ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක අත්අඩංගුවට

ජනප්‍රිය ගායක දමිත් අසංක, පවුල් ආරවුලකට අදාල පැමිණිල්ලක් සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය ලබා දී ඇති තොරතුරු අනුව, එම පැමිණිල්ල මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාල ගායකයා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත නිදහස ලබාගත් බව වාර්තා වෙයි.

තායිලන්ත අගමැති ධූරය අහිමි වෙයි

 

තායිලන්ත අග්‍රාමාත්‍ය පේතොංතා ෂිනවත‍්‍රා (Paetongta Shinawatra) මහත්මිය ධුරයෙන් පහ කිරීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය නියෝග කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඇය කාම්බෝජයේ හිටපු නායකයෙකු සමඟ සිදු කළ දුරකථන සංවාදයක තොරතුරු හෙළිවීමත් සමඟ මෙම තීරණයට එළැඹී ඇත.

අධිකරණය තීරණය කළේ මෙම සිදුවීම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. ඒ අනුව, ඇයව වහාම අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට නියෝග කර තිබෙනවා.

කාන්තාවන් දෙදෙනෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට

 

හෙරොයින් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 990ක් සමඟ කාන්තාවක් මාලිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇයගෙන් ලද තොරතුරු මත තවත් කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 106ක් සමඟ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත් වී තිබේ.

පළමුවෙන් අත්අඩංගුවට ගත් කාන්තාව අගෝස්තු 26 වැනි දින මාලිගාවත්ත පොලිස් වසමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 3.99ක් සමඟ අත්අඩංගුවට ගෙන මාලිගාවත්ත පොලීසියට භාර දී ඇත.

ඇයගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු අනුව, පසුදින (අගෝස්තු 27) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී තවත් 51 හැවිරිදි කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 106ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා ගරු මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, වැඩිදුර විමර්ශන සඳහා සැප්තැම්බර් 02 වැනිදා දක්වා ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන ඇති අතර, ඔවුන් කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයට භාර දී තිබේ.

නිමල් ලන්සා රිමාන්ඩ්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

ලන්සා ඊයේ (29) කොච්චිකඩේ පොලිසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගන්නා ලදී.

රනිල් ගෙදර යයි

 

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) රෝහලෙන් පිටව ගොස් තිබේ.

දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඔහු, සුවය ලැබීමෙන් පසු අද උදෑසන සාමාන්‍ය වාට්ටුවකට මාරු කර යැවූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. වෛද්‍ය උපදෙස් මත, ඔහු රෝහලෙන් පිටව ගිය බව තවදුරටත් වාර්තා වේ.

ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන 12 දක්වා යළි රිමාන්ඩ්

 

දූෂණ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන සැප්තැම්බර් 12 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (අගෝස්තු 29) නියෝග කළේය.

රනිල්ව සාමාන්‍ය වාට්ටුවකට මාරු කරයි

 

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාමාන්‍ය වාට්ටුවකට මාරු කර යවා ඇති බව එක්සත් ජාතික පක්ෂ සහකාර නායක අකිල විරාජ් කාරියවසම් මහතා අද (අගෝස්තු 29) මාධ්‍ය වෙත පැවසීය.

වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් අතට හැරී ඇති බව ඔහු සඳහන් කළේය.

මේ අතර, හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍යය පිළිබඳ ඉදිරි තීරණ ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් ගනු ලබන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය කියා සිටියාය.

රතන හිමි සැප්තැම්බර් 12 දක්වා රිමාන්ඩ්

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ලබන සැප්තැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අද (අගෝස්තු 29) අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු මෙම නියෝගය ලබා දී ඇත. උන්වහන්සේට එරෙහිව පවතින චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

නිමල් ලංසා අත්අඩංගුවට

 

කොච්චිකඩේ පොලීසියට භාර වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සාව අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඔ​හු අද (29) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත​යි

2006 වසරේ දී උද්ඝෝෂණයක් අතරතුර අයුතු ජනරාශිය සහ දේපොළ අනර්ථය යන චෝදනා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකර ඇත.

පැමිණිලිකරු අදාල පැමිණිල්ල ඉවත් කරගන්නා බවටත්, දෙපාර්ශ්වය සමථයකට පත්වන බවටත් ගරු අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ලබා දී තිබියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව නිමල් ලාන්සා මහතාගේ නීතීඥවරු තහවුරු කරයි

අතුරලියේ රතන හිමි අධිකරණයට

 

අධිකරණයෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ අතුරලියේ රතන හිමි අද (අගෝස්තු 29) පෙරවරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ, අපේ ජන බල පක්ෂයේ මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් බිය ගන්වා 2020 මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාගැනීම සඳහා බලහත්කාරයෙන් ලියකියවිලිවලට අත්සන් ලබා ගැනීම සම්බන්ධයෙන් ය.

කොළඹ අපරාධ කොට්ඨාසය සිදු කරන විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, පැහැර ගැනීමෙන් පසු වේදිනිගම හිමියන් එවකට සිටි ප්‍රබල අමාත්‍යවරයෙකුගේ කොළඹ පිහිටි කාර්යාලයට රැගෙන ගොස් ඇති බවයි. එම ස්ථානයේදී එම අමාත්‍යවරයා සහ එකල බස්නාහිර පළාතේ පොලිස් ප්‍රධානියා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා ද තමන්ට බලපෑම් කරමින් බිය ගැන්වූ බවට වේදිනිගම හිමියන් පොලීසියට ප්‍රකාශ කර තිබුණි.

Add to cart