හිටපු ජනපති රනිල්ට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට! භාණ්ඩාගාර ලේකම්වරයාත් වගඋත්තරකරුවෙක්

2024 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ කාලසීමාව තුළ, සුරාබදු පනතට පටහැනිව නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම මගින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට චෝදනා කරමින් ගොනු කර තිබූ පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 03) තීරණය කළේය. මෙම පෙත්සම්වල ප්‍රධාන වගඋත්තරකරු ලෙස හිටපු ජනාධිපති සහ මුදල් අමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ නම් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් සලකා බලනු ලැබීය.

චෝදනාව කුමක්ද?

මාතලේ ප්‍රදේශයේ පදිංචි තංගවේලු ධනේන්දරාජා ඇතුළු පිරිසක් විසින් ගොනු කර ඇති මෙම පෙත්සම්වල සඳහන් වන්නේ, 2024 ජූලි 26 වන දින ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට 2024 සැප්තැම්බර් 24 වන දින ජනාධිපතිවරණය පැවැත්වූ දිනය දක්වා වූ මාස දෙකක කාලය තුළ, සුරාබදු පනතේ විධිවිධානවලට පටහැනිව මත්පැන් බලපත්‍ර ගණනාවක් නිකුත් කර ඇති බවයි. පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ මෙම බලපත්‍ර අවලංගු කරන ලෙසයි.

කවුරුන් එරෙහිවද?

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අමතරව, සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ඒ. ගුණසිරි, අතිරේක සුරාබදු කොමසාරිස් ඒ.එම්.පී. අරම්පල, නියෝජ්‍ය කොමසාරිස්වරුන් වන සී.ජේ.ඒ. වීරක්කොඩි සහ යූ.ඩී.එන්. ජයවීර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ අල්ලස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු 39 දෙනෙකු නම් කර ඇත.

අධිකරණ නියෝගය කුමක්ද?

මෙම කරුණු සලකා බැලීමෙන් අනතුරුව, 2024 වසර තුළ අලුතින් නිකුත් කළ මත්පැන් බලපත්‍රවලට අදාළ තොරතුරු සහ විශේෂයෙන්ම 2024 ජූලි 26 සිට සැප්තැම්බර් 24 දක්වා කාලය තුළ නිකුත් කළ මත්පැන් බලපත්‍රවලට අදාළ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේය.

මෙම පෙත්සම් විභාගයට ගැනීමත් සමඟ, ජනාධිපතිවරණ සමයේදී මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේ විනිවිදභාවය සහ නීත්‍යානුකූලභාවය පිළිබඳව බරපතල ප්‍රශ්න මතු වී තිබේ. මෙම නඩුවේ අවසන් තීන්දුව රටේ පාලනය, නීතියේ ආධිපත්‍යය සහ මහජන අයිතිවාසිකම් සම්බන්ධයෙන් වැදගත් බලපෑමක් ඇති කරනු ඇත.

නිවාඩු ලබාගත් බව මුලින් කී සියඹලාපිටියගේ ඉල්ලා අස්වීම තහවුරු වෙයි. ලංවිමයට නව සභාපතිවරයෙක්

ඉංජිනේරු මහාචාර්ය කේ.ටී.එම්.යූ. හේමපාල ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කළ ලිපියකින් මේ බව තහවුරු කර ඇති අතර, මහාචාර්ය හේමපාල මීට පෙර බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කර තිබෙන බව සඳහන් වේ.

