ඉරාකයේ අමෙරිකානු හමුදා කඳවුරු පිටමන් කිරීමට සූදානමක්

ඉරාකයේ සිටින සිය හමුදා වහාම ඉවත් කරගැනීම සඳහා අමෙරිකාව සිය කටයුතු කඩිනම් කර ඇතැයි අරාබි මාධ්‍ය වාර්තා පවසයි.

එම වාර්තා පෙන්වාදෙන්නේ මෙහි පියවරක් ලෙස අයින් අල් අසාද් සහ වික්ටෝරියා හමුදා කඳවුරු වහාම ඉවත් කරගැනීමට අමෙරිකාව ක්ෂණික තීරණයක් ගෙන ඇති බවයි.

මේ අනුව අමෙරිකානු හමුදා සිය සාමාජිකයන් ඉරාකයේ අර්බිල් සහ අසල්වැසි අරාබි රටවල් වෙත යැවීම ආරම්භ කර ඇති බව අදාළ මාධ්‍ය වාර්තා කර තිබෙන අතර, “අමෙරිකානුවන් සිය ඉරාක සගයන්ට දන්වා තිබෙන්නේ තම සාමාජිකයන් ඉවත් කරගැනීමේ කටයුතු කඩිනම් කර ඇති බව” යැයි ප්‍රකාශයකු උපුටා දක්වමින් අදාළ මාධ්‍ය අනාවරණය කර ඇත.

කෙසේවෙතත් මෙම තීරණය දෙරටේ ගිවිසුම්වලට අනුකූල නොවන අතර, 2024 සැප්තැම්බර් මාසයේදී අමෙරිකාව නිවේදනය කළේ ඉරාකයේ සිය ජාත්‍යන්තර මෙහෙයුම් අවසන් කරන බවත් සිය හමුදා ඉවත් කරගන්නා බවත්ය.

ජෙරී ඇඩ්ලර් දිවිගමනට සමු දෙයි

ද සොප්‍රානෝස් චිත්‍රපටයේ හර්මන් හෙෂ් රබ්කින් ලෙස රඟපෑමෙන් වඩාත් ප්‍රසිද්ධියට පත් වූ ප්‍රවීණ නළු ජෙරී ඇඩ්ලර් ජීවිතක්ෂයට පත් වී තිබෙයි.

ඔහු මියයන විට වයස අවුරුදු 96කි.

ස්පාඤ්ඤයම හොට් වෙයි

ස්පාඤ්ඤය වාර්තාගත ඉහලම උෂ්ණත්වයක් අත්විඳිමින් පවතින බව එරට රාජ්‍ය කාලගුණ විද්‍යා ඒජන්සිය (AEMET) නිවේදනය කර තිබේ.

අගෝස්තු 8-17 දක්වා දින 10 ක කාලයක් තුළ මරණ 1,100 ක් පමණ උෂ්ණත්වය හේතුවෙන් වාර්තා වී ඇති අතර AEMET සඳහන් කර තිබුණේ, උෂ්ණත්වය සෙල්සියස් අංශක 43 (ෆැරන්හයිට් අංශක 109) දක්වා ළඟා වූ නවතම තාප තරංගය, දේශගුණික අර්බුදයේ බරපතල කම අවදාරණය කරන බවයි.

මේවන විට රටේ උතුරු හා බටහිර ප්‍රදේශවල ඇතිව ඇති මාරාන්තික ලැව්ගිනි මැඩපැවැත්වීම වෙනුවෙන් ගිනි නිවන භටයින්ට උපකාර කිරීම සඳහා භටයින් 3,400 ක් සහ ගුවන් යානා 50 ක් යොදවා ඇති අතර චෙක් ජනරජය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය සහ ස්ලෝවැකියාව ද ගිනි නිවන භටයින්, වාහන සහ ගුවන් යානා සිය ගණනක් ස්පාඤ්ඤ වෙත යවා ඇත.

විද්‍යාඥයින් පවසන්නේ දේශගුණික අර්බුදය ලොව පුරා දීර්ඝ, වඩාත් තීව්‍ර සහ නිතර තාප තරංග ඇති කරන බවයි.

දකුණු ඇමරිකාව කම්පා කළ භූ කම්පනය

දකුණු ඇමරිකාවට අද දින රික්ටර් මාපකයේ 7.5 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබේ.

පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ,එමගින් සුනාමි තර්ජනයක් නොමැති බවයි.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ දකුණු ඇමරිකාවේ දකුණු කෙළවර සහ ඇන්ටාක්ටිකාව අතර පිහිටි ජල කඳක් වන ඩ්‍රේක් පැසේජ් හි ද කම්පන වාර්තා වී ඇති බවයි.

මීට පෙර, භූමිකම්පාව 8.0 ක ප්‍රබලතාවකින් වාර්තා වූ නමුත්, එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පසුව එය 7.5 දක්වා පහත හෙලා තිබුණු අතර එමගින් සිදුවූ හානි පිළිබඳ වාර්තා තවමත් ලැබී නොමැත.

විදෙස් නිවේදනයක සඳහන් කර තිබුණේ ගෙවුණු බදාදා සවස බේස් ෆ්‍රෙයි සිට වයඹ දෙසින් කිලෝමීටර් 258 (සැතපුම් 160) ක් දුරින් ඇති වූ රික්ටර් මාපකයේ 8.0 ක භූමිකම්පාවකින් පසු චිලී නාවික හමුදා ජල විද්‍යා හා සාගර විද්‍යා සේවය චිලී ඇන්ටාක්ටික් ප්‍රදේශය සඳහා සුනාමි පූර්වාරක්ෂාවක් නිකුත් කළ බවයි.

ඊශ්‍රායලය, ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ සාකච්ඡාවට සූදානම්

ගාසා තීරයේ දැනට රඳවා සිටින සියලු‍ම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සදහා සාකච්ඡා පැවැත්වීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කැමැත්ත පළ කර තිබෙනවා.

ඒ සටන් විරාම යෝජනාවකට එකග බවට හමාස් සංවිධානය ප්‍රකාශ කර ඇති පසුබිමකයි.

කෙසේ වෙතත්, විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගාසා තීරය අල්ලා ගැනීමේ මෙහෙයුම් ඊශ්‍රායලය මේ වන විට ආරම්භ කර ඇති අතර එවන් පසුබිමක ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සදහා සාකච්ඡා කිරීමට සූදානම් බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කිරීම විශේෂත්වයක් බවයි

ලොව හොඳම විනිසුරු දිවියට සමුදෙයි

දයානුකම්පිත අධිකරණ තීන්දු හේතුවෙන් අන්තර්ජාලය තුළ අතිශය ජනප්‍රිය වූ අමෙරිකානු විනිසුරුවරයෙකු වන ෆ්‍රෑන්ක් කැප්‍රියෝ අභාවප්‍රාප්ත වෙයි.

ඔහු සිනහවකින් යුක්තිය පසිඳලන වීඩියෝ සමාජ මාධ්‍යවල බිලියනයකට වඩා නරඹා තිබීමත් සමඟ ඔහු “ලෝකයේ හොඳම විනිසුරු” ලෙස ආදරයෙන් ප්‍රසිද්ධියට පත්ව තිබුණි. මිලියන 3.2 ක අනුගාමිකයින් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සිටියි.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 88කි. දීර්ඝ කාලීනව අග්න්‍යාශ පිළිකා රෝගී තත්ත්වයෙන් පෙළුනු ඔහු ඊයේ (20) මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ෆ්‍රෑන්ක් කැප්‍රියෝ යනු අමෙරිකානු නීතිඥයෙක් සහ විශ්‍රාමික මහ නගර අධිකරණ විනිසුරුවරයෙකි.

ඔහු ප්‍රධාන වශයෙන්ම ප්‍රසිද්ධියට පත් වුණේ, “Cඖඝ්ට් ඉන් ඵ්‍රොවිඩෙන්cඑ” නමැති රූපවාහිනී වැඩසටහන හේතුවෙනි.

මෙම වැඩසටහනින් ඔහු අධිකරණයේදී විවිධ පුද්ගලයන් සමඟ කතා කරන ආකාරය ලොව පුරා ප්‍රසිද්ධ වුණි.

ටිබෙටයේ සංචාරයට ගිය චීන ජනාධිපති ෂී ජින්පිං

චීන ජනාධිපති ෂී ජින්පිං ටිබෙටයට සංචාරයක් සිදු කරමින්, සමගිය සහ සංවර්ධනය පිළිබඳව අවධාරණය කර තිබේ.

