මදුවා යළි අත්අඩංගුවට

 

මීට දින කිහිපයකට පෙර ව්‍යාජ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත් ජනප්‍රිය රැප් ගායක මාධව ප්‍රසාද් නොහොත් ‘මදුවා’ නැවත වතාවක් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව ජෙලග්නයිට් කූරු 3ක්, ඩෙටනේටර් 5ක් සහ ඇමෝනියා නයිට්‍රේට් කිලෝග්‍රෑම් 3.5ක් තිබූ බව කහතුඩුව පොලීසිය සඳහන් කරයි.

කහතුඩුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයට ලැබුණු රහසිගත තොරතුරකට අනුව, සැකකරුගේ පිටිපන, ගලහේන ප්‍රදේශයේ නිවස පිටුපස වළදමා තිබූ මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී, කොටවිල පොලිසියේ ගිනිඅවියක් සොරකම් කිරීම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් කොස්තාපල්වරයෙකු සහ තවත් රැප් ගායකයෙකු විසින් මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය තමාට ලබා දුන් බවට අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් මෙම රැප් ගායකයා පසුගිය අගෝස්තු 25 වන දින ව්‍යාජ පිස්තෝලයක් සමඟ පොලිස් අත්අඩංගුවට පත්ව, පසුව ඇප මත මුදා හැර තිබිණි. මෙම සැකකරු 26 හැවිරිදි තරුණයෙකි.

අල්ලස් පැමිණිලි 3,937ක්

2025 වසරේ මුල් මාස 07 තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 3,937ක් ලැබී ඇති අතර එම පැමිණිලිවලින් වැටලීම් 72ක් සිදුකර ඉන් 39ක් සාර්ථක කර ගැනීමට හැකිවී ඇති බව එම කොමිසම පවසයි.

එම වැටළීම්වලදී අත් අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 49කි.

අත් අඩංගුවට පත් 49 දෙනා අතරින් වැඩිම පිරිස පොලිස් නිලධාරීන් බවත් එසේ අත් අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 17ක් බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කර තිබේ.

අධිකරණ අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ලංකා ගමනා ගමන මණ්ඩලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල යන රාජ්‍ය ආයතනවලින් ද සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව මෙම මාස 7 තුළ සිදුකළ විමර්ශනවලදී තවත් පුද්ගලයින් 39 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් අතර හිටපු අමාත්‍යවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන් ආයතන ප්‍රධානීන්, වෛද්‍යවරුන් ඇතුළු පුද්ගලයින් වන බවත් සඳහන්.

එමෙන්ම ගතවූ කාලය තුළ පුද්ගලයින් 27 දෙනෙකු අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අධිකරණ මගින් වරදකරුවන් කර ඇති බව ද එම කොමිසම ප්‍රකාශ කර ඇත.

ඊයේ දිනයේදී මරණ හතරක් වාර්තා වෙයි.

 

රාජාංගනය පොලිස් වසමේ අංගමුව ප්‍රදේශයේදී 49 හැවිරිදි කාන්තාවක් තියුණු ආයුධ ප්‍රහාරයකින් ඝාතනය කර තිබේ. ඇය සිය සැමියා සමඟ ඇති වූ පවුල් ආරවුලක් හේතුවෙන් මාස අටක පමණ කාලයක සිට ඇගේ මවගේ නිවසේ ජීවත් වී ඇත. මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට රාජාංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

තිස්ස – මාතර මාර්ගයේ ලේනමුල්ල හන්දිය ප්‍රදේශයේදී බස් රථයකට යතුරුපැදියක් ගැටීමෙන් 79 හැවිරිදි යතුරුපැදිකරුවෙකු මියගොස් තිබේ. අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

කල්පිටිය – පාලවිය මාර්ගයේ ඒත්තාල හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයකට පදිකයෙකු ගැටීමෙන් 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කල්පිටිය පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

වෙන්නප්පුව පොලිස් වසමේ සින්ද්‍රාත්‍රිය මෝයකඩේදී 45 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇත. මිතුරන් කිහිපදෙනෙකු සමඟ දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. වෙන්නප්පුව පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

දියවැඩියා රෝගීන්ට බන්ධනාගාර රෝහල වැසෙයි

වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රැඳවියන් පිරිස තවත් අඩු කිරීමට වෛද්‍යවරුන්ගේ අවධානය යොමුව තිබෙන බව වාර්තා වේ.

