ඇමරිකාවේ ණය ඩොලර් ට්‍රිලියන 37 ඉක්මවයි

ඇමරිකානු රාජ්‍ය ණය ප්‍රථම වරට ඩොලර් ට්‍රිලියන 37 ඉක්මවා ඇතැයි එරට භාණ්ඩාගාරය නිකුත් කළ නවතම දත්තවලින් අනාවරණය කෙරේ.

වසර ගණනාවක් පුරා, අඛණ්ඩ මූල්‍ය හිඟයන් පැවතීම ඇමරිකානු ණය ප්‍රමාණය ඉහළ යාමට හේතු වී තිබේ. ඇමරිකානු ෆෙඩරල් අයවැය සඳහා වූ වගකිවයුතු කමිටුව පෙන්වා දුන්නේ, රටේ මූල්‍ය තත්වය බරපතල ලෙස අසමතුලිත වන නමුත්, කොංග්‍රසය එම තත්වය තවදුරටත් නරක අතට හැරවීම අඛණ්ඩව කරගෙන යන බවයි.

තීරණාත්මක ලක්ෂ්‍යය ඉක්මවුවහොත් විශාල ප්‍රමාණයේ සමුච්චිත රාජ්‍ය ණය, ඇමරිකාවේ ආර්ථික වර්ධනය මන්දගාමී කරනු ඇතැයි ආර්ථික විද්‍යාඥයින් කිහිපදෙනෙකු පවසා තිබේ.

මෙම තත්වය යටතේ, ඇමරිකානු රජයට තම මූල්‍ය තත්වය සකස් කර ගැනීමට ඇති හැකියාව පිළිබඳ ආයෝජකයින්ගේ විශ්වාසය ගිලිහෙනු ඇත. පොලී අනුපාතවල සැලකිය යුතු වැඩි කිරීමකින් තොරව ඇමරිකානු ණය ගැනීම් සඳහා මුදල් සැපයීමට ආයෝජකයින් අකමැති විය හැකි බවද ඔවූහු පෙන්වා දෙති.

දකුණු යුරෝපය ගින්නෙන් දැවේ.

දකුණු යුරෝපය උෂ්ණත්ව මට්ටම 40c ඉක්මවන අධික උෂ්ණත්වය හේතුවෙන්, බොහෝ ප්‍රදේශවල දැවැන්ත ලැව්ගිනි තත්ත්වයක් මතුවී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, මේ වනවිට පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂය ලබා ඇති අතර, දහස් ගණනක් ජනතාවට නිවෙස් අත්හැර පිටව යාමට සිදුව තිබේ.

ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, පෘතුගාලය සහ බෝල්කන් ප්‍රදේශවල රතු තාප අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, සෙල්සියස් අංශක 40 ඉක්මවන උෂ්ණත්වය සෞඛ්‍යයට දැඩි අවදානමක් බව ද නිවේදනය කර ඇත.

ස්පාඤ්ඤයේ කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ, සෙවිල් සහ කෝර්ඩෝබා නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 දක්වා ළගා විය හැකි බවය.

ස්පාඤ්ඤ අගමැති පේද්‍රෝ සැන්චෙස්, පවසා තිබුණේ, ලැව්ගිනි පාලනය සඳහා ගිනි නිවීමේ සේවා වෙහෙස නොබලා කටයුතු කරමින් සිටින බවය.

මේ අතර, රට පුරා ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා සොල්දාදුවන් 1,000ක් පමණ යොදවා ඇති බවද වාර්තා වෙයි.

ග්‍රීක බලධාරීන් එළඹෙන දිනවල තත්ත්වය තවදුරටත් අභියෝගාත්මක වී හැකි බවට අනතුරු අඟවා, ජනතාවට අවධානයෙන් සිටීමට කැඳවනු ලැබීය.