චීනය විසින් ටිබෙටය ස්වයං පාලන කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර වසර 60ක් සපිරීම නිමිත්තෙන් ඔහු මෙම සංචාරයට එක් වී තිබෙන අතර, 20,000කට අධික ජනතාවක් ඉදිරියේ දේශනයක් ද පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම කලාපයට ජනාධිපතිවරයෙකු ලෙස ඔහු දෙවන වරටත් සිදු කළ මෙම සංචාරයේදී, ටිබෙටයේ බෙදුම්වාදයට එරෙහිව දශක ගණනාවක් තිස්සේ පැවති අරගලයට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් එරට රජයට ප්‍රශංසා කළ බව සඳහන් වෙයි.

මීටර් 4,000කට වඩා වැඩි උන්නතාංශයක පිහිටි ලාසා නගරයේ සිදු කළ මෙම සංචාරය, 72 හැවිරිදි ෂී ජින්පිංගේ සෞඛ්‍යයට අවදානමක් විය හැකි වුවත්, එය ටිබෙටය කෙරෙහි ඔහුගේ අධිකාරය තහවුරු කිරීමට ඇති ආශාව පෙන්නුම් කරන්නක් බව විචාරකයෝ පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෂී ජින්පිංගේ ප්‍රකාශිත අදහස්වල ටිබෙටයේ අධ්‍යාත්මික නායකයා වන දලයි ලාමා පිළිබඳ කිසිදු සඳහනක් නොතිබූ බව වාර්තා වන අතර, දලයි ලාමා 1959 දී චීනයෙන් පලා ගිය දා සිට ඉන්දියාවේ ජීවත් වෙයි.

නිල වාර්තාවලට අනුව ෂී ජින්පිං සිය කතාවේදී කියා සිටියේ, “ටිබෙටය පාලනය කිරීමට, ස්ථාවර කිරීමට, සංවර්ධනය කිරීමට නම්, පළමුවෙන් ම දේශපාලන ස්ථාවරත්වය, සමාජ ස්ථාවරත්වය, ජනවාර්ගික සමගිය සහ ආගමික සහජීවනය පවත්වා ගැනීම වැදගත්” බවයි.

90 හැවිරිදි දලයි ලාමා ටිබෙටයේ තත්ත්වය විසඳීම සඳහා “මධ්‍යම මාර්ගයක්” (චීනය තුළ සැබෑ ස්වයං පාලනයක්) නිරන්තරයෙන් අවධාරණය කළත්, බීජිං රජය ඔහුව සලකන්නේ බෙදුම්වාදියෙකු ලෙසයි.

ටිබෙට් ජාතිකයින්ට තම ආගම නිදහසේ ඇදහීමට අවස්ථාව ඇති බව චීනය දිගු කලක් තිස්සේ ප්‍රකාශ කළත්, මානව හිමිකම් කණ්ඩායම් පවසන්නේ බීජිං රජය විසින් සියවස් ගණනාවක් පැරණි ටිබෙට් අනන්‍යතාවය ක්‍රමයෙන් ඛාදනය කරමින් සිටින බවයි.

කෙසේ වෙතත්, චීන පාලනය යටතේ ටිබෙටයේ ජනතාවගේ ජීවන තත්ත්වය බෙහෙවින් දියුණු වී ඇති බවත්, ඔවුන්ගේ මානව හිමිකම් සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මර්දනය කිරීමක් සිදු නොවන බවත්, බීජිං රජය පවසයි.

ජනපතිවරයාගේ සංචාරයේ අරමුණු අතර, ටිබෙටය වෙත සහ සිදු වන ආර්ථික, සංස්කෘතික සහ පෞද්ගලික හුවමාරු දිරිගැන්වීමත්, ජාතික පොදු භාෂාවක් සහ අක්ෂර ජනප්‍රිය කිරීමත් ඇතුළත් බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

තවද, ටිබෙටයේ ප්‍රධාන කාර්යයන් හතරක් වන ස්ථායිතාව සහතික කිරීම, සංවර්ධනයට පහසුකම් සැලසීම, පරිසරය ආරක්ෂා කිරීම සහ දේශසීමා ශක්තිමත් කිරීම පිළිබඳව ද ඔහු මෙහිදී අවධාරණය කළ බව සඳහන් වෙයි.