එහිදී, දියවැඩියාව රෝගයෙන් පෙළෙන රැඳවියන් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඔවුන්ට අදාල එන්නත් ලබාදීම මෙතෙක් සිදු වූ ක්‍රමවේදය වූ අතර, ඒ අනුව ඉදිරියේදී දියවැඩියාව පාලනය කිරීම සඳහා ඉන්සියුලින් එන්නත ලබා ගන්නා රැඳවියන් එම රෝහලට ඇතුළත් නොකිරීමට අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙතෙක් කල් සිදු වූයේ, එලෙස රෝහල්ගත වන රැඳවියන්ට දින කිහිපයක් නේවාසිකව රෝහලේ රැඳී සිටීමට අවස්ථාව හිමි වන අතර, එම රෝහල් ආරංචිමාර්ග පැවසුවේ, එම රෝග තත්ත්වයෙන් පසුවන රැඳවියන් 24 දෙනෙකු මේ වන විටත් වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව සිටින බවයි .

මින් ඉදිරියට දියවැඩියාව පාලනය කිරීම සඳහා, රැඳවියන්ට ඔවුන් රඳවා සිටින බන්ධනාගාරය වෙත ගොස් ඉන්සියුලින් එන්නත ලබාදීමට තීරණය කර තිබෙන අතර, බන්ධනාගාර ආරංචිමාර්ග පැවසුවේ, එහි නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 08 දෙනෙකුට ඉන්සියුලින් එන්නත, එම බන්ධනාගාරයටම ගොස් ලබාදීමට වැලිකඩ බන්ධනාගාර රෝහල විසින් ආරම්භ කර ඇති බවයි.

වැඩිදුරටත් වාර්තා වුණේ, ඉදිරියේදී කොළඹ බන්ධනාගාරවලද එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බවයි.

කොටුව දුම්රිය ස්ථානය අලුත්වැඩියාවට ටෙන්ඩර් කැඳවයි

 

කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනය කරයි.

ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව සිදු කෙරෙන මෙම ව්‍යාපෘතිය යටතේ, කොටුව දුම්රිය ස්ථානය නවීන පහසුකම් සහිත දුම්රිය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 1395ක් වන අතර, එය මාස 15ක කාලසීමාවක් තුළ අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. ටෙන්ඩර් කැඳවීම් සිදුකිරීමෙන් පසු, සංවර්ධන වැඩකටයුතු මේ වසර අවසානයේදී ආරම්භ කිරීමට නියමිත බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ජනාධිපති දෙවන දිනටත් උතුරේ සංවර්ධන‍ය වෙනුවෙන්

 

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (02) දෙවන දිනටත් උතුරු පළාතේ සංචාරයකට එක්වෙමින් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කළේය.

ලෝක පොල් දින සැමරුමට සමගාමීව “රටම සරු කරයි නිරතුරු – කප්තුරු සවිය” වැඩසටහන පුදුකුඩුඉරිප්පු නගරයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මේ යටතේ 2025 වසරේදී උතුරු පළාතේ පොල් වගා කරන ප්‍රමාණය අක්කර 16,000 දක්වා ඉහළ නැංවීමටත්, 2027 වන විට එය අක්කර 50,000 දක්වා වැඩි කිරීමටත් සැලසුම් කර ඇත.

මේ හා සමගාමීව, උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය පලෙයි නගරයේදී විවෘත කිරීම සහ පොල් සංවර්ධන අධිකාරිය මගින් පැවැත්වෙන පොල් ආශ්‍රිත ප්‍රදර්ශනය විවෘත කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

මුලතිව් දිස්ත්‍රික්කයේ පිහිටි වට්ටුවාකල් පාලමේ ඉදිකිරීම් කටයුතු ද අද දින ජනාධිපතිවරයා විසින් ආරම්භ කරන ලදී. පරන්තන් – කරච්චි – මුලතිව් මාර්ගයේ පිහිටි මෙම පාලම දිනකට වාහන 3,000කට අධික සංඛ්‍යාවක් භාවිතා කරන අතර, එය දීර්ඝ කාලයක් තිස්සේ අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් දැඩි අවදානම් තත්ත්වයක පැවතුණි.

