බැකෝ සමන් සහ තැඹිලි ලහිරු දින 90ක් රඳවාගනී

 

සංවිධානාත්මක අපරාධකරුවන් වන “බැකෝ සමන්” සහ “තැඹිලි ලහිරු” දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට අවසර ලැබී තිබේ.

මෑතකදී කෙහෙල්බද්දර පද්මේ සමඟ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ මෙම අපරාධකරුවන් දෙදෙනාගෙන් ඔවුන් සිදු කළ අපරාධ පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා මෙම අවසරය ලබා දී ඇත.

කොටස් වෙළෙඳපොළ ඒකක 71.78 කින් පහළට

 

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (සැප්තැම්බර් 02) දිනයේදී ඒකක 71.78 කින් පහළ ගොස්, දවස අවසන් වන විට ඒකක 20,990.67ක් ලෙසින් සටහන් විය.

එය ප්‍රතිශතයක් ලෙස 0.34%ක පහළ යාමක් වන අතර, අද දින වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 7.5ක් බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කරයි.

අගෝස්තුවේ සංචාරක පැමිණීම් 20.4 % ක වර්ධනයක්

ඉකුත් අගෝස්තු මාසයේ මෙරටට පැමිණි මුළු සංචාරකයින් ප්‍රමාණය 198,235ක් දක්වා සියයට 20.4 කින් වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ගිය වසරේ (2024) අගෝස්තු මාසයේ මෙරටට පැමිණි මුළු සංචාරකයින් ප්‍රමාණය 164609 පමණක් විය.

මේ අගෝස්තු මස සංචාරක පැමිණීම් සමග මේ වසරේ ( 2025) වසරේ මුල සිට අගෝස්තු අග දක්වා මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 1566523ක් දක්වා ඉහළ ගොස් ඇත.

අගෝස්තු මාසයේ වැඩිම සංචාරක පැමිණීමක් වන 8,481ක සංචාරකයින් පිරිසක් අගෝස්තු 2 වන දින මෙරටට පැමිණ ඇති අතර එම කාස සීමාව තුළ වැඩිම සංචාරක පිරිසක් මෙරටට පැමිණි රට ලෙස ඉන්දියාව වාර්තා වී ඇත.

පද්මේගේ අනාවරණයෙන් සෙව්වන්දි හිරවෙයි

 

රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලබන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘කෙහෙල්බද්දර පද්මේ’ විසින් කරන ලද අනාවරණයන් මත, ගනේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වන ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය මෙම මෙහෙයුම ජාත්‍යන්තර පොලිසියේ සහයෝගය ඇතිව සිදු කරයි.

ගනේමුල්ල සංජීව ඝාතනයෙන් දින කිහිපයකට පසු ඉෂාරා සෙව්වන්දි ඩුබායි වෙත පලා ගිය බව පද්මේ විසින් අනාවරණය කර ඇති අතර, ඊට අදාළ තවත් වැදගත් කරුණු කිහිපයක් ද ඔහු හෙළි කර තිබේ. ඒ අනුව, කොළඹ අපරාධ කොට්ඨාසය අතිරේක විමර්ශන ආරම්භ කර ඇති බව ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

පොලිස්පතිතුමන්ගෙන් පොලිස් දිනයට ආගමික වතාවත්

 

සැප්තැම්බර් 03 වන දිනට යෙදෙන පොලිස් දිනයට සමගාමීව, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රධානත්වයෙන් පොලිස් ධජ සහ කොට්ඨාස ධජ රැගෙන අනුරාධපුර පූජා නගරයේ ආගමික වතාවත්වල නිරත විය. මෙම පුදබිමේදී ශ්‍රී ලංකා පොලීසියට සහ සමස්ත රටවැසියාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සිදු කෙරිණි.

සෑම වසරකම පොලිස් දිනයට සමගාමීව පැවැත්වෙන මෙම ආගමික වැඩසටහන, මෙවර සැප්තැම්බර් 01 වන දින පවත්වන ලදී. පොලිස්පතිතුමන් සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි සෑය අභියසදී මෙම ආගමික වතාවත්වලට එක් විය.

අපි යා යුතුම ගමන , චම්පිකගේ Pothcast 15

මේ වන විට ආසියානු රටවල් සහ චීනය අතර ඩොලර් ට්‍රිලියනයක පමණ ගනු-දෙනු සිදුවන්නේ යැයි පාඨලී චම්පික රණවක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Patali Champika Ranawaka YouTube නාලිකාවේ Pothcast වැඩසටහන තුළිනි. ඒ, Kishore Mahbubani සහ Jeffery Sng දෙපළ විසින් රචිත ”The ASEAN Miracle: A Catalyst for Peace” නමැති කෘතිය හඳුන්වා දෙමිනි.

