කොළඹ මහා නගර සභාවේ අයවැය දෙවන වර වැඩි ඡන්දයෙන් සම්මත වෙයි.

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් ජයග්‍රහණය කර තිබේ.

ඒ අනුව, අයවැයට පක්ෂව ඡන්ද 58 ක් හිමි වී ඇති අතර, විපක්ෂව හිමිවූයේ ඡන්ද 56 ක් පමණි.

කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙසැම්බර් 22 වැනිදා සභාවට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී එය පරාජයට පත් විය.

එම අයවැය යළි අද (31) දෙවන වරට ඉදිරිපත් කර තිබිණ.

“ළමා මනස විකෘති කරන විදේශීය න්‍යාය පත්‍රවලට ඉඩ නොදෙනු!” – සමාජ ජාල මාධ්‍යවේදීන්ගෙන් රජයට දැඩි අනතුරු ඇඟවීමක්

6 ශ්‍රේණියේ පෙළපොතට Buddy.net ඇතුළත් කිරීමට එරෙහිව දැඩි විරෝධයක්

2026 වසර සඳහා නිකුත් කිරීමට නියමිත 6 ශ්‍රේණියේ පාසල් පෙළපොතට Buddy.net නමැති වෙබ් අඩවිය ඇතුළත් කරමින් දරුවන්ගේ මනස විකෘති කිරීමට අධ්‍යාපන බලධාරීන් දරන උත්සාහය ශ්‍රී ලංකා සමාජ ජාල මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබේ.

අද (31) නිකුත් කරන ලද විශේෂ මාධ්‍ය නිවේදනයක් මගින් එම සංගමය අවධාරණය කරන්නේ, මෙය මෙරට සංස්කෘතික පදනම විනාශ කිරීම සඳහා දියත් කර ඇති සැලසුම් සහගත වැඩපිළිවෙළක කොටසක් බවයි.

සංගමය විසින් රජයේ මෙම ක්‍රියාව හරහා මතුවිය හැකි බරපතළ අවදානම් කිහිපයක් පෙන්වා දී ඇත:

  1. ළමා මනස විකෘති කිරීම: ලිංගිකත්වය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති අවුරුදු 11ක පමණ දරුවන්ගේ සිත් තුළට විකෘති කාමාශාවන් රිංගවීම හරහා ඔවුන්ගේ ස්වාභාවික මානසික වර්ධනයට බරපතළ හානි සිදුවීම.

  2. සංස්කෘතික ඛාදනය: ලාංකේය අනන්‍යතාවය සහ පවුල් සංස්ථාවේ පදනම බිඳ දමමින්, අනාගත පරම්පරාව විකෘති ලිංගික ආශාවන් සහිත පිරිසක් බවට පත් කිරීමට විදේශීය න්‍යාය පත්‍ර ක්‍රියාත්මක වීම.

  3. සදාචාරාත්මක පරිහානිය: අධ්‍යාපනය නාමයෙන් දරුවන්ගේ අහිංසකත්වය කෙලෙසීමට රජය මැදිහත් වීම සමාජයීය අපරාධයක් ලෙස හඳුන්වා දීම.

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රමුඛ බලධාරීන් මෙම තීරණය සම්බන්ධයෙන් වගකිව යුතු බව සංගමය පවසයි. “අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරන මුවාවෙන් මෙරට සදාචාරය බිලි දීමට උත්සාහ නොකරන්න” යැයි ඔවුන් රජයට අවධාරණය කර සිටී.

ජාතියේ අනාගතය බඳු දරුවන්ගේ මනස විනාශ කරන මෙවැනි තීරණ වහාම හකුළා ගත යුතු බවත්, එසේ නොවන්නේ නම් සමස්ත ජනතාව පෙළගස්වමින් දැඩි වෘත්තීය සහ සමාජීය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් ශ්‍රී ලංකා සමාජ ජාල මාධ්‍යවේදීන්ගේ සංගමය සිය නිවේදනය මගින් වැඩිදුරටත් දන්වා ඇත.

චණ්ඩි පාට් දමා තරුණයෙකුට පහර දුන් ගඟ ඉහළ කෝරලේ මාලිමා සභාපතිට ඇප.

පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික උපුල් ගුණසේකර ඇප මුදාහැර තිබේ.

සැකකරු අද (30) ගම්පොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ලක්ෂ 3ක ශරීර ඇප මත මුදාහැර තිබේ.

එළැඹෙන පෙබරවාරි මස 05 වනදාට එම නඩුව යළි කැඳවීමටද නියම කර ඇත.

