15 වැනිදා ට්‍රම්ප් පුටින් හමුවෙයි

රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට තමන්, එලැඹෙන 15 වැනිදා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

ට්‍රම්ප් හමුවීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කර ඇත්තේ ට්‍රම්ප් නියෝජිත ස්ටීව් විට්කොෆ් රුසියාවේ මොස්කව් අගනුවරට ගොස්, පුටින් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.

ට්‍රම්ප් සහ පුටින් අතරේ මුහුණට මුහුණ හමුව, ලබන 15 වැනිදා ඇලෙස්කාවේදී සිදුවනු ඇතැයි ද පැවැසෙයි. තමන් ද පුටින් හමුවීමට නොඉවසිල්ලෙන් පසුවන බව, ඇමෙරිකා ජනාධිපතිවරයා පවසා ඇත.

12වැනි ලෝක ක්‍රීඩා සමාරම්භය චීනයේදී

12 වන ලෝක ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ඊයේ (07) රාත්‍රියේ චීනයේ Sichuan පළාතේ Chengdu නගරයේදී පැවැත්විණ.

ජවසම්පන්න බවින් යුත් තරුණ තරුණියන් සහ දරුවන් ද ඇතුළු 500 කට අධික රංගන ශිල්පීන් සජීවීව එක්වූ ඒක පුද්ගල නර්තනාංග සහ විනෝදජනක අංග රැසකින් එය සමන්විත විය. එමෙන්ම නර්තන ශිල්පීන් 500කට අධික පිරිසක් එක්ව W අකුරින් ලෝක ක්‍රීඩා උළෙලේ දැවැන්ත ලාංඡනයක් ද නිර්මාණය කළහ. මේ සියල්ල සමඟින් Chengdu නගරය ලොව රටවල් රැසකින් පැමිණි අමුත්තන් පිළිගනු ලැබීය.

වසර 80 කට පසු ගිනිගත් ප්‍රංශය

ඊයේ දිනයේදී ප්‍රංශයේ ඕඩ් කලාපයේ දරුණු ලැව්ගිනි තත්ත්වයක් හටගෙන තිබේ. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ එරට තුළ වසර 80කට ආසන්න කාලයකට පසු ඇති වූ විශාලතම ලැව් ගින්න මෙය බවයි. ගින්න පාලනය කිරීම සඳහා ප්‍රංශ ගිනි නිවන භටයින් දැඩි සටනක් දුන්නද, ඒ වන විටත් දකුණුදිග ඕඩ් කලාපයේ විශාල ලෙස ගින්න පැතිරගොස් අවසන්ය. එම කලාපයේ වනාන්තර සහ ගම්මාන හරහා ගින්න ඉතා වේගයෙන් පැතිර ගොස් ඇති අතර, අවම වශයෙන් නිවාස 25ක් ගිනිබත් වන්නට ඇති බවටද ප්‍රංශ බලධාරින් විශ්වාසය පළකර තිබේ. මේ අතර Perpignan නගරයට කිලෝමීටර් 30ක් පමණ දුරින් පිහිටි ශාන්ත ලෝරන්ට් ඩි ලා කැබ්‍රෙරිස් ගම්මානයේ එක් පුද්ගලයෙකුද ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් ජීවතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් වාර්තා අනාවරණය කර ඇති බවත්, ප්‍රංශය මෙවැනි ලැව්ගිනි තත්ත්වයකට අවසන් වරට මුහුණදී ඇත්තේ 1949 වසරේදී පමණ බවත් එම වාර්තා වැඩිදුරටත් පවසා ඇත.

ඇමරිකාව එපා කියද්දී ඉන්දියාවෙන් රුසියාවට

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සතියේදී ප්‍රකාශ කළේ, ඉන්දියාව විසින් රුසියානු ඉන්ධන මිලදී ගනිමින් එරට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන බවත්, එම හේතුව නිසා ඉන්දියාවට එරෙහිව දැඩි තීරුබදු පනවන බවත්ය.
නමුත්, එම අනතුරු ඇඟවීම් නොතකා ඉන්දියාව විසින් රුසියානු ඉන්ධන මිලදී ගැනීම තවදුරටත් කරගෙන යාමට කටයුතු කර තිබේ. මෙවන් තත්ත්වයක් තුළ වුවද ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් රුසියාවට නිල සංචාරයක් ආරම්භ කර ඇති අතර, ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයශංකර්ද ලබන මාසයේදී රුසියාවට සංචාරය කිරීමට නියමිතව ඇත.

ඇමරිකාවෙන් ඉන්දියාවට තර්ජන පිට තර්ජන

 

රුසියාවෙන් තෙල් මිලදී ගන්නේ නම් ඉන්දියාවට සැලකිය යුතු තීරු බදු වැඩි කිරීමක් සිදුකරන බවට තර්ජනය කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා ඇත. රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේන වැසියන් කොපමණ පිරිසක් මිය යන්නේද යන කරණාව පිළිබඳව ඉන්දියාවට තැකීමක් නොමැති බවද ඔහු තම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඉන්දියාව, රුසියාවෙන් තෙල් මිලදී ගන්නා ප්‍රධානම රටවල් අතරින් එකක් වන බවත්, 2022 වසරේ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමඟ යුරෝපීය රටවල් කිහිපයක් රුසියාවෙන් තෙල් මිලදී ගැනීම කප්පාදු කර නිසා රුසියානු තෙල් අපනයන වෙළඳපලට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි.