ඉන්දියාවේ අග්නි5 සාර්ථකවේ

ඉන්දියාව සිය හමුදා ශක්තිය විදහා දක්වමින්, කිලෝමීටර් 5,000 ක් දක්වා දුරක් සාර්ථකව යා හැකි අතරමැදි පරාසයක බැලස්ටික් මිසයිලය වන අග්නි-5 ඊයේ(20)දිනයේදී සාර්ථකව අත්හදා බලා තිබේ.

මෙම මිසයිලය ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන සංවිධානය (DRDO) විසින් සංවර්ධනය කරන ලද අතර, න්‍යෂ්ටික හිසක් ගෙන යා හැකි මෙය චීනයේ උතුරු කෙළවරේ ප්‍රදේශ ඇතුළුව ආසියාවේ මුළු මහාද්වීපයම පාහේ සහ යුරෝපයේ සමහර ප්‍රදේශ වලට යා හැකි ලෙස අත්හදා බලා ඇත.

මෙම අත්හදා බැලීම සිදු කරනු ලබන්නේ ඉන්දියාව සහ පාකිස්තානය අතර මිලිටරි ගැටුමකින් මාස හතරකටත් අඩු කාලයක් තුලදීය.

ජලයෙන් යටවුණු මුම්බායි නිසා මිලියනයකට පීඩා

ඉන්දියාවේ මුම්බායිහි මේ දිනවලට අයහපත් කාලගුණය හේතුවෙන් මිලියනයකට ආසන්න ජනතාවක් පීඩාවට පත්ව සිටියි.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, ගෙවුණු දින හතරක කාලය තුළ මුම්බායි නගරයට මිලිමීටර් 800 කට ආසන්න වර්ෂාපතනයක් ලැබී තිබේ. මෙම සංඛ්‍යාව, සාමාන්‍යයෙන් මාස පුරා ලැබෙන වැසි ප්‍රමාණයටත් වඩා ඉහළ නිසා, නගරයේ දෛනික ජීවිතය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ.

ඉන්දීය කාලගුණ දෙපාර්තමේන්තුව මෙම තත්ත්වය තවදුරටත් පවතින බවට අනතුරු අඟවමින්, මුම්බායි සහ අසල්වැසි දිස්ත්‍රික්කවලට රතු අනතුරු ඇඟවීම්ද නිකුත් කර ඇත.

 

 

ගාසා නගරය අල්ලන්න ඊශ්‍රායල හමුදාව ගමනේ

ගාසා නගරය මුළුමනින්ම අල්ලා ගැනීමට සහ අත්පත් කර ගැනීමට සැලසුම් කළ ගොඩබිම් ප්‍රහාරයේ “මූලික ක්‍රියාමාර්ග” ආරම්භ කර ඇති බවත්, තදාසන්න ප්‍රදේශ දැනටමත් තම පාලනය යටතේ පවතින බවත් ඊශ්‍රායල හමුදාව පවසයි.

ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් අඟහරුවාදා අනුමත කළ සහ මෙම සතිය අගදී ආරක්ෂක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ප්‍රහාරයට සූදානම් වීමේ සැලස්ම සඳහා සයිටූව්න් සහ ජබාලියා ප්‍රදේශවල තම භට පිරිස් දැනටමත් ක්‍රියාත්මක වන බව හමුදා ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙහෙයුම සඳහා ක්‍රියාකාරී රාජකාරියේ නියුතු පිරිස් නිදහස් කිරීම සඳහා සැප්තැම්බර් මස මුලදී අමතර ස්වේච්ඡා භටයින් 60,000 ක් පමණ කැඳවනු ලැබ තිබේ.

“අහිංසක සිවිල් වැසියන්ට එරෙහි කුරිරු යුද්ධයක්” දිගටම කරගෙන යාම සඳහා සටන් විරාම ගිවිසුමකට ඊශ්‍රායලය බාධා කළ බවට හමාස් සංවිධානය චෝදනා කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

ඊශ්‍රායලය මෙම අත්පත් කර ගැනීමේ සැලැස්ම සඳහා සූදානම් වීමත් සමඟ ගාසා නගරයේ සිටින ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ට ඉන් ඉවත් වී දකුණු ගාසා තීරයේ ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස නියෝග කිරීමට නියමිතයි.

Add to cart