මෙම පත්වීමත් සමග, මෙතෙක් ලංවිම සභාපති ධුරය දැරූ ඉංජිනේරු ආචාර්ය තිලක් සියඹලාපිටියගේ ඉල්ලා අස්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අනුමත කර ඇති බව ද අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

සති කිහිපයකට පෙර, සංශෝධිත විදුලි ගාස්තු පිළිබඳ සාකච්ඡා මධ්‍යයේ තිලක් සියඹලාපිටිය බලශක්ති අමාත්‍යවරයාට සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබිණ. ඒ අවස්ථාවේ මාධ්‍ය වාර්තා කළේ, දේශපාලන අධිකාරියේ සහ මහජන උපයෝගිතා කොමිසමේ අනවශ්‍ය මැදිහත්වීම් හේතුවෙන් මෙම ඉල්ලා අස්වීම සිදුවූ බවයි. කෙසේ වෙතත්, රජය පාර්ශවයෙන් එවකට සඳහන් කර තිබුණේ ආචාර්ය සියඹලාපිටිය සේවයෙන් නිවාඩු ලබාගෙන ඇති බව පමණකි.

නව සභාපතිවරයෙකු පත්කිරීමත් සමඟ, සියඹලාපිටියගේ ඉල්ලා අස්වීම නිල වශයෙන් තහවුරු වී තිබේ.

ජොන්ස්ටන්ගේ සතොස නඩුව යළි ඇසෙන දිනය

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් වැඩිදුර විභාගය සඳහා ඔක්තෝබර් 01 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (03) නියෝග කළේ ය.

ජෝන්ස්ටන් ප්‍රනාන්දු වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේදී ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර, සිය දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින්, ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකරුවන් වන හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වශයෙන් කටයුතු කළ මොහොමඩ් සාකීර් යන විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිට ඇති බවයි සඳහන් වෙයි.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවූ අතර, ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 01 වැනිදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියෝග කර තිබේ.

රාජිත සේනාරත්නට එරෙහි නඩුවකට අදාළ අධිකරණ නියෝගයක්!

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක් අගෝස්තු 29 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

2014 වසරේ ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමක් වෙත බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින්, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම නඩුව අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී මෙම විත්තිකරුවන්ට අදාළ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවශ්‍ය බවත්, ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසත් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඒ අනුව අදාළ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට මහාධිකරණ විනිසුරුවරයා අවසර ලබාදුන් අතර, එම නඩුව නැවත අගෝස්තු 29 වැනිදා කැඳවන ලෙස නියෝග කර තිබේ.

ලංකාවේ බලශක්ති අනාගතය අඳුරේද? පුනර්ජනනීය ව්‍යාපෘති කඩාකප්පල් කිරීමේ උත්සාහයක්

තාප විදුලි බලාගාර ප්‍රවර්ධනය කිරීම උදෙසා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩාකප්පල් කිරීමේ කූට උත්සාහයක් ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍යාංශ ආරංචිමාර්ග කියයි. අඩු පිරිවැයක් සහිත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක වීමේදී තාප විදුලි බලාගාර සඳහා ඉල්ලුම අඩුවන බැවින් මෙම සැලසුම ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

2023 වසරේ තාප බලාගාර සඳහා රුපියල් බිලියන 227 ක් වැය කර ඇත. එසේම 2024 වසරේදී එම අගය රුපියල් බිලියන 145කි. වසරක් තුළ රුපියල් බිලියන 82 ක් ලංකා විදුබල මණ්ඩලයට ඉතුරු කර ගැනීමට හැකිව ඇත්තේ රජය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සඳහා වැඩි වශයෙන් යොමුවීම නිසා බව සංඛ්‍යා දත්ත තහවුරු කර ඇත.

එවැනි තත්ත්වයක් තුළ තවදුරටත් පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි රජය යොමු වුවහොත් තාප විදුලි බලාගාර සඳහා වන ඉල්ලුම අඩුවන බැවින් එයින් ප්‍රතිලාභ ලබන පිරිසක් රජයේ මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පැවසේ.