ට්‍රම්ප්ට බිලියන 200ක බෝල් රූම් එකක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයක් මත මේ දිනවල ධවල මන්දිරයේ යම් යම් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වෙමින් පවසයි.

ඒ යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 200ක් වැය කරමින් නවතම බෝල් රූම් ශාලාවක් ඉදිකිරීමට නියෝග නිකුත් කර තිබෙන බවට වාර්තා වේ. මෙම නව බෝල් රූම් ශාලාවේ නව ඉදිකිරීම් එළඹෙන සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම බෝල් රූම් ශාලාව ධවල මන්දිරයේ සාද පැවැත්වීම සඳහා යොදා ගන්නා බවයි.

නළුවෙකුගේ සිරුරක් හෝටල් කාමරයක

ජනප්‍රිය රංගන ශිල්පියෙකුගේ සිරුර හෝටල් කාමරයකින් සොයාගෙන ඇත. ඔහුගේ සිරුර සොයාගත් විගස රෝහලකට ගෙන ගොස් ඇති අතර එහිදී වෛද්‍යවරු ඒවන විටත් ඔහු මිය ගොස් ඇතිබව තහවුරු කර තිබේ.

නවාස් නම් 51 හැවිරිදි මලයාලම් රංගන ශිල්පියා චිත්‍රපට රූගත කිරීමක් සඳහා නවාතැන් ගෙන සිටි හෝටලයේ කාමරයක මියගොස් සිටියදී සොයාගත් බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

කෙසේනමුත් රංගන ශිල්පියාගේ මරණයට හේතුව සම්බන්ධව මෙතෙක් නිල වශයෙන් ඉන්දීය සෞඛ්‍ය අංශ ප්‍රකාශයක් සිදුකර නැත.

 

මයිකල් ජැක්සන්ගේ මේස් කකුලක මිල

සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්, 1997 වසරේ දී ප්‍රංශයේ පැවති ප්‍රසංගයක් අතරතුර පැළඳ සිටි දිලිසෙන මේස් කකුලක් ඩොලර් 9,000කට වෙන්දේසි වී ඇත.

ප්‍රංශයේ බදාදා පැවැති වෙන්දේසියකදී මෙය අලෙවි වී ඇතැයි වාර්තා වේ.

ජැක්සන් ඔහුගේ HIStory: Past, Present and Future, Book I ගීත ඇලබමය නිකුත් කිරීම ප්‍රවර්ධනය කිරීම සදහා මෙලෙස ප්‍රංශයේ ප්‍රසංගයට සහභාගීවන අතරතුර “සඳ ඇවිදීම” සිදු කරන ඉරියව්වේ දී මෙම මේස් එක විශේෂයෙන් කැපී පෙනුණු බව කියනු ලැබේ.

ජැක්සන් එය සෝදා නැති බවද සඳහන්ය.

මෙම වෙන්දේසියේදී, මේස් එක විකුණනු ලැබුවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගෙන් ලැබුණු පසුපස වේදිකා අවසර පත්‍රයක් සමඟිනි. ඔහු නයිස් හි ප්‍රසංගයකින් පසු උපකරණ ඉවත් කිරීමේදී මෙය සොයාගෙන මේ දක්වා එය සුරැකිව තබාගෙන සිට තිබේ.

පලස්තීනය පිළිගන්න එංගලන්තය සැරසේ

ගාසා තීරයේ වර්තමානයේ ඇතිව ඇති තත්වයට ඊශ්‍රායලය කඩිනම් පියවර නොගන්නේ නම් සැප්තැම්බර් මාසයේදී පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සටන් විරාමයකට එකඟ වීම, ද්වි-රාජ්‍ය විසඳුමක් ලබාදෙන දිගුකාලීන තිරසාර සාමයකට කැපවීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ආධාර සැපයීම නැවත ආරම්භ කිරීමට ඉඩ දීම ඇතුළු අනෙකුත් කොන්දේසි ද ඊශ්‍රායලය සපුරාලිය යුතු බවට ඔහු පවසා ඇත.

රික්ටර් මාපකයේ 8.0ක භූකම්පනයක් රුසියාවට

රුසියාවේ පෙරදිග කම්චැට්කා අර්ධද්වීපයේ ප්‍රබල භූකම්පන තත්ත්වයක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.එය රික්ටර් මාපකයේ 8.0ක අගයක් සදහන්වූ භූකම්පනයක් බවයි වාර්තා වන්නේ.

USGS ට අනුව, රුසියාවේ පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට සැතපුම් 85ක් පමණ දුරින් භූමිකම්පාව කිලෝමීටර් 19ක් ගැඹුරට සිදු විය.

භූකම්පනයෙන් පසුව හවායි දූපත් සහ ඇලස්කාවේ ඇලූටියන් දූපත් වල කොටස් සඳහා සුනාමි සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමටද පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ.

Add to cart