ඉන්දියාවේ අනතුරකින් 18 දෙනෙක් මරුට

ඉන්දියාවේ ජමුනියා වනාන්තරය අසල බස් රථයක් සහ ගෑස් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 18දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි. තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා ආසන්නයේ පිහිටි රෝහල් සහ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙත ඇතුළත් කර තිබේ.

ඇමරිකාවේ වෙඩි තැබීමක් 05 දෙනෙකු මරුට

අමෙරිකාවේ නිව්යෝක් නුවර පිහිටි මහල් ගොඩනැගිල්ලකට කඩාවැදුන 27 හැවිරිදි ෂේන් ටමුරා නැමැති පුද්ගලයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් සිව්දෙනෙක් මියගොස් ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මියගිය පිරිස අතර පොලිස් නිලධාරියෙක්, සිවිල් වැසියන් සහ සැකකරු ද සිටින බව විදසේ මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

අගමැති මෝදි ගාන්ධිව පසුකරයි

ඉන්දීය ඉතිහාසයේ දෙවැනි දීර්ඝම කාලයක් අගමැති ධුරය දැරූ අගමැතිවරයා බවට වත්මන් අගමැති නරේන්ද්‍ර සිං මෝදි ඊයේ පත්විය. ඒ 1966 වසරේ ජනවාරි 24 වැනිදා සිට 1977 වසරේ මාර්තු 24 වැනිදා දක්වා වූ කාලයේ දී එක දිගට දින 4077ක් (වසර 15කුත් දින 350ක් ) අගමැති ධුරය දැරූ ඉන්දිරා ගාන්ධි අග්‍රාමාත්‍යවරියගේ ධූර කාලසීමාව පසුකර යමිනි.

ඊයේ දිනය වන විට මෝදි අග්‍රාමාත්‍යවරයා දින 4078ක් එක දිගට අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිට ඇත. 2014 වසරේ මැයි 26 වැනිදා සිට එකදිගට මේ දක්වා ඉන්දීය අගමැතිවරයා වශයෙන් කටයුතු කරන අතර ඔහු 2014, 2019 හා 2024 වසරවල පැවති ඉන්දීය මහා මැතිවරණවලදී අගමැති ධුරයට තේරී පත්ව තිබේ.

ඉන්දියාවේ මෙතෙක් වැඩිම දින ගණනක් අගමැති ධුරය දරා ඇත්තේ එරට ප්‍රථම අගමැතිවරයා වන ශ්‍රී ජවහල්ලාල් නේරු තුමා විසින් වන අතර ඔහු විසින් එකදිගට වසර 16කුත් දින 286ක කාලයක් එම ධුරයේ කටයුතු කර තිබේ.

වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගතකරන්නේ ඔහුගේ තෙවැනි ධූර කාලයයි.

කාම්බෝජය සටන් විරාමයක් ඉල්ලයි

තායිලන්ත – කාම්බෝජ දේශසීමාවේ පවතින යුද ගැටුම්වලින් පසුව කාම්බෝජය කොන්දේසි විරහිතව තායිලන්තයෙන් සටන් විරාමයක් ඉල්ලා තිබේ.එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපතිවරයා උපුටා දක්වමින් ආසියානු මාධ්‍ය සදහන් කරන්නේ යුද ගැටුම්වලට සාමකාමී විසඳුමක් කාම්බෝජය බලාපොරොත්තු වන බවයි.

කාම්බෝජයේ ඉල්ලීමට තායිලන්තය මේ දක්වා ප්‍රතිචාර දක්වා නොමැත.

ඔවුන් මේ වනවිටත් කාම්බෝජයට මායිම්ව ඇති දිස්ත්‍රික්ක අටක යුද නීතිය ප්‍රකාශයට පත්කර ඇත. පසුගිය දින දෙකක් පුරා පැවැති මෙම යුද ගැටුම් හේතුවෙන් දෙරටේම අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තවත් ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන් වී සිටියි.

 

 

ට්‍රම්ප් පිලිපීනයටත් හොඳින් සලකයි

පිලිපීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඇමරිකා එක්සත් ජනපදය 19% ක බද්දක් අය කරන බව ට්‍රම්ප් Truth Social ගිණුමේ සටහනක් තබමින් හෙළිකරයි. “එය සුන්දර සංචාරයක් වූණා. අපි අපගේ වෙළඳ ගනුදෙනුව අවසන් කළා” යැයි ට්‍රම්ප් සදහන් කර ඇත්තේ ධවල මන්දිරයේදී පිලිපීන ජනාධිපතිවරයා සමඟ පැවති හමුවකින් පසුවය.