ඒ අනුව කල්පිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 10.6 ක සුළං විදුලි බලාගාර සම්බන්ධයෙන් වැරදි අර්ථකථන ලබාදී එය කඩාකප්පල් කිරීමට ඉහත පිරිස කටයුතු කරමින් සිටින බවද සඳහන් වේ. එම ව්‍යාපෘති නිසි ක්‍රියා පටිපාටි අනුගමනය කරමින් රාජ්‍ය ආයතනවල සියලු අනුමැතියන් සහිතව මිලට ගැනීමේ ගිවිසුම් අත්සන් කිරීමට ඇති අවස්ථාවක වැරදි අර්ථකථන ලබාදී එය බිඳ වැට්ටවීම සඳහා එකී පිරිස තවදුරටත් කටයුතු කරමින් සිටින බවද කියැවේ. මෙම ව්‍යාපෘතිය ඩොලර් මිලියන 72ක (රුපියල් බිලියන 22 ක) ආයෝජනයක් වන අතර යම් හෙයකින් එය අතරමග නතර කර දැමීමට සිදුවුවහොත් රජයට වැඩි මිලට තාප බලාගාරවලින් විදුලිය ගැනීමට සිදුවනු ඇත.

ඉහත ව්‍යාපෘති සඳහා සියලුම වියදම් පෞද්ගලික අංශයෙන් දැරිය යුතු අතර මෙම බලාගාර පද්ධතියට සම්බන්ධ කිරීමට අවශ්‍ය වන සම්ප්‍රේෂණ රැහැන්/ ට්‍රාන්ස්ෆෝමර් ආදී කටයුතු සඳහා පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 19 ක් (රුපියල් බිලියන 6 ක්) පමණ ආයෝජනය කළ යුතු වේ.

තාප බලාගාර සඳහා ඒකකයකට රුපියල් 75 කට වැඩි මුදලක් ගෙවීම සිදුවන බව කියන අතර පරිසර හිතකාමී සුළං බලාගාරවලින් නිපදවන විදුලි ඒකකයක් වෙනුවෙන් රුපියල් 29 ක් වැනි අඩු මුදලක් වැය වේ.

විශාල පරිමාණයේ සුළං බලාගාර සඳහා ඉඩම් ලබාදීම සහ සම්ප්‍රේෂණ රැහැන් සඳහා යන මුළු වියදම ද රජය මගින් දරනු ලබන අතර ඒ අනුව ඉඩම්වලට සහ සම්ප්‍රේෂණ රැහැන් මාර්ග පද්ධතියට යන වියදම් රජය මඟින් දැරීම නිසා එම බලාගාරවල ඒකකයක මිල අඩුවට ලබාදිය හැකිය.

එනමුත් සම්මත විදුලිය මිලදී ගැනීම් ගිවිසුම් යටතේ ක්‍රියාත්මක ඉහත මෙගාවොට් 10 සුළං විදුලිබලාගාර සඳහා ඉඩමට මෙන්ම සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියට අවශ්‍ය ආයෝජනය වන ඇමරිකානු ඩොලර් මිලියන 19 කට අධික මුදල ආයෝජකයා විසින් දැරිය යුතු නිසා මෙම ක්‍රමවේදය යටතේ ඒකකයක මිල රුපියල් 29.80 ක් ලෙස නියම කර ඇති බව පැවසේ.

සිරිමන්ත රත්නසේකර
Divaina

ජවිපෙ නැත්නම් අපිට කවදාවත් පාර්ලිමේන්තු යන්න වෙන්නෙ නෑ. මට තනිවම කිසිවක් කරගන්න බෑ! තවත් මාලිමා ඇමැතිවරයෙකු සංවේදී වෙයි

තමන් වැනි පුද්ගලයින්ට තනිවම කිසිවක් කරගත නොහැකි බවත්, තමන් නියෝජනය කළ ජනතා විමුක්ති පෙරමුණ නොතිබෙන්නට කිසිදාක තමන්ට ප්‍රාදේශීය සභාවක්, පාර්ලිමේන්තුවක් නියෝජනය කිරීමට නොලැබෙන බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වන නියෝජ්‍ය ඇමැතිවරයා;