සෙලෙන්ස්කි ප්‍රතික්ෂේප කළ රුසියානු යෝජනාව

යුක්‍රේනයේ ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ, සටන් විරාමයක් සඳහා ඩොන්බාස් ප්‍රදේශය අත්හැරීමට රුසියාව ඉදිරිපත් කළ යෝජනාව කිව් පාර්ශ්වය ප්‍රතික්ෂේප කර ඇති බවයි.

විදෙස් වාර්තා අනුව, සාම ගිවිසුමකට එළැඹෙන ක්‍රියාවලියේදී භූමි සම්බන්ධ එකඟතාවකට යා හැකි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, රුසියානු ජනාධිපතිවරයා විසින් කිව් පාලනය යටතේ පවතින ඩොන්බාස් හි කොටස් යටත් කළ යුතු බව ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. සෙලෙන්ස්කි එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්, රුසියානු හමුදාව මේ වන විටත් යුක්‍රේනයට එරෙහිව අඛණ්ඩ ප්‍රහාර දියත් කරමින් සිටින බව චෝදනා කළේය.

ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් ප්‍රදේශවලින් සැදුම්ලත් ඩොන්බාස් හි කොටසක් දැනටමත් රුසියානු පාලනය යටතේ ඇති අතර, රුසියාව ලුහාන්ස්ක් පූර්ණයෙන්ම සහ ඩොනෙට්ස්ක් ප්‍රදේශ වලින් ආසන්න වශයෙන් 70%ක් අල්ලාගෙන ඇති බව වාර්තා සඳහන් කරයි.

මේ අතර, යුරෝපා සංගම් නායකයින් ද ප්‍රකාශ කර ඇත්තේ, යුක්‍රේනයේ දේශසීමා බලහත්කාරයෙන් වෙනස් නොකළ යුතු බවයි.

ඉන්දුනීසියාවම හෙල්ලූ භූ කම්පනය

ඉන්දුනීසියාවේ බටහිර පැපුවා කලාපයේ ඊයේ දිනයේදී (12) ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එය රික්ටර් මාපකයේ ඒකක 6.5ක ලෙස සටහන් වූ බවයි. කෙසේ වෙතත් මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවේය.

ගාසාහීදී අල් – ජසීරා මාධ්‍යවේදීන් 05 දෙනෙක් මරුට

ගාසාහි අල්-ෂිෆා රෝහල ආසන්නයට එල්ල වූ ඊශ්‍රායල් ප්‍රහාරයකින් තම මාධ්‍යවේදීන් පස් දෙනෙකු මිය ගිය බව අල් ජසීරා පුවත් සේවය පවසයි.

ප්‍රහාරය එල්ල වන විට අනාස් අල්-ෂරීෆ්, මොහොමඩ් ක්‍රෙයිකේ සහ කැමරා ශිල්පීන් වන ඉබ්‍රාහිම් සහර්, මොහොමඩ් නූෆාල් සහ මෝමෙන් අලිවා යන අය රෝහලේ ප්‍රධාන දොරටුව අසල පිහිටි මාධ්‍යවේදීන් සඳහා වෙන් වූ කූඩාරමක සිටි බව අල් ජසීරා වාර්තා කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අල් ජසීරා නාලිකාව මෙම ප්‍රහාරය “ඉලක්කගත ඝාතනයක්” ලෙස හැඳින්වූ අතර එය මාධ්‍ය නිදහසට එල්ල කරන ලද තවත් පැහැදිලි සහ සැලසුම්සහගත ප්‍රහාරයක් බව පැවසීය.

ප්‍රහාරයෙන් සුළු මොහොතකට පසු, සිය ප්‍රහාරයේ ඉලක්කය වූයේ අනාස් අල්-ෂරීෆ් බව ඊශ්‍රායල හමුදාව පැවසුවේ, ඔහු හමාස් ත්‍රස්තවාදී අංශයක නායකයෙකු බවට ටෙලිග්‍රෑම්හි සටහනක් පළ කරමිනි.