ජාතික ජන බලවේගයට බලය හිමි ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික උපුල් ගුණසේකර ගම්පොල පොලිසිය මගින් අද (30)  පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලීසිය පැවසුවේ දෙපාර්ශ්වයක් අතර ඇතිවූ බහින්බස්වීමේ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගැනීම සිදුකළ බවය.

තමන්ට පහරදීමක් කළ බව පවසමින් කුරුඳුවත්ත අම්බලපිටිය ප්‍රදේශයේ තරුණයෙක් ගම්පොළ මූලික රෝහලට ඇතුළත් වී තිබුණි.

ඔහු පැවසුවේ පසුගිය 28 වනදා රාත්‍රියේ සිය ව්‍යාපාරික ස්ථානයේ සිට නිවස බලා යමින් සිටියදී තමන් මෙලෙස පහරකෑමට ලක්වූ බවයි.

කෙසේවෙතත් චෝදනාවට ලක්වූ ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික උපුල් ගුණසේකර ඊයේ (29) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේ එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.

ජොන්ස්ටන් පුතු ජොහාන් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවට..!

හිටපු අමාත්‍යවරයෙකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

සතොස යටතේ පැවති ලොරි රථයක් සහ තවත් වාහන කිහිපයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කරයි.

එමෙන්ම වැටුප් හා දීමනා ලබාගැනීමේ දී අවභාවිතයක් සිදුව ඇති බවට ද සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වීම හේතුවෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් මෝදිගේ සහය පතයි!” – ලංකාවට නවීන ඖෂධ රසායනාගාරයක් ඉල්ලා සංදේශයක්.

මෙරට සෞඛ්‍ය පද්ධතිය වෙළාගෙන ඇති බාල ඖෂධ අර්බුදයට තිරසාර විසඳුමක් ලෙස, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ඖෂධ නියාමන රසායනාගාරයක් පිහිටුවීමට සහය වන ලෙස ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සන්ධානය ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත විශේෂ ඉල්ලීමක් කර තිබේ.

එම සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව විසින් අත්සන් කරන ලද මෙම විශේෂ සංදේශය ඊයේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.

ජීවත්වීමේ අයිතිය උදෙසා අසල්වැසි සහය

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සිහිපත් කරමින් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ, ඉන්දියානු රජය සිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පිළිගෙන ඇති “ජීවත්වීමේ අයිතිය” ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් ද තහවුරු කිරීමට මෙම අවස්ථාවේදී ඉදිරිපත් වනු ඇති බවයි. විශේෂයෙන් ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ පැනනැගී ඇති ගැටලු නිරාකරණය කරගැනීමට මෙම දියුණු රසායනාගාර පද්ධතිය අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කරයි.

සංදේශයේ අඩංගු ප්‍රධාන යෝජනා 4:

මෙමගින් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රධාන වශයෙන් කරුණු හතරක් ඉල්ලා ඇත:

  1. තාක්ෂණික සහ මූල්‍ය දායකත්වය: WHO ප්‍රමිතියට අනුකූල ඖෂධ පරීක්ෂණ රසායනාගාරයක් ස්ථාපිත කිරීම.

  2. උපකරණ සහ පද්ධති: ඉහළ තාක්ෂණයෙන් යුත් රසායනාගාර මෙවලම් සහ තත්ත්ව සහතික පද්ධතියක් ලබා ගැනීම.

  3. මානව සම්පත් පුහුණුව: මෙරට විද්‍යාඥයින් සහ තාක්ෂණ නිලධාරීන් සඳහා ඉන්දියාවේදී විශේෂ පුහුණුවක් ලබා දීම.

  4. විශේෂඥ සහය: ඖෂධ හා සෞඛ්‍ය අංශවල තිරසාරත්වය සහතික කිරීම සඳහා ද්විපාර්ශ්වික විශේෂඥ කණ්ඩායමක සහය ලබා ගැනීම.

“පරණ නිලධාරීන්ගෙන් සෞඛ්‍යය හදන්න බැහැ”

මාධ්‍ය වෙත අදහස් දැක්වූ වෛද්‍ය චමල් සංජීව මහතා රජයට ද දැඩි අනතුරු ඇඟවීමක් කළේය. පසුගිය වසර කිහිපය තුළ සෞඛ්‍ය පද්ධතිය දරුණු ලෙස කඩා වැටීමට වගකිව යුතු නිලධාරීන් තවමත් පද්ධතිය තුළ රැඳී සිටින බවත්, ඔවුන් සමඟ සෞඛ්‍ය සේවාව නිවැරදි කළ නොහැකි බවත් ඔහු පැවසීය.