“ඉතිහාසයක් පුරා අඩ සියවසකට වැඩි කාලයක් මේ රටේ අනේකවිධ දුක් විඳින මිනිසුන් සිය ජීවිත මේ මහපොළවට පූජා කරා ඒ වගේ ම දහඩිය කඳුළු තම ශ්‍රමය මේ මහ පොළොවට පුදා හල ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉන්නවා ඒ මිනිසුන් අද මෙතන නිරූපණය වෙන්නෑ මේ මහජන නියෝජිත සභාව ඇතුලේ නිරූපණය වෙන්නෙත් නෑ හැබැයි ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්යයන්ගේ කැපවීම් වල ජයග්‍රහණයක් තමයි අපි ඉස්සරහ තියෙන්නේ. ඒක අපි නිහතමානී ව පිළිගන්නවා.

අද මම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ඇමතිවරයෙක් වුනාට මට තනිවම කිසිවක් එහෙම කරන්න බෑ. අපේ මන්ත්‍රීවරු පද්මිණී සහෝදරයා එහෙම කරන්න බෑ. අපි උපන් පන්තිය තනිව සටන් කරලා ජයග්‍රහණය කරන්න බෑ. අපි ඒක දන්නවා. අපි ඉපදුණේ පහළ පන්තියේ මිනිස්සු. අපේ අම්මලාට තාත්තලාට රදල ය ධනපති පන්තිය නෑ. ඒ වලව් දේශපාලනය ඇතුළේ මහා ජයග්‍රහණ හිමි අවුරුදු හැත්තෑ ගණනක් තිබුනට අපි එවැනි පන්තිය කියපුහම මිනිස්සු නෙමෙයි. අපිට කවම කවරදාකවත් මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවත් මේ ප්‍රාදේශීය සභාවත් නියෝජනය කරන්න හම්බෙන්නෙ නෑ, අපි නියෝජනය කරපු දේශපාලන ව්‍යාපාරය නො තිබෙන්න. මේ හිඟුරක්ගොඩ නගරයේ පොළේ කරපු අම්මා කෙනෙකුට, තාත්තා කෙනෙකුට මේ රටේ පාර්ලිමේන්තුවක් නියෝජනය කරන්න දරුවෙක් හදන්න බෑ. නිර්ධන පන්තිය ඇතුළේ. ඒක නිර්මාණය කළේ ජනතා විමුක්ති පෙරමුණ, ඒකට අපේ ගෞරවය තියෙනවා.

අපි වගේ මිනිසුන් මෙතෙන්ට නිර්මාණය කළේ දස දහස් ගණන් මිනිසුන් සිය ජීවිත කුසුම මේ මහපොළොවට දායාද කරලා. ඒ නිසා මේ මන්ත්‍රීවරුන්ට වගකීමක් තියෙනවා. ඒ මිනිස්සු ප්‍රාර්ථනා කරපු, ඒ මිනිසුන් සිය ජීවිත කුසුමෙන් ප්‍රාර්තනා කරපු ඒ මාහැඟි සමාජය නිර්මාණය කරන එක. ඒ නිසා වංචාව, දූෂණය, අක්‍රමිකතාව නැති මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වුන ඒ වගේම ඒවා සරල කරුණු. මේකේ හොඳම ප්‍රාදේශීය සභාව කරන එක, මේකේ පාරවල් ටික ඔක්කොම හදන එක මේකේ තියෙන හැම ලයිට් කණුවකටම විදුලි බල්බ් එකක් වැටෙනවා නම් ඒවා මහා සුළු කරුණු, මේකේ තියෙන බරපතලම සමාජ කරුණ තමයි, මේ රටේ සමස්ත ධනය මේ රටේ ජීවත් වෙන සෑම ජන කොටසකට ම සර්ව සාධාරණ ලෙස බෙදී යන සමාජයක් නිර්මාණය කිරීම. ඒක අපිට තව ගොඩක් දුරයි. ඒක අපිට ගොඩක් දුරයි. එහෙම එකක් කරන්න තරම් තව මේ සමාජය පුළුල් දැනුමකින් වෙලා නෑ. ඒ නිසා මේ මන්ත්‍රී මණ්ඩලයත් අපි කාගෙත් වගකීම තමයි අන්න ඒ මහා සමාජ පරිවර්තනය කිරීම වෙනුවෙන් ආදර්ශයන් සපයන එක. ඒ වෙනුවෙන් වැඩ කරන එක. ඒ වෙනුවෙන් සමාජ වෙනස් කිරීම වෙනුවෙන් අපිට කරන්න පුළුවන් කාර්යභාරය අපේ යුගය අවසන් කරනවා.”