ලන්ඩනයේ පැලස්තීන ක්‍රියාකාරී රැලියකින් 474ක් අත්අඩංගුවට!

බ්‍රිතාන්‍යය තුළ තහනම් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇති ‘පැලස්ටයින් ඇක්ෂන් ගෘෘප්’ (Palestine Action Group) නම් සංවිධානයට සහාය පළ කරමින් ලන්ඩනයේ පැවති රැලියකට සහභාගී වූ 474කට අධික පිරිසක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බ්‍රිතාන්‍ය නීතියට අනුව, මෙම සංවිධානයේ සාමාජිකත්වය හෝ එයට සහාය දැක්වීම අපරාධමය වරදක් වන අතර, නීතිය උල්ලංඝනය කරන්නන්ට වසර 14ක් දක්වා සිර දඬුවම් නියම කළ හැකිය.

පොලීසියට අනුව, පසුගිය වසර 10 තුළ ලන්ඩන් පොලීසිය එක් දිනක් තුළ වැඩිම පිරිසක් අත්අඩංගුවට ගත් අවස්ථාව මෙයයි.

කෙන්යාවේ බසයක් පෙරළීමෙන් 25 ක් මරුට!

 

නිරිතදිග කෙන්යාවේදී සිදුවූ බිහිසුණු බස් රථ අනතුරකින් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් මෙම බස් රථය, බටහිර කකාමේගා නගරයේ සිට කිසුමු නගරය දක්වා ධාවනය වෙමින් තිබියදී රියදුරුට වේගය පාලනය කරගත නොහැකිව පෙරළී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියගිය අය අතර වයස අවුරුදු 10ක දැරියක් ද සිටින බව වාර්තා වේ.

ලොස් ඇන්ජලීස් හි කැනියොන් ගින්නෙන් පදිංචිකරුවන් පීඩා!

 

එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරයේ වයඹ දෙසින් ඇති වූ දරුණු ලැව් ගින්නක් හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචිකරුවන් දහස් ගණනක් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

“කැනියොන් ගින්න” ලෙස නම් කර ඇති මෙම ලැව් ගින්න පසුගිය බ්‍රහස්පතින්දා දහවල් වෙන්දුරා සහ ලොස් ඇන්ජලීස් ප්‍රාන්තවල මායිම් ආශ්‍රිතව ඇවිළී ගොස් තිබේ. ඊයේ (08) වන විට එය අක්කර 5,400ක පමණ ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත වී ඇති බව වාර්තා වේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 400කට අධික පිරිසක් දැඩි මෙහෙයුම් දියත් කර ඇති අතර, මේ වන විට එයින් 28%ක් පමණ පාලනය කිරීමට හැකි වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේ වෙතත්, අධික උණුසුම් හා වියළි කාලගුණය හේතුවෙන් ගිනි නිවීමේ කටයුතු සංකීර්ණ වී ඇති බව බලධාරීහු පෙන්වා දෙති. ගින්න තවමත් සක්‍රීයව පවතින අතර, එය කැස්ටයික් දෙසට නැගෙනහිරට පැතිර යන බව සඳහන් වේ.

ඉදිරි දිනවලදී උෂ්ණත්වය 100°F (37.7°C) දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති බැවින්, අවට පදිංචිකරුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස දන්වා ඇත.

කැලිෆෝනියාවේ ලැව් ගිනි බහුලව ඇතිවන අතර, මේ වසරේ ජනවාරි මාසයේදී ලොස් ඇන්ජලීස් ආශ්‍රිතව ඇති වූ ගින්නකින් පුද්ගලයන් 31 දෙනෙකු මිය ගොස්, දහස් ගණනක් ගොඩනැගිලි විනාශ විය.

ප්‍රවීණ අභ්‍යවකාශගාමී ජිම් ලොවෙල් දිවි ගමනට සමුදෙයි!

