ලෙඩ ඇඳේ අම්මාගේ හීනය හැබෑ කිරීමට මනමාලියක් වූ දුව
මවකගේ ජීවිතයේ තිබෙන හීන අතර ඉහළින් ම ඇති හීනයක් වන්නේ තම දියණිය පති කුලයට යන දිනයයි. ඒ තම දියණිය ලස්සන මනමාලියක් ලෙස සැරසී සිටීමට දැක බලා ගැනීමට ඇති දැඩි ආශාවයි. නමුත් එම හීනය දෙපයින් නැගී සිට දැක ගන්නට නොහැකිව සිටි මවක් කෙතරම් වේදනාවක් උසුලනවා ඇති ද? එම වේදනාව විදීමට ඉඩ නොදී පිළිකාව සමග පොරබදිමින් සිටි මවකගේ ඒ හීනය හැබෑ කළ ආදරණීය දියණියකගේ අපූරු සටහනක් හා ඡායාරූප පෙළක් මුහුණුපොතේ මේ දිනවල දැඩි කතාබහට ලක් වීමත් සමග මෙම පුවත් දැඩි අවධානයට ලක් වී තිබේ. ඒත් සමග මෙය හැගුම්බර පුවතක් ලෙස සමාජ මාධ්‍ය තුළ බොහෝදෙනාගේ දැඩි ආකර්ෂණයක් දිනා ගැනීමට මේ වන විට සමත් විය.
මේ ඒ අපූරු සටහනයි.
“මගෙ රත්තරන් පුතේ
ඔයා මනමාලියක් වෙනවා බලන්න ආසයි මට..
අම්මා කිව්වේ එහෙම
හරි අම්මේ..අම්මා ඉක්මනට සනීප උනාම
අපි ගමුකෝ..
මං කිව්වේ එහෙම
බෑ පුතේ..පුලුවන් ඉක්මනට ගන්න
මං මැරෙන්න කලින් ඒ දේ බලන්න ඕන
අම්මට වෙඩින් එක බලන්න ඕනලු
මං එයාට කිව්වේ එහෙම..
එහෙනම් අම්මා ආස විදියටම කරමු..
එයා කිව්වේ එහෙම
ඉක්මනට නැකතක් බලමු
කිව්ව සැනින් එයත් හා කිව්වා
සති තුනක් වගේ තියෙන්නේ ඔක්කොටම
අපි දෙන්නා කතා උනා..
පොඩියට ගන්න එපා පුතේ..ජීවිතේට එක පාරයිනේ..
අම්මා එහෙම කියද්දී අමාරුවෙන් හරි හිත හදාගෙන මං ඒ දේට ලෑස්ති උනා..
අම්මා අරම ඉද්දි මට මොන මගුල්ද..
හිතත් එක්ක පොර බඳිනගමන්
ඇස් වල කදුලු පුරෝගෙන අම්මගෙ හීනේ වෙනුවෙන් මං මහන්සි උනා..
මට ඕන උනේ අම්මා ඉස්සරහ මනමාලියක් වෙන්න…
ඒත් අම්මා මෙහෙම ඉද්දි නෙමෙයි..
මේ වෙලාවේ අම්මා කියනවා නම් මගුල ගන්න…ඒක තමයි හොදම..
නැන්දලා මගෙ හිත හැදුවා
අම්මා අරම ඉද්දී වෙඩින් ගන්න පුලුවන්ද ?
ගෙදර පොඩියට ගත්තා නම් හරිනෙ..
සමහරු මගෙ මූණටම කිව්වා
කවුරු කොහොම කිව්වත් කාගෙවත් කතා
මට ගානක් උනේ නෑ
මට වටින්නෙ මගෙ අම්මගෙ සතුට විතරයි
හිත හැමවෙලේම මට කිව්වා
හොටෙල් එකේ මං ඉන්නේ කොහෙද පුතේ
පෝරුව බලන්නෙ කොහොමද..
අම්මා එහෙම කියද්දිත්..අම්මට පහසු වෙන විදියට සේරම මං ලෑස්ති කරලා තිබුනේ..
අම්මගෙ හීනේ ඉටුවෙන දවස ආවා
“අනේ මගෙ රත්තරන් පැටියා”
මාව දැක්ක ගමන්ම අම්මගෙ කදුලු ඉක්මන් උනා..
“මං හෙට මැරිලා ගියත් කමක් නෑ”
මගුලට ආපු හැමෝම එක්ක වගේ අම්මා කියලා තිබුනා…
අම්මව දාලා දවසක්වත් ගෙදරින් පිට ඉන්න මං කැමති උනේ නෑ…
අම්මා නැතුව කවුරුවත් මාව බාරදෙන්න යන්න එන්න ඕන නෑ…
මං දුකෙන් කිව්වා
උඹව අපි තනියම එහෙට යවන්නේ නෑ
අම්මවත් එක්කගෙන අපි හෙට එහෙ එනවා
ලොකු අම්මගෙ පුතාලා…මගෙ අයියලා..මගෙ හිත හැදුවා
මාව බාරදෙන්න අම්මවත් එක්කගෙන අයියලා වෑන් එකකුත් අරගෙන ආවා..
අනේ මගෙ කෙල්ල පැටියා..අම්මා එහෙම කියද්දී
අම්මට කලින් මගේ කදුලු ඉක්මන් උනා…
මෙහෙ දවසක් හිටියම ඇති නේද..මට ගෙදර යන්න ඕන හෙට…අම්මට සනීප උනාම ටික දවසක් ඉන්න එන්නම්…
මං එයාට කිව්වා..
හා එහෙම කරමු
හෙට ගිහින් ඇරලවන්නම්
නිවාඩු දවසට මං ඇව්ත් යන්න එන්නම්..
එයා එහෙම කිව්වා
දින සති ගෙව්නා..
අම්මා ලගම ඉන්න ඕන නිසා මගෙ වටිනා කියන
ගොඩාක් දේවල් මං කැප කලා..
දවසින් දවස ඔයා අඩපණ උනා..
අපි කතා කලත් ඔයා කලේ වහලේ දිහා බලන් ඉන්න එක විතරයි…
ප්‍රතිචාරයක් නැතත් ඔයාගෙන්
ඔයා ලගටම වෙලා මං තනියම කියෙව්වා..
කමක් නෑ අම්මගෙ හුස්ම වැටෙනවනේ..
ඒක විතරක් මට සැනසීමක් උනා…
අම්මට තව වැඩි දවසක් නෑ..යටි හිත කිව්වත් උඩු හිත කිව්වෙම
දවසක අම්මා නැගිටිනවමයි කියලා..
හැමදාම හිත රවට්ටගන්නවා වගේ..
එදා හිත රවට්ටගන්න බැරි උනා..
මගුල තිබිලා මාසයයි,දවස් අටයි..
ඔයා සදහටම ඇස් පියාගත්තා..
කවදාවත්ම පුරවන්න බැරි අඩුවක්,දුකක් දීලා…
ඔයා සතුටින්ම යන්න ගියා
හැමෝම කියන කතා අහලා
එදා මගුල නොගත්තා නම්…
ඔයාට කලින් මට ඉපදෙන්න තිබුනා..
ලොව සියලු පිළිකා රෝගීන් සුවපත්ම වේවා..”