රුපියල් බිලියන 1.4ක මුදලක් වැය කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ මෙම පාලම මංතීරු දෙකකින් යුත් නව පාලමක් ලෙස ඉදිකිරීමට නියමිතය.

පොදු 35 අනතුරුදායකයි. ප්‍රවේශමෙන් පරිහණය කරන්න.

රහස් පොලීසියට හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක එපා වූයේ හේතු කිහිපයක් නිසාය. සමස්ත රාජ්‍ය සේවයටම එය අදාල ය.

ජනාධිපති ලේකම්වරුන් පත්වන්නේ ව්‍යවස්ථාවේ 41 (1) වගන්ති ප්‍රකාරව ය. ඔවුන්ගේ වගකීම නැත්තම් රස්සාව විධායක ජනාධිපතිවරයාගේ ‘ජනාධිපති ධූරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේලා සහ ඉටු කිරීමේලා තමාට සහාය දීම පිණිස තම මතය අනුව……………’’ කටයුතු කිරීමකි.

 

ජනපති රනිල්, තම ලේකම් සමන් ‘මට ලන්ඩන් යන්න ඕනි’ කියූ විට රාජ්‍ය නායකයා යන්නේ කොහෙද? නිදාගන්නේ කොහෙද? නිදාගන්නේ කා සමඟදැයි විමසීමට ඔහුට හැකියාවක් නැත. තානාපති කාර්යාල සහ ප්‍රොටකෝල් නිලධාරීන් එය කලමනාකරණය කරන අතර, ජනාධිපතිවරු සමාන්‍යයෙන් ගුබ්බෑයම්වල ලගින්නේ ද නැත. ජනාධිපතිවරුන් තමන් කරන කියන දෑ, හැම කොල්ලා – බල්ලා සමඟම කියන්නේ ද නැත! රාජ්‍ය නායකයා යනු තම ලේකම්වරයා සමඟ ‘එකගේ කන්නෙකු’ නොවේ.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කුමක් පැවසූව ද, තවමත් හිටපු ජනාධිපතිවරුන්ගේ මුක්තිය ව්‍යවස්ථා පොතෙන් ඉවත් කර නැත. ඒ නිසා, හිටපු ජනපතිවරයෙකු සිය ධූර කාලය තුල ලබාදුන් නියෝග සම්බන්ධයෙන් ඔහුට මුක්තියක් තිබේ.

 

රනිල් ගේ කාර්යාලය මේ ගමනට අදාල ලේඛන කිහිපය් එළියට දමා තිබුණි. මේ සියළු ලේඛන විදේශ අමාත්‍යාංශය හා තනාපති කාර්යාලයේ තිබූ/තිබිය යුතු දේ ය. ලන්ඩන් හි ලංකාව නොවන විදේශ තානාපති කාර්යාලයකින් ද ලේඛන ලැබී ඇති සෙයකි. නගර සභාව විසින් සිය සභා වාරයේ වර්තාව ද සපයා දී තිබුණි.
සමන් අද එන්න අවශ්‍ය නැත! රහස් පොලීසිය කියන්නට ඇත්තේ ඒ නිසාය.

ජනාධිපතිවරයාගේ බලතල හා ජනාධිපති ලේකම් ගේ සීමා මායිම සලකුණු කරන සුවිශේෂ නඩුකරයක අත්දැකීම ඒ අනුව රටට අහිමි විය.

