුණක් සඳහාද?

 

රජය සිය හිඟ වියදම් පිළිබඳ නිවැරදි දත්ත ලබා නොදීමට හේතු වී ඇත්තේ කුමක්ද යන්න බරපළ ප්‍රශ්නයකි. හිඟ වියදම් යනු රජය විසින් සැපයුම්කරුවන්ට, කොන්ත්‍රාත්කරුවන්ට හෝ වෙනත් ආයතනවලට ගෙවීමට ඇති මුදල් ය. මෙම මුදල් ප්‍රමාණය සඟවා තැබීම හෝ අවතක්සේරු කිරීම මගින් රජයේ සැබෑ මූල්‍ය තත්ත්වය පිළිබඳ වැරදි චිත්‍රයක් ගොඩනැගීමට උත්සාහ කරන්නට ඇත.

මෙය අයවැය හිඟය පිළිබඳ වාර්තා, රාජ්‍ය ණය පිළිබඳ තොරතුරු සහ සමස්ත ආර්ථික කළමනාකරණය පිළිබඳ නිවැරදි තක්සේරුවකට බාධාවකි. එසේම, මෙමගින් ජනතාවට සැබෑ ආර්ථික තත්ත්වය පිළිබඳ වැරදි තොරතුරු ලැබීමට ද ඉඩ ඇත. රජය විසින් “හිඟ වියදම්” ගෙවීම් පවතින රාජ්‍ය වියදම් සීමාව තුළම සිදුකරන බවට IMF වෙත පොරොන්දු වී ඇති අතර, නව PFM නීතියට අනුකූලව පොදු මූල්‍ය කළමනාකරණ ක්‍රියාපටිපාටි වැඩිදියුණු කිරීමට කැපවීමද මෙම වාර්තාවේ සඳහන් වේ. එසේ වුවද, මුලින්ම මෙම දත්ත වැරදි ලෙස ඉදිරිපත් කිරීමට හේතු වූ කරුණු පිළිබඳව රජය විසින් පැහැදිලි කිරීමක් සිදු කළ යුතුව ඇත.

පාලනයේ විනිවිදභාවය සහ වගවීම පිළිබඳ අභියෝගය

 

මෙම සිදුවීම, ශ්‍රී ලංකාවේ පාලනයේ විනිවිදභාවය සහ වගවීම පිළිබඳව නැවත වරක් ප්‍රශ්න මතු කරයි. ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම්, රජය විසින් සම්පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. දත්ත සඟවා ගැනීම හෝ වැරදි තොරතුරු සැපයීම යනු ජනතාවගේ විශ්වාසය කඩ කිරීමකි. විශේෂයෙන්ම, ඩොලර් මිලියන 350ක් (SDR මිලියන 254ක්) වැනි සැලකිය යුතු මුදලක් (මෙමගින් IMF වෙතින් මෙතෙක් ලැබී ඇති මුළු මුදල දළ වශයෙන් ඩොලර් බිලියන 1.74 දක්වා ඉහළ යයි) රටට ලැබෙන අවස්ථාවක, මෙවැනි දත්ත විෂමතා වාර්තා වීම කණගාටුදායකය.

මෙම සිදුවීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා, මෙම නිරවද්‍ය නොවන දත්ත සැපයීමට වගකිව යුත්තන් කවුරුන්ද යන්න සොයා බලා, ඔවුන්ට එරෙහිව පියවර ගත යුතුය. එසේ නොමැති නම්, මෙමගින් ලැබෙන පණිවිඩය වන්නේ, දූෂණයට හා වගවීමෙන් තොර ක්‍රියාවන්ට අනුබල දෙන බවයි.

රටේ අනාගතය කෙරෙහි බලපෑම

 

IMF සහය, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. IMF වාර්තාවට අනුව ආර්ථික වර්ධනය ශක්තිමත් වීම, උද්ධමනය පහළ මට්ටමක පැවතීම, සංචිත ගොඩනැගීම සහ මූල්‍ය ආදායම් වැඩිදියුණු වීම වැනි ධනාත්මක කරුණු පෙනෙන්නට තිබුණද, මෙවැනි දත්ත වංචා කිරීමේ සිදුවීම් හේතුවෙන් IMF වැඩසටහනේ අඛණ්ඩ පැවැත්මට හෝ අනාගත අරමුදල් ලැබීමට බාධා ඇතිවිය හැකිය. ජාත්‍යන්තර ආයෝජකයින් ද මෙවැනි සිදුවීම් පිළිබඳව දැඩි අවධානයෙන් සිටින අතර, එය රටට විදේශ ආයෝජන ගලා ඒමට ද අහිතකර ලෙස බලපෑ හැකිය.