පිලිපීනය එක්සත් ජනපදය සමඟ සාපේක්ෂව කුඩා වෙළඳ හවුල්කරුවෙකු වන අතර, පසුගිය වසරේ ඇමරිකාවට ඩොලර් බිලියන 14.2 ක් පමණ වටිනා භාණ්ඩ අපනයන කර තිබුණි. එයට මෝටර් රථ අමතර කොටස්, විදුලි යන්ත්‍රෝපකරණ, රෙදිපිළි සහ පොල්තෙල් ඇතුළත් විය.

ඩොලර් බිලියන 550ක් ජපානයෙන් ට්‍රම්ප්ට

ජපන් ආයෝජන ඩොලර් බිලියන 550ක් අමෙරිකාව තුළ සිදුකිරීමට නියමිත බව ට්‍රම්ප් සිය Truth Social ගිණුමෙහි සටහනක් තබමින් අනාවරණය කරයි. ඒ ජපානය අතර ඇතිකරගත් ගිවිසුමකට අනුව බව ප්‍රකාශ කරන ට්‍රම්ප් ජපානයට 15%ක් දක්වා බදු අඩුකල බවද පවසයි.

ඒ අනුව ජපානයද, අමෙරිකානු නිෂ්පාදන වන මෝටර් රථ, ට්‍රක් රථ, සහල් සහ ඇතැම් කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු අනෙකුත් ආනයනය භාණ්ඩ සඳහා සියයට 15ක බද්දක් අඩුකර ඇති බවද සඳහන්ය.

ගීතාට IMF එක එපාම වෙයි

IMF හී පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක ලෙස එක්වීමේ අරමුණින්ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ඊයේ (21) ඒ බව නිවේදනය කර ඇත.

ගාසාහී කෑම ඉල්ලූ 67 දෙනෙක් මරා දමයි

එක්සත් ජාතීන්ගේ මානුෂිය ආධාර බලාපොරොත්තුවෙන් උතුරු ගාසා තීරයේ සිටි පුද්ගලයින් 67 දෙනෙකු ඝාතනය කර ඇත. මේ බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර සංවිධානය නිලධාරීන්ද සනාථ කර තිබේ. ඔවුන් පවසන්නේ මානුෂීය ආධාර රැගත රථ උතුරු ගාසා තීරයට ළගාවන විටත් වෙඩි වැදුනු සිවිල් වැසියන් ඔවුනට දර්ශණය වූ බවයි.

ගාසා තීරයේ ජීවත්වන දහස් ගණනක් වු සිවිල් වැසියන්ට ආහාර සපයා ගැනීමට නොහැකි වීමෙන් ඔවුන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව හමාස් සංවිධානයේ සෞඛ්‍ය අංශ පවසන අතර ඔවුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දෙන ලෙස ගාසා හී සෞඛ්‍ය අංශ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක්ද සිදුකර තිබේ.

මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ ක්ෂණිකව ඇති වු තර්ජනයක් මැඩපැවැත්වීම වෙනුවෙන් එම වෙඩි තැබීම සිදුකළ බවයි.

සිංගප්පූරුවට සයිබර් ප්‍රහාරයක්!

සිංගප්පූරුවේ රාජ්‍ය ආයතන ඇතුලු ප්‍රධාන පද්ධති විශාල ප්‍රමාණයක් ඉලක්ක කරගනිමින් සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත. විදෙස් මාධ්‍ය උපුටා දක්වන්නේ එරට ජාතික ආරක්ෂාව පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය කේ ෂන්මුගම් මහතා මේ බව සනාථ කල බවයි.

අදාළ සයිබර් ප්‍රහාරය කළ පාර්ශවය UNC 3886 ලෙස හඳුනාගෙන ඇති අතර සිංගප්පූරුවේ ආරක්ෂක, දුරකථන සමාගම්, තාක්ෂණ සංවිධාන ඇතුළු තීරණාත්මක ක්ෂේත්‍රවල පද්ධති වලට ඉන් බලපෑම් එල්ල වී තිබේ.

ඇමරිකාවේ පිපිරීමක් පොලීසියේ 03ක් මරුට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හී ප්‍රාන්ත ෂෙරීෆ් දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථානයක සිදුවූ පිපිරීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

පිපිරීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

වාහන නැවැත්වීමේ ස්ථානයක මෙම පිපිරුම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Add to cart