“සෞඛ්‍යය කියන්නේ දේශපාලන විෂයයක් නෙවෙයි, ඒක මිනිස්සුන්ගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්. සාම්ප්‍රදායික දේශපාලන දෘෂ්ටිකෝණයෙන් බැහැරව නවීන ලෝකයට ගැළපෙන සෞඛ්‍ය පද්ධතියක් ගොඩනැගීමට රජය වහාම පියවර ගත යුතුයි,” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරියේදී අතිගරු ජනාධිපතිවරයා ද දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව වෛද්‍යවරුන්ගේ සන්ධානය පවසයි.

 

“මර්දනයේ රූකඩ නැටවුම නවත්වනු!” – රජයේ නව ත්‍රස්ත පනතට එරෙහිව ‘දිනන දකුණ’ සාමූහිකයෙන් රතු එළියක්

වත්මන් රජය විසින් හඳුන්වා දී ඇති ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) යනු ප්‍රජාතන්ත්‍රවාදය මරාදමන මාරක අවියක් බව පවසමින් ‘දිනන දකුණ’ සාමූහිකය රජයට සිය දැඩි විරෝධය පළ කරයි. මෙය හුදෙක් පනතක් නොව, ජනතාව මර්දනය කිරීම සඳහා සකස් කළ “දෙපැත්ත කැපෙන ආයුධයක්” බව එම සංවිධානය පෙන්වා දෙයි.

අතීතයේ බැටකා අද මර්දකයින් වී ඇති හැටි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) නිසා අතීතයේදී දරුණුතම පීඩාවන්ට ලක්වූ පිරිසක් අද රජය මෙහෙයවන පසුබිමක, නැවතත් එවැනිම මර්දනකාරී නීති ගෙන ඒම දෛවයේ සරදමක් බව මෙම නිවේදනය මගින් අවධාරණය කෙරේ. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජය විසින් ඉදිරිපත් කළ මෙම කෙටුම්පත, පැරණි මර්දනකාරී පනත්වලම තවත් එක් නරක “කාබන් කොපියක්” බව ඔවුන්ගේ අදහසයි.

නීතියේ ආධිපත්‍යය ලේකම්වරුන්ගේ අතට!

මෙම පනතේ ඇති බරපතළම අවදානම වන්නේ අධිකරණය සතු බලතල විධායකය සතු කර ගැනීම බව ‘දිනන දකුණ’ සාමූහිකය පෙන්වා දෙයි:

  • ස්වාධීනත්වය අහිමි කිරීම: පුද්ගලයෙකු වරදකරුවෙකුද යන්න තීරණය කිරීමේ බලය මහේස්ත්‍රාත්වරයාගෙන් උදුරාගෙන අමාත්‍යාංශ ලේකම්වරයා සතු කර ඇත.

  • නිර්දෝෂී බවේ මූලධර්මයට මරු පහරක්: ඕනෑම පුද්ගලයෙකු වරදක් ඔප්පු වන තෙක් නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සැලකීමේ නීතිමය මූලධර්මය මෙම පනතින් අහෝසි කර තිබේ.

  • සෝදිසි මෙහෙයුම්: වරෙන්තු රහිතව ඕනෑම පුද්ගලයෙකු සෝදිසි කිරීමට සහ ඩිජිටල් දත්ත ලබා ගැනීමට පොලිසියට අසීමිත බලතල ලබා දීම හරහා පුද්ගල නිදහස දැඩි ලෙස සීමා වේ.

දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීමේ සැලසුමක්ද?

මෙම පනත යටතේ “ත්‍රස්තවාදය” යන්න අර්ථ දක්වා ඇත්තේ රජයට එරෙහි දේශපාලන ක්‍රියා පවා ත්‍රස්තවාදයක් ලෙස හංවඩු ගැසිය හැකි ආකාරයට බවට චෝදනා එල්ල වේ. මේ හරහා නිවැරදි පුද්ගලයන් දහස් ගණනක් බන්ධනාගාර ගත වීමේ අවදානමක් පවතින බව ‘දිනන දකුණ’ සාමූහිකය අනතුරු අඟවයි.

වහාම හකුලාගනු!

පැරණි දරුණු නීතිවලින් (Draconian Laws) බැටකෑ රටක් ලෙස ලාංකීය ජනතාවට තවදුරටත් එවැනි නීති අවශ්‍ය නොවන බව පවසන දිනන දකුණ සාමූහිකය, වහාම මෙම PSTA කෙටුම්පත හකුලා ගන්නා ලෙස රජයට බලකර සිටියි. ඒ වෙනුවට පුළුල් මහජන සහ විශේෂඥ කතිකාවතකින් පසු, මානව හිමිකම් සුරකින නවීන පනතක් හඳුන්වා දිය යුතු බව ඔවුන් අවධාරණය කරයි.

