කොළඹ අයවැය පරද්දවලා පාටි දැම්මා කියන්නෙ බොරුවක්. ඒක පරණ එකක්
සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන සාදයක වීඩියෝවක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. එම වීඩියෝව මෑතකදී සිදුවූවක් නොව, පසුගිය ඔක්තෝබර් මාසයේදී පවත්වන ලද පැරණි සාදයක දර්ශන බව ඇය අවධාරණය කරයි.
අදාළ වීඩියෝවෙන් දැක්වෙන්නේ පසුගිය ඔක්තෝබර් මාසයේදී සමගි ජන බලවේගයේ (SJB) නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකින් පසු පැවැති සුහද හමුවක දර්ශන බව ඇය ප්‍රකාශ කළාය.
කොළඹ මහා නගර සභාවේ (CMC) ජාතික ජන බලවේගයට (NPP) පසුබෑමක් ඇති වූ බව පවසමින් එය සැමරීම සඳහා මෙම සාදය පැවැත්වූ බවට සමාජ මාධ්‍යයේ පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම ව්‍යාජ බව ඇය පෙන්වා දුන්නාය.
පක්ෂ සාමාජිකයන් කිහිපදෙනෙකු උත්සවයකින් පසු මෙලෙස සුහදව කාලය ගත කළ බව ඇය පැවසුවාය.
දේශපාලන ජයග්‍රහණ හෝ පරාජයන් සැමරීමක් මෙහිදී සිදු නොවූ බව ඇය අවධාරණය කළාය.
“උත්සවයකින් පස්සේ පක්ෂයේ කිහිපදෙනෙක් එකතු වෙලා අපි විනෝද වුණා. අපි අපේ ප්‍රදේශවල මෙහෙම කන බොන එක සාමාන්‍ය දෙයක්. මාලිමාවට කොළඹ මහා නගර සභාවේදී ප්‍රශ්නයක් වුණා කියලා අපි සාද පවත්වනවා කියන එක අමූලික බොරුවක්,” යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.