ලොව විශිෂ්ටතම අභ්‍යවකාශගාමීන්ගෙන් අයෙකු ලෙස සැලකෙන, ඇමරිකානු ජාතික ජිම් ලොවෙල් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 97 වන වියේ පසුවිය.

1928 වසරේ උපත ලද ජිම් ලොවෙල්, අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයකි.

1968 වසරේ සිදුකළ ඇපලෝ 8 මෙහෙයුම යටතේ සඳ වටා කක්ෂගත වූ පළමු ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයෙකු වූ ඔහු, 1970 වසරේ සිදු වූ ඇපලෝ 13 චන්ද්‍ර මෙහෙයුමේ ප්‍රධානියා ලෙසද කටයුතු කළේය.

ඔහු දෙවරක් සඳ වෙත ගමන් කළ පළමු පුද්ගලයා වූ නමුත්, කිසිදු අවස්ථාවක සඳ මතට ගොඩබැස නැත. එසේම, හතර වතාවක් අභ්‍යවකාශයට ගිය පළමු ගගනගාමියා ලෙස ද ඔහු ඉතිහාසයට එක් වී සිටී.

ජර්මනිය ඊශ්‍රායලයට ආයුධ සැපයීම අත්හිටුවයි

ඊශ්‍රායලයට ආයුධ අපනයනය කිරීම ජර්මනිය විසින් අත්හිටුවන බව චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් පවසා තිබේ.

චාන්සලර්වරයා සඳහන් කර ඇත්තේ ඒ අනුව නැවත දැනුම් දෙන තුරු ගාසා තීරයේ භාවිත කළ හැකි කිසිදු හමුදා උපකරණ ඊශ්‍රායලයට අපනයනය කිරීමට තම රජය අනුමැතිය ලබා නොදෙන බවයි.

ඊශ්‍රායල හමුදා සැලැස්ම නීත්‍යානුකූල අරමුණු සාක්ෂාත් කර ගැනීම උපකාරි වන්නේ කෙසේද යන්න පැහැදිලි කර ගැනීම මේ වන විට දුෂ්කර වී ඇති බවත් මෙම තත්ත්වයන් යටතේ නැවත දැනුම් දෙන තුරු ගාසා තීරයේ භාවිත කළ හැකි කිසිදු හමුදා උපකරණයක් ඊශ්‍රායලයට අපනයනය කිරීම ජර්මානු රජය අවසර ලබා නොදෙන බවත් ඔහු පවසා තිබේ.

විදෙස් මාධ්‍ය මේ සම්බන්ධව වාර්තා කර ඇත්තේ ඊශ්‍රායලයට ආයුද සපයන විශාලතම අවි සැපයුම්කරුවන්ගෙන් ජර්මනිය එක් රටක් වන බවත් එක්සත් ජනපදයෙන් පසු දෙවන විශාලතම අවි සපයන්නා ජර්මනිය වන බවත්ය.

ගාසා නගරයේ පාලනය අත්පත් කර ගැනීමේ ඊශ්‍රායල අනුමත සැලැසුම් පිළිබඳව මේ වන විට ලොව රටවල් කිහිපයකින් විරෝධතා මතුව ඇති අතර එරට පුරවැසියන්ද මේ සම්බන්ධව විරෝධය දක්වා තිබුණි.

එමෙන්ම ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර තවදුරටත් තීව්‍ර කිරීමේ තීරණය වැරදි සහගත බවත් මේ සම්බන්දව නැවත සලකා බලන ලෙස එක්සත් ජනපද අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇත.

එක්සත් ජනපද මානව හිමිකම් වෝල්කර් ටර්ක් අනතුරු අඟවා ඇත්තේ ප්‍රහාර තවදුරටත් උග්‍ර වන්නේ නම් අවතැන්වීම්, ඝාතන මෙන්ම දරාගත නොහැකි දුක් වේදනා ඉහළ යා හැකි බවයි.

Add to cart