හිරු මාධ්‍ය ජාලය ඉලක්ක කරගත් රජයේ මර්දනයට එරෙහිව සමාජජාල මාධ්‍යවේදීන්ගෙන් දැඩි විරෝධයක්!

“මෙය නීතිමය ක්‍රියාවලියක් නොව දේශපාලන පළිගැනීමක්” – SLSMA හෙළා දකී

හිරු මාධ්‍ය ජාලය, එහි සභාපතිවරයා සහ මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් රජය විසින් දියත් කර ඇති මර්දනකාරී සහ දේශපාලන පළිගැනීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා සමාජජාල මාධ්‍යවේදීන්ගේ සංගමය (SLSMA) දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ රජයේ අසාර්ථකත්වය සහ දූෂණ හෙළිදරව් කිරීමට එරෙහිව පලිගැනීමේ චේතනාවෙන් රාජ්‍ය බලය අවභාවිත කිරීම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් උල්ලංඝනය කිරීමක් බවයි.

⚠️ SLSMA මතු කරන ප්‍රධාන චෝදනා:

  • මානසික පීඩනය: රාජ්‍ය පරීක්ෂණ ආයතන වෙත හිරු මාධ්‍ය කළමනාකාරිත්වය සහ මාධ්‍යවේදීන් නිරන්තරයෙන් කැඳවීම් කරමින් ඔවුන්ව මානසිකව පීඩාවට පත් කිරීමට උත්සාහ කිරීම.

  • විකාශන බලපත්‍ර තර්ජනය: අත්තනෝමතික ප්‍රකාශ හරහා විකාශන බලපත්‍ර පිළිබඳ ප්‍රශ්න කරමින් මාධ්‍ය ආයතනයේ පැවැත්මට තර්ජනය කිරීම.

  • මඩ මෙහෙයුම්: රජයට පක්ෂපාතී කණ්ඩායම් යොදා ගනිමින් හිරු මාධ්‍යවේදීන්ගේ පෞද්ගලිකත්වය සහ වෘත්තීය ගරුත්වය කෙලෙසන අයුරින් මඩ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම.

🛡️ මාධ්‍ය නිදහස සහ වගකීම

ඕනෑම මාධ්‍ය ආයතනයකට රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීමටත්, ස්වාධීන මතයක් දැරීමටත් ඇති ව්‍යවස්ථාපිත අයිතිය මෙම මර්දනය හරහා අමු අමුවේ උල්ලංඝනය වන බව එම සංගමය පෙන්වා දෙයි. එක් මාධ්‍ය ආයතනයක් ඉලක්ක කර සිදු කරන මෙම ක්‍රියාව සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයටම එල්ල කරන අනතුරු ඇඟවීමක් ලෙස ඔවුහු සලකති.

📢 සංගමයේ ඉල්ලීම

රජය විසින් සිදු කරනු ලබන මෙම මර්දනකාරී පිළිවෙත වහාම නතර කළ යුතු බවත්, මාධ්‍යවේදීන්ට ස්වාධීනව රාජකාරි කිරීමට අවශ්‍ය පරිසරය තහවුරු කළ යුතු බවත් SLSMA සංගමය අවධාරණය කරයි. හිරු මාධ්‍ය ජාලයට එරෙහිව එල්ල වන ඕනෑම අසාධාරණ ක්‍රියාවකදී ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන දැනුවත් කිරීමට ද තමන් පසුබට නොවන බව එම සංගමය වැඩිදුරටත් දන්වා සිටී.

කොළඹ අයවැය පරද්දවලා පාටි දැම්මා කියන්නෙ බොරුවක්. ඒක පරණ එකක්

සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන සාදයක වීඩියෝවක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. එම වීඩියෝව මෑතකදී සිදුවූවක් නොව, පසුගිය ඔක්තෝබර් මාසයේදී පවත්වන ලද පැරණි සාදයක දර්ශන බව ඇය අවධාරණය කරයි.

අදාළ වීඩියෝවෙන් දැක්වෙන්නේ පසුගිය ඔක්තෝබර් මාසයේදී සමගි ජන බලවේගයේ (SJB) නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකින් පසු පැවැති සුහද හමුවක දර්ශන බව ඇය ප්‍රකාශ කළාය.

කොළඹ මහා නගර සභාවේ (CMC) ජාතික ජන බලවේගයට (NPP) පසුබෑමක් ඇති වූ බව පවසමින් එය සැමරීම සඳහා මෙම සාදය පැවැත්වූ බවට සමාජ මාධ්‍යයේ පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම ව්‍යාජ බව ඇය පෙන්වා දුන්නාය.