පොදු ජන දැනුම සඳහා ලියා තැබිය යුතු දේ නම්, සමන් ඒකනායක මේ සිද්ධියේ දී කියන රජයේ මුදල් රුපියලක් හෝ තම පරිහරණයකට ගෙන නොතිබුණි. ඔහු එම මුදල් කිසිවක ප්‍රසම්පාදන ක්‍රියා සිදු කර නොතිබුණි (එය තානාපති කාර්යාලයේ වැඩකි). ඇස්තමේන්තුවට මුදල් අනුමත කිරීම පමණක් ඔහු සිදු කර තිබුණි. සරළව සමන් ගණුදෙනුවේ පොදු 35 වියදම් වව්චරයක්වත් අත්සන් කර නැත! දැකලා ද නැත. නමුත්, පොදු 35 වත් අත්සන් නොකර හිටපු ජනපති ලේකම්වරයෙකු වුව ද, රාජ්‍ය සේවකයෙකුට පත් විය හැකි බලවත්ම අවමානයට, හිංසනයට පත් කළ හැකි බව ක්‍රියාවෙන් ඔප්පු වී ඇත.

රනිල් ගේ ලන්ඩන් ගමන රාජ්‍ය නායක, සේනාධිනායක, මුදල් ඇමතිවරුන්‍ගේ විදේශ සංචාර පිළිබඳ කිසිදා ඇති නොවිය යුතු අමිහිරි අප්‍රසන්න සිද්ධි රැසක් ද, තානාපති අංශවල හාස්‍යයට හා උපහාසයට ද ලක්වී ඇත. රනිල් – සමන් හිරේ ගියත් – නැතත් රාජ්‍යය විසින්ම මේ අවුල විසඳාගත යුතුය.

මුදල් අනුමැතිය ලබාදීම, පොදු 35 අත්සන් ගැසීම අනතුරු සහිතය. ප්‍රවේශමෙන් පරිහරණය නොකරන්නේ නම්, අපරාධ පරීක්ෂණයකින්, නින්දා අපහාස ලැබෙන ප්‍රවෘත්ති සිරස්තල සිය ගණනකින්, නඩුව අසා අවසන් වන තුරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමකින් හා වසර ගණන් ඇදෙන නඩු හබයක් දක්වා දීර්ඝ විය හැකිය. බව දැන් සක් සුදක් සේ පැහැදිලියි. බී වාර්තාව පදනම් වන්නේම පොදු 35 වව්චර මත ය. එම අනුමැති ලැබුණු කොන්දේසි/පදනම ඇත්තේ ලිපි ගොනුවේය. අනාගතයේ උසාවියට කරුණු වාර්තා කර ඇප අයඳුම් කරන විට චූදිත රාජ්‍ය නිලධාරියා අනුමැතිය ලබා දුන් ලිපි ගොනුව නැත.

 

හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාර ගත වන්නේ ආරාධනා පත්‍රයේ විශ්වසනීයත්වය ගැන සැකකරන බව අධිකරණයේ දී පවසන නිසාය. අවම වශයෙන් ඊ මේල් පණිවුඩයකින් තහවුරු කර ගත හැකි දෙයක් වත් නොකර අත්අඩංගුවට ගැනීමට විමර්ශකයින්ට හැකියාව ඇත. අධිකරණය ද සැකය මත පදනම්ව හිටපු ජනපතිවරයෙකු ද රිමාන්ඩ් බන්ධනාගාර ගත කර එයට අනුකුලතාව දක්වා ඇත්තේය! ජනාධිපතිවරයෙකු හුදු සැකය නිසා රිමාන්ඩ් බන්ධනාගාර ගත වන්නේ නම්, පහල නිලධාරීන්ට දෙවි පිහිටමය.

රජයේ මුදල් පාලනය සම්බන්ධයෙන් පරිපාලන නිලධාරීන් සතු දැනුම, චක්‍රලේඛන, ව්‍යවහාරයන් කිසිදු නිදහසට කරුණක් නොවන බව පැහැදිලිය.

අභ්‍යන්තර විගණන අංශය මුදල් කාබාසිනියා කරන තැනක් මිසක් වැඩක් හරියට නොකරන බව මේ නඩුකරය සාක්ෂි ය. අද අට වන්නම නටා පිහිටවු ‘ස්වාධීන විගණන කොමිසමට’ හෝ කෝපා වලින් රිංගා ජනාධිපතිවරයාට විදේශ රටක තානාපති වරප්‍රසාද සහිතව හොර ගමණක් යා හැකි බවට දැන් අධිකරණයට කරුණු කියා ඇත.
සමන් තවමත් අත්අඩංගුවට පත් නොවූයේ මන්ද?