රජය විසින් මෙම තත්ත්වය පිළිබඳව වහාම පැහැදිලි කිරීමක් ලබා දී, අනාගතයේදී මෙවැනි සිදුවීම් සිදු නොවන බවට සහතික විය යුතුය. එසේම, රටේ ආර්ථික දත්ත කළමනාකරණය සහ වාර්තාකරණ ක්‍රියාවලිය විනිවිදභාවයෙන් හා වගකීමෙන් යුතුව සිදුවන බවට තහවුරු කළ යුතුය. එසේ නොමැති නම්, රට මුහුණ දෙන ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර වීමටත්, ජාත්‍යන්තර ප්‍රජාව තුළ ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට බරපතළ හානියක් සිදුවීමටත් ඉඩ ඇත.

මූලාශ්‍රය: IMF Executive Board Completes the Fourth Review Under the Extended Fund Facility with Sri Lanka

පසු සටහන:

IMF හි නිවේදනයේ (PR24/235) පැහැදිලිවම දැක්වෙන්නේ, 2025 ජූලි 1 වන දින IMF විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ සිව්වන සමාලෝචනය සම්පූර්ණ කළ බවයි. මෙම සමාලෝචනයේදී, 2023 දී සිදු වූ “හිඟ වියදම්” (expenditure arrears) සම්බන්ධයෙන් නිරවද්‍ය නොවන දත්ත සැපයීම පිළිබඳ වාර්තාවක් විධායක මණ්ඩලය විසින් සමාලෝචනය කර තිබේ.

IMF නිවේදන සහ ඒවා ආශ්‍රිත මාධ්‍ය වාර්තාවලින් පෙනී යන්නේ:

  • 2025 ජූලි 1 වන දින: IMF විධායක මණ්ඩලය සිව්වන සමාලෝචනය සම්පූර්ණ කරන ලදී.
  • 2025 ජූලි 2/3 වන දින: මෙම සමාලෝචනය සහ 2023 දී සිදුවූ දත්ත දෝෂය පිළිබඳව IMF විසින් නිල පුවත්පත් නිවේදනය නිකුත් කරන ලදී (PR24/235).
  • 2025 අප්‍රේල් 25 වන දිනට පෙර: IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර සිව්වන සමාලෝචනය සඳහා “කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක්” (Staff-Level Agreement) ඇති කරගෙන ඇත. මෙම සාකච්ඡා අතරතුරදී මෙම දත්ත දෝෂය හඳුනාගෙන ඇති බවට අනුමාන කළ හැක.
  • 2025 ජූනි 16 වන දින: IMF විසින් කාර්ය මණ්ඩල වාර්තාව (Staff Report) සම්පූර්ණ කර ඇත.

මේ අනුව, “නිරවද්‍ය නොවන තොරතුරු” සපයා ඇත්තේ 2023 දී වුවද, එම දෝෂය හඳුනා ගැනීම, ඒ පිළිබඳව සාකච්ඡා කිරීම, නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම සහ ඒ සම්බන්ධයෙන් IMF විධායක මණ්ඩලය දැනුවත් කිරීම, තීරණ ගැනීම සහ ලියකියවිලි සම්පාදනය කිරීම යන සියල්ල 2025 වසර තුළදී (විශේෂයෙන්ම අප්‍රේල් සිට ජූලි දක්වා කාලය තුළ) සිදුව ඇත.

දත්ත සැපයූ කාලය (2023) සහ වත්මන් තත්ත්වය (2025) අතර කාලයක් පැවතියද, මෙම ගැටලුව හඳුනාගෙන, එය නිවැරදි කර, අනාගතය සඳහා ප්‍රතිපත්ති සැකසීමේ සෘජු වගකීම වත්මන් රජය සතු  වෙයි.

Add to cart