පක්ෂ සාමාජිකයන් කිහිපදෙනෙකු උත්සවයකින් පසු මෙලෙස සුහදව කාලය ගත කළ බව ඇය පැවසුවාය.

දේශපාලන ජයග්‍රහණ හෝ පරාජයන් සැමරීමක් මෙහිදී සිදු නොවූ බව ඇය අවධාරණය කළාය.

“උත්සවයකින් පස්සේ පක්ෂයේ කිහිපදෙනෙක් එකතු වෙලා අපි විනෝද වුණා. අපි අපේ ප්‍රදේශවල මෙහෙම කන බොන එක සාමාන්‍ය දෙයක්. මාලිමාවට කොළඹ මහා නගර සභාවේදී ප්‍රශ්නයක් වුණා කියලා අපි සාද පවත්වනවා කියන එක අමූලික බොරුවක්,” යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

රාමනාදන් අර්චුනා අත්අඩංගුවට..

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කරන ලද වරෙන්තුවකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අද (දෙසැම්බර් 24) කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, මන්ත්‍රීවරයාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (දෙසැම්බර් 23) වරෙන්තු නිකුත් කර තිබුණි.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ඔහු අධිකරණයට ඉදිරිපත් නොවීම හේතුවෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කෙරිණි.

පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සහ ඊට අදාළව එල්ල වී ඇති චෝදනා මත මෙම නඩුව පවරා ඇත.

වරෙන්තුව ක්‍රියාත්මක කරමින් අද පෙරවරුවේ කොටුව පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගත් අතර, අද දිනම ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වූ රාමනාදන් අර්චුනා, පසුගිය කාලසීමාව පුරාවටම විවිධ මතභේදාත්මක සිදුවීම් හරහා සමාජ මාධ්‍ය සහ දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්විය.

ගංවතුරට යටවන බිමක ක්‍රිකට් පිටියක්? මන්ඩතිව් ව්‍යාපෘතිය මහජන මුදල් නාස්තියක්..?

ශ්‍රී ලංකා වනසත්ව හා සොබාදහම් ආරක්ෂක සංගමය (WNPS) විසින් මන්නාරම් දූපතේ (Mandaitivu) යෝජිත යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතියට එරෙහිව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය දැඩි විරෝධය පළ කර තිබේ.

මෙම ව්‍යාපෘතිය නීති විරෝධී මෙන්ම පාරිසරික වශයෙන් දැඩි විනාශකාරී විය හැකි බව පෙන්වා දෙමින් ඔවුන් ඉදිරිපත් කළ කරුණු පහත පරිදි වේ:

මෙම භූමිය කඩොලාන ශාක, මුහුදු තෘණ පද්ධති සහ ලුණු වගුරු බිම්වලින් සමන්විත පාරිසරික වශයෙන් ඉතා සංවේදී කලාපයකි. එමෙන්ම මෙය මන්ඩතිව් රක්ෂිත වනාන්තරයට (Mandaitivu Forest Reserve) අයත් ප්‍රදේශයකි.

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනත යටතේ අවශ්‍ය වන නීත්‍යානුකූල බලපත්‍ර ලබා නොගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති බවට සංගමය චෝදනා කරයි.

මන්ඩතිව් යනු ස්වභාවික ගංවතුර රඳවා ගැනීමේ කලාපයකි. වර්ෂා කාලයේදී මෙම ප්‍රදේශය ජලයෙන් යටවන බැවින්, මෙහි මහා පරිමාණ ඉදිකිරීම් සිදු කිරීමෙන් අනාගතයේදී නඩත්තු පිරිවැය ඉහළ යාම සහ මහජන මුදල් නාස්ති වීම සිදුවිය හැකි බව පෙන්වා දී ඇත.

වනසත්ව හා සොබාදහම් ආරක්ෂක සංගමය අවධාරණය කරන්නේ තමන් යාපනය ප්‍රදේශයේ ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීමට විරුද්ධ නොවන නමුත්, පාරිසරික නීති උල්ලංඝනය කරමින් මෙම සංවේදී දූපතේ එය ඉදිකිරීමට දැඩි ලෙස විරුද්ධ වන බවයි.

නොපමාව මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු අත්හිටුවීමට පියවර ගන්නා ලෙසත්, පාරිසරික නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදෙස් ලබාදුන් පාර්ශවයන් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින සංගමය, තිරසාර සංවර්ධන ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කරන ලෙසට අදාළ පාර්ශවයන් වෙත උපදෙස් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියි.

Add to cart