සියළු පුරාජේරු මැද ආණ්ඩුව අකර්මන්‍යයි! ජනාධිපති බංගලාවලට කරන්නේ කුමක්දැයි තීරණය කරගන්නත් බෑ!

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය බලයට පත් වීමට ප්‍රථම ජනාධිපතිවරයාගේ පහසුකම් කප්පාදුව සම්බන්ධයෙන් විශාල දේශපාලනික ප්‍රචාරයක් ගෙන ගිය අතර, මේ වන විට වත්මන් ජනාධිපතිවරයාගේ වියදම් කප්පාදු කොට ඇති බව පවසන නමුත්, කළින් ජනාධිපතිවරුන් විසින් භුක්ති විඳින ලද ආරක්ෂාව සහ වරප්‍රසාද බොහොමයක් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ද භුක්ති විඳින බව පෙනෙන්නට තිබේ.

කෙසේවෙතත්, රට වටා පවතින ජනාධිපති මන්දිර සම්බන්ධයෙන් ද, ජාතික ජන බලවේගය පොරොන්දු වූ ආකාරයේ ‘විප්ලවීය වෙනස්කම්’ සිදු කිරීමට මේ වන තෙක් ආණ්ඩුවට හැකියාවක් ලැබී නැත.

ඒ අනුව, ජනාධිපති බංගලාවල නඩත්තුව බාරව සිටින රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයාගේ අදහස වී ඇත්තේ මෙම ජනාධිපති මන්දිර, පෞද්ගලික අංශය වෙත කුළී හෝ බදු පදනම මත ලබා දී හෝටල් වැනි ව්‍යාපාර සඳහා යෙදවීමට ඉඩ සැලසීම යෝග්‍ය බව ය. නමුත් ඒ සඳහා ටෙන්ඩර් කැඳවීම ඇතුළු ක්‍රියාවලිය ඉටු කිරීමේ වගකීම භාර ගැනීමට කිසිදු රාජ්‍ය නිලධාරියෙකු ඉදිරිපත් නොවන අතර, ඔවුන් ඒ සඳහා මැලිකමක් දැක්වීම කරණ කොට ගෙන මෙම බංගලා සියල්ල මේ වන විට වසා දමා කිසිදු ප්‍රයෝජනයක් නොගන්නා තත්ත්වයට පත් වී තිබේ. ආණ්ඩුවේ නිලධාරීන් පසුගිය ආණ්ඩු සමයේ සිදුවූ ඇතැම් ගනුදෙනු සම්බන්ධයෙන් වර්තමානයේ දැඩි පීඩනයට ලක්වීම නිසා, ඉදිරියේදී බලයට පත්වන ආණ්ඩු යටතේ තමන්ටද නීතිමය ගැටලුවලට සහ දඬුවම්වලට මුහුණ දීමට සිදුවනු ඇතැයි බියට පත්ව සිටිති. මෙය ඔවුන් එවැනි ක්‍රියාවලීන් සඳහා මැදිහත් වීමෙන් වැළකීමට හේතුව වී තිබේ.