කෘතිය පිළිබඳ වැඩි දුරටත් අදහස් දක්වමින් පාඨලි කියා සිටියේ ඇමරිකා එක්සත් ජනපදයේ ආයෝජන තවමත් ඉතා විශාල වශයෙන් ආසියානු කලාපයේ සිදුවන බවයි. එමෙන් දේශපාලනික වශයෙන් ගත්ත ද ඇමරිකාව සහ ආසියානු කලාපය තුළ විශාල වෙනස්කම් දක්නට නොලැබෙන බව ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු පළවන්නේ Kishore Mahbubani සහ Jeffery Sng දෙපළ විසින් රචිත ”The ASEAN Miracle: A Catalyst for Peace” නමැති කෘතිය හඳුන්වා දෙමින් පාඨලී චම්පික රණවක කළ සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.

SSP සතිෂ් ගමගේ යළි රිමාන්ඩ්

 

අල්ලස් සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ මහතා ලබන සැප්තැම්බර් 16 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාස භාරව කටයුතු කළ සමයේ වෙනත් පුද්ගලයෙකුගේ නමින් පෞද්ගලික බැංකු තුනක ගිණුම් විවෘත කර ඇති බව අනාවරණය වී තිබේ. ඔහු සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන්, පොලිස් සේවා ලබා ගැනීමට පැමිණි පුද්ගලයන්ගෙන් සහ වෙනත් අපරාධකරුවන්ගෙන් රුපියල් මිලියන 14 කට ආසන්න මුදලක් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත. මෙම චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Online පනත තදින් ඇමති තදින් කියයි

පුද්ගල ආරක්ෂාවට තර්ජනයක් වන අන්තර්ජාල අපරාධ වර්ධනය වීම වැළැක්වීම සඳහා අන්තර්ජාල ආරක්ෂණ පනත දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

සමාජ මාධ්‍ය හරහා විවිධ පුද්ගලයන්, විශේෂයෙන්ම තරුණ පරපුර, අන්තරායකර තත්ත්වයන්ට පත්වීම වැළැක්වීම මෙම පියවරෙහි අරමුණයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන විවිධ නීති විරෝධී ක්‍රියාකාරකම්, ප්‍රචණ්ඩත්වය සහ සමාජ අසහනය වැඩි කිරීමට හේතු වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම අකටයුතුකම් අතරට, කප්පම් ගැනීම්, අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම, කාන්තාවන්ගේ ඡායාරූප කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගෙන විකෘති කිරීම, සහ පාසල් දරුවන්ට අසභ්‍ය දර්ශන ඇතුළු හානිකර වීඩියෝ පට බෙදාහැරීම වැනි ක්‍රියාකාරකම් ඇතුළත් වේ.

අමාත්‍යවරයා සඳහන් කළේ, තම ඡායාරූපයක් ද කෘත්‍රිම බුද්ධිය යොදාගෙන විකෘති කර සමාජ මාධ්‍යට මුදාහැර ඇති බවත්, ඒ පිළිබඳව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බවත්ය.

මෙවැනි ක්‍රියාවන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු අවධාරණය කළේය.

මෙවැනි පනත් මගින් අන්තර්ජාල වේදිකා සහ ඒවායේ අන්තර්ගතයන් නියාමනය කිරීම තුළින් පරිශීලකයන්, විශේෂයෙන්ම ළමුන්, අහිතකර සහ නීති විරෝධී ද්‍රව්‍යවලින් ආරක්ෂා කිරීම අරමුණු කරගනී. ලෝකයේ බොහෝ රටවල් මේ වන විටත් මෙවැනි නීති සම්පාදනය කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පුරවයි

 

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින නිලධාරීන්ගේ හිඟය පියවීමට පියවර ගනිමින්, නව නිලධාරීන් 585 දෙනෙකු බඳවා ගැනීමට රජයේ අනුමැතිය ලැබී ඇත. බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ජගත් වීරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය 2025 අගෝස්තු 29 වන දින ප්‍රකාශයට පත් කරන ලදී.

නව බඳවා ගැනීම් යටතේ පුරප්පාඩු වන තනතුරු වන්නේ බන්ධනාගාර නියාමක (පිරිමි) 409ක්, බන්ධනාගාර නියාමක (කාන්තා) 70ක්, බන්ධනාගාර II පෙළ ජේලර් (පිරිමි) 55ක්, බන්ධනාගාර II පෙළ ජේලර් (කාන්තා) 07ක්, බන්ධනාගාර II පෙළ පුනරුත්ථාපන නිලධාරී (පිරිමි) 10ක් සහ බන්ධනාගාර II පෙළ පුනරුත්ථාපන නිලධාරී (කාන්තා) 03ක් ලෙසයි.

ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවක්

 

විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ, ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී ඇත.

ගෝල්ෆේස් සිට කොල්ලුපිටිය දෙසට දිවෙන මාර්ගය මෙලෙස අවහිර වී ඇති බව වාර්තා වේ.

මේ අතර, විරෝධතාවයේ නිරත පිරිස නියෝජනය කරමින් සාකච්ඡාවක් සඳහා නියෝජිතයන් හය දෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් ඇති බවද වාර්තා වේ

Add to cart