පී.බී. මැනික්දිවෙල ගේ සිට සමන් ඒකනායක දක්වා එදා මෙදා තුර ජනපති ලේකම්වරු සියළු දෙනා ජනපතිවරුන්ගේ පුද්ගලික හා රාජකාරි සම්බන්ධ වියදම් — ආරක්ෂාව, ප්‍රොටකෝල්, ගමන් විදයම්, පිළිබඳ කටයුතු කළ ව්‍යවහාරයක් ඇත. ජනපති හිටපු ලේකම්වරු හා ගණනාධිකාරීවරුන් විශේෂඥ සාක්ෂිකරුවන් ලෙස සමන්ට පක්ෂව අධිකරණයට කරුණු දක්වනු නිසැකය.

ලංකා ඉතිහාසයේ එදා මෙදා තුර සියළුම ජනපති ලේකම්වරුන් විදේශ ගමන් සම්බන්ධයෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත්, වගකීම් පැහැර ඇති බවත්, රජයේ අධිනීතිඥවරයාට අධිකරණය හමුවේ ‘සාධාරණ සැකයෙන් තොරව’ ඔප්පු කර පෙන්වීමට සිදු වන්නේය. එය ‘සිදු කළ නොහැකි’ වැඩක් ලෙස පෙනීයයි.
මෙතැන අධි ගෙවීමක් සිදුව ඇතැයි මොහොතකට උපකල්පනය කරමු. ප්‍රශ්නය ඇත්තේ, සමන් ඒකනායකගේ අනුප්‍රාත්තික නිලධාරීයා (එනම් කුමානායක) එම මුදල් අය කර ගැනීමට ගනු ලැබූ පියවර කුමක් ද? යන්නය. උත්තරය, කිසිවක් නැත!

සමන් වරදක් කර ඇති නම්, වත්මන් ලේකම් ද, අනුප්‍රාප්තික නිලධාරියා ද ඒ හා සමාන වරදක් කර ඇත.

මෙහි අනෙක් පස තර්කය, ජනාධිපති ලේකම්ට ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසි අදාළ නොවේ! යන්නය.

 

වත්මන් ලේකම් කුමානායක ‘ජනාධිපති ලේකම්ට ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසි අදාල නොවේ යන ස්ථාවරයට යන්නේ නම්, ඔහු රනිල් – සමන්ට විරුද්ධ පැමිණිල්ල සිදු කළේ ඇයි ද? යන්න මතුවන්නේ ය. දැන් මේ නූල් බෝලය හොඳටම අවුල් කර ගෙන ඇත.

1973 ‍ෆීලික්ස් ඩයස් ගේ යුගයේ ඉයන් වික්‍රමනායක මෙවැනිම ආකර්ශනීය ප්‍රවේශකින් කටයුතු කළ ආකාරය ‘සාරයක් මැද’ චිත්‍රපටියේ කතාවයි. ‘ලෝරන්ස් මාෆියාව’ නමින් රණසිංහ ප්‍රේමදාසගේ යුගයේ හිටපු නියෝජ්‍ය ප‍ොලිස්පති ලෝරන්ස් පෙරේරා හොරු අල්ලන්ට මෙලෙස ම කටයුතු කර ඇත. එම අවස්ථා දෙකේදීම ඊයන් වික්‍රමනායක මෙතඩ් එක ද, ලෝරන්ස් මෙතක් එක ද, ජනතාවට ආකර්ශනීය විය. දේශබන්දු තෙන්නකෝන් ගේ ‘යුක්තිය මෙහෙයුම’ ට අත් පොලසන් දුන් පිරිසක් ද ‍රටේ වූහ.

කුමන හෝ වාසනාවකට, සමන්ටත්, රනිල් වික්‍රමසිංහටත් මේ උත්සවයේ නිල ආරාධනා පත්‍රය පමණක් නොව දිවා භෝජන සංග්‍රහයේ සමරු කාඩ් පත ද, මෙනූ පත, විඩියෝ, මෙට්‍රපොලිටන් පොලීසියේ වාහනය ගැන පවා සාක්ෂි සොයා ගැනීමට හැකිවී ඇත. එවැනි වාසනාවක් – හැකියාවක් රාජ්‍ය සේවයේ අවශේෂ සියළු දෙනාට තිබිය නොහැකිය.