ජනාධිපති මන්දිර මෙන් ම රජයේ අමාත්‍යාංශවලට අයත් නිවාස රට පුරා 60 කට වැඩි සංඛ්‍යාවක් පිහිටා ඇති අතර, ඉන් බොහොමයක් ද මේ වන විට කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අත හැර දැමීම හේතුවෙන් විනාශ මුඛයට ඇද වැටී අවසානය. රටා ප්‍රශ්නවලට පුරාජේරුවෙන් උත්තර දෙන ජවිපෙ ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව මේ වන විට අකර්මන්‍ය වී ඇත්තේ මේ ආකාරයෙනි.

රුපියල් ලක්ෂ 80ක වංචා චෝදනාව; රඹුක්වැල්ල පියපුතු ඇප මත නිදහස්!

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල අද (ජූනි 03) බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබුණි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ගොනු කර තිබූ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබුණේය. ඔහු අමාත්‍ය ධුරය දරන සමයේදී නාමිකව පුද්ගලයින් පහළොස් දෙනෙකු තම කාර්ය මණ්ඩලයට ඇතුළත් කරගෙන, ඔවුන්ට හිමි වැටුප්, දීමනා සහ අතිකාල දීමනා ලබා ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 80කට අධික පාඩුවක් සිදු කර ඇති බවට චෝදනා එල්ල වී තිබුණි.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී විසින් කෙහෙළිය රඹුක්වැල්ල සහ රමිත් රඹුක්වැල්ල යන දෙදෙනාම ඇප මත මුදා හැරීමට නියෝග කරන ලදී.

කොළඹ නගරාධිපති ධුරය දිලිත්ගේ සර්ව ජන බලයට?

විපක්ෂය විසින් කොළඹ මහනගර සභාවේ නගරාධිපති ධුරය සඳහා සර්වජන බලය පක්ෂයේ කොළඹ මහනගර සභා මන්ත්‍රී මොහිදීන් රිෆ්කි බදුර්දීන් නම් කිරීමට නියමිත බව වාර්තා වේ.

රිෆ්කි බදුර්දීන්ගේ නම කොළඹ මහනගර සභාවේ තේරී පත් වූ මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් පත්‍රයේ පළ වී ඇත.

බදුර්දීන් මහතා ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු මෙන්ම ව්‍යවසායකයෙකි.

සජබයෙන් ඉවත් වී නැවතත් ආපු තලවකැලේ සභාපතිට වුනු අලුත්ම ඇබැද්දිය

ලිඳුල-තලවකැලේ නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හිටපු සභාපතිවරයා රජයට රුපියල් මිලියන 2.38 ක මූල්‍ය අලාභයක් සිදු කළ බවට චෝදනා කෙරෙන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අල්ලස් කොමිෂන් සභාවට අනුව, ඔහු නගර සභාවේ සභාපති ලෙස කටයුතු කළ කාලය තුළ සිදුවූ අක්‍රමිකතා සහ දුර්වල කළමනාකරණය හේතුවෙන් මෙම පාඩුව සිදුවී තිබේ. මහජන මුදල් අවභාවිත කර ඇති බවට විමර්ශන මගින් අනාවරණය වී ඇති අතර, ඒ අනුව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.

පසුගියදා අශෝක සේපාල සමගි ජන බලවේගයෙන් ඉවත් වී නැවතත් දින කිහිපයකින් සජබය හා එක් වීමට කටයුතු කළ සංවිධායකවරුන්ගෙන් කෙනෙකි.

මුල් කාලයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකුව සිට ඉන් නාමයෝජනා නොලැබීම හේතුවෙන් ස්වාධීනව තරග කර, ලිඳුල-තලවකැලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් පත් වූ පුද්ගලයෙකු වන ඔහු ඉන්පසු ඔහු එක්සත් ජාතික පක්ෂයටත් එකතු වූ අතර, පසුව සමගි ජන බලවේගයේ සාමාජිකයෙකු බවට පත් විය.

Add to cart