රාජ්‍ය සේවයේ සියළු නිලධාරීන් තමන් අත්සන් කරන, නිර්දේශ – අනුමත කරන පොදු 35වව්චරයක පමණක් නොව අනුමත – නිර්දේශ නියෝගයක ද, පිටපත් කොට තබා ගැනීම මතු ආරක්ෂාවට වැදගත් වනු ඇත. සෑම පොදු 35 වව්චර අත්සනක්ම, රාජ්‍ය දේපල අයථා පරිහණ නඩු නිමිත්තක් විය හැකිය. හෘර්දය වස්තුවේ කිරීට ධමනි අවහිරවී නැති නම් නඩුව අවසන් වන තුරු රිමාන්ඩ් බන්ධනාගාර ගත විය හැකිය.

පොදු 35 අනතුරුදායකයි. ප්‍රවේශමෙන් පරිහණය කරන්න.

✍️රජිත් කීර්ති තෙන්නකෝන්

නඩු භාණ්ඩ ගොඩගැසීම ගැන අධිකරණ සේවයෙන් නියෝග

 

අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ, මෙම වසරේ දෙසැම්බර් 31 වන දිනට පෙර නිෂ්කාශනය කරන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව සියලුම දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් සහ මහාධිකරණ විනිසුරුවරුන් වෙත දැනුම් දී තිබේ.

අධිකරණවල පවතින නඩු භාණ්ඩ සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීමෙන් පසු, ඒවා කඩිනමින් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරන ලෙස කොමිෂන් සභාව විනිසුරුවරුන්ට උපදෙස් දී ඇත. අධිකරණවල පරිපාලනමය වගකීම දරන විනිසුරුවරුන් ඇතුළු අදාළ සියලුම නිලධාරීන් මෙම කාර්යයට සෘජුවම වගකිව යුතු බව කොමිෂන් සභාව අවධාරණය කරයි.

නඩු භාණ්ඩ නිෂ්කාශනය පිළිබඳව සොයා බැලීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ස්ථානීය පරීක්ෂණ පැවැත්වීමට නියමිත අතර, මාසික ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද සියලු විනිසුරුවරුන් වෙත දැනුම් දී ඇත.

මෙම කටයුත්ත නිසි පරිදි සිදු නොකරන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවද කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර ඇත. නඩු භාණ්ඩ පිළිබඳ නිවැරදි වාර්තා සැකසීම සහ ඒවා නිෂ්කාශනය කිරීම, සියලු අධිකරණ කාර්ය මණ්ඩලයේ පුද්ගලික මෙන්ම සාමූහික වගකීමක් බවද එහිදී පෙන්වා දී තිබේ.

නිදහස් පක්ෂයේ 74 වන සංවත්සරය අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74 වන සංවත්සරය අදට (02) යෙදී තිබේ.

සිය සංවත්සර සැමරුම් උත්සවය පක්ෂ මූලස්ථානයේ දී අද පස්වරුවේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

“මෙවර අපි 74 වන සංවත්සරය සමරන්නේ, පක්ෂ මුලස්ථානයේ. ඒ සඳහා අපි ආසන සංවිධායකවරු, ඒ වගේම පක්ෂයේ ක්‍රියාකාරීන් සඳහා අපි ආරාධනා කරලා තියෙනවා. මං හිතන්නේ පහුගිය කාලයේ දේශපාලනය ගැන කතා කරොත් සියලුම දේශපාලන පක්ෂ දැන් නැවත ප්‍රතිසංවිධානය කරමින් යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපි සංවත්සරයත් සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධාන කටයුතු අපි ආරම්භ කරනවා. ඒ වගේම අපි දිස්ත්‍රික් මට්ටමින් රැස්වීම් පැවැත්වීම, ආසන බලමණ්ඩල සංවත්සරයෙන් පසුව ආරම්භ කරන්න සුදානම් වෙනවා.”

Add to cart